|

අපේ සිහින දේශපාලනඥයා – නිශාන්ත කමලදාස

 අපි විවිධ සිහින පසුගිය කාලයේ දැක්කෙමු. සිහින පාසලකට පන්සලකට සරසවියකට ආදී ලෙස විවිධ තැන්වලට ගොඩ වුණෙමු. අද අපි දකින්නට කැමති සිහින දේශපාලනඥයා ගැන කතා කරන්නට අදහස් කරමු.

පාසල පන්සල සරසවිය යන ස්ථාන මෙන්ම රටවැසියා යන භූමිකා අරබයා ලියවුණු ලිපි ඒවායේ පවතින පසුගාමී තත්වයන් විවේචනයෙන් ආරම්භ විය. දේශපාලනඥයන් විවේචනය කරමින් බොහෝ දේ කියවෙන නිසා නැවතත් ඒ අපුල රාජකාරිය පවරාගන්නේ නැතිව ම අප දකින සිහින දේශපාලනඥයා පිළිබඳව කෙළින් ම කතා කිරීමට සිතුවෙමු.

ඒ සිහින දේශපාලනඥයා පළමුව කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වෙයි. බොරුව පිළිකෙවි කරයි. මුළාව කිසි දිනෙක කුමන කටයුත්තකට වත් යොදා නොගනියි.

ඹහු මළ ගෙවල් මඟුල් ගෙවල්වල යෑමට දත කන්නේ නැත. මූණිච්ඡාවට උපන් දින සුභ පැතුම් එවන්නේ නැත. ලෙඩ වුණහම බොරුවට කතා කර සුවදුක් විමසන්නේ නැත. මළ ගෙයකට මල්වඩම්වත් මඟුලකට කේක්වත් සපයන්නේ නැත. මගුල් ගෙවල් මළ ගෙවල්වල නාඳුනනා මිනිසුන් වර්ණනා කරමින් කතා කරන්නේ නැත.

මෙය නම් සිහිනයක් පමණකැයි ඔබ කියන්නට පුළුවන. ලියන්නා කෙරේ කෝපයෙන් ලිපිය විසි කර නැගිට යන්නට පුළුවන. එහෙත් තරමක් ඉවසන්නට යැයි ඉල්ලමින් නැවතත් මම ලියවිල්ලට බසිමි.

අප දකින සිහිනය තුළ දේශපාලනඥයා සිය වත්කම් හෙලි කරමින් දේශපාලනයට බසින අතර හැම වසරකම වත්කම් ප්‍රකාශය අලුත් කරයි. තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් අරමුදල් සැපයූ සියල්ලන් ද ඒ අරමුදල් ප්‍රමාණයන් ද හෙළි කරයි.

සුරංගනා කතා

හේ විශාල කට්අවුට් ගසමින් සල්ලි විසි නොකරයි. සිය පෙළපාලිවලට මිනිසුන් කැන්දාගෙන යෑමට අරක්කු ලොරි පිටින් නො සපයයි. බත් පාර්සල් කඳු නොගසයි. දන් සැල් නොදෙයි. සිල් රෙදි නොබෙදයි.

දැන්නම් ඔබට තරහ පාලනය කර ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබේ. කිසි දා සිදු විය නොහැකි සුරංගනා කතාවක් අසන්නාක් මෙන් මේ සියල්ල දෙස සෝපාහසයෙන් බලන්නට ඉඩ තිබේ.

ඇතැම් විට මේවා ඔබ පෞද්ගලිකව විඳ තිබේ නම් මෙහි ඇත්තේ අහවල් වැරැද්දක් දැයි කියමින් මගේ ඇඟට ගොඩවෙන්නට ද ඉඩ තිබේ. ඒවා අද වන විට ඒ තරමට ම සාමාන්‍ය දේවල් වී ඇති නිසා ය.

එහෙත් මේ සැප විඳි සමහරු ඒවා විඳින අතරේම මේවා ප්‍රශ්න කරන බව උඩු සිතෙන් නොවූවත් යටි සිතෙන් ප්‍රශ්න කරන බව මේ රැවටීම්වලින් තොර හෙට දවසක් පතන බව අපේ අදහස ය. ඒ නිසා ම අපේ සිහිනය බෙදා ගන්නට ද ඔවුන් ඉදිරිපත් වන්නට පුළුවන.එහෙත් ඒ හැම කෙනෙකු තුළම මේ සැබෑ වන සිහිනයක් ද යන විචිකිච්ඡාව ඇති වන්නට පුළුවන.

අප අමතක නොකළ යුතු කාරණය නම් සැබෑ වන්නේ අප දකින සිහිනයන් බව ය. මහ පොළොව තුළ යමක් පැළ කරන්නට පළමු අපේ මනස තුළ එහි බීජය සුරක්ෂිතව වැඩිය යුතු බව ය. පොළොවේ යමක් ඉදිකරන්නට මත්තෙන් කඩදාසියක එය ඇඳ එකලාසයක් කර ගත යුතු බව ය. නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට පොරොතුව එහි පිටපත ලියා මනසින් රංග භූමිය දැකිය යුතු බව ය. ඒ නිසා මේ සිහිනය දිගටම දකින්න ඉඩ දෙන්න.

එම දේශපාලනඥයා කුඩා දරුවා ජාතික පාසලකට දා ගැනීමටවත් ලොකු එකාට රැකියාවක් ලබා ගැනීමටවත් බිරියට මාරුවක් ලබා ගැනීමටවත් වැරැද්දක් කළ කෙනෙකුහට ඉන් ගැලවීමටවත් උදව් නොකරයි. ඒ සියල්ල රටේ නීතියට අනුව සිදු වෙන බවට සැමට සාධාරණ ලෙස අවස්ථා සලසන බවට හේ වග බලා ගනියි.

දැන් නම් ඔබ මට තඩි බාන්නට සැරසෙනු ඇත. මෙහෙම කරන්නේ නැති හැලපයකුගෙන් ඇති වැඩේ කුමක් දැයි ඔබ අවි අමෝරාගෙන එනු ඇත. මගේ සිල්ලර වැඩ ටිකවත් කර දෙන්නේ නැති හාල් පාරුවෙකුට මා මනාපය දෙන්නේ මන් ද? එවැන්නෙකු වෙනුවෙන් මා පෙනී සිටිය යුතු වන්නේ මන් ද? යනුවෙන් ඔබ මා ප්‍රශ්න කරනු නියත ය.

මේ ඡන්දදායකයාට තමන්ගේ මන්ත්‍රීතුමා හරියට ම මුලිච්චි වන වෙලාව ය. තමන් ඉල්ලන කෙනාම ලැබෙන වෙලාව ය. සාධාරණය වෙනුවට තමන්ගේ සිල්ලර වැඩ කර ගැනීමට උදව් ඕනෑ වෙලාව ය. සිහින දේශපාලනඥයෙකු පතන අපි ඒ සඳහා අප සිහින රටවැසියන් විය යුතු යැයි සිතන්නේ නැත.

අපේ ඇදය පෙනෙන වෙලාව

අපේ ඇදය හදා නොගෙන හෙවනැල්ලේ ඇදය හදන්නට යන අපිට මේ අපේ ඇදය පෙනෙන වෙලාව ය. එයත් තාවකාලිකව පැත්තකට දමා නැවතත් අපේ සිහිනය දකින්න අපට අවසර දෙන්න.

එතුමා හෙට එළඹෙන මැතිවරණය නොව අනිද්දා රටට සිදු වන යහපත ම පතයි. රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස දැනටමත් පුරවා ඇති නිසා එය තවදුරටත් රැකියා දෙන ස්ථානයක් නොකළ යුතු යැයි සිතයි. ගංගාවල් විනාශ වී ළිං සිඳෙන නිසා වැලි පර්මිට් දීම නවතන්නට සිතයි. තරුණයින් මත් ද්‍රව්‍යවලින් විනාශ වන නිසා මත් කුඩු හා මත් ද්‍රව්‍ය වළකාලන්නට සිතයි. කසිප්පු නිෂ්පාදනයට එරෙහිව පොලීසිය මෙහෙයවයි. කංසා හේන් වටලයි. බස් මාෆියාවේ තර්ජන මායිම් නොකර මගීන්ගේ සෙත සලසන ක්‍රියාමාර්ගයන් ගනියි.

මෙහෙම සිහින දකින්නට තමුසෙට ඔල්මාද දැයි රජයේ රැකියා බලාපොරොත්තුවන තරුණයින් මගෙන් දැන් අසන්නට අවි අමෝරා ගෙන එනු ඇත. වැලි පර්මිට්වලින් ජීවනෝපාය ගෙනියන අය ද මත්කුඩු විකුණා ජීවත්වෙන අය ද කසිප්පු නිපදවන හා විකුණන අය ද කංසා හේන් අයිති කාරයෝ ද බස් තියාගෙන මගීන්ට තග දාන ව්‍යාපාරිකයන් ද ඒ ගංගාවට එකතු වෙනු ඇත.

දැන් සිහිනය බලලා ඉවර ය. ඉක්මනින් මාරු වෙන එක ඇඟට ගුණ ය.

ඒත් රාජ්‍ය සේවය නඩත්තු කරන්නට අධික බදු ලෙස බදු ගෙවන්නට සිදුව ඇති ජනතාවත් ළිං වියළි ගං ඉවුරු කැඩී යාමෙන් විපතට පත් ජනතාවත් මත් කුඩු නිසා ජීවිත විනාශ වෙන තරුණ තරුණියන්ගේ මාපියනුත් බස් මගීනුත් තවමත් මා සමඟ සිහිනය සමග සිටිනු පෙනෙන නිසා තවත් ඉදිරියට සිහිනය දකින්නෙමු. තරහ අවසර. අපේ සිහිනය තව දකින්න, ඉඩ තියන්න.

ඉවරයක් නැති සිහින

එතුමාට රථ ගාය නැත.එතුමා සිහින රථ පැත්තක දමා සාමාන්‍ය රථයක ගමන් කරන්නේ ය.එතුමාට පරිවාර රථ නැත. එතුමා නලා හඬවාගෙන අපි ව දෙතුන් පැත්තකට විසිකර පාර බදු ගැනීමට කල්පනා කරන්නේ නැත. මිනිසුන්ගේ දරුවන්ගේ ශරීර උඩින් යන්නට මෙන් ඉගිලෙන්නේ නැත.

දිනෙක බස් රථයක ද තවත් දිනයක දුම්රියක ද තව දවසක ත්‍රීවීලර් එකක ද යන්නට තරම් එතුමා සරල ය. බසයේ ආසනයක් නැත්නම් එතුමා හිට ගෙන යන්නේ ය. බසයක් එනතුරු අප සමඟ පෝලිමේ ඉන්නේ ය. එතුමෝ මහ මග දී කඩ සාප්පුව ක දී අපට මුණ ගැසෙති. සමහර විට ඒ මුදල් ගෙවීමට නියමිත කවුන්ටරයට යන පෝලිමේ දී බඩු මල්ලකුත් සමග ය.

මූට නම් ඔල්මාද යැයි කියමින් දැන් නැගිටින්නට හදන්නේ මෙතෙක් කල් ඉවසා ගෙන හිටි බුද්ධිමත් ම ජනතාව ය. ඒ කියන්නේ සිහිනය තවදුරටත් නොදැකිය යුතු බව ය. දැක්කත් පිස්සෙකු වගේ ඒ ගැන කියවන්නේ නැතුව එය තමන්ට ම සීමා කර ගත යුතු බව ය.

රටතොට ගිය ඇත්තෝ තවමත් සාවධානව මගේ සිහිනය අසා සිටිති. සමහරු වෙන රටවල නායකයින් සයිකල්වලින් දුම්රියෙන් යන එන උදාහරණ සපයමින් කෝප වී සිටින බුද්ධිමතුන් අමතන්නට වෙර දරති. ඒත් මේ අදහා ගන්නට බැරි දේ කියන මිනිසාට තවදුරටත් සවන් දීමට අපේ බුද්ධිමතුන් සූදානම් බවක් පෙන්වන්නේ නැත.

සිහින පෙනෙන්න ගත්තහ ම ඉවරයක් නැත. ඒ නිසා ම කලබල මැද්දේ ම හීනය තවත් ඇදී ආවේ ය.

එතුමා මුදලට ගත නොහැකි ය. කවදාවත් අනෙත් පැත්තට අඩිය තියන්නේ නැති බවට සපථ කොට පසු දා එලිවෙන කොට අනිත් පැත්තට පැන ගෙන ජනතාවගේ ඉල්ලීම මත එසේ පනින්නට හේතු වුන බවට කෙබර ඇද බාන්නේ නැත.

එතුමා ප්‍රතිපත්තිගරුක ය. අද එක ප්‍රතිපත්තියක් ගැන කතා කර හෙට තව ප්‍රතිපත්තියකට චන්දය දෙන්නට ඔහු ඉදිරිපත් නොවේ.

එතුමා නීති ගරුක ය. වැරදි නීති තිබෙන්නේ නම් ඒවා කඩනවා වෙනුවට ඒ නීති වෙනස් කිරීමට ඔහු ඉදිරිපත් වේ.

ඔහුට අවශ්‍ය රටේ සියළු තීරණ, දත්ත හා තොරතුරු මත පදනම්ව ගන්නට ය. බහුතර යහපතට අනුව ගන්නට ය. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් හා ආයතනික යාන්ත්‍රණ ගොඩ නගන්නට ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සම්මුති ගොඩ නගන්නට ඔහු කැමති ය. ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කොට තමන් එයින් ඉවත්වන්නට ඔහුට වුවමනා ය.

හරිදේට පක්ෂ, පාට නෑ

කිසිදු නායකයෙකු ඉදිරියේ වැඳී නොවැටෙන ඔහු, වැරැද්ද කවුරු කළ ද වැරැද්දක් බව කීමට නොබිය ව ඉදිරිපත් වේ. හරි දේ වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද ඒ පුද්ගලයාගේ පක්ෂ පාට බලන්නේ නැතිව ඔහු සමග ඒ කාරණය සම්බන්ධයෙන් එක් වේ.

ඔහු හෙංචයියන් අගය නොකරයි. සත්‍යය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින නිර්භීත මිනිසුන් අගය කරයි. ඔහු ගන්නේ ද යුක්තියේ සාධාරණත්වයේ පැත්ත ය.

ඒ කියන්නේ සමහර විට ඔහු අපේ පැත්ත නොගැනීමට වුව ඉඩ ඇතැයි කියා ය. මොකක්? අපේ පැත්ත නොගන්නා එකෙකු සමග මොන පයුරු පාසානයක් ද? අඳෝමැයි. පරණ දේශපාලනඥයා හොඳටම හොඳ ය. දැන් මට ද හිතෙන්නේ හීනය දුර ගියා වැඩිය කියා ය.

මේ කපේ දී රට ගොඩ ගන්නට වන්නේ නැත. රට ගොඩ ගන්නේ කුමට? මා ගොඩ ගියා නම් හරි ය. එයට ගැම්මක් දේශපාලනඥයාගෙන් ලැබේ නම් තවත් සිහින දකින්නේ මන් ද?

මායි මගේ ගෑණියි පොල් මුදලාලියි හිටියොත් ඇති ය. වත්තේ පොල් කඩා අප විකුණන්නේ මුදලාලිට ය. ගෙදරට ඕනෑ කරන දේ ගන්නේ පොල් මුදාලිලාගේ කඩෙන් ය. එහෙම බැලුවහම ලොකු අපේක්ෂා අවශ්‍ය ම නැත. පොල් මුදලාලිට හොඳ දේශපාලනඥයා ඒ නිසා මට ද හොඳ ය. ඒ මගේ සිහින දේශපාලනඥයා ය.

කඩවුණු විශ්වාසය

අන්න මේ දවස්වල පොල් ගන්න බෑ කියල මුදලාලි කියන්නෙ. මගේ සිහිනය බිඳි ගියේ එකවර ම ය. ඒ බිරිඳගේ කට හඩෙනි. මොකද? ඒක පුදුම කතාවක් නෙ. ඒ මගේ ප්‍රශ්නය ය. නැතිනම් ප්‍රතිචාරය ය.

විස්වාස නැත්නම් ගිහිල්ල අහන්න. වරාය ස්ට්‍රයික් ලු. ඒ නිසා කොප්පරා රට පටවන්නෙ නැහැල්ලු.

මදෑ කොළා.

ඒ නම් මදෑ. ඉස්සරහට ණයට බඩු දෙන්නත් බැරි වේය කිව්වෙ.

ඒ මොකද?

කඩේ බඩු වැඩි හරිය වරායෙන්ලු එන්නෙ. සල්ලි දෙන අයට දීලලු ණයට දෙන්න වෙන්නෙ.

පොල් මුදලාලි විතරක් ඉඳලා බැරි ය. රටම ලෝකයම තියෙන්න ඕනෑ ය.අද තිබිලා මදි ය. හෙටත් තියෙන්න ඕනෑ ය. මට කරලා මදි ය. ලෝකෙට ම කරන්න ඕනෑ ය. එහෙම කරන්න ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙකු ඕනෑ ය.

නැවතත් මගේ සිහින දේශපාලනඥයාගේ සිහිනය නැතිව බැරි බව මට පසක් වෙන්නේ ය. හෙට අනිද්දා ම ඔහු මේ පොළෝතළය මත ගොඩ නගන්නට බැරි වුණොත් කාලා හමාර ය.

මගේ සිහිනය, සිහින දේශපාලනඥයා පිළිබඳ සිහිනය, මට දකින්න ඉඩ හරින්න. අප හැමදාමත් කියන පරිදි සැබෑ වන්නේ දකින හීන නිසා ය.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *