රයන් ජයලත් පැහැරගැනීම මිථ්‍යාව සහ යථාව – අනුර සූරියබණ්ඩාර

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුකරු රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගිය ආකාරය පිළිබඳව ගැටලුවක් ඇතත්, එය සුදු වෑන් රථයකින් ඔහු පැහැර ගැනීමට තැත්කිරීමක් ලෙස අර්ථ දක්වන්නට යාම බරපතල ගැටලුවකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැහැදිලිව පවසා තිබුණේ, රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට ගිය වෑන් රථය ශ්‍රී ලංකා පොලීසියට අයත් එකක් බවයි. එහි අංකය WPNA 410 බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසන ආකාරයට සරසවි සිසුන් සෞඛ්‍ය ආමාත්‍යාංශයට බලෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් රයන් ජයලත් සැකකරුවෙකි. ඔහුට විරුද්ධව මාලිගාකන්ද උසාවියට කරුණු ඉදිරිපත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණි. රයන් ජයලත් මහතාට විරුද්ධව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී තිබුණි.

ඉහත කරුණු උපුටා දැක්වූයේ රයන් ජයලත් මහතා අපරාධකාරයකු යන්න හුවා දක්වන්නට නොවේ. ඔහු අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයේ නීත්‍යානුකූල තත්ත්වය පැහැදිලි කිරීම සඳහාය. රයන් ජයලත් මහතාට වරෙන්තුවක් තිබේ. එකී වරෙන්තුවට පාදක හේතුව ශිෂ්‍ය සටන් සම්බන්ධ කරුණක් මිස ඔහු මංකොල්ලකරුවෙකු සොරෙකු නිසා නොවේ. වරද කුමක් වුවද පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි.

වරෙන්තුවට අමතරව කොටුව මහේස්ත්‍රාත් උසාවියේ රයන් ජයලත් මහතාට විරුද්ධව විභාග වූ නඩු හතරකට ඔහු ඉදිරිපත් වී නැත. සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වී එහි දේපලවලට හානි සිදුකිරීමේ සිදුවීම සම්බන්ධව රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගොස් ඇත. ඔහු නිවසේ නොසිටි බැවින් ඔහු දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද දැනුම් දී ඇත.

සුදු වෑන් යොදා ගනිමින් පැහැරගෙන යාමේ සිද්ධීන් කීපයක් මෙසේය.

* රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම

* ප්‍රගීත් එකැනැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම

* නාවික හමුදාවේ හිටපු  මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු පිරිසකට දැනට චෝදනා එල්ල වී ඇති තරැණයන් 11 දෙනා සම්බන්ධ සිද්ධිය.

එකී පැහැර ගැනීම් සම්බන්ධයෙන් කැපී පෙනෙන සමානතා බොහොමයකි. ඒ අතුරින් කීපයක් මේසේය.

  1. එකී පැහැරගැනීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම බාරගෙන නැත.
  2.  ඉහත සදහන් කළ තැනැත්තන් කිසිවෙකුට පැහැරගෙන යාමට අතුරුදන් කිරීමට පෙර කවර හෝ චෝදනාවක් එල්ලවී තිබුණේ හෝ එවැනි චෝදනාවක්, වරෙන්තුවක් සම්බන්ධව ඔවුනට නීත්‍යනූකූලව දැනුම් දී තිබුණේ නැත.
  3. ඉහත කී පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සඳහා සුදු වෑන් රථ යොදා ගැනුණු බව පැවසෙන නමුත් ඒවාහි අංක තහඩු පිලිබඳව නිවැරදි තොරතුරු නැත. බොහෝ එවැනි ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇත්තේ ව්‍යාජ අංක තහඩු යෙදූ වෑන් රථයි.
  4. එකී පැහැරගැනීම් සිදුකළ පුද්ගලයන් විසින් අදාළ තැනැත්තාහට සිය හැදුනුම්පත් ඉදිරිපත් කර අනන්‍යතාව හෙලිදරව් කිරීමක් හෝ චෝදනා පත්‍රයක්, වරෙන්තුවක් හෝ ඉදිරිපත් කර නැත.

මෙකී තත්ත්වයන් තුළ රයන් ජයලත් මහතා සම්බන්ධ සිද්ධිය වටහා ගත යුත්තේ පැහැර ගෙන යාමට තැත් කිරීමක් වශයෙන් නොව අත්අඩංගුවට ගැනීමට උත්තාහ කිරීමක් වශයෙනි. ඔහු අත්අඩංගුවට ගැනීමට තැත්කළ ආකාරයේ වරදක් වෙතොත් ඒ හා සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට අගතියටපත් පාර්ශ්වයට අවස්ථාව තිබේ.

දැන් සිදුවෙමින් පවතින කටයුතුවලට අනුව පෙනෙන්නේ එකී අත්අඩංගුවට ගැනීමට ගත් උත්සහය නීතිය ඉදිරියේ ප්‍රශ්න කිරීම වෙනුවට පැහැරගැනීම යන ලේබලය අලවමින් ඉන් දේශපාලන වාසි ලබා ගැනීමටත් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමටත් උත්සාහ දැරීමය.

ඒ තත්ත්වය හේතුවෙන් අතුරුදන් කිරීම්, පැහැරගෙන යාම් සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ කප් ගැසූ තැනැත්තන් වන ඒකාබද්ධ විපක්ෂයට ගැලවීමේ මාර්ගයක් පාදා දී ඇති බව පැහැදිලිය. මේ වන විට මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේශ් ගුණවර්ධන ඇතුළු සියල්ලන්ම පැහැර ගැනීම්වලට විරුද්ධ මානව හිතවාදී බැටළු යම් පොරවා ගනිමින් සිටිති.

මහින්දලා කළ පැහැරගෙන යාම්, අතුරදන්කිරීම්, ඝාතන, අතපය කඩා දැමීම් දැන් අන්තරයටත් මතක නැත. ජනතා විමුක්ති පෙරමුණටත්, පෙරටුගාමීන්ටත් මතක නැත. එපමණක් නම් ඉවසිය හැකිය. බරපතලම ගැටලුව වන්නේ සයිටම් විරෝධය ආදිය දඩමීමා කර ගනිමින් ඝාතකයෝත්, චූදිතයෝත්, පැහැරගන්නොත්, බලහත්කාරයෙන් මිනිසුන් අතුරුදන් කරවීමට අනුබල දුන් තැනැත්තොත් පොදු වේදිකාවකට පැමිණ සිටීමයි.

මොවුන්ගේ මේ පැහැරගැනීමට තැත්කිරීමේ නාඩගම සැබෑලෙසම පැහැරගැනීමට, අතුරුදන් කිරීමට ලක්වූවන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් කරන බලවත් අසාධාරණයකි. සැබෑලෙසම පැහැරගැනීමට ලක්වූවන් පිළිබඳ සිදුවීම් අමතක කරවීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව උඩගෙඩි දීමකි.

ඔවුන්ගේ තර්කය අනුව දැන් මහරාජානන්ගේ පාලනයත් වත්මන් යහපාලනයත් අතර වෙනසක් නැත. එසේ නම් රාජපක්ෂ රෙජීමය බලයට පත්වුව ද කමක් නැතැයි සාමාන්‍ය ඡන්දදායකයා කල්පනා කරන්නේ නම් පුදුම විය යුතු නැත. ඝාතකයන් සමග එකට වේදිකාවල පෙනී සිටිමින් අනුර කුමාරලා, ජයගොඩලා, මේ කරමින් සිටින්නේ එය නොවේද?

WPNA  410 වෑන් රියෙන් ගිය පොලිස් නිලධාරින් සැබැවින්ම උත්සාහ කළේ උසාවියෙන් වරෙන්තුවක් ලැබ සිටි තැනැත්තකු අත්අඩංග   වට ගැනීමටය. රයන් ජයලත් මහතා පැහැරගෙන යාමට අපේක්ෂාවක් තිබුණේ නම් එකී පොලිස් නිලධාරින් නිර්ව්‍යාජ අංක තහඩු සහිත රියකින් එතැනට පැමිණෙන්නේ නැත. හැදුනුම්පත් ඉදිරිපත් කරන්නේද නැත.

රයන් ජයලත් පැහැරගෙන යාමට උවමනාවක් තිබුණේ නම් අදාල සුදු වෑන් රථය රයන් ජයලත් සිටි ස්ථානයට පැදවීම වෙනුවට පොලිස් නිලධාරින් කරනු ඇත්තේ, රයන් යන එන මගක රහසිගතයව රැඳී සිටීමයි. රයන් තනීවීමට හැර කුදලා රියට දමාගෙන පලා යාමයි. එවැනි කිසිවක් සිදු නොවුනු තත්ත්වයක් තුළ රයන් පැහැරගැනීමට තැත්කළ බවට චෝදනා කිරීම පැහැදිලිවම නීතියේ ආධිපත්‍යය තර්ජනයටත් අභියෝගයටත් ලක් කිරීමකි.

එපමණක් නොවේ, රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදීමෙන් එතැන රැස්ව සිටි පිරිස කර ඇත්තේ ද නීතිය ඉටු කිරීමට බාදා කිරීමයි. ඒ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුය යන්න අපගේ වැටහීමයි. මෙකී තත්ත්වය නිවැරදිව ජනතාවට පැහැදිලිකර දීමට නොහැකි වීම ආණ්ඩුවේ දුර්වලතාවයි.

අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *