පරීක්ෂණ අවසන් වූ නඩු ගැන විශේෂිත අධිකරණයක් මගින් සාධාරණ ක්‍රියාමාර්ගයක් නොපමාව ගත යුතුයි – නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා

සංවේදි කාරණාවලදි රටේ යුක්තිය පසිඳලීම ගැන සාමාජයට පණිවිඩයක් දෙන්න ඕනෙ නිසා, සාමාන්‍ය අනුපිළිවෙලින් පිටට අරගෙන ඒ නඩු ඉක්මනින් අහල ඉවර කරනව. සාක්ෂි අනුව, රටේ නීතිය අනුවයි ඒ නඩු තීන්දු වෙන්නෙ. යුක්තිය පසිඳලීම ගැන කළමණාකරණය වහාම ක්‍රියාත්මක කිරීම ගැන අධිකරණ ඇමතිවරයා ක්‍රියාත්මක වෙන්න ඕනැ. ඒක විදුලිබල ඇමතිට කරන්න බෑ. කෘෂිකර්ම ඇමතිට කරන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා එසේ ප්‍රකාශ කළේ, සමාජ සාධාරණත්වය සඳහා ජනතා ව්‍යාපාරයේ මෙහෙය වූ ‘ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු,  යන මැයෙන් ජුලි 3 වැනිදා ‘ඊයේ, කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සම්මන්ත්‍රණයක දීය.

එෆ්.සී.අයි.ඩී. එක විසින් දේශපාලඥයින් සම්බන්ධ පරීක්ෂණ 89ක් අවසන් කර එම ලිපි ගොනු නීතිපති තුමාට බාර දී තිබෙනව. නීතිපති වරයා එයින් නඩු 15කට අධි චෝදනා ගොනුකර මහා අධිකරණයේ නඩුපවරලා තියෙනව. මම කියන්නෙ නෑ හැමඩගොනුවක් සම්බන්ධයෙන්ම නඩු පැවරීම අවශ්‍යයි කියල. නීතිපතිවරයා නඩු පැවරීමට සාක්ෂි තියෙනව කියල තීරණයක් ගත යුතුයි. දැන් කොතනද ප්‍රශ්නය තියෙන්නෙ?  පවරපු නඩු පහළොවේ සුමාන දෙකකට කලින් අධිචෝදනා ලබා දුන් නඩුවල නඩු විභාග දිනය ඊළඟ අවුරැද්දෙ ජනවාරි පෙබරවාරි. මමත් අපරාධ නීතිය පිළිබඳ තරමක් දන්න කෙනෙක්. මේ අපරාධ නඩුවලට සම්බන්ධ දේශපාලඥයෝ දින ගණන් කරනව නඩුවාර කීයකින් ද මේ ආණ්ඩුවෙ කාලය ඉක්මව ගන්න පුළුවන් කියල. මේ ආණ්ඩුව මෙහෙම ගිහිල්ලා වැටෙයි. මේ ආණ්ඩුව වැටිලා එයාලගෙ ආණ්ඩුවක් ආවොත් මේ චෝදනා ඉල්ලා අස්කරගන්න පුළුවන් කියල ඒ ගොල්ලො හිතනව. හිතනව නෙමෙයි කියනව. කියනව විතරක් නෙමෙයි කෝචොක් දානව. මේ ආණ්ඩුව වැටෙනව නම් වැටෙන්නෙ එයාලගෙ නඩු අහන්නෙ නැති නිසා. අවසන් වෙලා නැති ගැඹුරු පරීක්ෂණ ගණනාවක් තව තියනව. සමහර පරීක්ෂණ අවසාන මට්ටමට ඇවිල්ලා තියෙනව. මම විශ්වාස කරනව සමහර පරීක්ෂණ තර්කානුකූලව අවසාන මට්ටම දක්වා අරගෙන යන්න පුළුවන් කියල. සමහර ඒවා බරපතල මිනී මැරුම්.

දැනුමෙන් අඩු හැඟීම්බර මිනිසුන්ට නායකත්වය දීලා, මේ ජයග්‍රහණය ආපසු පෙරළන්න සිහින දකින අයට ඒක කරන්න ඉඩ දීලා අපි බලන් ඉන්නවද? නැත්නම් මේ වෙනස ඇති කරන්න එදා අපි නායකත්වය දුන්නා වගේ මිනිස්සු බලාපොරොත්තුවන පක්ෂ පාට භේදයක් නැති මේ රටේ බලාපොරොත්තුවන යුක්තිය ඉෂ්ට කරන්න පරක්කු නොවී කැප වෙනවද කියන එක අපිට තීරණය කරන්න වෙලා තියෙනව. ඒක තමයි අපිට තියෙන අභියෝගය. කොතනද මේ ප්‍රශ්නය තියෙන්නෙ? නීතිපති දෙපාර්ථමේන්තුවෙ. කොතනද ප්‍රශ්නය තියෙන්නෙ‍? අධිකරණයෙ. සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කර බලන්න පොලිසියෙ නෙමෙයි ප්‍රශ්නය තියෙන්නෙ. අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ ධෛර්යවන්ත පොලිස් නිලධාරින්ට ඔවුන් ඉතාම අමාරු තත්ත්වයන් යටතෙ මේ පරීක්ෂ කටයුතු දක්ෂ ලෙස කරන එක ගැන.

ළමා අපචාර සැකකරුවෙකුට අධිචෝදනාපත්‍ර ලැබුනම ඒ සැකකරු අධිචෝදනාපත්‍රය බාරඅරගෙන එළියට ඇවිල්ලා කියනවා, ඇයි මෙහෙම අසාධාරණයක් තව ළමයි පහළොස් දාහක්ගෙ අපහරණ නඩු නීතිපති දෙපාර්ථමේන්තුවෙ තියෙද්දි ඇයි මට මාස කීපයක් ඇතළත අධිචෝදනා පත්‍රයක් ගොනු කරන්නෙ? ඇයි මෙහෙම අසාධාරණයක්? කියල.

නීතිපති දෙපාර්ථමේන්තුව වෙනදට වඩා ප්‍රායෝගිකව යථාර්තවාදීව වැඩ කරනව කියල තේරුම් ගන්න පුළුවන්. ඉස්සරට වඩා ඉදිරියට ඇවිල්ලා තියෙන්නෙ. ඔවුන් යම් දෙයක් කරනව. ඒත් දැනට මේ නඩු අහන ක්‍රමවේදය තුළ මේ එකදු නඩුවක්වත් මේ ආණ්ඩුව කාලය තුළ ඉවර වෙන්නෙ නෑ. 2020ට කලින් ඉවර වෙන්නෙ නැහැ. ඉවර වෙන්න දෙන්නෙත් නෑ. අපි තීරණය කරන්න ඕනැ එහෙම වෙන්න ඉඩ දෙනවද? එහෙම වෙලා, අපි මේ ඉදිරියට අරගෙන යන බලවේග අසාර්ථක වෙලා, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අසාර්ථක වෙලා, අපි අනර්ග අවස්ථාවක් අහිමි කරගත්ත ජාතියක්, අපි ඒ වෙලාවෙ මේ දේ කළේ නැහැ කියල අපි ඔක්කොම එකතුවෙලා පොතක් ලියනවද? එහෙමත් නැත්නම් මේ වෙලාවෙ මේ සමාජ සාධාරණත්වය ගැන රජයේ තියෙන කැපවීම පෙන්නුම් කරන්න මේ පරීක්ෂණ අවසන් වෙච්ච නඩු ගැන විශේෂිත සාධාරණ අධිකරණ ක්‍රියාමාර්ගයක් අපි අනුගමනය කරනවද කියල අපි තීරණයක් ගත යුතුයි. එවට ක්‍රමවේද තියෙනව. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න බලයක් පාර්ලිමේන්තවෙ තියෙනව. එක්කො අපි යම් විශේෂිත වර්ගවලට අයිති නඩු විභාග කිරීම සඳහා මහ අධිකරණ කිහිපයක් පිහිටුවන්න ඕනෙ. එහෙම නැත්නම් යුක්තිය පසිඳලීම පරිපාලමය කාරණයක් වශයෙන් සලකල දැනට තියෙන මහාඅධිකරණ විනිශ්චයකාරවරු තුන්දෙනෙක් නඩු අහන ක්‍රමය පාවිච්චි කළ යුතුයි.

සංවේදි කාරණා ගැන ඒ විදිහට නඩු ඇහුවා.  යාපනේ දැරියක් දූෂණය කරපු එක ගැන නඩුව ඒ විදිහට අහන්නෙ. ඒ වගේ සංවේදි කාරණාවලදි රටේ යුක්තිය පසිඳලීම ගැන සාමාජයට පණිවිඩයක් දෙන්න ඕනෙ නිසා සාමාන්‍ය අනුපිළිවෙලින් පිටට අරගෙන ඒ නඩු ඉක්මනින් අහල ඉවර කරනව. සාක්ෂි අනුව රටේ නීතිය අනුවයි ඒ නඩු තීන්දු වෙන්නෙ. ඒ නිසා යුක්තිය පසිඳලීම ගැන කළමණාකරණය වහාම ක්‍රියාත්මක කිරීම ගැන අධිකරණ ඇමතිවරයා ක්‍රියාත්මක වෙන්න ඕනැ. ඒක විදුලිබල ඇමතිට බෑ. කෘෂිකර්ම ඇමතිට බෑ. විධායක ජනධිපතිවරයෙක් දැනුත් ඉන්නව. මේ විධායක ජනාධිපතිවරයට මේ දේවල් කරන්න කැපවීමක් තියෙනව නම්, තමන්ගෙ විධායක ජනාධිපතිකම පාවිච්චිකරල කළයුතු දේ කළයුතුයි. අගමැතිතුමා අවම වශයෙන් පෙන්නුම් කරන්න ඕනැ මේ කරණා පිළිබඳ තියෙන කැපවීම. වචන වලින් නෙමෙයි ක්‍රියාවෙන්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *