|

කෝප් සභාපතිගෙන් ආණ්ඩුවට අලුත් යෝජනාවක්

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දිනවල පොළොන්නරුවේ, ත්‍රිකුණාමලයේ හා අනුරාධපුරයේ උත්සව ගණනාවකට සහභාගී වෙමින් එම ජනයාගේ දුක සැප සොයා බැලුවා. පොළොන්නරුවේදී ජනාධිපතිතුමාට දැනගන්න ලැබුණේ නියඟයෙන් මහජනයා පීඩාවට පත්ව සිටින ආකාරයයි. ජනාධිපතිවරයා හදිසියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සංචාරය කළේ ද නියඟයෙන් ජනතාවට සිදුව ඇති විපත ගැන සොයා බැලීමටයි. විපතට පත් ජනතාව ගැන සම්පූර්ණ තොරතුරු රැස්කරන ලෙසත්, ඔවුන්ට ලබාදිය හැකි සෑම සහනයක්ම ලබාදෙන ලෙසත් ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා. නියඟයන් පීඩාවට පත් වූ පවුල්වලට රුපියල් පන්දහසක් වටිනා වියළි ආහාර මල්ලක් මාස දෙකක් සඳහා ලබාදීමට වහාම කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නා.

පසුගිය සඳුදා උදේ ජනාධිපතිතුමා හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණා. එහිදී ජනාධිපතිතුමා ජනතාවට කියා සිටියේ එදා මෙදා තුර අධ්‍යාපනයේ දියුණුව සඳහා ගෙන ඇති පියවර පිළිබඳවයි. එමෙන්ම රටේ සම්පත් ගසා කෑම ගැනත් එතුමා කතා කළා. එතුමා කීවේ රටේ සම්පත් ගසා කෑ උදවියට මේ රටේ පවතින්න බැරි බවයි.

මෙම සංචාරයේදී තමා දුටු සුන්දර දසුනක් ගැන ජනාධිපතිතුමා මහජනයාට විස්තර ක‍ළේ මේ ආකාරයෙන්. “අද උදේ මම පොළොන්රුවේ ගෙදරින් පිටත් වුණේ මැදිරිගිරිය මීගස්වැව ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමටයි. පො‍‍ළොන්නරුව පසු කරද්දී මම ලස්සන දර්ශනයක් දැක්කා. අද නැකත් දවසේ විවාහ වන අලුත් ජෝඩු ඊයේ පෙරේදා අපි විවෘත කරපු දීප උයනේ ඡායාරූප ගන්නවා. ඔවුන්ටත් අපි තැනක් හදා දී තිබෙනවා කියා මම සතුටු වුණා. දීප උයනට ගිය කෙනෙක් සිගරට් කොටයක්, කඩදාසි කෑල්ලක් , ලන්ච් ෂීට් එකක්, ෂොපින් බෑග් එකක් බිම දැම්මොත් එහි සිටින නිලධාරින් රුපියල් පන්දහසක් දඩ ගහන බව අමතක කරන්න එපා. ලෝකයේ බොහෝ රටවල ජනතාවගේ විනය සකස්කර තිබෙන්නේ ඒ වගේ ක්‍රියාමාර්ග වලිනුයි. “ ජනාධිපතිතුමා කීවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වන සංවත්සර උලෙළට ජනාධිපතිතුමා සහභාගී වුණේ පසුගිය අඟහරුවාදායි. වරායේ නැ‍ඟෙනහිර පර්යන්ත පරිශ්‍රයේ පැවැති මෙම රැස්වීමට වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතාද සහභාගී වී සිටියා. එහිදී ජනාධිපතිතුමා කීවේ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවකුට නොදෙන බවයි. පසුගිය රාජපක්ෂ පාලන කාලයේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසල අක්කර 6ක් ෂැංග්‍රිලා සමාගමට සින්නක්කරව ලබාදීමටත් වරාය නගරයෙන් අක්කර 240ක් චීනයට දීමටත් කර තිබූ සැලසුම් ගැන සඳහන් කළ ජනාධිපතිතුමා කීවේ ඒ සියල්ල වෙනස් කරන්නට වත්මන් යහපාලන රජයට හැකි වූ බවයි.

“හම්බන්තොට වරාය බදු දීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 සැප්තැම්බර් 4 වනදායි. එවකට හිටපු රජයේ එම කැබිනට් එකේ හිටපු මට ඒක හොඳට මතකයි. එදා ඒ ගිවිසුමේ තිබූ කරුණු බොහොම බරපතළයි. මම එදා ඒ ගිවිසුමේ තිබූ කරුණුවලට එකඟ වුණේ නැහැ. මා ඉදිරිපත් කළ කරුණු අනුව වත්මන් ගිවිසුමේදී වරායේ කටයුතුවලට පවරාදෙන ඉඩම් ප්‍රමාණය සියයට පනහකින් අඩු කරන්න හැකි වුණා”

“වරායේ බිම් අඟලක් හෝ විදේශ සමාගමකට දෙන්න බෑ කියලා වගන්තියක් ගිවිසුමට ඇතුළත් කළා. ගිවිසුම සංශෝධනය කරන්නත් ඉඩ තබා ගත්තා” යැයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධව පසුගිය සතියේ වැඩ වර්ජනයක් කළ තෙල් සංස්ථා වෘත්තිය සමිති සමග කලින් යොදාගත් සාකච්ඡාවට ජනාධිපතිතුමා අඟහරුවාදා සහභාගි වුණා. හම්බන්තොට ගිවිසුම සම්බන්ධයෙන් තෙල් වෘත්තීය සමිතිවල ස්ථාවරය මේ වනවිට තරමක් ලිහිල්ව තිබුණා. ඔවුන්ට ප්‍රශ්නය වී තිබුණේ හම්බන්තොට වරායෙන් නැව්වලට තෙල් නිකුත් කිරීමේ ඒකාධිකාරය චීන සමාගමට හිමිවනු ඇතැයි කියායි. වෘත්තීය සමිති කියන්නේ එම අවස්ථාව ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලබාදිය යුතු බවයි.

ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ හම්බන්තොට වරාය බදු දුන් පමණින් එහි සියලු කටයුතු චීන සමාගමට ලබා දීමක් සිදු නොවන බවයි. මෙය පවත්වාගෙන යන්නේ චීන ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් වශයෙන් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. තෙල් සැපයීමේ කටයුත්ත කිරීමට තෙල් සංස්ථාවට අවශ්‍යනම් චීන සමාගම සමග සාකච්ඡාකොට එම අවස්ථාව ලබාගත හැකි බව ජනාධිපතිතුමා කීවා. ඉන් පසුව තෙල් වෘත්තීය සමිති කීවේ ජනාධිපතිතුමාගේ එම පැහැදිලි කිරීමෙන් පසුව තවදුරටත් වර්ජන කිරීමට අවශ්‍ය නොවන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේදී පසුගිය 28 දා මාධ්‍ය හමුවක් පැවැත්වුයේ 2011 වසරේ පටන් මේ දක්වා රුපියල් බිලියන 46 ක් රටට අහිමි කළ වානිජකරණය නොවූ හම්බන්තොට වරාය චීන මර්චන්ට් සමාගමට බදු දීම සම්බන්ධයෙන් වන ගිවිසුම පසුවදා අත්සන් කරන බව රටට හෙළි කිරීම සඳහායි. එහිදි අගමැති වික්‍රමසිංහ මහතා කරුණු ගණනාවක් පැවසුවා. එම ගිවිසුම මගින් රටේ ණය බර ඩොලර් කෝටි 110 කින් අඩුවන බවත් හම්බන්තොට වරාය ආශ්‍රිතව අමෙරිකානු ඩොලර් මිලියන 300-400 ක ආයෝජන අලුතින් සිදු වන බවත් එමගින් හම්බන්තොට, ගාල්ල, මාතර, මොණරාගල දිස්ත්‍රික්ක කාර්මීකරණය වන බවත් අගමැතිවරයා මෙහිදි පෙන්වා දුන්නා.

එදින හවස අගමැතිවරයා මඩකළපුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හමු වුණා. එහිදි අගමැතිවරයා පැවසුවේ යුද්ධයෙන් විනාශ වූ උතුර සහ නැගෙනහිර ප්‍රදේශ සඳහා විදේශ ආධාර වැඩසටහන් ඇති බවත් ඒවායින් ප්‍රයෝජන නොගත්තොත් යුද්ධය නිසා විනාශ වූ සෙසු රටවල් ගොඩ නැගීම සඳහා එම ආධාර යොමු කරනු ඇති බවයි. මඩකළපුව පෞරාණික කොටුව නිරීක්ෂණය කිරීමටද අගමැතිවරයා එක් වුණා.

30 වැනි ඉරිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුත්ගම කන්දේ විහාරයේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වුණා. විහාරාධිපති බටුවන්හේනේ බුද්ධ රක්ඛිත නාහිමියන් බැහැ දැක සුව දුක් විමසූ අගමැතිවරයා බෝ මළුවේ පැවති ආගමික වතාවත්වලටද ශ්‍රී විෂ්ණු දේවාල‍යේ ආගමික වතාවත්වලටද එක් වුණා. මෙහිදි අගමැතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මත්තල ගුවන් තොටුපළත් නිසි කළමනාකාරීත්වයක් යටතට පත් කළහොත් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඉහළ දමා ගත හැකි බවයි.

පසුගිය දිනවල ඇති වූ නියඟය, ජල ගැල්ම සහ ඩෙංගු ආදී ව්‍යවසන නිසා රටේ ආර්ථික වර්ධනය අඩාල වනු ඇතැයි බියක් පැවතියත් පසුගිය වර්ෂයට සමාන හෝ ඊට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේ ළඟා කර ගත හැකි බව මහ බැංකුව පවසන බව අගමැතිවරයා මෙහිදි ප්‍රකාශ කළා.

අගමැතිවරයා 31 දා ගත කළේ අනුරාධපුර ගල්නෑව ප්‍රදේ‍ශයේයි. එහි ශ්‍රී මංගලාරාම විහාරයේ අභිනවයෙන් ඉඳි කළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ අගමැතිවරයා නේපාලයේ බෞද්ධ පුරාවස්තු කැණීම් කටයුතු සඳහා හම්බන්තොට වරාය බදු දීමෙන් ලැබුණු මුදලින් ඩොලර් මිලයනයක් ලබා දෙන බව ප්‍රකාශ කළා‍‍. එ‍සේම මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශ සශ්‍රීක කිරීම සහ මහා විහාරයේ කැණිම් කටයුතු සඳහාත් කටයුතු කරන බව කී අගමැතිවරයා ආණ්ඩුව මේ වැඩ කටයුතු සිදු කරනුයේ අඬ බෙර ගසමින් නොවන බවත් පැවසුවා.

අගෝස්තු 01 දා හවස අගමැති වික්‍රමසිංහ මහතා මොරටු‍ පුතුන් හමු ‍වුණා. මොරටු මහා විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානය සහ වේල්ස් කුමර විදුහලේ නව පිහිනුම් තටාකය විවෘත කිරීම අගමැතිවරයා විසින් සිදු කෙරුණා.

වේල්ස් කුමර විදුහලේ දූ දරුවන් අමතමින් -වික්‍රමසිංහ මහතා රටේ දූ දරුවන් වෙනුවෙන් රජය යුතුකම් ඉටු කරන ආකාරය ගැන කී කථාව එතැන සිටි හැමගේම සිත් ගත්තා. හොඳ මවුපියන් තමන් ගත් ණය ගෙවීම දරුවන්ට ඉතිරි නොකරන්නා සේ මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කළේ පසුගිය රජය ලබා ගෙන ඇති ණය ඉදිරි පරම්පරාවට ගෙවීමට ඉඩ නොතබන බවයි. ඒ සඳහා ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අගමැතිවරයා පැහැදිලි කළා.

තරුණ සේවා සභාව ආරම්භ කෙරුණේ වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු ඇමතිවරයාව සිටි 1980 ගණන්වලයි. තරුණ සේවා සභාව සංවිධානය කරන තරුණ සංවර්ධන කොඩි ව්‍යාපාරයේ ප්‍රථම කොඩිය අගමැතිවරයාට පැලඳවීම පෙරේදා (02) අරලිය ගහ මන්දිරයේදි සිදු වුණා. එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ නැවත ණය ගන්නා ජාතියක් හෝ හිඟන ජාතියක් බවට පත් වීමට අවශ්‍ය නැති බවත් 2020 වන විට හොඳ ණය පාලනයක් ඇති කර 2025 වන විට කිසිදු ප්‍රශ්නයකින් තොරව ණය ගෙවා දැමීමට හැකි පසුබිම නිර්මාණය කරන බවත්ය.

ප්‍රථමවරට පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉදිවන උදාගම්මානය සඳහා මුල්ගල් තැබීමට ඉකුත් සති අන්තයේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා යුහුසුළුව සිටියදී ඒ ගැන විමසමින් දුරකථන ඇමතුමක් දුන්නේ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයායි. ඒ වන විටත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉඩම නිදහස් කර තිබුණත් ගයන්ත ඒ ගැන වැඩි යමක් දැන සිටියේ නෑ. ‘පොලිසියේ අය වෙනුවෙන් තිස්සමහාරාමයේ තිස්සපුර ගෙවල් 40ක ගම්මානයක්’ සජිත් කියද්දී ගයන්ත ඇසුවේ ‘ගමේ නම මොකක්ද?’ කියායි. පොලිස් විශේෂ කාර්ය බලකායට කුඩා කණ්ඩායම් ප්‍රහාර ක්‍රමය හඳුන්වාදීලා, ඒ වර්ගයේ සාර්ථක ප්‍රහාර 60ක්ම දියත් කරලා නැ‍ඟෙනහිර කොටින්ට ලොකු තර්ජනයක් වුණු දිවංගත උපාලි සහබන්දු නියෝජ්‍ය පොලිස්පතිතුමා නමින් අපි ඒ ගම්මානය නම් කළා. අපේ 429 වැනි උදා ගම්මානය ‘සදාවීර සෙන්පති උපාලි සහබන්දු ගම’ යි. පසුගිය කාලයේ රණවිරු ලැයිස්තුවලින් පොලිසිය ඉවත් කළා. ඒ අතරම සමහරු රණවිරුවන්ගේ නම් විකුණලා රජවෙන්න බැලුවා. අපි ඒ ඉතිහාසය නිවැරදි කරන පියවරක් මේ’ සජිත් කියද්දී ගයන්ත කීවේ ‘උදා ගම්මාන හදන්න ඉඩම් නැති නම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව තිබෙන ඉඩම් ලබා දෙන්න පුළුවන්. අපි උදව් කරන්නම්’ කියායි.

ජුලි 31 වැනිදා නිවාස 40කින් සමන්විත තවත් ගම්මානයකට සජිත් අතින් මුල්ගල් තැබුණේ තිස්සමහාරාමයට නුදුරු උද්ධගන්දරදීයි. ඊට කලින් දා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ටත් ප්‍රදේශයේ ඇතැම් සංවිධායකවරුන්ටත් ප්‍රශ්නයක් වුණේ මේ ගම්මානය කුමක්ද? ඊට කුමන නමක් තබනු ඇද්ද යන්නයි. ලක්විජය සාගර පලන්සූරිය නිවාස අධිකාරියේ සභාපතිවරයා ඇමතූ සජිත් කීවේ ‘‍අපි මේ ගම්මානය සදාවීර සෙන්පති ජානක පෙරේරා ගම’ කියා නම් කරමු. කොටි ත්‍රස්තවදාය මර්දනය කරන්න යුද හමුදාවේ ක්ෂණික විහිදුම් බලකායේ ප්‍රධානියා හැටියට එදා ජානක පෙරේරා සෙන්පතිතුමා ඉටු කළ සේවය සදානුස්මරණීයයි කියායි. මගේ තාත්තා වගේම උපාලි සහබන්දු ජානක පෙරේරා වගේ දක්ෂ සෙන්පතිවරු මැරුණෙත් මරාගෙන මැරෙන කොටි ප්‍රහාරවලින්. ඒ සෙන්පතිවරුන් දෙන්නගේ ප්‍රතිමා මේ ගම්මාන දෙකේ අනිවාර්යයෙන්ම හදන්න’ සජිත් සභාපතිවරයාට උපදෙස් දුන්නා. අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් නිවාස 40 බැගින් වන ගම්මාන46ක් ලෙස මෙම ගම්මාන ඉදිරිකිරීමට නියමිතය.

විවෘත ආර්ථිකයට වසර 40 ක් සහ අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 පිරීම නිමිති කර ගෙන මහරගම ජාතික තරුණ සේවා සභාවේ ආරම්භ වූ ප්‍රදර්ශනය සඳහා සහභාගි වීමට වජිර අබේවර්ධන ඇමතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා පැමිණියේ ගාල්ලේ සිටයි.ඒ පසුගියදා ගංවතුරින් විපතට පත් වූවන්ට ආධාර බෙදාදීමේ අවස්ථාවකට ගාල්ලේදී සහභාගී වීමෙන් පසුවයි.

ප්‍රදර්ශන භූමියේ දර්ශනීය සහ මනරම් අන්දමින් සකසා තිබූ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කළ වජිර අබේවර්ධන ඇමතිවරයා එය උසස් මට්ටමින් සකසා තිබීම පිළිබඳව සිටියේ සතුටින්.

ඉකුත් 29 වන සෙනසුරාදා උදෑසනම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය වෙත ගියේ කුලියාපිටිය බටහිර නිල මෙහෙවර ජනපති ජනතා සේවයට එක් වීමටයි.එහිදී එදින අත්සන් තැබූ හම්බන්තොට වරාය ගිවිසුම තුළින් රටට වන වාසිය පිළිබඳව ඇමති වජිර එහි සිටි ජනතාව වෙත කරුණු පැහැදිලි කර දුන්නා.

ඉකුත් කැබිනට් මණ්ඩලය වෙත වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සතු අක්කර පහමාරක භූමි ප්‍රමාණයක් සාගර විශ්ව විද්‍යාලය වෙත ලබාගැනීමට යි.එම අවස්ථාවේදී ජනාධිපතිවරයා හිනා වෙමින් පැවැසුවේ ඇයි මේවට ගාල්ලෙන්ම ඉඩම් ඉල්ලන්නේ. පොළොන්නරුවෙන් ඉල්ලන්න. ඕන තරම් ඉඩම් දෙන්නම් කීවා. එවිට චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා “සර් මේකට මුහුදට ළඟ තැනක් වෙන්න ඕන” යනුවෙන් පැවසුවා. එහිදී වජිර අබේවර්ධන ඇමතිවරයාද පැවසුවේ මමත් මේ ඉඩම වෙනත් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට බැලුවත් එම ඉඩම රිච්මන්ඩ් විද්‍යාලය සතු වන බව දැනගත් පසු එම අදහස වෙනස් කර ගත් බවයි.කෙසේවෙතත් මේ වන විට සාගර විශ්වවිද්‍යාලය සඳහා ගාල්ල, බූස්ස ප්‍රදේශයෙන් ඉඩමක් වෙන්කරගෙන තිබෙනවා. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ප්‍රකාශ කළේ රිච්මන්ඩ් විද්‍යාලය සතු ඉඩම මේ වේලාවේදී ගන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් නොකරන ලෙසයි.

විවෘත ආර්ථිකයට වසර 40 ක් සහ අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 ක් පිරීම නිමිති කර ගෙන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැති පිරිත් දේශනාව සඳහා ඊයේ රාත්‍රියේ වජිර අබේවර්ධන ඇමතිවරයා සහභාගි වූයේ සිය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ද සමඟින්.

පාර්ලිමේන්තුවේ කෝප්කාරක සභාව මගින් පැවැත්වූ වැඩමුළුවක් පසුගිය පළවෙනිදා බත්තරමුල්ලේදී පැවැත්වුණා. ඒ සඳහා කථානායකවරයා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවූ අතර මන්ත්‍රීවරුන්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියා. මෙහිදී හර්ෂ ද සිල්වා විසින් දේශනයක් පැවැත්වූ අතර කථානායකවරයාගේ දේශනයේදී කෝප් කමිටුවේ කාර්යභාරය විශාල ඇගයීමකට ලක්වුණා. ඉන්පසුව එළඹියේ කෝප් සභාපතිවරයාගේ කතාව. එහිදී ඔහු ආණ්ඩුවට අපූරු යෝජනාවක් කළා.

”කෝප් කමිටුව මේ වෙනකොට රැස්වීම් වාර 98ක් පවත්වලා තිබෙනවා. ආයතන 58ක් විමර්ශනයට කැඳවලා තිබෙනවා. මෙතෙක් පැවැති කෝප් කමිටුවලට සාපේක්ෂව ගත්තාම මේ කාල පරිච්ජේදය තමයි ක්‍රියාකාරිත්වය ඉහළම කියලා අපිට නිලධාරීන් කියනවා. දැන් ආණ්ඩුව වරාය විකුණන්න යන්නේ ඩොලර් බිලියනයක් හොයාගන්න. නමුත් අපි ඉදිරිපත් කරලා තියෙන කෝප් වාර්තාවල ඊට වඩා වංචා දූෂණ සිදුවෙලා තිබෙනවා. මේ වංචා දූෂණ ගැන පරීක්ෂණ පවත්වලා අයකරගන්න පුළුවන්. ඒවා අයකරගෙන වංචාව දූෂණය නතර කරන්න ආණ්ඩුව කටයුතු කරනවානම් අපේ රටේ දේපළ විකුණන්න ඕන වෙන්නේ නැහැ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ අවසන් දිනයේදී පාර්ලිමේන්තුවේ සිදුවූ කලබැගෑනියෙන් පසුව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම රැස්ව ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා.ආණ්ඩුව වරාය විකුණන ගිවිසුම සම්බන්ධ ගැසට් එක සම්මත කර ගත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව නෙවෙයි.අගමැතිවරයා ලබාදුන්න හස්ත සංඥා අනුව තමයි කථානායක කටයුතු කළේ. “ආණ්ඩුව කටයුතු කරන්නේ මේ විදියට නම් ඒක කනගාටුදායක තත්වයක්” අනුර දිසානායක කියා සිටියා.ජනාධිපතිතුමා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලට පොරොන්දු වුණා ගිවිසුම අත්සන් කරන්නේ නෑ සාකච්ඡාවක් ‍ෙදනවා කියලා.නමුත් දැන් ගිවිසුම අත්සන් කරනවා විජිත හේරත් කීවා.

“රවී කරුණානායකගේ ප්‍රශ්නෙත් බරපතළයි. මොන තර්ක දැම්මත් දැන් ඔප්පු වෙලා ඉවරයි. එජාපයේ ඇතැම් කණ්ඩායම් රවීට විරුද්ධව ගන්න පියවර මොකක්ද කියලා බලාගෙන ඉන්නවා. සමහර මන්ත්‍රීවරු ලොකු කලකිරීමකින් ඉන්නේ, මේ නිසා කවදාවත් ගොඩ එන්න බැහැ කියලා. අපි විශ්වාශභංග යෝජනාවක් ගේන්න ඕනෑ. ජනාධිපති, අගමැති මොනවා කළත් අපි රවී ගැන බලාගන්න ඕනෑ” විජිත හේරත් කියා සිටියා.

පසුගිය විසිහත්වෙනිදා පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම සහ ඉඩම් පිළිබඳ අධීක්ෂණ කාරක සභාව සඳහා උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ ආයතනවල නිලධාරීන් කැඳවා ඇති වී තිබෙන තත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කළා. එහිදී සභාපතිවරයා විමසා සිටියේ උමා ඔය ඉදිකිරීම් කටයුතු සිදුකරන සමාගම මේ සඳහා තෝරාගැනීමට නිර්දේශ කළ නිලධාරීන් කවුද යන්න සහ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ වාර්තාව අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවයි. උමා ඔය ව්‍යාපෘතිය නිසා දුෂ්කරතාවයට පත්ව ඇති ජනතාව වෙනුවෙන් පානීය ජලය ලබාදීම, වගා වන්දි, නිවාස දීමනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තුව සිටි පරිදි තෙල් සංස්ථා වැඩ වර්ජනය ඉදිරියේ ආණ්ඩුව පසු නොබැසීම නිසා ඔවුන් තීරණය කළේ හැකි හැම ආකාරයෙන්ම විරෝධය පා මෙම ගිවිසුම අත්සන් කිරීම නතර කිරීමටයි. ගිවිසුම පාර්ලිමේන්තුවෙන් සම්මත වීමට ඉඩ නොදීම ඔවුන්ගේ ඊළඟ පියවර වුණා. ඒ සඳහා සෙංකෝලය ද පැහැර ගන්නට උත්සාහ කළේ එවිට පාර්ලිමේන්තු ඡන්ද විමසීම බලරහිත වන නිසායි. කෙසේ වෙතත් විපක්ෂයේ බාධාකිරීම් නොතකා ක්‍රියා කරන්නට ආණ්ඩුව පියවර ගත්තා.

හම්බන්තොට වරාය ගිවිසුම සෙනසුරාදා අත්සන් කරන බව අගමැතිතුමා සිකුරාදා නිවේදනය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවන්නට දිනේෂ් ගුණවර්ධන මහතා ක්‍රියා කළා. එම සාකච්ඡාවේ තීරණය අනුව මෙම ගිවිසුම අනතුරුදායක බවත් එය අත්සන් කිරීම කල් දමන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළේ හම්බන්තොට වරායේ ඉඩම් හා පාලනය චීන සමාගමකට නොමිලේම පවරාදීමට රාජපක්ෂ පාලන සමයේ කර තිබූ සැලසුම් ගැන ආණ්ඩුව කළ හෙළිදරව් කිරීම්වලට පිළිතුරුදීමටයි. රාජපක්ෂ මහතා කීවේ එලෙස වරාය හා ඉඩම් ලබාදීමට සැලසුම් කොට තිබූ බව කීම අමූලික බොරුවක් බවයි. කිසිවක් පෞද්ගලිකකරණය නොකිරීම තම රජයේ ප්‍රතිපත්තිය බව එයින් කියා තිබුණා. ආණ්ඩුව චීන සමාගමක් සමඟ අත්සන් කළ ගිවිසුම නිසා රටම කම්පා වූ බව ඒ මහතා කීවා. මෙම ගිවිසුම සඳහා වටිනාකම් තක්සේරුකිරීම්වලට කිසිදු පදනමක් නැති බවත් රාජපක්ෂ මහතාගේ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ වාසුදේව නානායක්කාර මහතාටද අවාසියට හේතුවුණේ මහින්ද රාජපක්ෂ සමයේ සකස් කළ ගිවිසුම අධිකරණයට ඉදිරිපත් වීමයි. මෙය ආණ්ඩුව අලුතෙන් කරන වැඩක් නොවන බව එයින් තහවුරුවීම නිසා වාසුදේව මහතාගේ පෙත්සමද ප්‍රතික්ෂේප වුණා.

මේ අතර රාජපක්ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ මහතාගේ හඬ පටයක් දැන් අන්තර්ජාලයේ නැවත සැරි සරනවා. එයින්ද කියැවෙන්නේ හම්බන්තොට වරාය සම්බන්ධවයි. හම්බන්තොට වරාය චීනයට බදුදීමට මහින්ද රාජපක්ෂ පාලනයද සැලසුම් සකස් කළ බවත් වරායක් ඉදිකළ පසුව එය නිකම් තබාගෙන සිටීම අපරාධයන් බවත් චමල් රාජපක්ෂ මහතා මෙම හඬ පටයෙන් කියනවා.

ඒ නිසා වරාය බදුදීම වරදක් නොවන බවත් එහි සඳහන් වනවා. එම හඬ පටයේ එලෙස අඩංගුවන්නේ මෙම වසරේ ජනවාරි නවවනදා චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවක්. ඒ මහතාද පාර්ලිමේන්තුවේ පෙනී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයකු වශයෙන්. මෙලෙස තම පාලන කාලයේ කළ කී දේවල් දැන් මහින්ද රාජපක්ෂ කණ්ඩායම පසුපස එමින් පළ දෙන්නට පටන්ගෙන ඇත්තේ කරුමය ගෙවන්නට වන ආකාරයෙන්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *