හොරුන් රකින්නේ නෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රජය හොරුන් ආරක්ෂා නොකරන බව ද කව්රුන් වුවද වැරැදි කර ඇති බවට තහවුරු වුවහොත් ඒ ගැන පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පරීක්ෂණයක් අතරමැදදී විශේෂ කරුණු ඉදිරිපත් වුවහොත් ඇමරිකාව හා එංගලන්තය වැනි රටවල මෙන් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව ද පැවසීය. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බව අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ මහතා චෝදනා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් කටයුතු කරන බවට සපථ විය.

සමහර මාධ්‍යවලට මෙන් දූෂණ වහගෙන සිටීමේ අතීතයක් තම පක්ෂයට නැතැයි ද එම මාධ්‍ය පසුගිය රජයට කඩේ යමින් එම රජයේ දූෂණ වහගෙන සිටි බව ද කී අගමැති වික්‍රමසිංහ මහතා, යහපාලන රජය යටතේ ඇමැතිවරුන් විමර්ශනවලට ගෙන්වා නීතිපතිවරයා විසින් හරස් ප්‍රශ්නවලට භාජනය කිරීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති බව ද කීය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රජය ප්‍රථමයෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත්කළ බව ද පසුව විපක්ෂයේ මන්ත්‍රීවරයකු සභාපති ධුරය දරන පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය කාරක සභාවකින් ඒ ගැන විමර්ශන කළ බව ද කී අගමැතිවරයා විපක්ෂයට එල්ලවී තිබූ චෝදනා විභාග කිරීමට පෙර එම පරීක්ෂණ සිදුකළ බව ද පැවසීය.පසුව බැඳුම්කර චෝදනා ගැන සොයාබැලීමට ජනාධිපති කොමිසමක් ද පත්කළ බවත් පෙර රජය සමයේ නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු වුව ද අද බැඳුම්කර කොමිසමේදී නීතිපතිවරයා රජයේ ඇමැතිවරයකුගෙන් ප්‍රශ්න කරන බව ද කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හැටන් නගරයේ ඩී. කේ. ඩී. ඩබ්ලිව්. සංස්කෘතික මධ්‍යස්ථානයේ ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික හමුවකදී මෙසේ පැවසීය.

ශිරෝමි අබයසිංහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *