|

ශීත කාමරවල මැතිවරණ ප්‍රකාශන සැසදීමක් – මහාචාර්ය රොහාන් සමරජීව

ශීත කාමර  මැතිවරණ ප‍්‍රකාශණ කිහිපයක් දැන් නිකුත් වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශණය ඔවුන්ගේ ප‍්‍රශ්නයට සීමා වී ඇත. එහෙයින්  ආර්ථිකය පැත්තෙන්  බැලූකළ අපිට කථාකරන්නට තිබෙන්නේ  එක්සත් ජාතික පක්ෂයේ, එක්සත් ජනතා සන්ධානයේ, සහ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශන ගැන ය. විශාල පරාසයක් මෙවැනි ලිපියකින් සාකච්ඡුා කිරීමට ඉඩක් නැති හෙයින් මේ සාකච්ඡුාවට මා ඇතුලත් කරගන්නේ ඒ ප‍්‍රකාශණ වලට අදාළ  කෘෂිකර්ම ක්ෂේත‍්‍රය ගැන පමණි. රටේ ජනගහනයෙන් 70% පමණ තවමත් ජීවත් වන්නේ ගම්වල ය. 30%ක් පමණ කෘෂි ආර්ථිකය මත තවමත් රදාපවතින හෙයින් මේ ක්ෂේත‍්‍රය ගැන වැඩි අවදානයක් යොමු කිරීම සාධාරණ ය.

මූලික වශයෙන් ගත් කළ ලංකාවේ ඇති ප‍්‍රශ්න අතර කෘෂිකාර්මික ප‍්‍රශ්නය අප විසින් හඳුණාගත යුතුව තිබේ. ප‍්‍රශ්ණය හඳුණා ගැනීම පසෙක තිබිය දී ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණ  මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති නමුත්  පොදු ජන සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශණයේ ඇත්තේ කෘෂි අංශයට දෙන සහන ගැන පමණි. ඒ මදිවාට සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශණය පටන් ගන්නේ ම මේක නිකම්ම නොයෙක් දේ එකතු කළ එකක් නොව විද්වතුන් එකතු කරගෙන, සංඛ්‍යා ලේඛණ පදනම්කරගෙන  සකස් කළ එකක් බව  සඳහන් කරමිනි.   ඒ ඇගයිම් එම ප‍්‍රකාශණයට ගලපන්නේ නම්  එය ඉතාමත්ම අසාර්ථක  ප‍්‍රකාශණයක් බව පෙනේ.

 

දන් දෙන ප්‍රතිපත්ති

වෙනත් ආකාරයකට කියන්නේ නම් එය සැබවින්ම  බුද්ධිමත් ආකාරයට සකස්කර නැත.  ඒ ප‍්‍රකාශණයේ මූලික වශයෙන් තිබෙන්නේ  සෑම ක්ෂේත‍්‍රයකටම ඔවුන් දෙන දේවල් ගැන ය. එම දීමනා වර්ග දෙකකි.  ඉන් එකක් වන්නේ සුභ සාධනයන් ය.  දෙවැන්න වෙන දෙයක් නොව ණය දීම කි.  උදාහරණ ලෙස විවහා වූ පසු ගෙවීමක් කෙරේ. කාන්තාවක් දරුවෙකු ප‍්‍රසූත කළාම ද ගෙවීමක් කරණු ලැබේ. මෙය සමාජ සුභ සාධන කටයුත්තක් ලෙස ගත හැක.  ආර්ථික පැත්තට යොමු වුවහොත්  එම ප‍්‍රකාශනයේ තිබෙන්නේ ණය ලබා දීමක් පිළිබඳව ය.  අඩු පොළී හා පොළී රහිත  ලෙෂ දෙන ණය ක‍්‍රම දෙකක් එහි  ඇත. මෙතන දී අපිට ඇසීමට ඇත්තේ  ඒ ණය ක‍්‍රම ඇති කරන්නට තරම්  ඒ ආකාරයේ විශාල ප‍්‍රශ්ණයක් තිබුණේ ද යන්න ය.   ඒ ගැන උගතුන් යොදවා අපි විග‍්‍රග කළවිට  ඒ ණය දීමේ ප‍්‍රශ්නය කුමක් ද යන්න අපට හඳුණාගත හැක.

සමහර විට ඒවා පිටින් බලන විට ප‍්‍රශ්නයක් වගේ පෙනුනාට ඒවා ප‍්‍රශ්න නොවේ.  සමහර විට යම් ප‍්‍රශ්නයකට විසඳුම් දෙන්නට යන විට තවත් ප‍්‍රශ්නයක්  මතු වී ඒ අරමුණ සඵල නොවී අවුල් වී දියාරු වී යන්නට පුළුවන.  මේ නිසා තමයි නියම විග‍්‍රහයක් අවශ්‍ය වෙන්නේ.

ශීත කාමරවල  සිට ප‍්‍රතිපත්ති හදන බවට ප‍්‍රසිද්ධ චෝදනාවක් තිබේ. මේක මා ලංකාවේ බොහෝ විට අසා තිබෙන යෝජනාව කි.    මේ චෝදනාව එහෙම පිටින් ම ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන්කර ඇත. මැතිවරණ ප‍්‍රකාශනයක් යනු අනාගතය හිසේ දරාගෙන සකස්කරන දෙයකි.  අනාගතය ගැන කථා කරන්නට වෙන්නේම හිසේ තිබාගෙන ය. ඒ අනුව  මැතිවරණ ප‍්‍රකාශන   හදන අයත් සිටින්නේ එක්තරා ආකාරයේ ශීත කාමර තුළ ය.  ඒ අය ඒ කාමර වල සිට ඒ අයගේ  ඔලූවේ තිබෙන දෙයක් අනාගතය ගැන බලාගෙන කඩදාසියකට දමති. කඩාදාසියේ එසේ ලීවාට මේක ක‍්‍රියාත්මක කරන්නේ කෙසේ ද  යන්න හා ඒක ක‍්‍රියාත්මක කරන යාන්ත‍්‍රණය ගැන අඩුවෙන් කථා කරන අතර සමහර විට ඒ ගැන කථා කරන්නේ ම නැත.

මුදල් කොහෙන්ද

උදාහරණයක් හැටියට මේ මැතිවරණ ප‍්‍රකාශණ වල  රුපියල් බිලියන් 400ක් පමණ ගෙවීම් ඇති බව ඉතා රළු ලෙස සන්ඬේ ටයිම්ස් පුවත් පතේ ගණන් බලා තිබුණි.   මෙහිදී  එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ද මේ හා සමාන ගෙවීම් ප‍්‍රමාණයක් ඇති බව තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශකර තිබුණි.  මේ  මුදල්  හොයා ගන්නේ කෙසේ ද යන්න කිසිවෙක් කියන්නේ නැත.  මේකේ කථා කරන්නේ වැය ගැන පමණි.  අය පැත්තක් ගැන සඳහන් නොවේ.   මේ අය පැත්ත ගැන කථාකිරීම වැදගත් නැද් ද?  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ප‍්‍රකාශනයේ තිබුණ දේ ද කි‍්‍රියාත්මක කිරීමට යෑමේ දි මුදල්ු සොයා ගැනීමට සිදුවූ බව අපි දුටුවෙමු.  මොවුන්  හිතන්නේ මේවා අහසින් කඩා වැටෙන දෙයක් ලෙස ද යන්න අපි නොදනිමු.   එම නිසා මේ වැඩ පිළිවෙලට මුදල් ලැබෙන්නේ කොහෙන්ද යන්න අපිට අසන්නට  සිදු වේ.
දෙවැනි උප කොටස වන්නේ  මේ කරණ යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට යොදාගන්නා  යාන්ත‍්‍රණය  කුමක් ද යන්න ය. වෙනත් ආකාරයකට කියන්නේ නම් මේක කරන්නේ කවු ද?  මොන ආයතන තුළින් ද ?  ඒ අයට අවශ්‍ය හැකියාවන් තිබෙන්නේ ද?  අතීතයේ මේවා ක‍්‍රියාත්මකකර සාර්ථක වී තිබේ ද ?  යන ප‍්‍රශ්නය ද අප ඇසිය යුතු ය.
නියම ප‍්‍රතිපත්තියක් නම්   වියදමට සරිලන  ප‍්‍රතිඵල අපිට ලැබෙන්නයට අවශ්‍ය ය.   ඕනෑම බූරුවෙකුට වියදම් කළ හැකි නමුත්  එය බුද්ධිමත්ව වියදම් කරන්නේ ද යන ප‍්‍රශ්නය මෙතන තිබේ.  ඊ ළඟට අපිට  දැන් තිබෙන  රාජ්‍ය හා සම්බන්ධ යාන්ත‍්‍රණයෙන් මෙය කළ හැකි ද ?  මැතිවරණ ප‍්‍රකාශනයේ ඇති සෑම අංශයකම නොව මේ ප‍්‍රතිපත්ති මාලා තුනේම ආර්ථික පැත්ත ගත් කළ අඩු වැඩි වශයෙන් මේ ගැටළුව තිබේ.

ඉහතින් සඳහන් කළ ආකාරයට කෘෂිකාර්මික අංශයට අපේ අවධානය යොමු කළහොත් වතු සමාගම් වල සිට එයින් පහල සුළුපරිමාන ගොවිතැන දක්වා මෙයට අයත් ය. ලංකාවේ සංස්කෘතියේ පදනම ලෙස තිබෙන මේ සුළුපරිමාණ අංශය ගැන කථා කිරීම ඉතාම වැදගත් ය. ඊ ළඟට අතර මැදි දේවල් වන,එනම් එළවලූ යනාදිය ද ගත හැක. තවද වැඩි වටිනා කමක් ඇති අපනයනය කළ හැකි යැයි සැළකෙන  සුළු අපනයන බෝග ද මෙයට අයත් ය.  අපි දැන් සෑහෙන දුරට වසර  8ක් පමණ කාලයක් පුරාවට  මේ දෙවනුව කථා කළ  එනම් එළවලූ පලතුරු වලට අදාල   මේ සැපයුම් දාමය  කෙසේ ද  එහි ඇති ප‍්‍රශ්න මොනවා ද?  තාක්ෂණය යොදා එය කාර්යක්ෂම කරන්නේ කෙසේ ද යන  ප‍්‍රශ්නය අප විග‍්‍රහකර තිබේ.   මේ කාරණය අනික් මැතිවරණ ප‍්‍රකාශනවල තිබෙන්නේ වී නමුත් එය හරියටම මතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශනයේ පමණි.

ප්‍රශ්නයක් වූ ඵලදායිතාව

යම් කිසි රටක දළ ජාතික ආදායමට සියයට දහයක් දායක වන යම්කිසි අංශයක සියයට තිහක් පමණ ජනතාව නියැළී සිටින්නේ නම්,  ඒ ඉලක්කම් දෙක දෙස බැලූ බැල්මෙන්ම ඵලදායි බවේ ප‍්‍රශ්නයක් තිබෙන බව පෙනේ.  මේ අය විශාල මහන්සියක් දරණ නමුත් ජාතික ආර්ථිකයට  එක්කරන්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි.  මෙහිදි ඵලදායිතාවය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇති බව ඇස් පනාපිට පෙනෙන්නට තිබේ. මේ ඵලදායිතාවය පිළිබඳ ප‍්‍රශ්නය  පාරිභෝගිකයාට මෙන්ම නිෂ්පාදකයාට ද ඉතා අවාසි ලෙස බලපානු ඇත.

නාගරික ජනතාවගේ පැත්තෙන් ගතහොත්  ඔවූහු කෘෂිකාර්මික පාරිභෝගිකයෝ වෙති.  ඔවුන්ගේ මැසිවිල්ලක් වෙන්නේ මිල ඉහල පහල යෑම පිළිබඳ  ප‍්‍රශ්නය සම්බන්ධයෙනි. පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක බව තවත් ප‍්‍රශ්නයකි.  අනික් අතට මේවා නිෂ්පාදනය කරන ගොවින් තුළ ද ඇත්තේ මැසිවිල්ලකි.  මේ අනුව පාරිභෝගිකයින් අතෘප්තියෙන් සිටින අතර නිෂ්පාදකයා ද දරිද්‍රතාවයෙන් පෙළෙන බව අපිට පෙනේ.  මෙය විශාල ප‍්‍රශ්ණ ගනනාවකට මැදිවූ ක්ෂේත‍්‍රයක් බව මේ අනුව අපිට පැහැදිළි විය යුතු ය.  ඊ ළඟට තවත් සංඛ්‍යා ලේඛණ ගතහොත්  ඔය සැපයුම් දාමය තුළ  එළවලූ කිලෝ සියයක් නිෂ්පාදනය කළහොත්  පාරිභෝකයා අතට යන්නේ එයින් කිලෝ 60ක් පමණය. කිලෝ 40 පමණ නාස්තියක් වී තිබේ.  මේ ගැන කවුරුත් කථාකර ඇත.   ගොවීන් මහන්සි වී වගා කළ දේ අවසානයේ අලින්ට කන්නට දාන්න සිදු වෙන අවස්ථා ද අසන්නට ලැබේ.  මේ මැතිවරණ ප‍්‍රකාශනවල මේ ගැටළුව නිවැරදි ලෙස නිර්වචනය කළේ කවු ද කියන එක වැදගත් ය.
ජනතා විමුක්ති පෙරමුණ  මේකට විස\ුමක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් පවසන්නේ ලිතක් අනුව  නිරික්ෂණය කර ලිත අනුව වගා කිරීමේ ක‍්‍රමයක් ඇති කරන බව ය. ජවිපේ මෙයින් කියන්නේ ඔවුන් කියන ආකාරයට වගා කළ යුතු බව ය.  මෙතෙන්ට රාජ්‍ය යන්ත‍්‍රණය ඇතුල් වන බව ඒ අනුව පැහැදිළි ය.

යල් පැනගිය මත

ඒ අයගේ මේ යෝජනාවෙන් පිළිඹිඹු වන්නේ ප‍්‍රංශ විප්ලවයට පෙර සිටි 14 වෙනි ලූවී රජුගේ ආර්ථික අමාත්‍යවරයාව සිටි  කොල් බෙයාර් ගේ අදහස ය.   මේ අදහස ඉතාම යල්පැනගිය අදහසක් වේ.  එහි මූලික දේ තමයි රාජ්‍ය තමයි ප‍්‍රධාන කියන එක.  සියල්ල කරන්නේ රාජ්‍ය මගින් වන හෙයින් රාජ්‍ය ශක්තිමත් කළ යුතුය කියන අදහස මේ තුළ ගැබ්වේ.  ඊ ළඟට අපනයන  හැකිතරම් වැඩි කළ යුතු බව හා  ආනයන හැකි තරම් අඩු කළ යුතු බව කියති.  ජනතා විමුක්ති පෙරමුණෙ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ සම්පූර්ණයෙන් තිබෙන්නේ මේ අදහස ය.

මෙතන දි තවත්  ප‍්‍රශ්නයක් වන යාන්ත‍්‍රණය පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නගී. වෙළඳ පොල යාන්ත‍්‍රණය නැති නම් එය ක‍්‍රියාවට නගන යාන්ත‍්‍රණය වන්නේ රජය ය. ගොවියාගේ  ස්වයං කැමැත්තට මෙතන ඉඩක් නොමැත.  මෙතන දී ඒ කාර්යයට රාජ්‍ය අධිකාරයක් පැමිණිම වැළැක්විය නොහැක.  එයින් එක් පැත්තකින් පුද්ගලික නිදහස පිළිබඳ ප‍්‍රශ්නයක් ඇත.  ඒ අය පුද්ගලික අංශයට ඉඩදෙන බව කියන  නමුත් පුද්ගලික අංශය ආණ්ඩුව කියන හැටියට වැඩකළ යුතු ය.   මිළ උච්චාවචනය යන ප‍්‍රශ්නයට  වෙනත් විසඳුම් තිබෙන බව ඒ අය පිළිගන්නේ නැහැ. නැතිනම් ඒ ගැන ඔවුන් දන්නේ නැත.  නමුත් මධ්‍යගත විසඳුම් වෙනුවට මෙයට විමධ්‍යගත විසඳුම් තිබේ.  එවිට මේ ගනන් හැදීම අපේ ආර්ථිකය හසුරුවන යාන්ත‍්‍රණය තුලින් කරන්නට පුළුවන්ද යනුවෙන් බැලිය යුතු ය.

ආධිපත්‍යයවාදී නියෝග

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර 60ක් නොව සුද්දාගේ කාලයේ සිට තිබුණු ආයතනයකි.  ඒක මහනුවර පිහිටවූයේ ද කිසියම් හේතුවකට ය.   ඒ අයට සම්පත් ද ප‍්‍රමාණවත් ව තිබේ.   ආචාර්ය උපාධි තිබෙන අය  කිසිදු දෙපාර්තමේන්තුවකට වඩා එහි සිටිති.  ඒ අයට මෙතෙක් ඒක ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ඇයි?   70 සිට 77 කාලය එම චින්තනය ඉහළ මට්ටමකට  තිබුණ කාලයක් වේ.  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව උදාහරණයකට ගතහැක.  ඒ කාලයේ පවා ඒක හරියට කරගන්නට නොහැකි විය.  ඒ කාලේ මිනිසුන් කන්නේ මොනවා ද?  අඳින්නේ මොනවා ද? යන දේවල් සම්බන්ධයෙන්  ඉතාමත්ම ආධිපත්‍යවාදි විදියට  මිනිසුන්ට නියෝග දුන් හ.  නමුත් ඒ කාලයේවත් මිල උච්චාවචනය වීම පාලනය කරගැනීමට මධ්‍යගත ක‍්‍රමයකින් නොහැකි විය .  ඒ ගැන ජනතා විමුක්ති පෙරමුණේ ලියැවිල්ලේ නැත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැත්නම්, සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඒ ගැන කුමක් ද කියන්නේ.  අඩු පොළියට හා  පොළි රහිත ණය දෙන්නෙමු යනුවෙන් එහි සඳහන් ය.  ඔවුන්ට තිබෙන එකම වට්ටෝරුව එය ය.  ඒ අයගේ  ඕනෑ ම ක්ෂේත‍්‍රයක් පිළිබඳව තියෙන්නේ ඔය ණය දීම පමණි.
ඒ අයගේ ණය දීමේ වාර්තාව මොන වගේ ද?   ණය දීම යන ඔය සංකල්පයට වඩා නිකම්ම සල්ලි දෙනවා නම් මා කැමති ය. මක් නිසා ද යත් විගණනය සඳහා, දුන් මුදල් වලට අත්සනක් ගැනීමෙන්  සහ නිසි පුද්ගලයාට ඒ මුදල් ගියා ද යනුවෙන් නිශ්චය කරගැනීමෙන් ඒ වැඩය අහවර කළ හැක.   ඔය ණය දීම මහ කරදරයකි.  මක් නිසාද යත් ණය යන්න ඉතා සංකීර්ණ විෂයකි.  ණය දුන්විට  ඒක ගැනීමට කුමක් හෝ ක‍්‍රමයක් තිබිය යුතු ය.  ඒක ආපසු නොදුන්නොත්  ඒ මිනිසා පසුපස ගොස්  මොනවාහරි දෙයක් කර එය අයකර ගතයුතු ය.  වගකීමක් ඇතිව ණය දෙනවා කියන්නේ එයයි.

මේ ණය වැඩි හරියක් දෙන්නේ  රාජ්‍යය  බැංකු හරහා ය.  ලංකාවේ රාජ්‍ය බැංකුවලට ඇත්ත වශයෙන්ම  බංකොලොත් යන වචනය යෙදිය හැක.  ඩි. බි විජේතුංග මැතිතුමා මුදල් අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේ දී  මේ බැංකු  ජාත්‍යන්තර ප‍්‍රමිතියට නැති බව කීවේ ය. ඒ නිසා  මේ බැංකුවලට රාජ්‍යය ශක්තිය දෙන බවට ඒ අය ලියවිලි ඉදිරිපත් කළ යුතු වේ .  ඒ නිසා මේ බැංකු ගැන විශ්වාසයක් තියන්නට පුළුවන් යන සහතිකය ඒ අනුව ලැබේ.  මේ සහතිකය අපි දෙවතාවකට වැඩිය මේ වනවිට ලබාදී තිබේ.  මේ බැංකු වල ප‍්‍රශ්නයක් තිබෙන බව මේ අනුව අපිට තේරුම්ගත හැක.

 

හෙන්චයියන්ට ණයදීමේ කලාව

මේ ප‍්‍රශ්නය ඇතිවී තිබෙන්නේ හෙන්චයියන්ට, ඥාති මිත‍්‍රාදීන්ට හා   ගජ මිතුරන්ට ණය දීමෙනි. මේ ණය ඔවුන් නැවත  ගෙවන්නේ නැත.  එවිට අක‍්‍රිය ණය යනුවෙන් සංකල්පයක් ඇති වේ.  මේ  නිෂ්ක‍්‍රිය ණය සංකල්පය ලංකාවේ ඉහළම මට්ටමට ගොස් තිබේ.  රාජ්‍ය බැකුවල පමණක් නොව ලංකා පුත‍්‍ර බැංකුවට ද එසේ මය. මෙහි ආරම්භක සභාපති වූයේ සජින්වාසි ගුණවර්ධනගේ පියා ය.   ලංකා පුත‍්‍ර බැංකුව ගත්තාම ඒක  රාජපක්ෂ රෙජීමය විසින් ඇති කළ ආයතනයකි.  ඒක ගොඩනැගුවේ ම ලංකාවේ පුත‍්‍රයින්ට ණය දීමට ය. ඒක ඇතුලේ එස්. එම්. බී. බැංකුව යනුවෙන් එකක් තිබුණි.  එස්. එම්. බී. බැංකුව කියන්නේ  සුළු සහ මධ්‍ය පරිමාණ ණය දෙන යාන්ත‍්‍රණයකි.  ඒක ද මේ ලංකා පුත‍්‍ර බැංකුව ඇතුලට දැම්මේ ය.  ජර්මනියේ ආධාර ආයතනයකින් ආධාර ලබාගෙන  ඒක තියාගෙන සිටිති.   පී.එස්. අයි. ඞී. සි. යනුවෙන් තවත්  ලෝක බැංකු මුදල්වලින් පටන් ගත්ත ආයතනයක් තිබුණි. ඒකත් සිංහ පුත‍්‍ර බැංකුව ඇතුළේ තිබේ..  මේතරම් මුදල් සම්භාරයක් තියාගෙන දීපු ණයක් ද නැත.  නමුත් නිෂ්ක‍්‍රිය ණය හැටියට ලංකාවේ  සියයට හතලිස් ගණනක් තිබේ.    කුමාර් දේවපුරට තමයි වැඩි හරියක් ණය දී තිබෙන්නේ. මේ නිෂ්ක‍්‍රිය යන්න   රෝග ලක්ෂණය පමණි.    මේ රෝග ලක්ෂණය සිංහ පුත‍්‍ර බැංකුවේ ඉතාම උත්සන්නව ඇත.  ඊට වැඩිය අඩු ස්වරූපයෙන් අනිකුත් රාජ්‍ය බැංකු සියල්ලේම තිබේ.

අපි දැන් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයටම ණය දෙන්නට ද සූදානම් ය. කලාකරුවන්ට ණය පමණක් නොව සියළුම දෙනාට ණය දෙන්නට සූදානම් ය.   ඒවා ක‍්‍රියාත්මක කරන්නට යන්නේ ද මේ තිබෙන යාන්ත‍්‍රණ හරහා ය.  මේ ආයතනවල සිටින මිනිසුන් වෙනස් කිරීමට ද අදහසක් නැත.  ආපසු හැරි බැලූ කළ ඒ යාන්ත‍්‍රණය ඉතාමත්ම දුර්වල බවද අපිට පෙනේ.     මේ අය ණය යනුවෙන්  කථා කරන්නේ  ඇත්ත වශයෙන්ම ණය නොව  යම් කොටසකට  දීමනා ලබාදිම ය.    නීති ගරුක සාමාන්‍ය පුර වැසියෙක් ණයක් ගත්විට  ඒවා ගෙවන්නට අවශ්‍ය ය.  නමුත් නීති ගරුක නොවන  ගජ මිතුරෙකුට  ගෙවන්නට අවශ්‍ය නැත.  මෙහි  තව නපුරු දෙයක් ද ඇත.  ඒ කියන්නේ අප ගෙවන අතර  අර අය ගෙවන්නේ නැත.  මේ හිත මිතුරුවාදි,  රදල වැඩවසම් ආර්ථිකයට  මෙය හොඳින් ගැලපේ.  අපේ ඇසට ණය දීමක් ලෙස පෙන්වා,  ඇත්ත වශයෙන්ම කරන්නේ  රාජ්‍ය සම්පත් නැත්නම් මහජනයාගේ මුදල්  තමතමන්ගේ  හිතවතුන්ට බෙදාදීම ය. ණය නොගෙවූ විට  ණය ආපසු ගැණිම  අමාරුයි හා ඒක පිළිගත් ප‍්‍රතිපත්තියක් යනාදි ලෙස ඒවාට නිදහසට කරුණු කියති.  මෙයින් කරන්නේ අපේ ඇස්වලට වැලි ගැසීමකි.

ඊ ළගට එජාපය ගැන කථා කරමු. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශණය කියවන විට, අපේ පර්යේෂණ කටයුතු වල ප‍්‍රමුඛයෙක් වී සිටි  හර්ෂ ද සිල්වාගේ ඇඟිලි සළකුණු  පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස  අපේ නිගමනයක් වූ යේ ලංකාව යන්න  සුළු  පරිමාණ කෘෂිකර්ම නිෂ්පාදකයිගේ රටක් බව ය.  අපේ තක්සේරුව අනුව වසර  දහයක් ඇතුළත  තේ සහ රබර්  පාලන  සමාගම්  අදාළ නැති තත්ත්වයකට ගමන් කෙරේ. මේ නිෂ්පාදනයන්ට අදාළව මේ රටේ කේන්ද්‍රීය වෙන්නේ සුළු ගොවියා ය. පරණ වතුවල තිබෙන්නේ වසර 50-60 පැරණි, නියම පළදාවක් නොදෙන ගස් ය.  අපේ සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ ඉඩම් කැබැල්ලේ  අළුත් වගාවන් තිබේ. ඒවායේ පළදායිතාවය යහපත් ය.  ඊට අමතරව මහා පරිමාණ වතුවල  මිනිසුන් ඉතාම දරුණු ලෙස සූරා කෑමට ලක් වී තව දුරටත් ඒ ලැයිම් කාමරවල  ජීවත් වන්නට ඔවුන් සූදානම් නැත.  ඒ අය ද ඉන්දියානු ප‍්‍රභවයක් ඇති නමුත් අපේ රටේ පුර වැසියෝ ය.   ඒ අය තව දුරටත් දුක් විඳින්නට කැමති නැති හෙයින්  වතුවලින් පිටවෙමින් සිටිති.

 

පොඩි මිනිහාගේ ප්‍රශ්නය

නමුත් අර අක්කරේ  නැතිනම් අක්කර බාගයේ   වගාකරන ඉඩමට පිටින් ශ‍්‍රමයක් අවශ්‍ය නැත.  ඒවා  නඩත්තු කරන්නට  කුළී සේවකයින් අවශ්‍ය නොකෙරේ.    මේ සුළුපරිමාණ ගොවීන් අපේ ආර්ථිකයේ ශක්තිමත් ය.  නමුත් මෙතන කුඩා හිමිකරුවන්ගේ දණ්ඩනය යන සංකල්පයක් තිබේ.  විශේෂයෙන් එළවලූ පලතුරු වැනි දේවල්  හි සැපයුම් දාමය තුළ  ඒවාට සන්නාමයක් නැත.  පොඩි මිනිසෙකුගේ දෙයක් ගත්තාම ඒක  ගුණාත්මක බව ප‍්‍රශ්නයක් ඇති ය යන  උපකල්පනය මත ඒ නිපැයුමට  තරමක් අඩු මිලක් ගෙවන ගතියක් තිබේ.  ඒ අතර මැදි දාමයේ දීයි ඔය දේ සිදුවන්නේ.  තමන් කුඩා නිසා  තමන්ට යම් කිසි අඩු ගෙවීමක් ලැබෙන බව ඔවුහු දනිති.

මිසූරි ප‍්‍රාන්තයේ  සමාගමක් මෙන්ම කැලිෆෝනියා වල   සමාගමක් අනුකරණය කරමින්  මේ සුලූ නිෂ්පාදකයින්   යම්කිසි සමාගම් ව්‍යුහයකට ගැනීමට එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන බව පෙනේ.  වෙනත්  ආකාරයට කියන්නේ නම් සමූපකාර ක‍්‍රමයක් ඔවුහු  යෝජනා කරති.   සමූපකාර කියන ඒවා අපේ රටේ දේශපාලනීකරණය වී විනාශ වූවාට  ලෝකයේ ඉතාමත් විශීෂ්ඨ  සේවයක් කරන ආයතනයකි.  ඉන්දියාවට ගියා නම්  අමුල් ව්‍යාපාරය  දැකගත හැක. එය මහ දැවැන්ත ව්‍යාපාරයකි.  එවා ඇත්ත වශයෙන්ම සමූපකාර ව්‍යාපාරයන් වේ.  ලෝකයාට පෙන්නන්නේ අමුල් ලෙස නමුත්  මේකේ යට සිටින්නේ සමූපකාරයට සම්බන්ධ කිරි ගොවීන් ය.  ඒ යාන්ත‍්‍රණයක් පිළිබඳව  එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශණයේ යම්කිසි සාකච්ඡුාවක් ඇත.  ඒ අය ප‍්‍රශ්නය අඳුණාගෙන තිබෙන බව ඒ මැතිවරණ ප‍්‍රකාශනය කියවූ විට පෙනෙන්නට තිබේ.  සැපයුම් දාමයේ දි වන මිල උච්චාවචනය, නාස්තිවීම යනාදි දේ  පාලනය කරන්නට අධිකාරියක් පිහිටවන බව ද මේ අය කියති.  ඒ අධිකාරියෙන් කරන්නේ යම්කිසි අධීක්ෂණ  නැත්නම් නියාමන ක‍්‍රියාවලියක් වැනි දෙයකි.  එහි ගබඩා ගැන ද සඳහන්කර ඇත.  කෘෂිකාර්මික නිෂ්පාදන ගත්විට  ඒවා ඉක්මනින් නරක් වේ.  ඒකට පිළියමක් ලෙස ජංගම  ශීත ගබඩා පවා ගෙනෙන්නට මේ අය යෝජනා කරති.  ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඇති ගැටළුව මොවුන් හඳුණාගෙන ඇති බව ඒ සියල්ලෙන් පැහැදිළි වේ.

 

ශීත කාමර ඕනෑ කාටද?

එපමණක් ද නොව මේ ගැන හදාරපු අය මෙතන සිටින බව ද පෙනේ.    ශීත කාමර  දෙන්නට පුළුවන් නම් ඒවායේ ගබඩා කළවිට   කල් ඉකුත්වීම  අපිට ටිකක් අඩුකරගත හැක.  එවිට තව දින හතරක් පමණ එම ක‍්‍රියාදාමය පාලනය කරගත හැක.  ඒ කාලය ඇතුලත  විකුණා ගැනීමට නැතිනම් වෙනත් වෙළඳ පොලකට යවන්නට පුළුවන.  මගේ කණගාටුව  ඉදිරි සහ අනාගත වෙළඳ පොල ගැන එතරම්ව සඳහන් ව නොතිබීම ය.  ඒ. එස් . ජයවර්ධන මහතා මහ බැංකුවේ සිටින විට  එතුමා ද ඔය වැඬේට බැස්සේ ය. ඒකෙන් කියන්නේ අනාගතයේ දවසකට යම් භාණ්ඩයකට ඇතිවිය හැකි මිල  සළකා බලා එදාට පළදාව ගැනීමට අද වගා කිරීමට ගොවියා යොමුවීම ය.  ඒ මිල ඒ භාණ්ඩයට අද නොලැබෙන මිලකි.

එවැනි දෙයක් නිකම්ම සිදු වන්නේ නැත. එයට ව්‍යුහයක් ඇති කළ යුතු ය.  අහවල් කාලයේ ළුෑණු  සඳහා යනාදි ලෙස ගිවිසුම් අත්සන් කළ හැක. එවිට සැපයුම්කරුවා අදාල කාලයට ප‍්‍රමාණවත් සැපයුම් ප‍්‍රමාණය  ලැබී තිබෙන්නේ ද යන අවබොධයට පැමිණේ .  ඒ ප‍්‍රමාණයෙන් පසුව සැපයුම්කරුවා ඒ භාණ්ඩයේ මිල අඩු කරණු ලබයි.  එවිට ගොවියා   ඒ අදාළ කාලයට අහවල් භෝගය වගා කිරීම එතරම් ප‍්‍රඥා ගෝචර නොමැති බව වටහා ගනු ඇත.  ඒ අනුව ඔහු වෙනත් භෝගයක් තෝරාගණු ලබයි.

එතනදි වන්නේ අතර මැදියා අත්තනෝමතිකව මිල අඩුකළා නොව  වෙළද පොල සංඥාවක් මගින්  ඒ කාර්ය ස්වයංක‍්‍රියවම සිදු කිරීම ය.  ඒ විසඳුම එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ නැතිවීම  කණගාටුවට කරුණක් වන නමුත්  එය නැතිවාම නොවේ.  අර අධිකාරිය ගැන කර ඇති විස්තරයේ  ඒ අය මුළු ක‍්‍රියාදාමයටම කැප වී සිටින බව එහි දක්වා ඇත.  එහෙම බැලූ කළ මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන අතර  විද්වතුන්  එකතු කර සංඛ්‍යා ලේඛන දත්ත  පර්යේෂණ මත පදනම් ව  යෝජනා ඉදිරිපත් කර තිබෙන බව පැහැදිළි ව පෙනෙන්නට තිබේ.

මෙයට අමතරව අවදානම් දරා ගැනීම සඳහා රක්ෂණ ක‍්‍රමයක් ද ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ ඇත. එය ද ඉතා අගනේ ය.  ඕනෑම දෙයක් බලා පොරෙත්තු නොවූ පරිදි විනාශ වන්නට පුළුවන. ඒ නිසා ඒ අලාභය විඳ දරා ගන්නට නොහැකි වූවන්ට ද එයින් සහනයක් ලැබේ.

සාකච්චා සටහන

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *