අපේ සිහින මාධ්‍ය – නිශාන්ත කමලදාස

 

 මාධ්‍ය සතුව ඇති වගකීම මතු කර පෙන්වන්නේ එය රටක සිව්වැනි ආණ්ඩුව යැයි කියන කියමනෙනි. එහෙත් අපේ ආණ්ඩු මෙන්ම එය ද කරන්නේ ජනතාවට මග පෙන්වනු වෙනුවට ජනතාව පසු පස යෑම ය. ජනතාවගේ ඉතාම පසුගාමී අදහස් පසු පස යෑම ය. ඒවා පෝෂණය කිරීම ය. ඒවාට තව තවත් ආරළු බුරළු එක් කිරීම ය. ඒ හරහා රේටින් වැඩිකර ගැනීමට ය. ජනප්‍රියත්වය නැතිනම් මනාපය ලබා ගැනීම ය.

අඳුරෙන් එලියට ගන්නට සමත් මාධ්‍ය විසින් මිනිසුන් අඳුරට ම තල්ලු කර දමන්නේ ය. ඉන්නා අඳුර, මහා නිධානයක් සේ දක්වන විට එයට කම්මැළියන් කැමති ය. ඒ තමන්ගේ වෙනස් කරන්නට දෙයක් නැති නිසා ය. වෙනසක් කරන්නට වෙහෙසක් දරන්නට සිදු නොවන නිසා ය. මිනිසුන් බහුතරය කම්මැළිය. වෙනස් වීමට අකමැති ය. ඉතින් තමන් ඉන්නා තැන ලොව අග්‍රම තැන ලෙස අර්ථ දක්වන කල එයින් සතුටට පත් වීම ස්වභාවික ය. සතුටට පත් කිරීම මනාපය දිනා ගත හැකි පහසු මගකි. අවුරුදු 18-25 ත් අතර තරුණ ජනගහණයෙන් 60% ක් හොඳින් හෝ නරකින් රටින් පැනීමට සපථ කළ රටක් ලෝකෙන් උතුම් රට බවට පත් වන්නේ ඒ අනුව ය.

එයින් නොනැවතී සමහර මාධ්‍ය ජනතාවට අල්ලස් ද දෙන්නේ ය. ඇහැව්වත් සල්ලි අහනවා කියල කිව්වත් සල්ලි ලැබෙන්නේ ඒ අනුව ය. ඇතැම් තැනක අල්ලස රත්තරනෙනි. තවත් තැනක එය බඩු මල්ලකි. තවත් තැනක බිල් ගෙවීමට ඉදිරිපත් වීමෙනි. ඒ කුමක් වුව ද මේ සියල්ලන් කියන්නේ දෙන තෑගි සඳහා මිසක මේවායේ ගන්නට එතරම් දෙයක් නැති බව ය. වටිනා දෑ මිනිසුන් හොයා යන්නේ තමන් අතින් ගෙවලා ය. මේ එහි අනිත් පැත්ත ය. කැමැත්ත ගන්නා පළමු ක්‍රමය මිනිසුන් ඉල්ලන දේ දීම වන විට දෙවන ක්‍රමය තෑගි දීම වී තිබෙන්නේ එලෙස ය.

නොදැනෙන අල්ලස්

එහෙත් ලංකාවේ බහුතරයකට එය අල්ලසක් ලෙස දැනෙන්නේ නැත. දෙවියන්ට පඩුරු ඔප්පු කර යහපතක් යදින මිනිසුන්ට අල්ලස නුහුරු දෙයක් නොවේ. අකැප දෙයක් නොවේ. අල්ලස දීම හෝ ගැනීම ලජ්ජාවට කරුණක් ද නොවේ. දෙන එක්කෙනා දෙනවා ය. ගන්න එක්කෙනා ගන්නවා ය. ඉතින් අපට මොකෝ යනුවෙන් නොදෙන නොගන්නා අයත් හිතන තත්වයට පත් වී ඇති නිසා ඒ ගැන තවත් කතා කරන්නට දෙයක් ද නැත.

මේ උපාය මාර්ගයන් දෙක වෙනස් නොවන තාක් අපට මාධ්‍ය වලින් වැඩි යමක් අපේක්ෂා කළ නොහැකි ය. මාධ්‍ය නම් පහසුවෙන් වෙනස් වන්නේ නැත. වෙනස් විය යුත්තේ ජනතාව ය. ඔවුන් හොඳ දේ ඉල්ලන්නේ නම් මාධ්‍ය ඒ සඳහා කැප වෙනු ඇත්තේ ය. ඔවුන් අල්ලස ප්‍රතික්ෂේප කරන්නේ නම් මනාපය ලබා ගැනීමට මාධ්‍ය ආයතනවලට මහන්සි වීමට සිදු වන්නේ ය. මේ වෑයම ඒකට ය. ජනතාව වෙනස් කිරීමට ය. මාධ්‍ය වලින් ලැබෙන කුඩා ඉඩක් හරහා එය ඉටුකර ගැනීමට ය.

අප හිතන්නේ මාධ්‍ය ආයතන තොරතුරු බෙදීම සිය මෙහෙවර ලෙස තබා ගෙන ඇති බව ය. ඇත්ත කතාව එය අතුරු අරමුණක් වඩාත් නිවැරදිව කියන්නේ නම් ප්‍රාථමික අරමුණ ජය ගැනීම සඳහා තිබෙන එක් උපාය මාර්ගයක් පමණක් බව ය. බොහෝ මාධ්‍ය ආයතන වල හැසිරීම නිරීක්ෂණය කරන විට පෙනෙන්නේ ඒවායේ මුඛ්‍ය අරමුණ මාර්කටින් බව ය. ඔවුන් කරන්නේ ව්‍යාපාරිකයන්ට සිය කටයුතු වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය මාර්කටින් කාර්යය ඉටු කර ගැනීම සඳහා වේදිකාව සපයා දීමක් බව ය. ඇත්තටම මාධ්‍ය ආයතන වල ප්‍රධාන සේවා ලාභියා තොරතුරු සොයන ග්‍රාහකයා නොවේ. දැන්වීම් පළ කරන ව්‍යාපාරිකයා ය. ග්‍රාහකයා රඳවා ගැනීම අවශ්‍ය ව්‍යාපාරිකයා එන්නේ ග්‍රාහකයා ඉන්නා තැනට බැවිනි. ඒ නිසා ම මාධ්‍ය ආයතන වඩාත් කැමති ව්‍යපාරිකයාට වග කියන්න ය. ඒ සීමාව තුළ පමණක් ග්‍රාහකයා නඩත්තු කිරීමට ය.

ඒ නිසා ම බොරුව ජීවිකාව කර ගෙන යන ව්‍යාපාරිකයාට ද මේ බොහෝ මාධ්‍ය තුළ ඉඩක් තිබේ. එහෙම කිව්වොත් හරි මදි ය. ඇත්තටම මාධ්‍ය වල වැඩි සැළකිල්ලට ලක්වන්නේ ඔවුන් ය. ඒ වඩාත්ම දැඩි ලෙස මාධ්‍ය භාවිතා කරන්නේ ඔවුන් වන බැවිනි. යම් ප්‍රයෝජනවත් භාණ්ඩයක් හෝ සේවාවක් විකුණන ව්‍යාපාරිකයෙකු දැන්වීමකට වියදම් කරන මුදලට වඩා විශාල මුදලක් ගෙවමින් විශාල කාලයක් වෙන් කර ගන්නේ වැඩි මහන්සියක් නොවී මුහුදෙන් අහුලා ගන්නා වාලම්පූරියක්, තඹයක් නොවටිනා තඹ සුරයක් හෝ ජීවම් කළේ යැයි කියන නිකම් නූලක් විකුණන ඔවුන් වන බැවිනි.

වාර්තාකරණයේ “නිර්මාණශීලිත්වය”

ඔවුන් වෙනුවෙන් මිත්‍යාව නඩත්තු කිරීමේ වගකීම මාධ්‍ය ආයතන විසින් බාර ගැනීම සම්බන්ධයෙන් පුදුම හිතෙන්නට දෙයක් නැත්තේ ඒ නිසා ය.

මේ වුවමනාව මිනිසුන් සතු සහජ දුර්වලකමක් සමග අවියෝජනීය ලෙස බැඳී පවතී. ඒ අස්වාභාවික සිදු වීම් පස්සේ හඹා යෑමට මිනිසාට ඇති කුතුහලය ය. තනි කඳක් සහිත ව අප සාමාන්‍ය යෙන් දකින පොල්ගසේ දෙබලයක් ඇති වීම නැතිනම් එහි කඳ තුන හතරට බෙදී තිබීම අප හැම දෙන එවැන්නක් දෙස නැවත බලන්නට පොළඹවන අරුමයකි. අප පුදුම කරවනු ලැබීමට කැමති ය. ඉතින් රසවත් පුනරුප්පත්ති කතාවක් ගොඩ නැගිය හැකි නම් එය පුවත් පතක පළවන කෙටි කතාවකට වඩා ආකර්ෂණය දිනා ගත හැකි එකකි. එවිට සිදු වන්නේ ඒ කතාවේ අඩුපාඩු සකස් කර කපා කොටා දිස්නය දෙන ලෙස ඉදිරිපත් කිරීම ය. ඒත්තු ගන්වන ලෙස ඉදිරිපත් කිරිම ය. අවශ්‍ය කුඩා නිමිත්තකි. හෝඩුවාවකි. ඉතිරි ටික තියෙන්නේ වාර්තාකරුගේ නිර්මාණශීලිත්වය තුළ ය. බොරුව ඇත්ත කිරීමට සමත් නිර්මාණශීලිත්වය තුළ ය.

කිසිදු පර්යේෂණාත්මක කටයුත්තක් නොකර ම ඩෙංගු පිළිකා ඇතුළු අලුත් රෝග පවා සුවපත් කරන විධික්‍රම දන්නා දේශීය වෛද්‍යවරුන් පත්තර පිටු අතරින් බිහිවන්නේ ද ඒ පුදුමයට ඇති අපේ කැමැත්තට ඉඩ දෙමින් ය. රෝගීන් අමාරුවේ වැටුනාට කමක් නැත. අනුග්‍රාහකයන් පිනවන අතරේ ග්‍රාහකයන් ද රඳවා ගත හැකි නම් ඒ ඇති ය.

ව්‍යාපාරිකයෝ විවිධ ය. ඇතැම් අය විකුණන්නේ භාණ්ඩ හා සේවා ය. තවත් අය විකුණන්නේ මනාපය ය. දෙවැන්නන් ව්‍යාපාරිකයන් වුව ද අපි ඔවුන් හඳුන්වන්නේ දේශපාලනඥයින් කියා ය. ඔවුන් නිල වශයෙන් මුදල් ගෙවා දැන්වීම් දාන්නේ මැතිවරණ සමයේ විතරක් වුව ද නොනිල වශයෙන් යම් යම් දේ ගෙවා ප්‍රවෘත්ති පළ කරන්නේ අතුරු කාල වකවානුවල දී ය.

ගොඩ දැමීම හා වළ දැමීම

ඇතැම් දේශපාලනඥයින් ගොඩ නැගීම පිටුපස ද ඔවුන් වල දැමීම පිටුපස ද මාධ්‍ය විශේෂ කාර්යයක් ඉටු කරමින් සිටී. ඇතැම් දේශපාලනඥයන්ට තමන්ගේම මාධ්‍ය තිබෙන්නේ ද ඒ වෙනුවෙනි. ඉතිරි අය සෙසු මාධ්‍ය හරහා තමන්ට ඉඩක් ලබා ගැනීමට ගෙවීම් කරති. ඇතැම් මාධ්‍යවලට ප්‍රවෘත්ති වන ඇතැම් දේ සමහර මාධ්‍යවලට ප්‍රවෘත්ති නොවන්නේ නැතිනම් භාග ප්‍රවෘත්ති වන්නේ ඒ නිසා ය. එළි කළ භාගයක් අපට ප්‍රවෘත්තිය දුන් බව කියන්න ය. සැගවූ භාගය තමන්ගේ හිතේෂී වන්ත භාවය ගැන කියන්න ය.

කර්තෘ කෙනෙකු නැතිව යම් යම් දේ සිදු වන බව ඇතැම් විට අප දකින්නේ මේ නිසා ය. යමක් සිදු වී ඇත. එහෙත් කළ කෙනෙක් නැත. කළ කෙනා සඟවන්නට වුවමනා ය. මා නිතර කියන කාරණයක් නම් ලංකාවේ මිනිසුන් කර්ම කාර්ක වාක්‍ය තනන්නට ඉගෙන ගත්තොත් ප්‍රමාණවත් කියා ය. ඒ බොහෝ කටයුතු සම්බන්ධයෙන් කළ කෙනෙක් නැති වීම ය.

ඇතැම් කෙනෙකු කියන්නේ ලංකාවේ ප්‍රවෘත්ති හැබෑ ලෙස දැන ගන්නට නම් එක මාධ්‍යයක් විමසා නොහැකි බව ය. මාධ්‍ය කීපයක පළවන දේ එක් කළොත් සත්‍යයට තරමක් ආසන්න ප්‍රවෘත්තියක් අපට හදා ගත හැකි බව ය. මගේ අත්දැකීම නම් එහෙම කළත් කෑලි කීපයක් තවමත් හිඩැස් ලෙස පවතින බව ය.

අපේ මාධ්‍යවේදීන් දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න අසන්නේ වොලි බෝල් ක්‍රීඩාවේ ඩෑෂ් පහරක් එල්ල කරන්නට පන්දුව උස්සා දෙන අයුරින් ය. අත දිගහැර පහර දෙන්නට හැකි සේ ය. බැට් එකට ෆුල්ටොස් පන්දුවක් දෙනවා සේ ය. දේශපාලනඥයා ඉන්පසු උඩ පැන පැන උත්තර දෙනවා දකින්නට පුළුවන.

ජනතාව ඇත්ත දැන නොගැනීමේ හේතුවෙන් පාර්ලිමේන්තුව හොරුන් වංචාකරුවන්ගෙන් පිරී ගියාට කමක් නැත. අවශ්‍ය අනුග්‍රාහක භවතුන් රැක ගැනීම ය.

ව්‍යාපාරකයින්ගෙන් තුන්වෙනි පාර්ශවය විකුණන්නේ විශ්වාසයන් ය. ඇදහිලි ය. ජාතිය ය. ආගම ය. අන් සියලු ගොඩනැගිලි සමග තරගයට මෙන් පන්සල් පල්ලි කෝවිල් ඉදිවන්නේ මේ අනුහසින් ය. අත් හැරීමට අපට බණ දෙසන අය බදා ගැනීමට තව තවත් දේ හඹා යන්නට වරම් ලබන්නේ මේ අනුහසින් ය. පිංකැටයක් අතුරුදහන් වීම මිනිසෙකු අතුරුදහන් වීමට වඩා භයානක වන්නේ ඒ නිසා ය.

ගිනි අවුළුවන වාර්තාකරණය

එකම පුවත්පත් ආයතනයකින් ප්‍රකාශයට පත් කරන සිංහල පුවත්පතක පළවන ප්‍රවෘත්තිය ඊට වෙනස් අයුරකින් එම ආයතනයේ ම ඉංග්‍රීසි පුවත් පත වාර්තා කරන්නේ මේ හැම වර්ගයේම ව්‍යාපාරිකයන් සනසාලීම සඳහා ය. ඊට අමතරව මේ එක් එක් කණ්ඩායමේ ග්‍රාහකයන් ද තමන් වෙත රඳවා තබා ගැනීම සඳහා ය. “තරුණියක් දූෂණය කළ මුස්ලිම් තරුණයා දැලේ“ ලෙස සිංහල පුවත්පතක් වාර්තා කරන විට A youth arrested for molesting a girl ලෙස එය ම ඉංග්‍රීසි පුවත්පතක පළවන්නේ ඒ නිසා ය.

මේ වාර්තාකරණය හේතුවෙන් රටේ ගිනි ඇවිලී ගියාට කමක් නැත. අනුග්‍රාහකයන් හා ග්‍රාහකයන් පිනවිය හැකි නම් කල්ල මරේ ය.

මාධ්‍ය කරන ඊළග ජාවාරම කඳුළු විකිණීම ය. දුක විකිණීම ය. අභාග්‍ය විකිණීම ය. අනුන්ගේ ඛේදවාචකය මිනිසුන්ට ආතල් ගෙනෙන්නේ ය. ඉතින් ඒවා විකුණන එක ලාභ ලැබිය හැකි කෙටි මාවතකි. සිය දිවිනසා ගැනීම් අනතුරු මිනී මැරීම් අපරාධ මේ සියල්ලට ලක් වූ මිනිසුන්ගේ කඳුළු හා ඛේදවාචකයන් ඒ අනුව විකිණේ.

මේ මාධ්‍ය හරඹයට අලුතින්ම එක් වී ඇත්තේ මූණු පොත නැමැති සමාජ ජාලා ය. නිර්ණාමිකව හෝ වෙනත් අනන්‍යතාවයකට මුවා වී ලිවිය හැකි නිසා සම්ප්‍රදායික මාධ්‍යවලට වඩා නිදහසකුත් සාහසිකත්වයකුත් බොරුවකුත් මේ හරහා වේදිකා ගත වේ. නීතියට හසු කර ගැනීම දුෂ්කර නිසා මේ මාධ්‍ය අතිශයින් භයානක වීමට ද ඉඩ තිබේ. එක තැනක පළ් වෙන බොරුවක් ඉක්මනින් තටු ලැබ ඉගිල්ලෙන නිසා ද මෙය භයානක ය.

මේ වාතාවරණය තුළ මාධ්‍යවලින් මෙහෙවරක් අපේක්ෂා කිරිම ඉබ්බාගෙන් පිහාටු පැතීම වැනි ය. එහෙත් අපි සිහින දැකීම අත් හරින්නට අකමැත්තෙමු. මක් නිසා ද යත් සාක්ෂාත් වන්නේ දකින සිහින බැවිනි. ඒ නිසා ම මාධ්‍ය ගැන අපට සිහිනයක් තිබේ.

ඒ සිහිනය තුළ මාධ්‍ය ආයතන හැම එකක් ම දැඩි ආචාරධර්ම පද්ධතියකට යටත් ව ක්‍රියාත්මක වේ. මාධ්‍යවේදීහු සිය වෘත්තීය ගරුත්වය රැකියාවට ඉහළින් සලකති. මාධ්‍ය ආයතනවල අකටයුතුකම් පිළිබඳ සංවේදී ජනතාවක් සිටින නිසා ම මාධ්‍ය ආයතන ද ආචාර ධර්මයන් ප්‍රකාශයට පත් කර ඒ අනුව කටයුතු කරති.

මිත්‍යාෙවන් බැහැරව

මිත්‍යා විශ්වාස තහවුරු කරන නිර්මාණ කිරීමෙන් මාධ්‍යවේදීහු බැහැර වෙති. ඒ වෙනුවට මිත්‍යා වීශ්වාස ප්‍රශ්න කිරීමට මාධ්‍ය හරහා වේදිකාවක් නිර්මාණය ව තිබේ.

පර්යේෂණ මත පදනම්ව සොයා ගෙන ඇති දේ ජනතාව ඉදිරියේ තබමින් ජනතාව සැබෑ ලෙස දැනුවත් කිරීමට ඔවුහු පෙළ ගැසී සිටිති. ඊනියා විද්වතුන්ගේ මති මතාන්තර නිසි සංඛ්‍යාලේඛන මතු කරමින් ප්‍රශ්න කිරීමට ද ඔවුහු කටයුතු කරති. ඒ සඳහා කියවීමට ද ගවේෂණයට ද ඔවුහු යොමුව සිටිති. කට ඇති දූ පුතුන් පමණක් නොව දැන උගත් උදවිය ද නිවේදක නිවේදිකාවන් හැටියට මාධ්‍යවේදීන් හැටියට කටයුතු කරති.

ප්‍රශ්නයක විවිධ පැතිකඩ නියෝජනය වන ආකාරයට වැඩ සටහන් සංවිධානය කර තිබේ. කිසිදු මතවාදයකට ආගමකට පක්ෂයකට පුද්ගලයින්ට පක්ෂපාතිත්වය ප්‍රකාශ නොකරන මාධ්‍ය විසින් සමබර ප්‍රවෘත්ති ද සමබර වැඩසටහන් ද විකාශය කෙරේ.

ජනතාව වෙනුවෙන් දේශපාලනඥයන්ගෙන් නිසි ප්‍රශ්න ඇසීමට බිය නොවන මාධ්‍ය කරුවෝ හැම මාධ්‍යයකම සිටිති. ඔවුහු බේරි පලා යෑම සඳහා නොව කොටු කර අල්ලා ගැනීම සඳහා ප්‍රශ්න අසන නිසා ම දේශපාලනඥයන්ගේ සැබෑ අරමුණු ජනතාව පහසුවෙන් තේරුම් ගනිති.

හැගීම් ඇවිස්සිය හැකි ප්‍රශ්න වෙනුවට සැබෑ ප්‍රශ්න මාධ්‍ය තුළ සාකච්ඡා වේ. මතුපිට අත ගෑමෙන් තොරව ගැඹුරට කරන විමසීමක් මේ සාකච්ඡා තුළින් මතු වෙයි.

කඳුල වේදනාව විකිණීම තවදුරටත් සිදු නොවන අතර මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මාධ්‍ය සදාචාරයක් බිහි ව තිබේ.

ගරු කටයුතු සම්ප්‍රදායක්

ජාති ආගම් කුල මල බේද ඇති කරන ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් මාධ්‍ය මුළුමනින් මිදී ඇති අතර එවැනි අදහස් පතුරුවන්නන්ට ඉඩක් ඒ තුළ නොලැබේ. කිසිදු ආගමකට ජාතියකට කුලයකට අයත් වීම හේතුවෙන් ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්වභාවික විවිධ ලිංගික නැඹුරුතා අබාධිත බව හෝ වයස හේතුවෙන් මිනිසුන්ට කෙරෙන අපහාස හෝ අවමන්වලට ද ඉඩක් ඒ තුළ නැත.

සංවර්ධනය හා පරිසරය අතර තුලනයක් පවත්වා ගෙන යෑම වෙනුවෙන් එය පෙනී සිටී. සංවර්ධනය නිසා තමන්ගේ දේපළ ගම් බිම් ජීවනෝපායන් අහිමි වන ජනතාව වෙනුවෙන් ද ඒ නිසා ප්‍රතිලාභ අත් වීමට නියමිත ජනතාව වෙනුවෙන් ද ඒ නිසා එකවර එය පෙනී සිටී.

ගරු කටයුතු සම්ප්‍රදායන් රැකීම වෙනුවෙන් ද යල් පැන ගිය සම්ප්‍රදායන් ප්‍රශ්න කිරීම වෙනුවෙන් ද ඒ දෙවර්ගය නිවැරදිව හඳුනා ගැනීම වෙනුවෙන් ද පෙනී සිටීම සිය වගකීමක් ලෙස මාධ්‍ය විසින් සලකනු ලැබේ.

එකිනෙකා ඇන කොටා ගන්නා සංවාද වෙනුවට ප්‍රශ්නවලට එක්ව විසඳුම් හොයන සංවාදවලින් මාධ්‍ය පොහොසත් වී තිබේ.

ප්‍රවෘත්තිය මුලින් ගෙනාවේ තමන් බව කියන්නට තතනන මාධ්‍යවලට වඩා නිවැරදිම ප්‍රවෘත්ති වාර්තාකරණය කළේ තමන් බව කියන්නට උනන්දු වන මාධ්‍ය නිසා මිනිසුන් තුළ මාධ්‍ය පිළිබඳ විශ්වාසයක් ඇති ව තිබේ.

මාධ්‍ය ආණ්ඩුව තනන්නන් පමණක් නොව ජනතාව තනන්නන් බවට ද රූපාන්තරණය වී තිබේ.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *