ධූරයේ බලතල ගැන අප කථාකරන විට රාජපක්ෂ සිතුවේ ඒවා ඔහුගේ පෞද්ගලික බලතල ලෙසය.

Nezamm 2ජනාධිපති ධූරයේ ඇති බලතල සම්බන්ධයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙට අපි ගියෙමු. අපේ නායකතුමා, හසන් අලී මහතා සමඟ මම ද ඒ ගමනට එක්වීමි. නීතිඥයෙකු ලෙස ජනාධිපති ධූරයේ බලතල ගැන කථාකරන විට රාජපක්ෂ ජනාධිපතිවරයා කථා කළේ තමාගේ පෞද්ගලික දෙයක් ගැන කථා කරන්නට වෙනත් අයෙකුට බලයක් නැත යන අදහසිනි. ලොකු වලව්කාරයින් වන ජේ. ආර්. ජයවර්ධනලාට ඒ බලතල පාවිච්චි කරන්නට පුළුවන් නමුත් දකුණේ මට එය පාවිච්චි කරන්නට ඉඩ නොදෙන්නේ ඇයි ද යන්න ඔහු නොකියා කීවේ ය. 17 වෙනි සංශෝධනයෙන් රාජ්‍ය සේවා කොමිසම විධායකය විසින් පත්කෙරෙන්නේ වුව ද එයට යම් ස්වාධිනත්වයක් තිබේ. නමුත් 18 වෙනි සංශෝධනයෙන් එය විධායකය විසින් අත්පත් කෙරුනු විගස ම රාජපක්ෂ කල්පනා කලේ එක එයාගේ පෞද්ගලික අයිතියක් ලෙස ය. අධිකරණ සේවා කොමිසමට සිදුවූයේ ද ඒ දේම ය. මැතිවරණ කොමසාරිස් සම්බන්ධව පමණයි මට අයිති දෙයක් ලෙස ප්‍රසිද්ධියේ නොකීවේ.
බුද්ධිමතුන්ට මේ සියල්ල වැදගත් බව සැබෑ ය. නමුත් සාමාන්‍ය මුස්ලිම් ජනයා මහින්ද රාජපක්ෂට විරුද්ධ වන්නේ තමන්ගේ උපන් අයිතියක් වූ ආගම ඇදහීමේ නිදහසට බාධා කිරීම සම්බන්ධයෙනි. රාජපක්ෂ එළිපිට එය නොකළ නමුත් බොදුබල සංවිධානය වැනි අන්තවාදි සංවිධානවලට සෘජුව නැති නම් වක්‍රව මහින්ද රාජපක්ෂ සහාය වූ බවට මුස්ලිම් ජනයා තුළ මතයක් ගොඩනැගුණි. ප්‍රජාතන්ත්‍රවාදයේ පළල් අර්ථයෙන් ගත් කළ එය පටු අවබෝධයක් විය හැකි නමුත් රාජපක්ෂ ඉවත්කර රටේ ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාවක් ගොඩනැගීමට එය බෙහෙවින් ඉවහල් වූ බව පිළිගත යුත්තකි.
දැන් යහපාලනය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් අය ද මැතිවරණ කොමිසන් සභාව, අධිකරණසේවා කොමිසන් සභාව, අල්ලස් හා දූෂණ කොමිසන් සභාව යන සියල්ලක්ම විධායකය යටතේ තිබිය යුතු බව එදා කියා සිටිය හ. හැමදාම විධායකයේ සිංහළ බෞද්ධයෙක් සිටීම මත ඒ අය ඒක සාධාරණය කළ බව පැහැදිළි ය. මේ රටේ සිංහළ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් නැති කිරීමට එරෙහිව කටයුතු කිරීමට සැම දෙයක්ම විධායකයට තිබිය යුතුය යන්න එහි මූලික අදහස ය. දේශිය ආදායම් කාර්යාලය, ආගමන විගමන කාර්යාලය යනාදිය ජනාධිපතිවරයා යටතේ තිබීම යහපත් ය යන අදහසක් ද එහි තිබුණි. ඔවුන්ගේ ආකල්පය වූයේ හොර වෙළදාම් කරන්නේ අන්‍ය ජාතිකයින් වන බව ය. වෘත්තීයක් ලෙස වැඩියෙන් වෙළදාමට යොමු වන්නේ මුස්ලිම් අය බව සත්‍යයකි. ඔවුන් මේ රටට පැමිණියේම වෙළදාම සඳහා ය. වෙනත් රක්ෂාවක් සඳහා පුහුණුවක් නැති මොවුන් ඒ වෘත්තියට යොමු වී ඇත්තේ ඓතිහාසිකවම ය. අනික් අතට මුස්ලිම් තරුණයන්ට කෙසේ වෙතත් සිංහළ තරුණයින්ට හෝ රැකියා නිර්මාණය කිරීමට ද මේ අය අසමත්ව සිටිති. එවැනි තත්ත්වයක් තුළ මුස්ලිම් තරුණයන් ද ජීවත් විම සඳහා කුමන හෝ රැකියාවක් කළ යුතු ය. මේ වෘත්තියේ මුස්ලිම් තරුණයින් වැඩියෙන් යෙදී සිටින බැවින් නීති විරෝධි වෙළදාම් වැඩියෙන් කරන්නේ ඔවුන් ද වියහැක. මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ ශ්‍රී ලංකිකයෙකු හැටියට මිස ජාතික හෝ ආගමික පදනමින් නොවේ. නැගෙනහිර පලාතේ මුස්ලිම් අයට මේ චෝදනාව තිබෙන්නේ අඩුවෙනි. එයට හේතුව ඒ ප්‍රදේශවල ගොවිතැන නැතිනම් මුහුදු යෑම ඔවුන්ගේ වෘත්තිය ලෙස ඔවුන් තෝරාගෙන තිබීම ය. උතුරු පලාතේ දෙමළ ජනතාවගේ බලපෑමෙන් දැන් අධ්‍යපනයෙන් ඉහලට යන්නට ද නැගෙනහිර පලාතේ මුස්ලිම් තරුණයෝ යොමුවෙමින් සිටිති.
මෙයින් පෙනෙන්නේ ආර්ථික අවශ්‍යතා මත මිනිසුන් එක් එක් දෙයට යොමු වන බව ය. අවාසනාවට මෙන් මේ ප්‍රශ්න ඒ ආකාරයෙන් දකින දේශපාලන නායකයින් දැන් නැත. නැති නම් කිහිප දෙනෙකු පමණයි ප්‍රශ්නය මේ ආකාරයට දකින්නේ. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින අය වැඩි දෙනා දකින්නේ ද දන් ඒකාධිපතියා පලවා හැරියා යන අදහසින් පමණි. නැතිනම් කොමිස්ගත්, බලතල අනිසිලෙස යොදාගත්, පුතාට ලැම්බෝගිනි ලබාදුන් සහ මල්ලිලාට බලතල දුන් මහින්ද රාජපක්ෂ පන්නාගත්තා කියන අදහසින් පමණි. බොදු බල සේනාව සහ අනිකුත් මුස්ලිම් විරෝධි බලවේග සමග ඉස්ලාම් ආගමට එරෙහි වූ මහින්ද රාජපක්ෂ එළවාදැමු බව මුස්ලිම් ජනතාව කල්පනා කරති. ත්‍රස්තවාදය නැති කළාට පසු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම යටපත් කිරීමට උත්සාහ දැරු රාජපක්ෂව අයින් කළ බව දෙමළ ජනතාව සිතති.
එයා ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයට තිබු බාධාවන් ඉවත් කළ බව වැඩි දෙනෙක් සිතන්නේ ද නැත. ඒකට මිනිසුන් සූදානම් කරන්නේ හෝ එසේ සූදානම් කරන්නට ලෑස්ති වෙන්නේ ද ඉතා අඩුවෙනි. ඒවා වේදිකාවේ කථාකර ඡන්ද ගන්නට ද නොහැකි ය. ඒ නිසා තව තවත් බලය බෙදීම පසුවට තබා දැනට 13 වෙනි සංශෝධනය යටතේ දී තිබෙන බලතල හෝ ක්‍රියාත්මක කරන්නේ නම් ඉතිරි හරිය අනාගතයේ ද තීරණය කළ හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *