නව ව්‍යවස්ථාවට අකුල් හෙලන බලවේග පරාජය කලයුතුයි .- එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජගත් හේමචන්ද්‍ර

1975 එවකට පැවති සමගි පෙරමුණු රජයේ ඇමති තනතුරු දැරූ ආචාර්ය එන් .එම් පෙරේරා සහ ලෙස්ලි ගුණවර්ධන සහෝදරවරුන් තමන් දැරූ ඇමතිකම් වලින් ඉවත්කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගත් තීරණයට එරෙහිව ලංකා සමසමාජ පක්ෂයේ ඇමතිවරු තිදෙනාම ආණ්ඩුවේ ඇමතිකම් වලට සමුදුනි. පසුව ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එම ආණ්ඩුවේ ඇමති ධුරයක් දැරූ පීටර් කෙනමන් සහෝදරයාද ආණ්ඩුවෙන් ඉවත් විය. මැතිණිය ගත් එම තීරණයේ දුර්විපාක 1977 සිට 1994 දක්වා කාටත් විදින්නට සිදුවිණි.

1977 දි පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් සහිත පැමිනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විධායක ජනාධිපතිවරයෙක් සහිත නව ව්‍යවස්ථාවක් 1978 දී ඇති කළ බව අප දනිමු. එම ව්‍යවස්ථාව සම්මත කළ දිනම එයට එරෙහිව සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ විසින් සංවිධානය කළ විරොධතා ව්‍යාපාරයක් හයිඞ් පිටිය ඉදිරියේ පැවැත්වූ අතර ,එම මාර්ගය අවහිර කරමින් ආචාර්ය එන් .එම් පෙරේරා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, බර්නාඞ් සොයිසා, බැටී වීරකොන්, පීටර් කෙනමන්, කේ. සිල්වා. ඇල් ඩබ් පංඩිත, සරත් මුත්තෙට්ටුවේගම සහෝදරවරුද විවියන් ගුණවර්ධන, මනොරි මුත්තෙට්ටුවේගම සහ නන්දා ද සිල්වා යන සහෝදරියන් ප‍්‍රමුඛ වමේ ක‍්‍රියාකාරින් පිරිස පාරේ වාඩි වූහ. නව සමසමාජ පක්ෂයේ වික‍්‍රමබාහු සහ වාසුදේව සහොදරවරු ද කොම්පඤ්ඤ වීදියේ විරෝධතාවයක් දියත් කලෝය.

එදා සියලූ විරුද්ධ පක්ෂ එම ආණ්ඩුක‍්‍රම යට විරෝධය දැක්වූ අතර මෙම ව්‍යවස්ථාවේ ආදීන ඉදිරිපත් කරමින් ”විවේචනාත්මක විශ්ලේෂණය ” යන මැයෙන් ග‍්‍රන්ථයක්ද එන්.එම් පෙරේරා සහෝදරයා විසින් ලියා පලකරන ලදී.
78 ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා කීවෙ තමාට ගැහැනියක් පිරිමියෙක් කිරීමටත් පිරිමියෙක් ගැහැනියක් කිරීමට පමණක් නොහැකි බවය. මෙම ව්‍යවස්ථාව මගින් තමාට අසීමිත බලයක් ලැබී ඇති බවයි . එය ඇත්තකි. 1980 පැවති මහා වැඩ වර්ජනයට සහභාගී වූ අය සේවා ස්ථාන වලින් බැහැර කරමින් ගෙදර යැව්වෙ එම බලයට පින් සිදුවන්නටය. 1982 මැතිවරණ සිතියම වැසීම සදහා ජයවර්ධන ජනාධිපති වරයාට හැකි වූයේ විධායකයේ බලතල සහ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය යොදා ගනිමිනි . වසර තිහක් ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය ද එම ව්‍යවස්ථාවේ අතුරු ඵලයකි . කාටත් එපාවූ මෙම විධායක ජනාධිපති ක‍්‍රමය රැුක ගැනීමට අද පෙරටවී සිටින්නේ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය බැව් කාටත් නොරහසකි . ඔවුන් අද තර්ක කරන්නෙ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාට මෙම ව්‍යවස්ථාව ගෙන ඒමටත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනවරමක් නොමැති බවයි . මෙය මොළය කදුලක් ඇති කෙනෙකුට පිළිගත හැකිද?

1994දී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේත් 2005 සහ 2010 දී බලයට පත් මහින්ද රාජපක්ෂ මහතාගේත් මැතිවරණ පොරොන්දු වූයේ මෙම බහුභූත ව්‍යවස්ථාව වෙනස් කරන බවයි . ඒ සෑම මැතිවරණයම වැඩි ඡුන්දයෙන් ජයග‍්‍රහණය කිරීමෙන්ම එයට බහුතර ජනමතය ලැබී ඇත. චන්ද්‍රිකා මැතිනිය 2000දී උත්සහ කලත් මහින්ද රාජපක්ෂ ඔහුගේ එම මැතිවරණ පොරොන්දුව අමතක කර 18වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජනාධිපති ධුරයට දෙවරක් තරග කිරීමේ සීමාව ඉවත් කරගත්තේය .2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට බට මෛත‍්‍රීපාල සිරිසේන පැහැදිලි ලෙස එම මැතිවරණ වේදිකාවේ සිට ඉතා පැහැදිලිව සහ ස්ථීරව කියා සිටියේ ඔහුගේ ධූර කාලයේදී ව්‍යවස්ථාව වෙනස් කරන බවයි.මින් ඉදිරියට ඔහු ජනාධිපති මැතිවරණයට තරග නොකරන බවයි .

ඔහු පොදු අපේක්ෂකයා වශයෙන් තරග කලවිට ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය ඔහුගේ ජයග‍්‍රහණය සදහා පෙනී නොසිටියා සේම ඔහුගේ පරාජය නිතැතින් අපේක්ෂා කල පක්ෂය වේ. ඔහු පරාජය කිරීමට සියලූ ජඩ වැඩ කල අතර පොදු අපේක්ෂකයාට පෞද්ගලිකව අපහාස කරන අයවලූන් බව පොදු අපේක්ෂකයාට ඡුන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවට අමතක කල නොහැක. එහෙත් පැහැදිලි ජනවරම තිබියදීත් පුහු තර්ක ඉදිරිපත් කරමින් මෙම බහුභූත ව්‍යවස්ථාව තබා ගැනීමට එම ජනවරමට පා පහරක් එල්ල කිරීමකි. මේ සිදු නොවියයුතු දෙයකි. සියලූ පක්ෂ මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තම කැමැත්ත ප‍්‍රකාශ කර සිටියදී එම මහගු අවස්ථා ව මග හැරීම දේශද්‍රොහි තීරණයකි.

1958 බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව හාමුදුරුවරු කිහිප දෙනෙකුගේ මෙහෙයවීමෙන් රොස්මිඞ් නිවස ඉදිරිපිට ගෙනගිය විරෝධතාවයට යටවූ බණ්ඩාරනායක මැතිතුමා එය ඉරාදමන ලදී. එයින් සිදු වූයේ විනාශයකි. සෝමාරාම නැමති චීවරධාරියාගේ වෙඩි උණ්ඩයෙන් එතුමාට දිවංගත වීමට සිදුවිය .උතුරේ යුද්ධයට විසදුමක් ලෙස ඉදිරිපත් කල පළාත්සභා ක‍්‍රමයටද ශ‍්‍රී.ලං.නි.ප.ය විරුද්ධ විය . එදා පළමු පළාත්සභා මැතිවරණයට එම පක්ෂය ඉදිරිපත් වුවා නම් ජනවාර්ගික අර්බුදය මෙතරම් ඔඩු නොදුවනු ඇත .

එදා පළාත් සභා වලට ඉදිරිපත් නොවීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදුරදර්ශී තීරණයකි . 88,89 ජනතා විමුක්ති පෙරමුණ ගෙනගිය භීෂණයට එම පක්ෂයේ තීරණයෙන් උත්තේජනයක් ලැබිණි . නිදහස් පක්ෂ නියෝජ්‍ය ලේකම් වරයෙකු වූ අබේවීර මහතාටත් අකාලයේ මියයාමට සිදුවුයේ ද එම තීරණයේ ඇත වැරැුද්ද හේතුවෙනි. .පළාත් සභාවලට එදා විරුද්ධ වූවත් , පසුව පළාත් සභා බලය ලබා ගැනීමට ශ‍්‍රී.ලං.නි.ප.ය උත්සුක වීම අවස්ථාවාදී කමක් හැර වෙන කුමක්ද ?ව්‍යවස්ථාව වෙනස් නොකර 2020දී පැවැත්වෙන ජනාධිපති වරණයට මුහුණ දීමෙන් නිදහස් පක්ෂ අපේක්ෂකයා ලබන අන්ත පරාජය නොවැටහීම දේශපාලන තීරණ ගැනීමේ ඇති නොමේරූ කමකි.

මහා සංඝ රත්නයටත් එකත් පසෙකව සිට නමස්කාර පූර්වකව යමක් කිව යුතුය . එදා රජවරු මහා සංඝ රත්නයෙන් උපදෙස් ගත් වී නමුත් අද එවැනි උපදෙසක් දීමට බහුශ‍්‍රැත මහානායක හිමිවරු සිටිනවාද යන්න සැකසහිතය. අප ජනමාධ්‍යයෙන් දකින්නේ හොර මැර තක්කඩි දේශපාලනඥයන්ගේ වරදාන,වරප‍්‍රසාද සහ පිරිකර ලබාගෙන තැනේ හැටියට අනුශාසනා කරන නායක හිමිවරුන් ය. එදා බණ්ඩාරනායක මහතාට ගිවිසුම් ඉරාදැමීමට සිදුවූයේ ගිහියන් නිසා නොව ජාතිකවාදී සංඝරත්නය නිසාවෙනි . එදා ඔහු ජිවිතක්ශයට පත්කලේ ගිහියන් නොව මහා සංඝරත්නය වාර්ගික කොටස් බව අප දනිමු. පසුගිය ආණ්ඩු සමයේ ජාතීන් අතර සමගිය බිදිමින් බේරුවල වැනි නගර ගිනිබත් කිරීම මහාසංඝ රත්නය හැර වෙන කවුද ? . උඩරට පහතරට බේද ඇතිකරමින් කුල බේදය ඉස්මතුකරමින් විවිධ නිකාය ඇතිකරමින් බුදුන්වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය අයිති කරගෙන සංඝ සමාජය බෙදා වෙන්කර ඇත්තන් කවුද ? සමහර මහා සංඝයා වහන්සේලා ” බහුජන හිතාය බහුජන සුඛාය “වදන අනුව නොව තමා ගැන සිතා බව ඉතිහාසය අපට කියාපායි. ඒ නිසා ඒ ගැන බියවියයුතු නොවේ .

ගරු ජනාධිපති තුමා! එක් එක් අයගේ චාටු බස් වලට සහ බලකිරීම් වලට නොරැවටී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරන ක්‍රියාවලියට සම්පූර්ණ සහයෝගය ලබාදී , රටේ ජනතාවට ඔබ ලබාදුන් පොරොන්දු ඉටුකිරීම , රටේ නායකයා ලෙස ඔබේ වගකීම වනු ඇත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *