|

මහින්ද දෙපැත්තට පැනීමේ රහස ‍එළියට

 

පසුගිය දිනවල බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තුබූ කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නගන්නට හැකිවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුටින් සිටියද එහි කටයුතු ගැන දිගින් දිගට සොයා බැලීමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය සඳුදා ඒ පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූයේ අදාළ සියලු නිලධාරින්ගේ සහභාගිත්වයෙන්. කොළඹ පමණක් නොව රටේ සියලු පළාත්වල හා පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය සඳහා ක්‍රියාත්මක ස්ථිර වැඩ පිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය එහි අරමුණ වුණා.

අගමැති රනිල් වික්‍රමසිංහ හා පාඨලී චම්පික රණවක, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ‍ෆොන්සේකා යන ඇමැතිවරුන් හා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාද එයට සහභාගි වී සිටියා. එහිදී ජනාධිපතිතුමාගේ උපදේශය වුණේ සියලු පළාත්වල කසළ කළමනාකරණය විධිමත් කිරීමේ වැඩ පිළිවෙළ වසරක් තුළ ක්‍රියාවට නඟා අවසන් කළ යුතු බවයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනාධිපතිතුමා සහභාගි වූයේ පසුගිය බදාදායි. එහිදී නිලධාරින් මතුකළ ප්‍රශ්නයක් වූයේ පොලිතින් තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයයි. එයට ඇතැම් පොලිතීන් නිෂ්පාදකයන්ගෙන් මතුවී තිබෙන විරෝධය මෙන්ම විකල්ප වැඩ පිළිවෙළක් නොමැතිවීම ගැනද සාකච්ඡා වුණා. ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේ ඇස්බැස්ටෝස් හා දුම්කොළ තහනම් කිරීමට පියවර ගත්තා සේම පොලිතින් තහනම් කිරීමටද රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව හා එය කිසිසේත් ආපසු නොහරවන බවයි. රජයේ එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා.

පන්නිපිටිය ශ්‍රී ධර්ම විජයාලෝක විහාරයට මියන්මාර දේශයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයටද ජනාධිපතිතුමා සහභාගි වුණා. ඒ ජනාධිපතිතුමා නිතර හමුවී අවවාද අනුශාසනා ලබා ගන්නා ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්ගේ ආරාධනාවකට අනුවයි. එහිදී ජනාධිපතිතුමා බොහෝ දෙනා නොදැන සිටි කාරණයක් හෙළිදරව් කළා.

එවකට ඇමැතිවරයකු ලෙස සිටි තමා 2007 දී මියන්මාර දේශයට ගොස් මෙබඳුම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙරටට වැඩම කරවීමට කටයුතු සූදානම් කළ බව ජනාධිපතිතුමා කීවා. හම්බන්තොට වරාය විවෘත කළ පසු එහි පැමිණි ප්‍රථම නැවෙන් එම බුද්ධ ප්‍රතිමාවහන්සේලා මෙරටට වැඩම කළ බව ජනාධිපතිතුමා කීවා. මියන්මාරයත් ශ්‍රී ලංකාවත් අතර පවතින ඓතිහාසික මිතුදම හා බුදු පිළිම වහන්සේලා වැඩම කරවීමේ ඉතිහාසයද ජනාධිපතිතුමා සිහිපත් කළා. විජයදාස රාජපක්ෂ , දයා ගමගේ ඇමැතිවරුන්ද බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාද ඇතුළු පිරිසක් රැස්වීමට එක්ව සිටියා.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ද උණුසුම් මුහුණුවරක් ගත්තේ පසුගිය රජයේ දූෂණ වංචා සෙවීමේ පරීක්ෂණ ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කර නොගැනීම ගැන මැති ඇමැතිවරුන් ගණනාවක් ප්‍රශ්න කිරීම හේතුවෙන්. අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට තවත් මහාධිකරණ කිහිපයක් ඇති කිරීමට එහිදී යෝජනා වුණා. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කීවේ අලුත් අධිකරණ ඇති කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවයි. එම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර දෙන්නේ නම් දූෂණ විභාග සඳහා නව අධිකරණ පිහිටුවීමට සූදානම් බව විජයදාස රාජපක්ෂ මහතා කීවා. රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ අලුත් අධිකරණ අවශ්‍ය නැති බවත් තියන අධිකරණ ක්‍රමය තුළ තවත් උසාවි කිහිපයක් පිහිටුවීම කළ හැකි බවත් ය. එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

රටේ සියලු ප්‍රධාන ආර්ථික කටයුතු මෙහෙයැවීම සඳහා ජාතික ආර්ථික සභාවක් පිහිටුවීමට යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපතිතුමා විසිනුයි. සති තුනකට පෙර ඉදිරිපත් කළ එම යෝජනාවට මෙවර අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමේදී අනුමැතිය ලැබුණා. ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් තුමා සමග සාකච්ඡාකොට ජාතික ආර්ථික මණ්ඩලය සඳහා වන ව්‍යූහය හා නීතිමය රාමුව සකස්කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ජනාධිපතිතුමා එදිනම නියෝග කළා. මෙය ඉතා ඉක්මනින් පිහිටුවීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. එය කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට වග කියන සභාවක් විය යුතු බව පිළිගෙන තිබෙනවා.

කසළ කළමනාකරණය පිළිබඳ තවත් වැදගත් අවස්ථාවකට ජනාධිපතිතුමා ඊයේ එක් වුණා. එනම් කරදියාන කසළවලින් විදුලිය නිපදවීම සඳහා වන ව්‍යාපෘතියයි. එයට ජනාධිපතිතුමා අතින් මුල්ගල තබනු ලැබුවා. මීට පෙර දසක ගණනාවක් තිස්සේ කසළ වලින් විදුලිය නිපදවීම ගැන කතාකොට තිබුණද ඒ කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුණේ නැහැ. ඊයේ ආරම්භ වූයේ එබඳු ප්‍රථම ව්‍යාපෘතියයි. තවත් මෙබඳු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා ගත කළේ නුවරඑළියේ. බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමඟ නුවරඑළිය ගිය අගමැතිවරයා ‍එදින හෝර්ටන් තැන්නටත් ගියා. පාසල් නිවාඩුව මෙන්ම සති අන්තයක්ද වූ හෙයින් ලෝකාන්තය නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් හෝර්ටන් තැන්න පිරී ගොස් තිබුණා. කු‍ඩා ලෝකාන්තය තෙක් නැගුණු අගමැතිවරයා දුටු දේශිය සංචාරකයන් විස්මයටත් සතුටටත් පත් වුණා. ඔවුන් අගමැතිවරයා වට කරගෙන කතා කිරීමටත් අගමැතිවරයා සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමටත් තිබූ උනන්දුවෙන් එය පෙනී ගියා. හෝර්ටන් තැන්න ආශ්‍රිතව සංචාරකයන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු ගැන අවධානය යොමු කර ඒවාට විසඳුම් ලබා දෙන බව අගමැතිවරයා එහි සිටි අයට පැවසුවා. වික්‍රමසිංහ මහතා පැයක් පමණ හෝර්ටන්තැන්නේ ගත කළා.

අගමැතිවරයාගේ දේශපාලන දිවියේ හතළිස් වසර සම්පූර්ණ වීම නිමිත‍්තෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සංවිධානය කළ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති විශේෂ ආගමික වතාවත්වලටද පසුවදා අගමැතිවරයා සහභාගි වුණා. දහවල් සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමුණා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහනා හිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් ප්‍රමුඛ උභය මහා විහාරීය අනුනායක හිමිවරු සිව්නම ඇතුළු මහා සංඝරත්නය මෙම දානමය පිංකමට සහභාගි වුණා.

එහිදි අනුශාසනාවක් සිදු කරමින් නි‍යංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පැවසුවේ දේශපාලන භූමිකාව තුළ ඉවසීම හා ධෛර්ය නිරතුරුව ප්‍රකට කළ රනිල් වික්‍රමසිංහ මහතා සෑම විටම බුද්ධිමත්ව තම අදහස් පළ කළ බව සියලු දෙනා පිළිගන්නා බවයි.

අගමැතිවරයා මෙ‍හිදි මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ ආර්.ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා විසින් ශ්‍රී දළදා මාලිගාවට ඉහළින් ඉදි කළ රන් වියන මහ නාහිමිවරුන්ගේ අනුශාසනා ලබා ගෙන ප්‍රතිසංස්කරණය කරන බවයි.

17 දා උදේ වරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරි‍කොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ‍මෙම රැස්වීමේ න්‍යාය පත්‍රයට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභං‍ග යෝජනාව ගැන විශේෂයෙන් සඳහන් වී තිබුණේ නැහැ. කාලීන දේශපාලන කටයුතු සහ පක්ෂ සංවත්සරය ගැන සාකච්ජා කිරීමට නියමිත තිබුණා. වෙනත් කරුණු යටතේ කවුරුන් හෝ මෙම විශ්වාසභංගය ගැන මතු කළහොත් සාකච්ජා වීමේ ඉඩකඩ තිබුණා. පැය දෙකක් තිස්සේ විජයදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය ගැන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් විවේචනය කළ බවයි වාර්තා වන්නේ. එසේම නීති පද්ධතිය ඉක්මන් නොවීම පිළිබඳවද රාජපක්ෂ මහතාට විරෝධතා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් පක්ෂයේ සාමුහික වගකීම කඩ කරන මැති ඇමතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට ලබන සඳුදා රැස්වන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට පැවරීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළා.

17 දා තවත් වැදගත් අවස්ථාවකට අගමැතිවරයා සහභාගි වුණා. අගමැතිවරයාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂි අවස්ථා විවරණය කෙරෙන “හෙට දකින රනිල්” නමැති ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත කෙරුණා. එහිදි ජනාධිපතිවරයා අගමැතිවරයා සමගින් ප්‍රදර්ශන භූමියේ ඇවිදිමින් අගමැතිවරයාගේ දේශපාලන දිවියේ සමරු සටහන් බැලුවා. මෙම ප්‍රදර්ශනය 20 දා දක්වා මහ ජනතාව සඳහා විවෘතව තැබෙනවා.

ඉකුත් සති අන්තයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියකුලම් වෙත ගියේ 36 වැනි උදා ගම්මානය වන “වල්ලූවර් කෝට්ටම්” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහායි. සජිත් සමඟ මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් දෙදෙනකුද සහභාගී වුණා. එනම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විදානගේ සහ රෝහිණී කවිරත්නයි. අමුත්තන් දෙදෙනා සජිත්ගෙන් ඇසුවේ ගම්මානයට “වල්ලූවර් කෝට්ටම්” යයි නම් කළේ මන්ද කියායි. “ඒකට ලොකු අතීත කතාවක් තියෙනවා. දෙමළ සාහිත්‍යයේ මුදුන් මල්කඩ හැටියට සැලකෙන “තිරුක්කුරල්” ග්‍රන්ථය රචනා කළේ මීට අවුරුදු 2,000 කට විතර කලින් දකුණු ඉන්දියාවේ ජීවත් වුණු ‘තිරු වල්ලූවර්’ නමැති පඬිවරයායි. එතුමාට ගරු කිරීමක් හැටියට ජනතාවගේත් කැමැත්තෙන් අපි මේ ගම ‘වල්ලුවර් කෝට්ටම්’ කියා නම් කළා’ සජිත් පැහැදිලි කළා. හේෂා සහ ‍රෝහිණී කීවේ “දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුණු උතුමකුගේ නමින් මේ ගම්මානය නම් කිරීම ජාතීන් අතර එකමුතුකමට, සංහිඳියාවට හේතු වේවි” කියායි. “අපි මේ දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන ගණනාවක්ම ඉදිකරගෙන යනවා” යි සජිත් කීවා.

සජිත්ගේ ඊළඟ වැඩසටහන පැවැත්වුණේ යාපනය නගර ශාලාවේදී “ශිල්ප සවිය” වැඩසටහන යටතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉදිකිරීම් කර්මාන්ත පුහුණුව සඳහා තෝරාගත් තරුණයන් 400 දෙනකුට වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්කට්ටල සහ විෂයානුබද්ධ පෙළ පොත් ප්‍රදානය කිරීම එහිදී සිදුවුණා. මෙම අවස්ථාවට විජයකලා මහේෂ්වරන් – ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනිය සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධීරාජා ද එක් වී සිටියා. ඔවුන් දෙදෙනාම කී‍ෙව් සිය ප්‍රදේශවල ක්‍රියාත්මක වන නිවාස වැඩසටහන් ගැන තමන් සතුටු වන බවයි.

සයිටම් ආයතනය පිළිබඳව දැනට මතු වී තිබෙන තත්ත්වය ගැන ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු වුණා.”ඇත්තටම ආණ්ඩුව සයිටම් ආයතනය නීත්‍යානුකූල කරගන්න හදන්නේ විදේශීය ආයෝජකයින් දිහා බලාගෙනයි සයිටම් නීත්‍යානුකූල කරගත්තොත් ආණ්ඩුවට ආයෝජන විදියට විදේශ විශ්වවිද්‍යාලවලට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව සයිටම් ආයතතනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානමින් ඉන්නේ” විජිත හේරත් කීවා. ආණ්ඩුව සයිටම් රෝහල පවරාගත් ආකාරයත් රටම මුළා කරපු එකක්, ඒකට අදාළ නීත්‍යානුකූල ගිවිසුමක් නැහැ.ආණ්ඩුවේ සල්ලි දාලා දැන් පවත්වාගෙන යනවා රාජිතගේ වුවමනාවට හැමදේම කරනවා, ජනාධිපතිවරයා බලාගෙන ඉන්නවා.පහුගිය දවස්වල රවී කරුණානායකගෙ ප්‍රශ්නය නිසා සයිටම් සටන ගැන අවධානය අඩු වුණා. නමුත් මේ සටන ඉදිරියට ගෙනියන්න ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියා. සයිටම් විරෝධී ජන පවුරෙහි ජවිපෙ නියෝජිතයා ලෙස කටයුතු කරන ලාල්කාන්ත ඉදිරි පියවර පිළිබඳව ජන පවුර එළඹී ඇති තීරණ සම්බන්ධයෙන් ජවිපෙ නායකයන් දැනුවත් කළා.

ආණ්ඩුව විසින් සිදුකිරීමට යන සමෘද්ධි කප්පාදුවක් පිළිබඳව පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ දී විශේෂ අවධානයක් යොමු වුණා.ආණ්ඩුවේ ඇමතිවරුන් එහි දී කියා සිටියේ සමෘද්ධි කප්පාදුවක් සිදුකිරීමට කිසිසේත්ම ආණ්ඩුව කටයුතු නොකරන බවයි. නමුත් ආරංචි පැතිර යමින් තිබුණේ දේශපාලන බලපෑම් ලෙස ඇතැම් සමෘද්ධිලාභීන්ගේ දීමනාව අහෝසි කිරීමට ගම්මට්ටමින් වැඩපිළිවෙළක් දියත් වන බවයි. මේ සිදුවීමට ආණ්ඩුව අභ්‍යන්තරයේ දී බරපතළ විරෝධයක් පැන නැගුණු අතර ආණ්ඩුව කිසිදු කප්පාදුවක් නොකරන බවට පසුගිය 16වැනිදා එස්.බී. දිසානායක ඇමතිවරයාට ප්‍රකාශයක් කළා.

මේ පිළිබඳව සත්‍ය කරුණු සොයා බැලීම සඳහා විජිත හේරත් මන්ත්‍රීවරයා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේගෙන් විමසීමක් කළා. ඇමතිවරයා මේක සමීක්ෂණ කණ්ඩායමකට භාරදුන්නා. ඇත්තටම ඒ අය කරපු සමීක්ෂණය අනුව සමෘද්ධි කපන්න තමයි දත්ත එකතු කළේ. සමෘද්ධිය කප්පාදු කරන්න පුළුවන් හැම දෙයක් ගැනම හෙව්වා. අන්තිමට පක්ෂවලින්, ජනතාවගෙන් විරෝධය ආවාම ඇමැති ඒකේ වගකීම සමීක්ෂණ කණ්ඩායම පිට පැටෙව්වා. ඇමතිම කිවුවේ සමීක්ෂණ කණ්ඩායම වැඩේ වැරැද්දුවා කියලා. මේකේ ලොකුම ප්‍රශ්නය වියදම් කරපු මුදලයි. රු. කෝටි 13ක් සමීක්ෂණයට වියදම් කරලා තියෙනවා. දැන් අන්තිමට ඒ වියදම් කරපු සල්ලි ගඟට කපපු ඉණි වගේ. මේ මුදල් ටිකත් සමෘද්ධිලාභීන්ට දෙන්න තිබුණ මුදල්” සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කරුණු විස්තර කළා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සමඟ දයා ගමගේ ඇමතිවරයා මීට පෙර පැවැති සාකච්ඡාවක දී ගම්මිරිස් ගොවියන්ට සහන ලෙස ගම්මිරිස් කිලෝව රුපියල් 900ක මුදලට මිල දී ගැනීමට එකඟතාවය පළකළා.නමුත් සති දෙකකට වැඩි කාලයක් ඉක්ම ගියද එම පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූයේ නැහැ. මේ සමඟ ගොවිජන සම්මේලනය පසුගිය හතරවෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ දින 10ක් ඇතුළත මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාර නොදක්වන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ සමඟ ඇමතිවරයා පසුගිය 14වෙනිදා සාකච්ඡාවක් ලබාදීමට තීරණය කළා. මෙම සාකච්ඡාව සඳහා ගොවිජන සම්මේලනය ගම්මිරිස් ගොවියන් මෙන්ම මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බුලත් ගොවියන්ද සහභාගි කරවා ගත්තා.

“ඇමතිතුමා අපිට පොරොන්දු වුණා ගම්මිරිස් කිලෝවකට 900ක් දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව මිල දී ගන්නවා කිව්වා. ඒත් පොරොන්දු ඉටු කළේ නැහැ” සාකච්ඡාවේ දී නාමල් කරුණාරත්න කියා සිටියා. “ආණ්ඩුවට මිල දී ගන්න බැහැ.ප්‍රශ්න තියෙනවා ඒ නිසා අපි එක ගොවියෙකුට කිලෝග්‍රෑම් 200ක් දක්වා සහනයක් දෙන්නම්. ඒ ප්‍රමාණය වෙළෙන්දන්ට විකුණනවිට රු.900 දක්වා හිඟ මුදල් ආණ්ඩුවෙන් ගෙවන්නම්.” ඇමතිවරයා කීවා. නමුත් මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නිසා ගොවියන් එයට එකඟ වුණේ නැහැ.ඉදිරියේ දී ආණ්ඩුව මැදිහත්වී ගම්මිරිස් මිල දී ගන්නාතුරු සටන් කරන බවට ගොවීන් තීරණයකොට තිබෙනවා.

රවි කරුණානායක ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් භාරදුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ව අනුමැතියකින් තොරවයි. ඒ ගැන විමසූ මුල් අවස්ථාවේ රාජපක්ෂ මහතා කීවේ එයට ඡන්දය නොදෙන බවයි. එසේ වුවද තම කණ්ඩායමේ බලපෑම නිසා පසුව එය වෙනස් කරගත් ඒ මහතා කීවේ ආණ්ඩුවට විරුද්ධ ඡන්දයක් ලෙස තම ඡන්දය ලබාදෙන බවයි. මන්ද රාජපක්ෂ මහතා මෙලෙස හැසුරුණේ මන්ද යන්න මේ වනවිට පැහැදිලි වෙමින් තිබෙනවා. එයනම් රවිට එරෙහි දෝෂාභියෝගයෙන් පසුව රාජපක්ෂ පවුලේ වංචා, දූෂණ හා අපරාධ ගැන මෙතෙක් කල් යමින් තිබූ ක්‍රියාමාර්ග වේගවත් වීමයි. දැන් එම තත්ත්වයට මුහුණ දීමට මහින්ද රාජපක්ෂ මහතාටත් එම පවුලේ අයටත් සිදුව ඇති බව පෙනෙන්නට තියෙනවා.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අවස්ථා දෙකකදී දැනුම් දුන්න ද පැමිණියේ නැහැ. අවසන් වරට දින දී තිබුණේ 15දායි. එදින ශිරන්ති මහත්මිය එහි ගියේ මහින්ද රාජපක්ෂ මහතා සමඟයි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මෙන්ම ආධාරකරුවන් පිරිසක් ද එහි ගොස් සිටියා. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදින්ද එහි සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කරනවිට එහි සිටීමට තමන්ට හා නීතිඥයන්ට ඉඩදෙන ලෙසයි. නිලධාරින් එය ප්‍රතික්ෂේපකොට කීවේ ඔවුන්ට රැඳී සිටීමට වෙනම ස්ථානයක් ලබාදෙන බවයි. එලෙස රහස් ‍පොලිසියේ මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටියදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කටඋත්තරය සටහන් කර ගැනීම සිදුවුණා.

ශිරන්තිගෙන් කටඋත්තර ගැනීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා රහස් පොලිසියේ නිලධාරින්ගෙන් විමසුවේ එදින ශිරන්තිව අත්අඩංගුවට ගැනීමට තීරණයකොට තිබේද යන්නයි. එසේ තීරණයක් ගෙන නැති බවත්, එය තීරණය වන්නේ කටඋත්තර ගැනීමෙන් පසුව බවත් නිලධාරීන් පැවසුවා.

මෙදින ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් ‍විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියද මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමඟ වැඩි කාලයක් ගත කළේ නැහැ. එයට හේතුව එතැන තිබූ වෙනත් තත්ත්වයන් නිරීක්ෂණය වීමයි. එනම් තම ආධාරකරුවන් මෙන්ම නොහඳුනන වෙනත් පිරිසක් ද එහි සිටීමයි. ඒ අය පැමිණ සිටියේ රජයේ බුද්ධිඅංශවලින්, රාජපක්ෂවරුන්ගේ ආධාරකරුවන් සමඟ හරිහරියට විවිධ බුද්ධි අංශවල පිරිසක් එහි රැඳී සිටියා.

ගොසිප්ලන්තය

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *