|

ඒකාබද්ධයෙන් හිස් කොළ අස්සන් ව්‍යාපාරයක්

 

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාකරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ ඇමැති රවි කරුණානායක මහතාට එල්ල වූ චෝදනා නිසා දේශපාලනයේ යම් කැළඹීමක් හටගෙන තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා යොදාගත් දෛනික කටයුතු නොකඩවා ක්‍රියාත්මක කළා. බොහොමයක් සංවර්ධන කටයුතු හා විවෘත කිරීම් ආදියට ජනාධිපතිතුමා සහභාගී වූයේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගැනීමටත් ඔවුන්ගේ සුව-දුක් විමසීමටත් අවස්ථාව සලසා ගැනීමක්ද වශයෙන්

මේ වනවිට දැඩි නියඟයෙන් පීඩාවට පත්ව සිටින රජරට ප්‍රදේශයේ ජනාධිපතිතුමා සංචාරය කළේ උත්සව ගණනාවකට සහභාගී වෙමින්. එහිදී මැදවච්චියේ අලුතින් ඉදිකළ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම ජනාධිපතිතුමාගේ අතින් සිදු වුණා. ප්‍රදේශයේ ගොවි ජනයාගේ නිෂ්පාදන මෙතෙක් රැගෙන යාමට සිදුව තිබුණේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටයි. ඒ වෙනුවට එම නිෂ්පාදන මැදවච්චියේදීම අලෙවි කරන්නට අවස්ථාව සැලසීම මෙම ආර්ථික මධ්‍යස්ථානය මගින් උදා වුණා. හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ නමින් එය නම්කොට තිබුණා. ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උලෙළට දුමින්ද දිසානායක ඇමැතිවරයාත් පේෂල ජයරත්න මහ ඇමැතිවරයාත් ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් රැසක් සහභාගී වී සිටියා.

එදිනම ජනාධිපතිතුමා මැදවච්චියේ තවත් වැදගත් විවෘත කිරීමකට එක් වුණා. එය නම් පූනෑව මහා විද්‍යාලය සිසු අයිතියට පත්කිරීමයි. වැඩි වැඩියෙන් සිසුන් ඇතුළත්වීම නිසා පූනෑව මහා විද්‍යාලය කලින් පවත්වාගෙන ගිය ස්ථානයේ පහසුකම් ප්‍රමාණවත් වූයේ නැහැ. එම නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩමක් නිදහස් කරගෙන සියලු පහසුකම් සහිත නව විද්‍යාලයක් ඉදිකිරීමට කටයුතුකොට තිබුණා. ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් වූයේ එම පාසලයි. පුනෑව විද්‍යාලය කලින් පවත්වාගෙන ගිය ස්ථානයේ දැන් ප්‍රාථමික පාසල පැවැත්වෙනවා. මෙම විවෘත කිරීමට දුමින්ද දිසානායක, පේෂල ජයරත්න, තිස්ස කරල්ලියද්ද, සුසිල් ගුණරත්න මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. උත්සව සභාව අවසන් කළ ජනාධිපතිතුමා ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සැපදුක් විමසීමටද අවස්ථාව යොදා ගත්තා.

අනුරාධපුර නගරයේ පිහිටි වේගයෙන් දියුණු වන විදුහලක් වන වලිසිංහ හරිස්චන්ද්‍රයේද පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ප්‍රශ්නයක් මතුවී තිබුණා. එයට විසඳුම් ලෙස ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයටද ජනාධිපතිතුමා මෙම ගමනේදී එක් වුණා. ප්‍රදේශයේ දේශපාලනඥයන් බොහෝ දෙනකු එක්ව සිටි මෙම උත්සවයේදී ජනාධිපතිතුමා කීවේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න සුදුසු පරිසරය සැකසීම අපගේ වගකීමක් බවයි.

අායෝජකයන්ට රටේ අයිතිය යට නොකරන බව ජනපති කියයි

ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින නියඟය පිළිබඳ ප්‍රශ්නය ගැනත් ජනාධිපතිතුමා මෙහිදී කතා කළා. ඊට පෙර දිනක කැබිතිගොල්ලෑවට ගිය ගමනේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ප්‍රදේශයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම භාරව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහන කටයුතුවල යෙදෙන බවත්, මහජනයාට ජලය හා වියළි ආහාර සැපයීමට කටයුතුකොට ඇති බවත් ජනාධිපතිතුමා කීවා. නියඟයෙන් විපතට පත් පන් ලක්ෂයක් ජනයාට රුපියල් 5000ක මාසික දීමනාවක් දීමට කැබිනට් තීරණයක් ගත් බවත් ප්‍රකාශ කළා. දැන් වැඩ නිමවා ඇති මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ රජරට තවත් වැව් හයසීයක් පිළිසකරකර ජලය සපයන බවත් එයින් ප්‍රදේශයේ ජල ගැටලුවට ස්ථිර විසඳුම් ලැබෙන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

මහනුවර ඇසල පෙරහරේ අවසන් රන්දෝලි පෙරහැර පැවැති සඳුදා හා අඟහරුවාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත කළේ මහනුවර ප්‍රදේශයේයි. දළදා වැඳ පුදාගත් ජනාධිපතිතුමා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමටද කාලය යොදාගත්තා. එහිදී දේශපාලන ප්‍රශ්න පිළිබඳව මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු පිළිබඳවද මහ නා හිමිවරුන් දැනුවත් කිරීමටද කටයුතු කළා.

පසුදිනට යෙදී තිබුණේ ඓතිහාසිකව පැවැත එන චාරිත්‍රයක් ඉටුකිරීමක්. එනම් දළදා පෙරහැරේ කටයුතු සාර්ථකව නිම කළ බව දියවඩන නිලමේ ඇතුළු පිරිස පැමිණ ජනාධිපතිතුමාට දැනුම් දීමේ අවස්ථාවයි. ඒ සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිස මහනුවර ජනාධිපති මන්දිරය වෙත පෙරහැරින් පැමිණියා. ජනාධිපතිතුමා ඉදිරියට ගොස් ඔවුන් පිළිගත්තා.

ඉන්පසුව පැවැති උත්සව සභාව ඇමැතූ ජනාධිපතිතුමා කීවේ ලෝකයේ කිසිම රටකට නැති අභිමානවත් සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් අපට තිබෙන බවයි. නීතියට බලයට වඩා සංස්කෘතිය හා සිරිත් විරිත් බලවත් බවද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා.

අපේ රට විවිධ විපත්වලට මුහුණදුන් හැම විටකම ඉන් ගොඩයාමට දළදා වහන්සේගේ ආශිර්වාදය අපට හිමි වූ බවත්, එලෙසම අද තිබෙන නියඟයෙන් මිදී අප රටට සෞභාග්‍යය උදාවීමටද දළදා වහන්සේගේ ආශීර්වාදය තමන්ට ලැබෙන බව තම විශ්වාසය බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.

පසුගිය බදාදා (9දා) ජනාධිපතිතුමා එක් වූයේ තරමක් වෙනස් කාර්යයකටයි. එනම් ශ්‍රී ලංකා චීන සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය සංවිධානයකොට තිබූ විද්වත් සාකච්ඡාවටයි. එහිදී විශේෂ සමරු පුස්තකයක් ජනාධිපතිතුමාට පිළිගන්වන ලද්දේ ශ්‍රී ලංකා චීන මිත්‍ර සංග‍මයේ සභාපති අමරදාස ගුණවර්ධන මහතා විසින්. චීනයේ බෙයිජිං හා ෂැංග්හයි නගරවල පැවැති වැඩ මුළුවලදි දක්ෂතා දැක්වූවන්ට තිළිණ ප්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

එහිදී කතා කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ විදේශ ආයෝජනවලදී රටේ ස්වාධීනත්වයට හානි සිදු නොවන ආකාරයෙන් කටයුතු කිරීම තම රජයේ ප්‍රතිපත්තිය බවයි. කුමන ආයෝජනයක් කළත් රටේ භූමියේ අයිතිය කිසිදු ආයෝජකයකුට හිමි නොවන ආකාරයේ වගන්තියක් ආයෝජන ගිවිසුම්වලට ඇතුළත් කර ඇති බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

බැඳුම්කර පරීක්ෂණයේ විනිවිදභාවය අගමැති පෙන්වා දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 05 දා රුහුණු මහා කතරගම දේවාලයට ගොස් කතරගම දෙවිඳුන්ගේ දේවාශිර්වාදය ,ලබාගෙන ඉන්පසු කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට ගොස් චෛත්‍ය රාජයාණන් වහන්සේද වැඳ පුදා ගත්තා. පුද බිමේ සිටි බැතිමතුන් නොසිතූ අවස්ථාවක අගමැතිවරයා දැකීමෙන් පුදුමයටත් ප්‍රීතියටත් පත් වුණා.

සෙනඟ අතර සිටි වයසක කාන්තාවක් සහ ඇගේ මුණුබුරා අගමැතිවරයාට දණ ගසා වැන්දා.බොහෝ අය තම අත රැඳි ජංගම දුරකථනවලින් අගමැතිවරයාගේ ජායාරූප ගත්තා. අගමැතිවරයා ආපසු වාහනයට නැගීමට හදන අවස්ථාවේදී සෙනඟ අතරින් ඉදිරියට ආ කාන්තාවක් දියණියගේ අතේ තිබු දුරකථනය ගෙන අගමැති වික්‍රමසිංහ මහතාගේ ජායාරූපයක් ගැනීමට උත්සහ කළත් කැමරාව ක්‍රියාත්මක කර ගැනිමට නොහැකි වුණා. ඇය ජායාරූපය ගන්නා තෙක් වික්‍රමසිංහ මහතා වාහනයට නොනැගී බලා සිටියා. ඇයට ජායාරූපය ගැනීමට නොහැකි බව තේරුම් ගත් අගමැතිවරයා සිය ආරක්ෂක නිලධාරියෙකුට කථා කර ඇය අත තිබු දුරකථනයෙන් ජායාරූපය ගන්නා ලෙස පැවසුවා. ආරක්ෂක නිලධාරියා එම කාන්තාවගේ අත රැඳි දුරකථනයෙන් ගත් ජායාරූපයට අගමැතිවරයා සිනහමුසු මුහුණින් පෙනී සිටියා.

2003 වසරේදී අගමැතිවරයාව සිටියදි වික්‍රමසිංහ මහතා කතරගම දේවාලයට පුජා කළ සාලිය ඇත් පැටවා දැන් විශාල හස්තියෙක්. අගමැතිවරයා බැලීමට කිරි වෙහෙරේ විහාරාධිපතින් වහන්සේගේ ආවාස ගේ ළඟට පැමිණි සාලියට අගමැතිවරයා පලතුරුවලින් සංග්‍රහ කළා.

පෙරහැර නැරඹීමට පැමිණි අගමැතිවරයාට පැමිණ සිටි මහජනතාවගෙන් උණුසුම් පිළි ගැනීමක් ලැබුණා.

06 දා අගමැතිවරයා හැටන් ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහන් කිහිපයකට සහ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකට එක් වුණා. එදින හැටන් ප්‍රදේශයේ තද මීදුම සහ වර්ෂාව පැවතියා. උදේ 9‍.15 ට හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමයේ ආගමික වැඩ සටහන්වලට එක් වීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණය නිසා අගමැතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය ගුවනට නැංවීමට නොහැකි වුණා. අගමැතිවරයා විහාරස්ථානයට පැමිණෙන විට පෙරවරු 11‍.30 පමණ වුණා. “වැස්ස හරස් වුණානේ” අගමැතිවරයා පිළි ගැනීමට එහි පැමිණි සිටි කේ.කේ. පියදාස, සුරේශ් වඩිවේල් සහ ලකී ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අගමැතිවරයා පමාවට හේතු පැහැදිලි කළා‍. පමා වී තිබුණු නිසා අගමැතිවරයා වැඩ සටහන් පෙළට ඉක්මනින් එකතු වුණේ පෙරවරුවේ සිට තමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හැටන් ඩී.කේ.ඩබ්ලිව්.සංස්කෘතික ශාලාවේ බලා සිටි හැටන් ජනතාව ඇමතීමටයි. වතු ජනතාවගේ බහුතරය කවදත් එක්සත් ජාතික පක්ෂය සමඟ රැඳී සිටියා. සිය නායකයාට එම ජනතාවගෙන් ලැබුණේ සුපුරුදු උණුසුම් පිළි ගැනීමක්.

මෙහිදි අගමැතිවරයා උණුසුම් කතාවක්ද කළා. හොරුන් නොරකින බව පැවසු අගමැතිවරයා අමෙරිකාව සහ එංගලන්තය වාගේ චෝදනාවක් විභාග කරන අතරතුරදී චෝදනාලාභියාට තනතුරෙන් ඉල්ලා අස් විය හැකි බවද පැවසුවා. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පෙර රජයන් නොකළ ආකාරයට විනිවිද භාවයකින් විමර්ෂණ කටයුතු කළ බව කී අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බවද කීවා. අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය නව දේශපාලන තීන්දුවක පෙර නිමිත්තක් බව එදා දේශපාලන කරළියේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.

ඒකාබද්ධ විපක්ෂය රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව ගැන කිසිවකුගේ විරුද්ධත්වයක් නොමැති බව අගමැතිවරයා 08 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට නිසි පරිදි ක්‍රියාත්මක විය හැකි බවයි අගමැතිවරයා එහිදි ප්‍රකාශ කළේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුවේදී 35 වැනි උදා ගම්මානය වන “මානාභරණගම” ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවති උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ඇරියුම පිළිගෙන පැමිණ සිටි විශේෂ අමුත්තන් දෙදෙනකු වූයේ වනජීවී හා තිරසාර සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී.ජයසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි දෙදෙනායි. සමරු ඵලකය විවෘත කිරීමෙන් පසු ගම්මානයේ නිවාස 33ටම මේ අමුත්තන් දෙදෙනා සජිත් සමඟ පැමිණීම විශේෂ සිද්ධියක් වුණා.

අලුත් නිවාස පෙළ හා ගෙවතු වගා නිරීක්ෂණය කරමින් ඇවිද යද්දී සුමේධා කීවේ “සජිත් ඔයා නම් තාත්ත වගේම උනන්දුවෙන් මේ වැඩේ කරනවා. අපි ඒ කාලෙම දැනගෙන හිටියා ප්‍රේමදාස ජනාධිපතිතුමා මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න ගත්තු වෙහෙස ගැන. දැනටමත් ඔයා තාත්තට නොදෙවෙනි වෙන්න වැඩ” කියායි. සජිත් පිළිතුරු දෙමින් කීවේ “මාව තාත්තට සම කරන්න නම් අමාරුයි. ඒත් මාව මේ තැන තියපු ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත්, රටේ ජනතාවගෙත් ගෞරවය රැකෙන විදියට මට කරන්න පුළුවන් දේ උපරිමයෙන්ම මම කරනවා” යනුවෙන්.

වසර 1991 ජූලි 10 වැනිදා 5,000 ක පමණ කොටි ත්‍රස්තවාදීන් අලිමංකඩ හමුදා කඳවුර වටලා එහි සිටි 600ක් යුද හමුදා සෙබළුන් සමූල ඝාතනය කර කඳවුර විනාශ කිරීම සඳහා අධිබල පිපුරුම් ද්‍රව්‍ය ඇසුරූ යුද ප්‍රහාරක රථයක් කඳවුර තුළට ඇතුළු කිරීමට තැත් කළ අවස්ථාවේ ඊට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර කඳවුර රැකගත් හසලක ගාමිණී කුලරත්න රණවිරුවා නමින් “සදාවීර සෙන්පති ගාමිණී කුලරත්නගම” නමින් උදා ගම්මානයක් තැනීම සඳහා සජිත් අතින් මුල්ගල් තැබුණේ ඉකුත් සෙනසුරාදායි. සජිත් එහිදී නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට විශේෂ උපදෙසක් දුන්නා. “යම් රණවිරුවෙකුගේ නමින් උදාගමක් හදනවා නම් අනිවාර්යයෙන්ම ඒ රණවිරුවාගේ පිළිරුවක් ඒ ගම්මානයේ විශේෂ තැනක ඉදිවෙන්න ඕනෑ. ඊට කලින් ඒ රණවිරුවාගේ පවුලේ අය එක්ක සාකච්ඡා කරලා ඒ අයගේත් උපදෙස් ගන්න. උදාගම්මානය විවෘත කරන දවසේ ඒ පිළිරුව ඉදිරියේ හමුදා උත්තමාචාරයක් පවත්වන්නත් කටයුතු සංවිධානය කරන්න.” යන්න සජිත්ගේ එම උපදෙසයි.

උමාඔය වි‍ෙශ්ෂඥ වාර්තා‍ෙවන් ජවි‍ෙපට ප්‍රශ්නයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල දිගු කාලයක් පදිංචිව සිටියද ඉඩම් ඔප්පු නැති ජනතාවට ඔප්පු ලබාදීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පසුගිය ඉරිදා පැවැත්වුණේ ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රත්නපුර නගර සභා ශාලාවේ හා කුරුවිට විහාරස්ථානයක සංවිධානයකොට තිබූ රැස්වීම් දෙකටම අති විශාල පිරිසක් සහභාගී වී සිටියා. තලතා අතුකෝරාල ඇමැතිවරියත් විජේතුංග මන්ත්‍රීතුමාත් මෙම රැස්වීම් සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන තිබුණා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේත් රජයේ වෙනත් ඉඩම්වලත් දශක ගණනක් තිස්සේ පදිංචිව සිටින ජනතාවට ඔප්පු ලබාදීම සඳහා මූලික උපදෙස් ලබාදීම හා තොරතුරු රැස්කිරීම එහිදී සිදුවුණා. ජනතාව පදිංචි ඉඩම්වලට නීත්‍යානුකූල ඔප්පු ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ ගැන ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා එහිදී පැහැදිලි කළා. එයට ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්.

ඒකාබද්ධ විපක්ෂය විසින් අත්සන් කළා යැයි කියන විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සොයා ගැනීමට විජිත හේරත් මන්ත්‍රීවරයා කටයුතු කරන අතරේ ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන්ද මේ පිළිබඳව විමසා සිටියා. එයට හේතුව වී තිබුණේ විශ්වාසභංග යෝජනාවේ නීතිමය ප්‍රශ්නයක් තිබෙන බවට ඇතිවූ විවේචනයක් නිසායි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණේ අපූරු පිළිතුරක්.ඔවුන් පැවසුවේ ඒ යෝජනාවේ ඇති කරුණු පිළිබඳව තමන් නොදන්නා බවයි. ඒ පිළිබඳව කරුණු දැන සිටියේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පමණක් බවයි. එයට හේතුව වී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කර තිබුණේ හිස් කොළවලට වීමයි. අත්සන් ලබාගැනීමෙන් අනතුරුව යෝජනාව සකස් කර ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයාට පසුව දැනගන්නට ලැබුණා.

මීට මාස දෙකකට ඉහතදී උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව විශාල කතා බහක් ඇති වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කර තිබුණේ විශේෂ නියෝජිතයින් පිරිසක් ගෙන්වා උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව ලබාගන්නා විශේෂඥ වාර්තාවකින් පසුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි. නමුත් පසුගියදා නොර්වේ නියෝජිතයින් පිරිසක් පැමිණ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව කියා සිටියේ එම ව්‍යාපෘතියට නිසි පරිසර අගයීම් වාර්තාවක් හෝ සක්‍යතා අධ්‍යන වාර්තාවක් සකස් කර නොමැති බවයි. නමුත් එම නියෝජිතයින් කියා තිබුණේ ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් නොවන බවයි. නමුත් මේ පරස්පරතාව සමන්ත විද්‍යාරත්න විසින් ප්‍රශ්න කළා. මේ පිළිබඳව විජිත හේරත් මන්ත්‍රීවරයා සමන්ත විද්‍යාරත්නගෙන් විමසා සිටියා. ඇත්තටම ප්‍රශ්නය තිබුණේ පරිසර ඇගයීම් වාර්තාවක් නොතිබුණ එක. දැන් ආපු විශේෂඥයොත් ඒ බව කියනවා නමුත් මේක නවත්වන්නේ නැත්තේ ඇයි? විජිත හේරත් විමසා සිටියා.

අපිටත් තියෙන ප්‍රශ්නය ඒක තමයි. අපි මීට කලින් ජනාධිපතිතුමා හමුවුණාම කිව්වා මේ ව්‍යාපෘතිය ගැන ජනාධිපති කොමිසමක් දාන්න කියලා. එතකොට කිව්වා පිටරටින් විශේෂඥයෝ ගේනවා කියලා. ගෙනාවට පස්සේ ඒ අය කියනවා ප‍්‍රශ්නයක් තියෙනවා නමුත් කරගෙන යන්න කියලා. ඒක නිසා තමයි අපි කිව්වේ ජනාධිපති කොමිසමක් දාන්න කියලා. ඒත් දැන් ජනාධිපතිතුමා කොමිසම් දාන්න බයවෙලාද කොහෙද? උමා ඔය ව්‍යාපෘතියට වගකිව යුතු අය හෙළිවෙයි කියලා එතුමා බයවෙලා ඇති. ඒ නිසා කොමිසම් පත්කරන්නේ නැහැ” සමන්ත විද්‍යාරත්න කියා සිටියා.

බැඳුම්කර කොමිසම හමුවේ රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු නිසා ඒකාබද්ධ විපක්ෂය තුළද යම් මතභේදයක් ඇතිව තිබෙනවා. එයට එක හේතුවක් නම් මහින්ද රාජපක්ෂ මහතා රවි කරුණානායක මහතාට පක්ෂව කරුණු දැක්වීමයි. පසුගිය සතියේ තමා හමුවු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට ඔහු පැවසුවේ ඇමැති රවිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට තමන් විරුද්ධ බවයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් නායකයන් හිටියේ ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය යන අදහසින්.

ශ්‍රීලනිපයේ අය එජාපය විවේචනය වරදක් බව චමල් කියයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගේ පුතාගේ විවාහ මංගල උත්සවය පසුගිය සතියේ පැවැතියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී එයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පනහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියා. රවි කරුණානායක ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම සිදුවුණේ එම අවස්ථාවේදීයි. මන්ත්‍රීවරුන් 31 දෙනෙක් එයට අත්සන් තැබුවා. විසිදෙනකුට ආසන්න පිරිසක් අත්සන් කළේ නැහැ. ඉන් ඇතැම් මන්ත්‍රීවරුන් කීවේ පෞද්ගලික හේතුමත මෙම විශ්වාසභංගයට අත්සන් කළ නොහැකි බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංගයට අත්සන් නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. තම මන්ත්‍රීවරුන්ට ඔහු කීවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුත්තේ ඇමැති රවිට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට එරෙහිව බවයි.

පසුගිය පස්වන දින මහින්ද රාජපක්ෂ මහතා බේරුවල ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වුණා. එහිදී රවීට එරෙහි විශ්වාසභංගය ගැන විමසූවිට රාජපක්ෂ මහතා කීවේ තමන් එයට ඡන්දය නොදෙන බවයි. කෙසේ වෙතත් ඊට පසුදා ගාල්ලේ පැවැති උත්සවයකින් පසුව මහින්ද රාජපක්ෂ මහතා කීවේ රවිට එරෙහිව යෝජනාවක් ලෙස නොව සමස්ත ආණ්ඩුවට එරෙහි යෝජනාවක් ලෙස ගේන විශ්වාසභංග යෝජනාවට තමා ඡන්දය ලබාදෙන බවයි. වසර දෙකකට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියද තමන් මේ දක්වා රජයට එරෙහිව ඡන්දයක් දී නැති බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදි හෙළිදරව් කළා. මෙවර දෙන ඡන්දය වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දෙන පළමු ඡන්දය බවද ඔහු කීවා.

රාජපක්ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ මහතාද විශ්වාසභංග යෝජනාව ගැන ප්‍රකාශයක් කළා. ඒ වැලිගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ රැස්වීමකදී චමල් රාජපක්ෂ මහතා එහිදී කීවේ 2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට දායක නොවී ශ්‍රී.ල.නි.ප.යේ උදවිය මේ රජයේ ඇමැතිකම් ලබාගෙන එජාපය විවේචනය කිරීම වැරැද්දක් බවයි. ආණ්ඩුවේ ඇමැතිකම් කරමින් රවි කරුණානායක ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීම වැරැද්දක් හා රැවටීමක් බවත් ඔවුන් කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත්වීම බවත් චමල් රාජපක්ෂ මහතා කීවා.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *