ආණ්ඩුවට ජනවරමක් තිබෙන බව මතක්කර දෙන්න සිදුවෙලා – එක්සත් වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ඉතා පැහැදිලි ලෙස 56%ක ප්‍රමාණයක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව ඡන්දය දුන්නා. මේ ඉලක්කම් වලට එකතු වුණේ නැතත් ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය වගේ පක්ෂ පැහැදිලිව පෙනී සිටිනව අලුත් ව්‍යවස්ථාවක් සඳහා. මේ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්‍ඟව 56% පැහැදිලි ජනවරමක් ලැබුණා. මේ ජනවරමක් නැති කතන්දරය බොරු කතාවක්. නොකෙරෙන වෙදකමට නම් කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනැ කියල කතාවක් තියෙනව. එක්සත් වාමාංශික පෙරමුණේ සංවිධායක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එසේ ප්‍රකාශ කළේ, සමාජ සාධාරණත්වය සඳහා ජනතා ව්‍යාපාරයේ මෙහෙය වූ ‘ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු,  යන මැයෙන් ජුලි 3 වැනිදා කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සම්මන්ත්‍රණයක දීය.

 

ආණ්ඩුවට ජනවරමක් තිබෙන බව මතක්කර දෙන්න සිදුවෙලා තියෙනව බොහෝ අයට. ජනවරම පිහිටෙන්ම පාර්ලිමේන්තු ආව සමහරුන් දැන් අහනව ආණ්ඩුවට ජන වරමක් තියෙනව ද කියලා. එයාලා අහන්නෙ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා කිව්වෙ නෑ නේද? කියලයි. ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා හැරීමකට යනව කියල කිව්වද නැද්ද කියල සමහරුන්ට මතක නෑ.

සෝභිත හාමුදුරුවන්ගෙන් නායකත්වයෙන් යුත් ජාතික ව්‍යාපාරය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ගැන අවුරුදු ගණනාවක් කටයුතු කරල පසුව එය දේශපාලන පක්ෂ සමඟ එකතුවෙලා මේ රටේ ජනතා ව්‍යාපාරයක් ඇති වුණා. එම ව්‍යාපාරයේ තේමාවක් වුණේ අලුත් ව්‍යවස්ථාවක්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්, විධායක ජනාධිපති ක්‍රමය අහොසිකර පාර්ලිමේන්තුව ශක්තිමත් කරමු කියන එකයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පිළිගැණුනට පස්සේ විහාරමහා දේවි එළිමහන් රංඟ පීඨයේදී පොදු මහජන න්‍යායපත්‍රයට අත්සන් කළා. එහි දී පිළිගත්තා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි කියල. ඒත් එක්කම තව ප්‍රශ්නයක් මතු වුණා. ජනවාරි 8න් පස්සේ ජනමත විචාරණයක් තිබුණොත් ඒකට මාස දෙක තුනක් ගත වෙයි කියලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. ජනවාරි 8 වෙනිදා දිණුවත් සරල බහුතරයක් නෑ කියන යතාර්ථයට මුහුණ දෙන්න සිදුවුණා. අපි හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු 30ක් විතර අස්වෙලා එයි කියලා. නමුත් ඒ පමණ සංඛ්‍යාවක් ආවේ නෑ. සරල බහුතරයක් නැත්නම් ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි නේද කියල තර්කයක් ආවා. ඒ අවථාවේ දී තීරණය වුනා දින සීයක් තුළ කළ හැකි දේ කරන්න. සමහරු මෙය පාවිච්චි කරනවා ජනමත විචාරණයක් තියන්න කවදාවත් එකඟ වුනේ නෑ කියල. ඒ අය කියන විදිහට මේ අවුරුදු පහ තුළ ජනමත විචාරණයක් තියන්නේ නෑ කියල රටට පොරොන්දු වූ බව කියනව. එය සම්පූර්ණ අසත්‍යයක්. දින සීයය ඇතුළත ජනමත විචාරණයක් තියන්නේ නෑ කියලයි කිව්වේ.

මැතිවරණයේ වත්මන් ජනාධිපතිවරයා දී කියා හිටියා මේක තමයි අවසාන ජනාධිපති මැතිවරණය. මම ආයේ ඉදිරිපත් වෙන්නෙ නෑ ජනාධිපතිවරණ ඡන්දයකට. ඒකෙන්ම තේරෙනවා නේද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුත්තකින් ජනාධිපති ක්‍රමය නැති කරනව පමණක් නෙමෙයි ඍජු මැතිවරණයක් තියල ජනාධිපති තෝරන එකත් වෙනස් කරනව කියල. එතුමා පැහැදිලිව කිව්වා. පූර්ණ ව්‍යවස්ථා වෙනසකට එනව කියල. එතුමා ඉන් පසුවත් කිව්වා. සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී එය ඉතාමත් පැහැදිලිව කියා සිටියා. ඊට පස්සෙ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පක්ෂ සංවිධායකයින් කැඳවලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුවා. මේකෙ ආපසු යාමක් තියෙන්නට බෑ.

මහින්ද රාජපක්ෂ මහත්තයත් ඡන්දෙදි කිව්වා අලුත් ව්‍යවස්ථාවක් හදනව කියල. 19 වැනි සංසෝධනයේ දී ශ්‍රෙෂ්ඨාධිකරණයේ දී පෙන්නල දුන්නා ව්‍යවස්ථා සංසෝධනවල තියෙන සීමාව. සමහර වගන්ති ජනමත විචාරණයක් නැතුව සම්මත කරගන්න පුළුවන්, සමහර ඒවට ජනමත විචාරණයක් අවශ්‍යයි කියල. විධායක ජනාධිපති ක්‍රමයෙ බලතල අඩුකිරීම පිළිබඳව අපි උපරිමයකට ඇවිත් තියෙන්නෙ. මෙතනින් එහාට යන්න නම් ජනමත විචාරණයක් අත්‍යඅවශ්‍යමයි.

ඉන් පස්සෙ මහ මැතිවරණයක් ආවා. යහපාලනයක් සඳහාවන ජාතික පෙරමුණ කියා සිටියා ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා හැරීමක් කරනව කියල. එම පක්ෂ එකමුතුවට ඡන්ද 45.16%ක් ලැබුණා. ජනතා විමුක්ති පෙරමුණට 4.89%ක් ලැබුණා. ටී.එන්.ඒ. සංවිධානයට 4.62%ක් ලැබුණා. පැහැදිලිව  අලුත් ව්‍යවස්ථාවකට පෙනී සිටින පක්ෂ තුනට ඍජුවම ලැබුණා 55.15%ක්. එයට ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංගසයක් එකතු කළ යුතුයි. ඒ අය වෙනම ඉල්ලා එක මන්ත්‍රී දුරයක් ලබා ගනිමින් ලබාගත් ඡන්ද හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පැහැදිලිව පෙනී සිටින සරත් ෆොන්සේකා නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ලබාගත් ඡන්ද එකතුකළ විට 56.11ක ජනවරමක් තියෙනව. ඉතා පැහැදිලි ලෙස 56%ක ප්‍රමාණයක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය දුන්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව. මේ ඉලක්කම් වලට එකතු වුණේ නැතත් ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය වගේ පක්ෂ පැහැදිලිව පෙනී සිටිනව අලුත් ව්‍යවස්ථාවක් සඳහා. මේ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්‍ඟව 56% පැහැදිලි ජනවරමක් ලැබුණා. මේ ජනවරමක් නැති කතන්දරය හත්පට්ටයක් හොයාගන්න ඕනැ කියල කියමනක් තියෙනව.

සමහරු කියල ආකාරයට ජනවරමක් නෑ කියල කියමු. එහෙම නම් ජනවරමක් ඉල්ල ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පරමාධිපත්ත්‍ය තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට. 70 මැතිවරණයෙන් පස්සේ ව්‍යවස්ථාව වෙනස් කරන කොට සමහරු කිව්වා ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ජනතාව ඡන්දය දුන්නේ නැහැ කියල. ව්‍යවස්ථාව වෙනස් කරනව කියල මැතිවරණයේ දි කිව්වා. එතකොට ගේන තර්කය තමයි ඡන්දය දෙන්නේ ව්‍යවස්ථාව ගැනම හිතලා නෙමෙයි, ජීවන වියදම වගේ අනෙක් සාධක ගැන හිතලා. මෙතනදිත් එහෙම කියනව. එහෙම නම් දැන් ව්‍යවස්ථාව පිළිබඳව රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවගෙන් අහන එකයි තියෙන්නේ. ඒක තමයි වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය.

මනෝජ් රූපසිංහ

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *