හම්බන්තොට විකුණුවාද? – අනුර සූරියබණ්ඩාර

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගිය දා ගත් තීරණය මූලික කරගෙන ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇතිකරන්නට ඒකාබද්ධ විපක්ෂය සහ ජ.වි.පෙ. කටයුතු කරමින් සිටි බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එහිදී ඔවුන් උපයෝගී කර ගන්නේ ‘විකිණීම, යන වචනයයි. එනම් ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය විකුණා ඇත යන්නයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක කීවේ, තව අවුරුදු 99ක් ගතවන විට ගිවිසුම අත්සන් කළ ආණ්ඩුවත් නෑ,  චීනාත් නැහැ, ඔබත් නැහැ, මමත් නැහැ කියාය. ඉන් ඔහු බලාපොරොත්තු වූයේ හම්බන්තොට ගිවිසුම හරහා මහා භයානක විපතක් අනාගතයේදී ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවක් මවාපෑමටය.

ගිවිසුමක් හරහා වෙනත් රටක් සමඟ යම් ගනුදෙනුවක් සිදුකළ පමණින් එවැනි භායානක යමක් සිදුවිය නොහැකිය. එවැන්නක් සිදුවනු ඇතැයි සිතිය හැක්කේ අන්තර් ජාතික ගිවිසුම් පිළිබඳ මෙලෝ දැනීමක් නැති තැනැත්තකුටය. එසේත් නැතිනම් අන්තර්ජාතික ගිවිසුම් සම්බන්ධයෙන් බොරු භීතිකාවක් මවන්නට උත්සාහ කරන සටකපට තැනැත්තකුටය.

ගිවිසුමක කොන්දේසි එක රටකට වාසියකුත් තවත් රටකට ආවාසියකුත් වන ආකාරයක සකස් කළ හැකිය යන්න වෙනත් කරුණකි. එහෙත් කිසි විටෙක වෙළඳ ගිවිසුමක් හෝ අවබෝධතා ගිවිසුමක් අක්‍රමික ආකාරයක් ගනීය යන්න විශ්වාස කළ නොහැකිය. හොඳම නිදසුන හොංකොං දිවයිනයි. චීන අධිරාජ්‍යයකු විසින් බ්‍රිතාන්‍යයට 99 අවුරුදු බදු ක්‍රමයක් යටතේ පවරා තිබුණු එම දිවයින අදාළ කාලය ගෙවුණු පසුව චීනයට නැවත ලබාදෙනු ලැබුණි. ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම තවත් නිදර්ශකයකි. ඉන්දීය හමුදාව මෙරට ගොඩබැස්සවීමට පවා හැකි වූ ඒ ගිවිසුම යටතේ මෙර රැඳී සිටි හමුදාව ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව පිටවගිය බව මෑත ඉතිහාසය දන්නා අයට අමතක විය නොහැකිය.

වසර කිහිපයකට පෙර මෙරටට පැමිණි මහතීර් මොහමඩ් පැහැදිලිවම කීවේ, ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය ණය නොව ආයෝජන බවයි. හම්බන්තොට වරාය නිර්වචනය කළ හැක්කේ මහතීර්ගේ එම ප්‍රකාශය පැහැදිලි ලෙසම කණපිට හැර වූ ක්‍රියාවක් වශයෙනි. එනම් එය ශ්‍රී ලංකාව දෑවැන්ත ණය උගුලක සිරකළ ණය කන්දකි. හම්බන්තොට වරාය ඉදිකිරීම් සඳහා රජය ලබාගෙන ඇති ණය  ප්‍රමාණය බිලියන 193ක් නැතහොත් රුපියල් මිලියන 193000කි. එම ණය මුදල සඳහා වාර්ෂිකව මෙරට රුපියල් මිලියන 9100 ක් එනම් බිලියන (9.1ක් ගෙවිය යුතුය. නාවුක කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට වරාය අධිකාරිය උපයන ලාභයෙන් 90%ක්ම වැයවී ඇත්තේ හම්බන්තොට වාරායේ ණය ගෙවීමටය. හම්බන්තොට වරාය ගිවිසුම නොවන්නට 2042 දක්වාම වරාය අධිකාරියට ඒ ණය ගෙවන්නට සිදුවනු ඇත. එවිට සිදුවනු ඇත්තේ කොළඹ වරාය සංවර්ධනය ඇනහිටීමයි.

වාරාය අධිකාරියේ දත්ත අනුව 2011-2016 අතර කාලය තුළ හම්බන්තොට වරායේ සිදුව ඇති අලාභය මිලියන 46700කි. හේතුව හම්බන්තොට වරායට නැව් නොපැමිණීමයි. 2015-2017 කාලය තුළ හම්බන්තොට වරායට පැමිණ ඇත්තේ නැව් 43ක් පමණක් වීමය. නැව් නැති වරායක් පාඩු ලැබීම පුදුමයක් නොවේ.

හම්බන්තොට වරාය ඉදිකිරීමට ණය ලබාගත් ආකාරයේ වරදද එහි බර වැඩී වීමට බලපා තිබේ. ඒ සඳහා පළමුව ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 307 ට පොලී අනුපාතය 6.3%කි. දෙවනුව ලබාගත් ඇමරිකන් ඩොලර් 600 ක මුදලේ පොලී අනුපාතය 2.4%කි. මෙකී පොලී අනුපාත කොතරම් ඉහළද යනවග වැටහෙන්නේ සංවර්ධන ණය සඳහා පවතින පොලී අනුපාතය 0.5% – 1.5% තරම් වනබව සලකන විටදීය.

හම්බන්තොට වරාය ආයෝජනයක් වූයේ නම් ශ්‍රී ලංකාවට මෙතරම් බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවන්නේ නැත. හේතුව ලාභය හෝ අලාභය අයෝජනය කළ පාර්ශ්ව විසින් ආයෝජනයේ අනුපාතය අනුව බෙදාගැනීමයි. මහතීර් මොහොමඩ් ගේ උපදෙස ණය ගැනීම නොව ආයෝජන ලබාගැනීම වන්නේ එහෙයිනි.

ඇතැමුන් තර්ක කරන්නේ හම්බන්තොට ණය ගෙවාදමමින් වුව කොළඹ වරාය ලාභ ඉපැයූ බවයි. ඔවුන් කියන්නේ ඒ නිසා හම්බන්තොට වරාය බදු දීමක් අවශ්‍යය නොවන බවයි. එනම් කොළඹ වරායේ ලාභයෙන් 90%ක් හම්බන්තොටට ණය ගෙවමින් පවත්වාගෙන යායුතු බවයි. එය සැලකිය යුත්තේ එදා වේල තියරියක් වශයෙනි. මෙකී තර්කය තවත් බරපතල වන්නේ කොළඹ වරායේ දියුණුව පිළිබඳ සලකා බලන කල්හිය.

මහාචාර්ය රෝහාන් සමරවීර පෙන්වාදෙන ආකාරයට කොළඹ දකුණ වරායට අල්ට්‍රා ලාජ් නෞකා අතුළු කළ හැකි නමුත් කොළඹ පරණ වරායේ ඒ නෞකාවලට ඇතුළු වීමට ඉඩ නැත. (කොළඹ දකුණ වරායේ මුළු ධාරිතාවම දැනට පාවිච්චිවන බැවින් නැව්වලට පොළිමේ ඉන්නට සිදුව තිබේ. ඉන් අදහස් වන්නේ කොළඹ වරායට නවීකරණයක් අවශ්‍ය බවයි. නවීකරණයට මුදල් අවශ්‍ය වනු ඇත. හම්බන්තොට ණය ගෙවමින් කොළඹ නවීකරණය අපහසු කාර්යයක් බැවින් හම්බන්තොටින් නිදහස්වීම කොළඹට සහනයකි.

වරාය අධිකාරිය යටතේ තබාගනිමින් හම්බන්තොට දියුණු කළ නොහැකිදැයි අසන ජනප්‍රියවාදියෝ ද සිටිති. ඔවුන් පිළිතුරු නොදෙන ගැටළුව වන්නේ එසේ දියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා අපට මුදල්නොමැති නම් සිදුවන්නේ නැවත ණයට ගැනීමටය. එවිට සිදු වන්නේ රට යළිත් ණය බරක පටලැවීමයි.

2015-2017 නැව් 43ක් පමණක් පැමිණි වරායකට තම අදායමෙන් තමා සංවර්ධනය වීමක් බලාපොරොත්තු විය නොහැක. වාරය සංවර්ධනය කිරීම සඳහා දොඹකර සවිකිරීම අදිය සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන හයසීයක් පමණ අයෝජනය කරන්නට සිදුවනු ඇතැයි පැවසේ. එසේ ආයෝජනය කළ පමණින්ද නැව් වරායට පැමිණෙන්නේ නැත. ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍ය වේ. අද්දැකීම් ඇති ආයෝජන හැකියාව ඇති වෙනත් පාර්ශ්වකරුවකු හම්බන්තොටට අවශ්‍ය වන්නේ එතැනදීය. රට ණයබරකට යට නොකර ආණ්ඩුව ඒ සඳහා සුදුසුම විසඳුම තොරාගෙන ඇති බව පිළිගත යුතුය. ආයෝජනයේ අනුපාතය අනුව දෙපාර්ශ්වයට එහි වගකීම බෙදීයනු ඇත. ලාභයක් උපයන විට එය ද ආයෝජන අනුපාතය අනුව දෙපාර්ශ්වයටම බෙදී යනු ඇත. මහතීර් මොහොමඩ් කීවේ මෙරටට අවශ්‍ය ණය නොව ආයෝජන බවය. ආණ්ඩුව ණය වෙනුවට ආයෝජන ලබා ගනිමින් හම්බන්තොට සංවර්ධනයට පියවරගෙන තිබේ. චයිනා මර්චන්ට් සමාගම වරායේ දියුණුව වෙනුවෙන් යොදවන ආයෝජන නැවත ඔවුනට ගෙවන්නට මෙරටට සිදුවන්නේ නැත.

චයිනා මර්චන්ට් සමාගම ලෝකයේ රටවල් 15 ක වාරායන් වල ක්‍රියාත්මක වන සමාගමකි. පර්යන්ත 55 ක මෙහෙයුම් කටයුතු ඔවුන් අතින් සිදුවේ. චයිනා මර්චන්ට් සමාගම සමඟ අත්සන් කළ හම්බන්තොට වරාය ගිවිසුම රට පාවා දීමක් යැයි අර්ථකථනය කරන අයගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, එම සමාගම සමග ගිවිසුම් ගතව සිටින අනෙක් රටවල් 15ද තම රටවල ස්වාධීනත්වය එම සමාගමට හෝ චීනයට පවරා දී ඇතිද යන්නයි.

හම්බන්තොට ගිවිසුම් ප්‍රකාර HIPG සමාගමේ තවත් 20% ක කොටස් මිලයට ගැනීමට මුල් අවුරුදු දහයේ දී අපට හැකියාව තිබේ. එසේම අවුරුදු 70 සම්පූර්ණ වන විට 100%ක කොටස් මිල දී ගැනිමේ හැකියාවද තිබේ. එසේම අවුරුදු 80 සම්පූර්ණ වන විට රුපියල් 160කට (එක ඩොලරයක වටිනාකමට) 60% ක කොටස් මිලදී ගැනීමකට ශ්‍රී ලංකාවට හැකියාව තිබේ. එවිට ඉතිරි අවුරුදු 19 වරාය ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකාව යටතේය. වරාය භූමියේ අයිතිය සතුව ඇත්තේ වරාය අධිකාරියටය. වාරය අධිකාරියට අයිතිය ඇත්නම් එය විකිණීමක් ලෙස අර්ථදැක්විය හැක්කේ අඳබාලයකුට පමණි.

මෙහිදි මතක් කළයුතු තවත් කරුණක් වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ කොළඹ වරායේ පර්යන්තයක කොටස්වලින් 85% (CICTපර්යන්තය) චීන සමාගමකට පවරා තිබූ බවයි. ඒ කාලයේ ඒ ගිවිසුමට විරුද්ධ නොවූ පිරිස් අද හම්බන්තොට විකිණීමක් ගැන කතාකිරීම විහිළුවකි. අප ඉන් අදහස් කරන්නේ එකී ගිවිසුමට විරුද්ධ විය යුතුව තිබූ බව නොවේ.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ විදේශ ආයෝජන සමඟ දියුණු අංශයක් වන්නේ ටෙලිකොම් ක්ෂේත්‍රයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ටෙලිකොම් ආයතනය විදේශ සමාගමක් යටතට පත් කරන්නට පෙර දුරකථන ලබාගැනීමට මහා දිග පොරොත්තු ලේඛනයක් (Waiting list) පැවති බව අතැමුනට අද මතක නැත. දුරකථනයක් නිවසට ලබාගැනීම සඳහා පුමුඛතාව ලබාගැනීමට අදාළ අමාත්‍යවරයාගෙන් හෝ මන්ත්‍රිවරුන්ගෙන් ලිපි ඉල්ලා පස්සෙන් යාමට සිදු වූ අතීතයක් අපට තිබුණි. ඇතැම්හු දුරකථනයක් ලබා ගැනීම සඳහා, නිතර වෛද්‍යවරයකු කැඳවීමට අවශ්‍යවන රෝගියකු නිවසේ සිටින්නේයැයි බොරු ලියුම් ද දුන්හ. දුරකථන සේවා සැපයීමට පෞද්ගලික අංශයට ඉඩදීම හේතුවෙන් මේ වන විට නිවෙසට පැමිණ දුරකථන ලබාදෙන, නොමිලයේ සිම්පත් ලබා ගන්නැයි සමාගම් ආයාචනා කරන මට්ටමට දුරකථන සැපයුම දියුණු වී තිබේ. අන්තර්ජාල සේවා, ජංගම දුරකථන සේවා, සැටලයිට් රූපවාහිනි, සමාජ මාධ්‍ය ජාල ආදියෙහි වර්ධනය හරහා තොරතුරු යුගයකට රට යොමු වීමට ඒ තීරණය බලපෑවේය. එකල ටෙලිකොම් විකුණනවා යැයි කෑ ගැසූ විමල් වීරවංශ ගේ කාටුනය අතේත් දැන් ජංගම දුරකථනයක් තිබේ.

හම්බන්තොට ගිවිසුම යනු ෂැංගිලා හෝටලයට ඉඩම දුන්නා වැනි සින්නක්ර ඉඩම් දීමක් නොවේ. කොළඹ වරායේ දකුණේ 85%ක අයිතිය ඇත්තේද චීන සමාගමකටය. ඒ ගණුදෙනුව සිදු කෙරුණේ මහින්ද යුගයේ බව නැවත කිවයුතු නැත. දකුණු ආසියාවේ හොඳම වරායන් ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ බව පැවසේ. කොළඹ වරාය හොඳ වරායක් වුවද සිංගප්පූරුවට සාපේක්ෂව අපි කාර්යක්ෂමතාව අතින් සිටින්නේ පහළිනි. ටෙලිකොම් ආදර්ශය අනුව ගතහොත් දැන් කොළඹ වරායට තරඟකාරයකු ලැබෙන්නට නියමිතය. තරඟකාරිබව ලිබරල් ආර්ථිකයේ ලක්ෂණයකි. අපි බලාපොරොත්තුසහගත වෙමු.

අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *