උසාවි සහ පත්තර – මැණික් ගල් යටයවා ගොමරිටි මතුකරන මාධ්‍ය මෙහෙයුම් – බණ්ඩාර උඩුරාවණ

පසුගිය දිනවල මෙරට මුද්‍රිත ජනමාධ්‍ය මගින් උත්කර්ශයට නැංවූ පුවතක් වූයේ, උතුරේ උසාවියක් විසින් එම ප්‍රදේශයේම විහාරස්ථානයක් උදෙසා දුන් නඩු තීන්දුවකි.

එකී නඩු තීන්දුවට අදාළ පුවත සැකවින් මෙසේය. එකතරා විහාරස්ථානයක ඉඩම් ප්‍රශ්නයක් වෙනුවෙන් සුවාමීන් වහන්සේ නමක් (හෝ දෙදෙනෙක්) උසාවියට පැමිණියේය. නඩුව විභාග කළේ දෙමළ ජාතික විනිසුරුවරියකි. ඇය එකී ස්වාමින්වහන්සේලාට සුදු පිරුවට එලා  පුටු සකසවා අසුන් පැනවූවාය. තමා බුද්ධ ධර්මයට බෙවින් ගරු කරන බවත් සිය දියණියන්ගේ උපන්දිනයට බුදුරුවක් තෑගි කළ බවත් ආදි වශයෙන් බුද්ධ ධර්මය හා බුද්ධාගම සම්බන්ධයෙන් තමා දක්වන ඇල්ම පිළිබඳව ද පැහැදිලි කළාය. විහාරස්ථානයට වාසි සහගත වන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

පළමු කොටම අප සිතිය යුතු වන්නේ හින්දු, ඉස්ලාම් හෝ කතෝලික පූජකයකු අරභයා පෙර කී විනිසුරු වරිය ඒ ආකාරයෙන් හැසිරුනේ නම් දකුණේ ජනමාධ්‍ය කෙසේ හැසිරෙනු ඇති ද යන්නය. එසේ වූයේ නම් නිසැකවම දකුණේ ජනමාධ්‍ය විනිසුරු වරියගේ පතුරු යන්නට විරෝධය පානවාට සැකයක් නැත. බොහෝ විට ඇයට සිට ධුරය පවා අහිමි වන්නට කරුණු යෙදෙන්නට ඉඩ තිබුණි. දෙවැන්න විනිසුරුවරියගේ හැසිරීම ‘නීතිය ඉදිරියේ සියල්ලන් සමානය,  යන කරුණේ දී ගැටලුවක් ඇති බවය. ආගමක් සම්බන්ධයෙන් විනිසුරුවරයෙකුගේ පුද්ගලික කැමැත්ත හෝ අකමැත්ත උසාවියේ දී වැදගත් නොවන බැවිනි. ස්වාමීන් වහන්සේලාට අසුන් පැනවීම, බෞද්ධ ආගම පිළිබඳ ඇගේ පෞද්ගලික කැමැත්ත ප්‍රකාශ කිරීම ආදිය හේතුවෙන් උසාවියේ සාධාරණත්වය සම්බන්ධයෙන් සැකයක් ඇති විය හැකි නිසාය. සරලව කියන්නේ නම් අගේ තීන්දුව සර්වප්‍රකාරයෙන්ම නීත්‍යනුකූල, නීතියට එකඟ තීරණයක් වුව ද ඒ තීරණයට ඇය ලබා දුන්නේ ඇය බුද්ධාගමට දක්වන කැමැත්ත නිසාය යන හැඟිමක් ප්‍රතිපක්ෂයට ඇතිවිය හැකි බැවිනි.

දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් පවතින ඉන්දියාව වැනි රටක නම් ඇගේ හැසිරීම දැඩි ප්‍රශ්න කිරීමකට, විවේචනයකට ලක්කෙරෙනවාට සැකයක් නැත. මෙවැනි සිදුවීම් උත්කර්ෂයට නැඟීම මගින් පැහැදිලි වන්නේ අපේ ජනමාධ්‍යවල දාර්ශනික දූගී බව මිස අන් කිසිවක් නොවේ. ප්‍රවෘත්තියක් අල්ලාගත යුතු නිවැරැදි කෝණය පිළිබඳ අපේ ජනමාධ්‍යවලට අදහසක් නොමැති බව මෙවැනි සිදුවීම් අනුව පැහැලිවේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සංස්කෘතික ත්‍රිකෝණය හෝ පුරාවිද්‍යා කාර්යාලයක් විසින් මාතර නූපේ ප්‍රෙද්ශයේ සංස්කෘතික ස්ථානයක් වටා වැටක් ඉදිකරන්නට යෙදුණි. එකල දේශපානයේ ප්‍රකට මාදාවියෙකුව සිටි මර්වින් සිල්වා එවිට කළේ එම වැට බලහත්කාරයෙන් ගලවා ඉවත් කිරීමයි. එවිට ජනමාධ්‍ය කළේ ඇමතිවරයාගේ එකී බලහත්කාරී ක්‍රියාව උත්කර්ෂයට නංවා වාර්තා කිරීමයි. ඔහු වීරයෙකු බවට පත්කිරීමයි.

වැට ඉදිකිරීමට හේතුව මෙතෙක් පැහැදිලි නැත. හේතුව, ඊට බලපෑ හේතුව සම්බන්ධයෙන් ජනමාධ්‍ය ප්‍රචාරයක් ලබා නොදීමයි. අනුමානය කළ හැක්කේ යම් තාර්කික පදනමක් මත අදාළ ආයතනය එම වැට ඉදිකරන්නට ඇති බවයි. තාර්කික පදනමකින් තොරව වැට ඉදිකළේ නම් ඒ සම්බන්ධයෙන් සොයාබලන්නටත් වරද නිවරද කරන්නටත් ආදාළ බලධාරින්ට සිදුවේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වීමට මර්වින් සිල්වා අමාත්‍යවරයාට උනන්දුවක් තිබුණේ නම් ඔහු හැසිරිය යුතුව තිබුණු නිවැරදි ආකාරය කුමක්ද? එක්කෝ ඔහුට ලිපියක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් හෝ අසවල් තැන අසවල් ආකාරයේ අකටයුත්තක් සිදුව ඇති බව වගකිවයුතු නිලධාරින් හෝ ඉහළ නිලධාරින් දැනුවත් කරන්නට තිබුණි. එසේ නැතිනම් එය පැමිණිල්ලක් ලෙස අදාළ ආයතනවලට ඉදිරිපත් කරන්නට තිබුණි. එයිනුත් ප්‍රතිඵලයක් නොලැබුණේ නම් උසාවියකට ගොස් සාධාරණය ඉල්ලා සිටින්නට තිබුණි. නමුත් මර්වින් සිල්වා එතැන දී කළේ ඒ එකකවත් නොව කැළෑ නීතිය ක්‍රියාවේ යෙදවීමයි.

එසේ කැලෑ නිතිය උත්කර්ශයට නැඟීමෙන් ජනමාධ්‍ය කළේ කුමක්ද? පැහැදිලි ලෙසට නීතිය ඉක්මවා කටයුතු කරන්නට දේශපාලකයනට (දේශපාලඥයන් යන යෙදුම මෙබදු පුද්ගලයනට ගැලපෙන්නේ නැත. දේශපාලඥයා යන යෙදුමේ අරුත දේශපාලය පිළිබඳ දැණුමක් ඇත්තන් යන්නට සමාන බැවිනි) උඩගෙඩි දීමකි. සැබෑ ජනමාධ්‍ය නම් කළ යුතුව තිබුණේ මර්වින් සිල්වා ආචාර්යතුමාගේ හැව ගැලවෙන්නට කටයුතු කිරීමයි. දරුවන් පාසැල්වලට ඇතුළත් කර නොගන්නාවිට විදුහල්පතිවරුනට කුණුරුපෙන් අමතන, පොලීසියේ ඕ.අයි.සී. ගේ පුටුවේ වාඩිවෙන, දරුවන් පාසලට නොගත්තායැයි ගලවැළලා ගන්නට උත්සාහ කරන මන්ත්‍රීලා, නියෝජ්‍ය ඇමතිලා බිහිවන්නේ එවැනි අධෝවාත ෂෝ කාරයන්ට ජනමාධ්‍යවලින් ලැබෙන ඉහළ පිම්බීම නිසාය.

එකී පිම්බීමේ ඊළඟ ඵලය ‘අන්න මන්ත්‍රීලා, අන්න ඇමතිලා, කියා ඡන්ද දායකයාද කල්පනා කිරීමය. එවිට මහත්මා දේශපානයේ යෙදෙන්නන්ට සමාජයේ තැනක් නැතිවේ. රස්තියාදුකාරයන්, හොරබඩු බෙදන්නන්, ඡන්දයට අරක්කු යහමින් බෙදාහරිනන් පාර්ලිමේන්තුවට එන්නේද එහි අතුරුපලයක් ලෙසිනි.

අද පවතින තත්ත්වය මත දේශපාලකයන් පිළිබඳ ජනතාවට අබමල් රේණුවක විශ්වාසයක් නැත. අධිකරණයේ සිදුවන ඇතැම් කාරණා කටයුතු අනුව ඒ පිළිබඳ පූර්ණ විශ්වාසයද ගිලිහී යමින් තිබේ. (හෙල්පින් හම්බන්තොට යටගියේ මා නිසා බව කියූ අගවිනිසුරන්, හොර අලි සන්තකයේ තබාගත් බවට කියැවෙන විනිසුරන්, නඩු විසඳීමට ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන විනිසුරන්, සේවිකාවන් දූෂ්‍ය කළ බව කියන විනිසුරන් ආදීන් මතකයට නගා ගන්න) අපි මුලින් කී ආකාරයේ සිදුවීම් තුලනාත්මක විග්‍රහයකින් තොරව වාර්තා කිරීමෙන් අනාගතයේ දී හුදු ජනප්‍රියත්වය තකා කටයුතු කරන්නට අධිකරණය ද පෙළඹුනහොත් ශ්‍රී ලංකාවේ ජනතාවට අන්තිමට ඉතිරිවනු ඇත්තේ දෙවියන්ගේ පිහිටය.

බණ්ඩාර උඩුරාවණ

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *