ගොරකා දඩමස් කරන තවත් විහිළු කතා මක්කටෙයි – භාතිය බරුකන්ද

 

නාමල් රාජපක්ෂ බී.බී.සී සංදේශයට කියා තිබුණේ “මූලෝපායික වශයෙන් වැදගත් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන සමාගමක් සම්බන්ධ කර ගැනීමෙන් අසල්වැසි ඉන්දියාව පවා දැඩි අසීරුතාවකට පත්වනු ඇති’ බවයි.

“බඩේ ඉන්න ළමයින්ට හඳහන් හදන්න එපා’‘ කියලා මීට සති කිහිපයකට පමණ පෙර මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණය කළ බව ඔබට මතක ඇති. හම්බන්තොට වරාය සම්බන්ධ චීන – ශ්‍රී ලංකා ගිවිසුම දෑහින් නොදැක මෙපමණ කාලයක් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කළේ නැති බිල්ලෙක් ඇති කිරීමයි.

වරාය හා නාවික කටයුතු තම ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය කරගත් රාජ්‍යයන් රැසක් අපට ලෝක සිතියමෙන් හමුවෙනවා. ඒ සඳහා මුළු ලෝකයම දන්න හොඳම උදාහරණය තමයි සිංගප්පූරුව. කිසිදු ස්වභාවික සම්පතක් නැති මේ කුඩා අර්ධද්වීපය ලෝකයේ ආර්ථික බලවතුන් අතර ඉහළට ඔසවා තබන්න සිංගප්පුරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතාට හැකි වුණේ සිංගප්පුරු වරාය ආශ්‍රිතව බිහිකළ ශක්තිමත් හා දැවැන්ත සේවා ආර්ථිකය නිසයි. එක තෙල් බින්දුවක් පොළොවෙන් ගන්නේ නැති සිංගප්පුරුව ලෝකයටම තෙල් බෙදාහරින දැවැන්ත මධ්‍යස්ථානයක් වුණේ වරාය පහසුකම් නිසා. රසායන ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත, නාවික සේවා සැපයීම හරහා සිංගප්පුරුව තමන්ගේ ජාතික ආදායමෙන් විශාල පංගුවක් උපයා ගන්නවා.

ශ්‍රී ලංකාවත් වසර දහස් ගණනක් පුරා වරාය හා නාවික සේවා සම්බන්ධයෙන් කේන්ද්‍රස්ථානයක් වුණා. පුරාණ ඊජිත්තු, ග්‍රීක හා රෝම යුගයේදී ශ්‍රී ලංකාව ලෝකයේ වානිජ හා නාවික කේන්ද්‍රස්ථානයක්ව තිබුණා. ඊට පසුව ක්‍රිස්තු වර්ෂ යුගයේ චීන, අරාබි හා පසුව යුරෝපීයයන්ගේ වරාය හා නාවික කටයුතුවලදීත් ශ්‍රී ලංකාව ඉතාම වැදගත් මධ්‍යස්ථානයක් වුණා. කොළඹ වරාය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ සිට ආසියාවේ ප්‍රධාන වරායක් වශයෙන් වැජඹෙන්නේ මේ නිසා.

වරාය සංවර්ධන සිහිනය

ආසියාව නූතන ගෝලීය සංවර්ධනයේ නාභිය බවට පත් වෙමින් පවතින මේ සියවසේ ශ්‍රි ලංකාවේ සංවර්ධන සිහින සැබෑ කර ගැනීමේ පහසුම හා ප්‍රායෝගිකම මාවත වැටී තිබුණෙත් වරාය සංවර්ධනය හරහා බව පැහැදිලි කරුණක් වුණා. තේ, රබර් සහ පොල් වැනි සාම්ප්‍රදායික වැවිලි අපනයන කර්මාන්ත වේගයෙන් හැකිලෙද්දී කෘත්‍රීමව ප්‍රසාරණය වූ ඇඟලුම් කර්මාන්තය ද අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොදෙද්දී රට හමුවේ තිබුණු පැහැදිලි විකල්පයත් වරාය සංවර්ධනයයි.

ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගය ආසන්නයේම පැවැති හම්බන්තොට වරාය ඉඳිකිරීමට තීරණය කළේ. හම්බන්තොට වරායට සමගාමීව හම්බන්තොට නගර සංවර්ධනය කරමින් මත්තල ගුවන්තොටුපොළ ඇතුළු දැවැන්ත සංවර්ධන ඉලක්කයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එදා තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තේමා පාඨය වූ “ආසියාවේ ආශ්චර්යය” මෙන්ම ‘සුබ අනාගතයක් ’ ද සිතුවම් වෙලා තිබුණ ප්‍රධානතම කුලුන වුණේ මේ හම්බන්තොට වරාය සංවර්ධනය.

මේ සිහිනය ජනතාවට කොතරම් කාවැදිලා තිබුණ ද කියන එක හම්බන්තොට වරායට මංගල දියවර පිරවීම නිමිත්තෙන් පැවැති දැවැන්ත උත්සවයේදී පැහැදිලිව පෙනුණා. එදා හම්බන්තොටට ගිය මේ රටේ මිනිස්සු ඒ මුහුදු වතුර බෝතල්වලට අරං ඇවිත් දේවත්වයෙන් වාගේ පරිස්සම් කරලා තිබුණා. එදා ඒ මිනිස්සුන්ට වුවමනා වුණේ අනාගත ආශ්චර්යයමත් ලංකාවේ ඇහින් දුටු සාක්ෂිකාරයෝ වෙන්න. ඒකට ආශිර්වාද කළ, දරදිය ඇද්ද මිනිස්සු වෙන්න. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය ගැන මවා තිබූ දැවැන්ත චිත්‍රය හමුවේ මෙය තවත් ආශ්චර්යයක්ම වුණා.

එදා මේ විශ්වාසය තුළ ආණ්ඩුව කොතරම් තදින් සිටියාද කියන එක 2011 මහ බංකු වාර්තාවේ ‘වරාය’ අංශය තුළ දක්වා තිබූ මේ සටහනින් පේනවා.“රජය යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රමුඛස්ථානයක් වරාය හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලබා දී ඇත. හම්බන්තොට වරාය ගොඩනැඟීමේ පළමු අදියර 2011 දෙසැම්බර් මස වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. හම්බන්තොට වරාය නගරයේ කර්මාන්ත ශාලා පිහිටුවීම සඳහා කැමැත්ත පළ කිරීම් 27ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබී ඇති අතර ඒවායින් 14ක් තෝරාගෙන ඇත. ඛනිජතෙල්, රසායන, සිමෙන්ති, සීනි, පොහොර වැනි කර්මාන්ත ශාලා සඳහා අනුමැතිය ලබා දී ඇත. ටැංකි 14කින් සමන්විත තෙල් ටැංකි සංඛ්‍යාවක් ඉදිකරමින් පවතින අතර මෙමගින් හම්බන්තොට වරාය පසුකර යන නැව් සඳහා තෙල් සැපයීමට හැකියාව ලැබෙනු ඇත” ( ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2011, පිටුව 82)

මේ මහින්ද රාජපක්ෂ යුගයේ හම්බන්තොට වරාය ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මවාගෙන සිටි චිත්‍රය. මේවා මේ ආකාරයෙන්ම සිදු වුණා නම් අද ලංකාව ඉන්නේ අපි හිතනවාටත් වඩා බොහොම ඉහළ තැනක.

බොඳ වුණු සිහිනය

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2010 සිට 2015 දක්වාම අවුරුද්දෙන් අවුරුද්ද මේ සංඛ්‍යා ලේඛන අලුත් කළා. ඒත් 2015 අවුරුද්දේ ජනවාරි 08 වැනිදා පරාජයට පත් වෙලා ගෙදර යනතෙක් හම්බන්තොට ආශ්චර්යය උදා වුණේ නැහැ. ඒ වෙනුවට රටට ලැබුණේ දැවැන්ත ණය කන්දක් වගේම සුදු අලියෙක් වැනි නැව් නොපැමිණෙන වරාය සංකීර්ණයක්.

හම්බන්තොට වරාය ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැක්ක සිහිනයේ ප්‍රතිලෝමය අපට 2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් මනාව පැහැදිලි කරගත හැකියි.

“හම්බන්තොට වරායේ පිහිටීමේ ඇති වූ වාසිය පූර්ණ වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ අතිරේක ආයෝජන සිදු කිරීම අවශ්‍ය වේ. ලොව කාර්යබහුල නාවික ප්‍රවාහන මාර්ග ඇතුළත් ප්‍රධාන නාවික මාර්ග සංධිස්ථානයක හම්බන්තොට වරාය පිහිටා ඇත. ප්‍රදේශයේ ඉඩම් සුලභතාව, භූගෝලීය පිහිටීම සහ සංවර්ධිත මාර්ග ජාලයන් පැවතීම හේතුවෙන් කාර්මික වරායක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම ආරම්භ කෙරිණි. වරාය ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට ප්‍රමාණවත් තරම් වරාය අාශ්‍රිත කර්මාන්ත ගොඩනැඟී නොමැති වීම, හම්බන්තොට වරායේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවකි. එබැවින්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව යාන්ත්‍රණයක් තුළින් හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්තශාලා පිහිටුවීම සඳහා විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පියවර ගැනීම, හම්බන්තොට වරායේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට හේතු වනු ඇති අතර, කාර්මික වරායක් වශයෙන් එහි ඇති විභවතාවයෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගැනීමට ද ඉඩ සලසනු ඇත”( ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2016, පිටුව 113-14)

මේ 2010 වසරේ සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ආසියාවේ ආශ්චර්යය කරා රට ගෙන යාම සඳහා වන ගාමක බලවේගයක් ලෙස හම්බන්තොට වරාය බිහිකළ පසු ගෙවී ගිය අවුරුදු කිහිපය තුළ නිර්මාණය වී තිබූ සැබෑ තත්ත්වයයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ වරාය ආරම්භයේදී චීන ණය බිලියන ගණනින් වැය කරමින් හම්බන්තොට ආශ්‍රිතව සිදුකළ කිසිදු සංවර්ධන කටයුත්තකින් රටට කිසිදු ආකාරයක ප්‍රයෝජනයක් හිමිව නොතිබූ බවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උපකල්පනය කළ, විශ්වාස කළ, ප්‍රචාරය කළ ආකාරයක කිසිදු ආකාරයක කර්මාන්ත ශාලාවක්, විදේශ නෞකා සඳහා ඉන්ධන සැපයීමක් සිදු නොවූ බවයි.

ඒ වෙනුවට හම්බන්තොට වරාය විසින් ලංකාවට උරුම කර දුන්නේ ඉතිහාසයේ දැවැන්තම ණය කන්දක්. මේ බව හෙළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව, 2016 මෙසේ කියනවා.

“2010 වසරේදී හම්බන්තොට වරාය මෙහෙයුම් ආරම්භ කිරීමේ පටන් හම්බන්තොට වරායේ මූල්‍ය ක්‍රියාකාරීත්වය දුර්වල මට්ටමක පැවතිණි. හම්බන්තොට වරාය 2015 වසරේදී බදුවලට පෙර වාර්තා කළ රුපියල් බිලියන 18.8ක අලාභයට සාපේක්ෂව 2016 වසරේදී බදුවලට පෙර රුපියල් බිලියන 10.9ක අලාභයක් වාර්තා කළේය. හම්බන්තොට වරායේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් එම ව්‍යාපෘතියේ මූල්‍ය ශක්‍යතාව අවදානමට ලක් වී ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත මූල්‍ය ප්‍රගතිය කෙරෙහි ද බලපෑම් එල්ල කර ඇත. එබැවින් මේ වරායට සාර්ථක ව්‍යාපාරික ආකෘතියක් සහ කාර්යක්ෂම කළමනාකරණයක් ඇති කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය වේ” මේ හම්බන්තොට වරාය ගැන ප්‍රකාශ වන සත්‍ය තත්ත්වයයි.

අද හම්බන්තොට වරාය චීන සමාගම් සමඟ හවුල් කළමනාකාරීත්වයකට යාමට එරෙහිව උදේ සවස මොර දෙන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කල්ලිය ඉල්ලා සිටින්නේ හම්බන්තොට වරාය ද කොළඹ වරාය මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව අතේ තිබිය යුතු බවයි. හම්බන්තොට තෙල් ටැංකි ද ශ්‍රී ලංකා ආණ්ඩුව අතේ තිබිය යුතු බවයි.

එහෙත් 2016 වසර දක්වා කොළඹ වරාය ද ඇතුළත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඇත්ත තත්ත්වය කුමක්ද ? යන්න මේ කිසිවෙක් නොකියති. ඒ මන්ද 2015 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 14.2ක් අලාභයක් වාර්තා කරලා තිබෙනවා. එය යහපාලන ආණ්ඩුවේ ශක්තිමත් මූල්‍ය කළමනාකාරීත්වය හේතුවෙන් 2016 වසරේදී බදුවලට පෙර රුපියල් බිලියනයක ලාභයක් දක්වා පරිවර්තනය කර ගැනීමට හැකි වුණා.

වරාය අධිකාරියම හම්බන්තොට වරායත්, තෙල් ටැංකි සංකීර්ණයත් පාලනය කළහොත් තවත් අවුරුද්දක් දෙකක් ගතවීමට පෙර හම්බන්තොට වරායේ දැවැන්ත අලාභය සමඟ බංකොලොත් විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ මේ නිසයි.

හම්බන්තොට ගිවිසුමේ වාසිය

හම්බන්තොට වරාය දිගින් දිගටම පාඩු ලැබීම සහ වරාය පරිශ්‍රයේ ශක්‍යතා ජාතික ආර්ථික සංවර්ධනය සඳහා භාවිත කළ යුතු බවට වත්මන් ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටින්නේ මේ පදනම, හේතු නිසයි. ඒ නිසා පසුගිය 29 වැනිදා හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය සහ චීනයේ ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංස් සමාගම අතර අත්සන් කළ ගිවිසුම සුවිශේෂ එකක් බවට පත් වෙනවා.

ඒ ප්‍රධාන කාරණා දෙකක් හේතුවෙනුයි. ඉන් එකක් වනුයේ හම්බන්තොට වරාය නඩත්තුව කොළඹ වරායේ ආදායම සමඟ ගැට ගසා තිබූ නිසා නව ගිවිසුම සමඟ එම සම්බන්ධය අහෝසි වී යාමයි. එය ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව 2016 අවධාරණය කර තිබූ ආකාරයට (හම්බන්තොට වරායේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් එම ව්‍යාපෘතියේ මූල්‍ය ශක්‍යතාව අවදානමට ලක් වී ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත මූල්‍ය ප්‍රගතිය කෙරෙහි ද බලපෑම් එල්ල කර ඇත) කොළඹ වරාය සුරක්ෂිත කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. එසේ නොමැතිව තවත් වසරක් දෙකක් මේ ආකාරයෙන් කොළඹ වරායේ කරේ හම්බන්තොට එල්ලා තිබුණේ නම් එය කොළඹ වරායට අකල් මරණයක් ලබා දෙන උරචක්‍රමාලයක්ම වීමට ඉඩ තිබුණා. නව හවුල්කාරීත්ව ගිවිසුම දැන් හම්බන්තොට උරචක්‍රමාලයෙන් කොළඹ වරාය ඇඳ දමා තිබෙනවා.

දෙවැනි වාසිය වන්නේ හම්බන්තොට වරාය වෙනුවෙන් වාර්ෂිකව ගෙවීමට තිබූ ණය උගුලෙන් ගැලවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට අවස්ථාව උදාවීමයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරන ආකාරයට හම්බන්තොට වරාය වෙනුවෙන් චීනයෙන් ලබාගත් ණය සඳහා මේ වසරේදී ගෙවිය යුතු වාරිකය රුපියල් බිලියන 9.1ක් වන අතර 2020 වන විට එය රුපියල් බිලියන 20ක් දක්වා වැඩි වීමට නියමිතව තිබුණා. මෙතැන් සිට ශ්‍රී ලංකා ආර්ථිකය වළට ඇද දමන මේ ණය උගුලෙන් ගැළවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට අවස්ථාව උදා වී තිබෙනවා.

මේ තත්ත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය මගින් අපට පහසුවෙන් අවබෝධ කර ගත හැකියි. පසුගිය 28 වැනිදා කොළඹ මහබැංකු සංකීර්ණයේ පිහිටි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළා.“මේ ගිවිසුම හේතුවෙන් මේ වසරේ සහ එළැඹෙන වසර තුළ ඩොලර් බිලියන 1.1 ක් අපට ලැබෙනවා. ඩොලර් බිලියන 1.1 ලැබුණු පසු විදේශ ණය ප්‍රමාණය අඩු කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා. ඒවගේම 2011 වසරේ සිට හම්බන්තොට වරාය හේතුවෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදු වුණා.”

කාර්මික සංවර්ධනය පුළුල් කිරීම

හම්බන්තොට වරාය ඉදිකරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රකාශ කළේ මහා පරිමාණ කර්මාන්ත ශාලා රැසක් හම්බන්තොටට පැමිණීමට නියමිත බවයි. මීට ඉහත උපුටා දැක්වූ 2011 මහ බැංකු වාර්තාවේ මේ ගැන පැහැදිලිව සටහන් වුණා. ඊට පසුවත් 2015 දක්වාම හම්බන්තොටින් උදාවන ආශ්චර්යය ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මහත් බලාපොරොත්තු තබා සිටියා. එහෙත් පැහැදිලි ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියක් නැතිව, බටහිර ධනවාදී ලෝකය සමග රණ්ඩු අල්ලමින් සිටි, මානව හිමිකම් ගැන තුට්ටුවක් මායිම් නොකොට ඒකාධිපති ආණ්ඩුවක් වෙත ළඟා වෙමින් සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බටහිර ආයෝජකයන් තියා චීන ආයෝජකයන් පවා සොයා ගන්න නොහැකි වුණා. (වරාය ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට ප්‍රමාණවත් තරම් වරාය අශ්‍රිත කර්මාන්ත ගොඩනැඟී නොමැති වීම, හම්බන්තොට වරායේ දුර්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවකි. එබැවින්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව යාන්ත්‍රණයක් තුළින් හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්තශාලා පිහිටුවීම සඳහා විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පියවර ගැනීම, හම්බන්තොට වරායේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට හේතු වනු ඇති අතර, කාර්මික වරායක් වශයෙන් එහි ඇති විභවතාවයෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගැනීමට ද ඉඩ සලසනු ඇත- (ශ්‍රී.ල.ම.බැ.)

ඒත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණයෙන් කියන්නේ නව ගිවිසුම සමග හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික සංවර්ධනය සිදුවන බවයි. “හම්බන්තොට වරාය සම්බන්ධ නව ගිවිසුම යටතේ වරාය සංවර්ධන අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් එකට එක්ව කටයුතු කරනවා. එන වසරේදී තවත් ඩොලර් මිලියන 300ක් 400ක් අතර ප්‍රමාණයක් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමටත් ඔවුන් සුදානම්. ඒවගේම හම්බන්තොට කර්මාන්තකරණය සඳහා අවශ්‍ය නව ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර තිබෙනවා. ඉන්දියාව සහ ජපානය සමඟ එල්එන්ජී විදුලි බලාගාර ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධව අප සාකච්ඡා කර තිබෙනවා” අගමැතිවරයා මේ කියන්නේ මහින්ද රාජපක්ෂට අවුරුදු පහක් පුරා කිරීමට නොහැකි වූ දේ යථාර්ථයක් කරන බවයි. ඒ නිසා හම්බන්තොට හවුල් ගිවිසුමෙන් පසු මෙපමණ කාලයක් කැලෑ වැදෙමින් තිබූ හම්බන්තොට කාර්මිකකරණය ආරම්භ වීම දකුණේ සංවර්ධනය සඳහා මෙන්ම සමස්ත රටේම සංවර්ධනය සඳහා මනා පිටිවහලක් වන බව පැහැදිලියි.

පුස්වෙඩි නොතකා හැරීම

“බඩේ ඉන්න ළමයින්ට හඳහන් හදන්න එපා’‘ කියලා මීට සති කිහිපයකට පමණ පෙර මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණය කළ බව ඔබට මතක ඇති. හම්බන්තොට වරාය සම්බන්ධ චීන – ශ්‍රී ලංකා ගිවිසුම දෑහින් නොදැක මෙපමණ කාලයක් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කළේ නැති බිල්ලෙක් ඇති කිරීමයි. ඒ අවසන් උත්සාහයත් ගිවිසුමට අත්සන් කළ දා මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ කළා. දශකයක් පමණ චීනය මතම යැපුණු, චීන සල්ලි වලින්ම වරාය හදපු මහින්ද රාජපක්ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ “අදාළ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයටද බලපෑම් ඇතිවන බැවින් මුළු වරායම හෝ ඉන් කොටසක් අවුරුදු 99ක් වැනි දීර්ඝ කාලයක් සඳහා බදු දීමට තමන් ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වන බවයි. නාමල් රාජපක්ෂ බී.බී.සී සංදේශයට කියා තිබුණේ “මූලෝපායික වශයෙන් වැදගත් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන සමාගමක් සම්බන්ධ කර ගැනීමෙන් අසල්වැසි ඉන්දියාව පවා දැඩි අසීරුතාවකට පත්වනු ඇති’ බවයි.

මෙවැනි පටු හා අවස්ථාවාදී ප්‍රකාශ මගින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස බලාපොරොත්තු වුණේ තමන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ හම්බන්තොට ගිවිසුම ආපසු හැරවීමට බව පැහැදිලියි. එහෙත් මේ වන විට වාර්තා වන්නේ ජාතික ආරක්ෂාව, යළි පවරා ගැනීම ඇතුළු සියලු කොන්දේසි ශ්‍රී ලංකාවට අතිශයින් වාසිදායක බවයි. කොටින්ම අවුරුදු 99කට පස්සේ හම්බන්තොට වරායේ වැඩි දියුණු කළ සියලුම වත්කම් යළි ශ්‍රී ලංකාවට පැවරෙන්නේ ඩොලර් එකක් වැනි සංකේතාත්මක මුදලකටයි. ඉතින් මහත්වරුනේ ගොරකා දඩමස් කරන තවත් විහිළු කතා මක්කයෙයි.

භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *