ඇමැති විජයදාසගේ ඉරණම අද?

 

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසය නොමැති බවට පසුගිය 17දා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ඊයේ (21) දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) හමු වී විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බව මන්ත්‍රී කණ්ඩායමට පැවසූ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත් කළ ත්‍රිපුද්ගල ඇමැති කමිටු වාර්තාව ලැබී නොමැති හෙයින් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කරන බව පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට මේ බව දැනුම් දුන්නේ අරලිය ගහ මන්දිරයේදී ඊයේ (21) රාත්‍රියේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් පැමිණ සිටිය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැමිණ සිටියේ නැත.

සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රැස්වීමේ දී මුලින්ම සාකච්ජා වී ඇති අතර රැස්වීම අවසානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගන්නා තීරණය කුමක්දැයි අගමැතිවරයාගෙන් විමසීය. විජයදාස රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය ගැන නිවැරැදි කිරීමක් කර ඇත්දැයි අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඇති අතර එසේ නිවැරැදි කිරීමක් කර නැති බවත් ඔහු දිගින් දිගටම රජයේ ප්‍රතිපත්ති විවේචන සිදු කරන බවත් මන්ත්‍රීවරු අගමැතිවරයාට දැනුම් දුන්හ. මේ නිසා ඔහු සම්බන්ධයෙන් ඉක්මනින් පියවරක් ගත යුතු බව ද මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දැනුම් දී තිබේ.

ශිරෝමි අබයසිංහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *