පසුගිය හැම මැතිවරණ ප්‍රකාශනයකම තියෙන්නෙ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම හා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන. ජනතාව කී වතාවක් ඒකට ඡන්දය දුන්නද? – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර

ලබන අවුරුද්දට නිදහස ලැබිලා අවුරුදු 70ක් සම්පූර්ණ වෙනව. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ ජීවත් වුණා. පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි හදාපු එකක් නෙමේ. ඒක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් හදලා අපිට එවාපු එකක්. වමේ අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවෙ විරුද්ධ වුණා. එළිසබෙත් රැජිණ අපේ රාජ්‍ය නායිකාව කරන කියපු වෙලාවෙ වමේ අපි විතරයි ඒකට විරුද්ධ වුනේ. වෙන කවුරුවත්වත් කිසිම හඬත් නැගුවෙ නෑ ඒකට විරුද්ධව. ඒක පිළිගත්තා. ඒ ව්‍යවස්ථාව අවුරැදු 24ක් තිබුණා. ඊළඟට අපි ලොකු සටනක් කරගෙන ගියා අපේම ව්‍යවස්ථාවක් ඕනැ කියල. ඒක මල්ඵල ගැණුනේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුවෙන්. අපි 1972 ව්‍යවස්ථාවක් ගෙනාවා. ඒක අංග සම්පූර්ණ හොඳම වයවස්ථාව නෙමේ. නමුත් ප්‍රධාන කාරණාවක් තිබුණා. බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉවත් වෙන්න. පූර්ණ නිදහස ලබා ගැනීම.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර එසේ ප්‍රකාශ කළේ, සමාජ සාධාරණත්වය සඳහා ජනතා ව්‍යාපාරයේ මෙහෙය වූ ‘ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු,  යන මැයෙන් පසුගිය දා කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සම්මන්ත්‍රණයක දීය. ඩිව් ගුණසේකර මහතා තවදුරටත් කතා කරමින් මෙසේ සඳහන් කළේය.

ශ්‍රී පොන්නම්බනම් අරුණාචලම් වගේ කෙනෙක් 1918 ලංකා ජාතික සංගමයේ නායකයෙක් විදිහට පූර්ණ නිදහස සඳහා තමයි කතා කෙරුවෙ. ලංකා ජාතික සංගමයේ පළවැනි සැසිවාරයේ දී ඔහු කීවේ ඊට අවුරුද්දකට ඉස්සරවෙලා තමයි ඔක්තෝබර් විප්ලවය ඇති වෙලා තිබුණෙ. බය වෙන්න එපා බොල්ෂෙවික්වරු බලයට ඇවිල්ලා. අපිට දැන් හොඳ මිත්‍රයො ඉන්නවා, අපේ රටට පූර්ණ නිදහස ඉල්ලමු කියල ඔහු එදා කිව්වෙ. නමුත් අපිට ඒ කාරණාව ඉෂ්ඨ කරගන්න බැරි වුණා. ඒ ව්‍යවස්ථාව අවුරුදු හයයි තිබුණෙ. ඊට පස්සෙ අලුත් ව්‍යවස්ථාවක් ආවා. ඒ ජේ.ආර්. ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව ගෙනාපු ජාත්‍යන්තර පරිසරය අපි අමතක කළ යුතු නැහැ. එදා අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ලොවට හඳුන්වා දීපු අවස්ථාව. ඒක අත්හදා බලමින් තිබුණු අවස්ථාවක්. චිලියෙ අලුත් ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයකින් පෙරළලා දාලා ත්‍රිවිධ හමුදාවෙ නායකයා ජනාධිපති මරලා ඒ ආර්ථිකය පරීක්ෂණයට ලක් කරපු අවස්ථාව. විශාල ආර්ථික සංවර්ධනයක් ආවා චිලියෙ. විශාල ප්‍රබෝධයක් ආවා. එවැනි ආර්තික ප්‍රතිපත්තියක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ අපිට ශක්තිමත් බලගතු ව්‍යවස්ථාවක් නැතුව කියන එක තමයි පිටිපස්සෙ තිබුණ චින්තනය එළියට නොදැම්මට. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවේ ඒ ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යතාවයකට රාමුව සකස් කර ගැනීම සඳහා. දැන් ඒක ඇවිල්ලා අවුරැදු 39 යි එදා ඒක සම්මත කරපු දවසෙම හයිඩ් පාර්ක් එකේ වාඩිවෙලා හිටපු කොටසක් මෙතන ඉන්නවා. එදා ඉඳලම අපි විරැද්ධ වුණා. එදා ඉදලම අපි ඉල්ලා සිටියා මේක වෙනස් කරන්න ඕනැ කියල. එදා අපි ඒකට විරුද්ධ වුණේ යූ.එන්.පී. එකෙන් ගෙනාපු නිසා නෙමෙයි. ඒ පිළිබඳ සාකච්චාවක් තිබුණෙත් නෑ. ඒක සිරිකොතේ හැදුවෙ. පැය විසිහතරෙන් ඒක සම්මත වුණා. ඒ ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවක් තිබුණෙ නෑ, විරුද්ධ වෙන්න හරි නොවෙන්න හරි. අපි පාර්ලිමේනුත්වෙ හිටියෙ නැති නිසා අපි සියළුම වමේ නායකයො පාරේ වාඩිවෙලා ඒකට විරෝධය පෑව. එදා ඉඳලා දිගටම අපි ඉල්ලුවෙ අලුත් ව්‍යවස්ථාවක්. අපිට එය ඉටු කරගන්න බැරි වුනා.

1970 ඉඳලා හැම මැතිවරණයකම විශේෂයෙන් 1994 පස්සෙ හැම මැතිවරණයකදිම මැතිවරණ ප්‍රකාශනයකම තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන. ජනතාව කී වතාවක් ඒකට ඡන්දය දුන්නද? 1994 දුන්නා, 2000දි දුන්නා, ඊට පස්සෙත් දුන්නා. 2015 දිත් දුන්නා. ඇයි අපිට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බැරි වුණේ. මොකක්ද හේතුව? කාරණා දෙකක්. එකක් ව්‍යවස්ථාව කියන්නෙ රටේ මූලික නීතිය. මූලික නීතිය ඇති කරන්න බැහැ තනි පක්ෂයකට. ඒකට සියලුම පක්ෂ සියලුම පාර්ශ්වයන් සහභාගි වෙන්න ඕනැ. ඒක මුළු රටේ ජනතාවගේ ව්‍යවස්ථාවක්. එක පන්තියක, එක පක්ෂයක ව්‍යවස්ථාවක් නෙමේ. අපිට ඒ පොදු එකඟත්වය කවරදාවත් ගන්න බැරි වුණා. ඒක 1972 ව්‍යවස්ථාවටත් ගන්න බැරි වුණා. උතුරේ ද්‍රවිඩ ජනතාව ඒකට සහභාගි කරගන්න බැරි වුණා. අපි ඒක දැන හිටියා. කොල්වින් ආර් ද සිල්වා ඉල්ලා හිටියා මේක කොල්වින් ආර් ද සිල්වගෙ ව්‍යවස්ථාවක් කියල කියන්න එපා. මගේ ව්‍යවස්ථාවක් නම් මීට වෙනස් ආකාරයටකට ඒක ගේන්නේ. එදා සමගි පෙරමුණ තුළ පොදු එකඟත්වයක් තිබුණා ඒ නිසා ඊට වඩා දෙයක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගි කරගන්න පුළුවන් වුණා නම් මේ ප්‍රශ්න බොහොමයක් එදා විසඳගන්න තිබුණා. ඒ අවස්ථාව අපෙන් ගිලිහී ගියා. අපි ඒ වරද ස්වයං විවේචනාත්මකව පිලිගන්නවා. අනිත් පැත්තෙන් උතුරේ දෙමළ ජනතාවගෙ නායකයන්ගෙ ඒ තත්ත්වයක් මොරලා තිබුණෙ නෑ. දකුණේ දේශපාලකයන් එක්ක එකඟතාවයකට එන්න

අමිර්තලිංගම් මහත්තයා විපක්ෂ නායකයා උනාට පස්සෙ වඩා හිතකර තත්ත්වයක් නිර්මාණය වුණා රටේ දේශපාලනයේ. ඒක මම මේ අවස්ථාවෙදි විශේෂයෙන්ම සදහන් කරන්න ඕනැ. බොහෝ දෙනාට එය අමතකයි. ඔහු විපක්ෂ නායකයා වශයෙන් ඉන්නකොට අවසාන වශයෙන් අපේ රටේ තිබුණු අතුරු මැතිවරණය තමයි කලාවාන අතුරු මැතිවරණය. කලවානට ඔහුත් ධර්මලිංගම් සමග ඇවිල්ලා සරත් මුත්තෙට්ටුවගම සහෝදරයට සහය දෙන මැතිවරණ කැම්පේන් එකේ හිටිය. ඒ තමයි උතුරේ නායකයෝ දකුණට ඇවිල්ලා මැතිවරණයකට සහභාගිවෙච්ච පළමුවෙනි වතාවත්, අවසාන අවස්ථාවත්. මේ මැතිවරණයේ දී අපේ ජාතික සමගිය රටට පෙන්විය යුතුයි ඒ සඳහා දේශපාලන මණ්ඩලයෙන් අවසර ඉල්ල ගත්තා අමිර්තලිංගම්වයි, ධර්මලිංගම්වයි කැඳවන්න. ඊට පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 6 වැනි සංසෝධනය ආවා. අමිර්තලිංගම්ලට බලයට එන්න බැරි වුණා. එතුමන්ලා ඝාතනය වුණා. ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ නායකයා වුණා.

අපි අවුරුදු ගණනක් යුද්ධ කරල දැන් යුද්දෙ අවසාන වෙලා අවුරුදු අටක් වෙනව. ආපහු හැරිල බලනකොට අපි තාමත් එතන ඉන්නේ. 1983 කළු ජූලියත් එක්ක යුද්දෙ එනකොට පළවෙනි අවුරුද්දෙ යුද්දෙට වියදම් කළේ රුපියල් මිලියන 1යි. යුද්දෙ අවසාන වන අවුරැද්දෙ අපි වියදම් කළා බිලියන් 250ක්. 1983 සට 2001 දක්වා අපේ සල්ලි ජනතාවගේ සල්ලි කෝටි ගණන් වලින් වියදම් කළේ යුද්දය සඳහා. අපේ සොල්දාදුවො මරුණා. ඔවුන් එල්.ටී.ටී.ඊ. වුණත් දෙමළ ජනතාව මරුණා.  අන්තිමේදී කවුරුත් ලබාගත්ත දෙයක් නැහැ. ඔවුන්ටත් නෑ. අපටත් නෑ.

පළවෙනි වතාවට 2015 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය දෙකම ගත්තම සියලුම දේශපාලන පක්ෂ පොදු එකඟත්වයක් තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මේ පළමුවෙනි අවස්ථාව. අපි හිටියෙ අනිත් පැත්තෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ඒකෙත් තිබුණා මේකෙත් තිබුණා. පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගත්තා. මෙතෙක් එක්සත් ජාතික පක්ෂය ඒ තත්ත්වයට පත් වුණේ නැති නිසා තමයි පොදු එකඟත්වයක් ගේන්න බැරි වුණේ. මේ මතයට ඔක්කොම ඇවිල්ලා අවුරුදු දෙක හමාරක් ගිහින්. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනව නම් ගේන්න ඕනැ අලුත් ආණ්ඩුවක්  ආපු හැටියෙ. පළවෙනි අවුරුදු දෙකේදි කෙරුණෙ නැත්නම් ඒක කෙරෙන්නේ නෑ. මම අධෛර්යට පත් කරනව නෙමෙයි, 1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට ඇවිල්ලා 1971 කැරැල්ලක් තිබිලත්, බලයට ඇවිල්ලා මාස නමයක් තුළ විශාල කැරැල්ලක් තිබිලත් අපි අත ඇරියෙ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ක්‍රියාත්මක කෙරුවා. ජේ.ආර්. ජයවර්ධන 1977 බලයට අවිත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා.

මනේජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *