|

ආණ්ඩුවෙන් යාමට කැසපොට කවන අය – සී. ජේ. අමරතුංග

 

 දේශපාලනය යනු රැවටිල්ල රජකරන ක්ෂේත්‍රයකි. එහි කියන දේ‍ කෙරෙන්නේ නැත. කරන දේ කියන්නේ නැත. එමෙන්ම කේවල් කිරීම සඳහා මෙන්ම තම පක්ෂයේ හෝ කණ්ඩායමේ ධෛර්ය බිඳවැටීම වළක්වා ගැනීම සඳහාද දේශපාලනඥයෝ බොහෝ දේ කියති. ඒ අතරින් ඇත්ත හා බොරුවත්, සිදුවිය හැකි දේ හා නොවිය හැකි දේත් තේරුම් ගැනීම විචාර බුද්ධියෙන් කළ යුතු කටයුත්තකි.

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙළ ගැසී සිටින කණ්ඩායම කියන්නේ ඉතා ඉක්මනින්ම ආණ්ඩුව පෙරළන බවකි. ඇතැම් විටක ඒ සඳහා දින කියන්නේ පෝය දෙක තුනකිනි. හිටපු ජනාධිපතිවරයා කීවේ තව වෙසක් පෝය දෙකකින් ආණ්ඩු පෙරළන බවයි. සති දෙකකට පෙර ඩලස් අලහප්පෙරුම මහතා කීවේ සති දෙකකින් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැතිකරණ බවයි. සිංහලයාට ඕනෑ දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියා ප්‍රභාකරන් කී කතාව ඇතැම්විට ඩලස් අලහප්පෙරුම මහතා අදහනවා විය හැකිය. එසේ වුවද මේ වසර තුළ ආණ්ඩු පෙරළන කතාව මෙන්ම පොහොය කිහිපයකින් ආණ්ඩු පෙරළන බවට වසර දෙකකට පෙර කළ ප්‍රකාශ ද අපට නම් හොඳ හැටි මතකය.

ජනපතිගේ පිළිතුර

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු මෑතකදී කළ මෙබඳු ප්‍රකාශයකට ජනාධිපතිතුමා හොඳ පිළිතුරක් දී තිබිණි. විපක්ෂ මන්ත්‍රී කියා තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හදාගෙන මේ ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයාද බල රහිත කරන බවකි. ජනාධිපතිතුමා කීවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගැනීම හීනයක් වනවා මෙන්ම එලෙස මන්ත්‍රීවරුන් 113ක් හදාගන්න හෝ ආණ්ඩු හදන්න හෝ සිතනවා නම් එයට තමන්ගේ ආශිර්වාදය තිබිය යුතු බව මතක තබා ගන්නා ලෙසයි. ආණ්ඩු හදන්න මන්ත්‍රීවරුන් ගන්නත්, ආණ්ඩු හදන්නත්, අගමැති හා මැති ඇමැතිවරුන් පත් කරන්නටත් හැකි වන්නේ ජනාධිපතිතුමා ඒ වැඩේට අත ගැසුවොත් පමණකි. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය අඩු කළත් තවමත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. ඒ අනුව ජනාධිපතිගේ සහයක් නැතිව ආණ්ඩු පෙරළීමක් කළ නොහැකිය.

ආණ්ඩු හදන්න තතනන විපක්ෂ මන්ත්‍රීවරුන් කියන්නේ ළඟදීම ආණ්ඩුවෙන් දහ අට දෙනෙක් තමන් හා එක්වන බවයි. ආණ්ඩුවේ ඉන්න ඇතැම් ශ්‍රීලනිප ඇමැතිවරුන්ද තමන් ආණ්ඩුවෙන් යන බව කියමින් කේවල් කිරීමක යෙදී සිටින බව පෙනෙන්නට තිබේ. මේ දෙපාර්ශ්වයම කරන්නේ තමන්ගේ දේශපාලන පැවැත්මට ගැළපෙන ආකාරයට දේශපාලන ව්‍යාකූලතාවයක් නිර්මාණය කිරීම බවද වැඩිදුරටත් පෙනී යන කාරණයකි. ඒකාබද්ධ විපක්ෂය මෙය කරන්නේ තමන්ගෙන් ගිලිහී යන ජනයා රඳවා ගැනීමටය. ඔවුන්ගේ ධෛර්ය තබා ගැනීමට යම් බලාපොරොත්තුවක් ලබාදීමටය. ආණ්ඩුවේ සිටින පිරිස කරන්නේ තමන්ගේ බලය හා වරප්‍රසාද වැඩිකර ගැනීම සඳහා කේවල් කිරීමයි.

අප දේශපාලනයේ දැක තිබෙන්නේ ඇත්තටම පක්ෂ මාරුකරන උදවිය කිය කියා ඉන්නේ නැති බවයි. එමෙන්ම කිය කියා ඉන්න අය එසේ කරන්නේ නැති බවයි.

“සිය දිවි නසා ගැනීම හා සියදිවි නසා ගැනීමට තැත් කිරීම” යැයි සංකල්ප දෙකක් ගැන අධිකරණ වෛද්‍ය විද්‍යාවේ සඳහන් බව කියති. මේ දෙකම නීතිය අනුව වැරදිය. එසේ වුවද මේ සිදුවීම් දෙකෙහිදී එම පුද්ගලයන්ගේ හැසිරීම එකිනෙකට වෙනස් බව හඳුනාගෙන ඇත. ඇත්තටම සිය දිවි නසාගන්නා තැනැත්තා ඒ ගැන කිය කියා ඉන්නේ නැත. කිසිවකුට තමන් බේරාගන්නට ඉඩ තබන්නේ නැත. ගෙළ වැල ලා ගන්නේ නම් ඊට පෙර කාමරයේ දොර අගුල්ලෑමට එවැන්නෝ අමතක නොකරති. සුදානම්වන්නේ සද්ද බද්ද නොනැගෙන්නටය. ඇත්තටම සියදිවි හානිකර ගන්නා තැනැත්තන් හැසිරෙන්නේ එහෙමය.

සියදිවි නසා ගන්න තැත් කරන තැනැත්තන් කරන්නේ තර්ජනය කිරීමයි. මම ළි‍ඳේ පනිනවා. ග‍ඟේ පනිනවා, කෝච්චියට පනිනවා කියමින් දුවගෙන යන්නේ තව කෙනෙකුට අල්ලා නවතා ගන්නට ඉඩ තබමිනි. ගෙළ වැලලා ගන්න යන්නේ කාමරය ඇර දමා සද්ද බද්ද නගමිනි. එවැන්නන් මං මැරෙනවා යයි කියන්නේ ඇත්තටම මැරෙන්න හිතාගෙන නොවේ. එසේ කියා අනුකම්පාව දිනා ගන්නටය. එමගින් තමන්ගේ කැමති හෝ අවශ්‍යතාවක් ඉටුකර ගන්නටය. කේවල් කරන්නටය. ‘සියදිවි නසා ගැනීම’ හා ‘සිය දිවි නසාගැනීමට තැත්කිරීම’ යන ක්‍රියා එකිනෙකට වෙනස් වන්නේ ඒ ආකාරයෙනි.

සියදිවි නසා ගැනීම ගැන තිබෙන එම තත්ත්වය ආණ්ඩුවලින් ඉවත්වීම සම්බන්ධයෙන්ද වලංගු බව දේශපාලන අත්දැකීම්වලින් පෙනී යන කාරණයකි. ආණ්ඩුවලින් හෝ පක්ෂවලින් හෝ ඉවත්වන උදවිය ඒ බව කිය කියා ඉන්නේ ‍නැත. කියන්නේ මගේ බල්ලාවත් යන්නේ නෑ කියාය. ඉන්පසු යන විට යන්නේ බල්ලාටවත් කියන්නේ නැතිවය.

මේ රටේ දේශපාලනයේ ඉතා වැදගත් පක්ෂ මාරුවක් සිදුවන්නේ 1951 ජූලි මාසයේදීය. එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එජාප ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත්තේ කිසිවකුට කියන්නේ නැතිවය. එතුමා පක්ෂ මාරු කරන්නට කේන්දර බල බලා සිටියේ නැත.

පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුවකින් ආණ්ඩු පෙරළියක් සිදුකළ තවත් අවස්ථාවක් වන්නේ 1964 දෙසැම්බර් 3 දා සී.පී.ද සිල්වා මහතා ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත්වීමයි. තමන් ඉවත්වන බව ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට දැනුම් දුන්නේ එදින උදේ යැවූ ලිපියකිනි. විපක්‍ෂයේ අසුන්ගත් ඔහු සමග තවත් මන්ත්‍රීවරුන් 13 දෙනකු ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩුවට කර කියාගත හැක්කක් නැති තත්ත්වවයට පත් කරමිනි. කිය කියා හිටියා නම් එම ආණ්ඩු පෙරළිය එලෙස සිදුවන්නේ නැත. පක්ෂ මාරුකරන අය කරන්නේ එහෙමය.

පොදුජන එක්සත් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව ක්‍රියාත්මක කළ පරිවාස ආණ්ඩුව බිඳ දැමීම සිදුවූයේද පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුවකිනි. මහාචාර්ය ජී.එල්.පීරිස්, එස්. බී.දිසානායක මහත්වරුන් ඇතුළු දහ දෙනෙක් හදිසියේම විපක්ෂය පැත්තෙන් පාර්ලිමේන්තුවට පැමිණියේ සියලු දෙනා විශ්මයට පත් කරමිනි. එයද ඇත්තටම පක්ෂ මාරු කරන උදවියගේ හැසිරීම කියාපාන අවස්ථාවකි.

ඉතිහාසයේ අද්දැකීම්

මෙබදු තවත් අවස්ථා කිහිපයක් ඉතිහාසයේ සඳහන්ය. ඒ අතරින් වඩාත් කතාබහට ලක් වූ සිදුවීම නම් මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ආප්ප කා කතා බහ කරමින් සිට පසුදින විපක්ෂයට පැමිණ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි. එදා එම පක්ෂ මාරුව අවසන් මොහොත දක්වාම රහසක් ලෙස තබා නොගත්තානම් හා වෙනස් ආකාරයකින් හැසිරුණා නම් ඇතැම් විට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිතය පවා අහිමිවන්නට ඉඩ තිබුණු බව කවුරුත් දන්නා කාරණයකි. සිරිසේන මහතා සමග එළියට බහින්නට හිටි ඇතැමුන් ගැන තොරතුරු දැනගැනීම නිසා විවිධ තර්ජන ගර්ජන හා බලපෑම් මගින් නතර කළ බවද දැන ගන්නට ලැබිණි.

සඟවුණු අරමුණු

මේ සියල්ලෙන් පෙනෙන්නේ සැබැවින්ම පක්ෂ මාරු කරන්නන්ට හා ආණ්ඩු කඩන්නට හෝ හදන්නට හෝ සැලසුම් කරන උදවිය කල් තියා කිය කියා ඉන්නේ නැති බවයි. ඇත්ත පක්ෂ මාරුකිරීම සිදු කරන්නේ රහසේ හොඳින් සැලසුම් කිරීමෙන් පසුවය. එමෙන්ම එය වළක්වන්නට අනෙක් පාර්ශ්වයට කිසියම් හෝ ඉඩක් නොදෙමිනි. කාලයක් නොතබමිණි.

මෙයින් තේරුම්ගත යුතු කාරණය නම් මෙලෙස ආණ්ඩු කඩන බවට පාරම්බාන්නේත්, ආණ්ඩුවෙන් යන බව කියන්නේත් වෙනත් දේශපාලන අරමුණු ඉටුකරගන්නට බවයි. ඇත්ත වශයෙන්ම එවැන්නක් කරන්නට සැලසුම් කර ඇත්නම් මෙහෙම කිය කියා ඉන්නේ නැති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩු හදන කතාව කියන්නේ අරමුණු කිහිපයක් ඇතිව විය හැකි ය. පළමුවැන්න නම් තමන්ගේ අනුගාමිකයන්ගේ ධෛර්ය රැක ගැනීමයි. ඔවුන්ගේ සහය දිගටම තබා ගැනීමයි. ඒ අතරම ජනාධිපතිවරයා සමග සිටින ශ්‍රීලනිප පිරිසට එක්තරා ලණුවක් දීමද තවත් අරමුණක් විය හැකිය. එනම් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදිය හැකි බවයි. එසේ කියා තව පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්කර ගන්නට මාන බලන්නේ ආණ්ඩු හදන්නටම නොවන බවද තේරුම්ගත යුතුය. එහි අරමුණ නම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලය දුර්වල කිරීමයි. එමගින් මෛත්‍රි පිල අභිභවා මහින්ද පිල බලවත් කර ගැනීමයි. ඔවුන්ගේ මෙම බල දේශපාලනයේ අරමුණ වන්නේ එජාප ආණ්ඩුව පෙරළීම නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හුදෙකලාකොට විනාශ කිරීමයි. මෛත්‍රිපාල සිරිසේන මහතා මොවුන්ගේ ප්‍රචාරයට දැඩි ප්‍රතිප්‍රහාරයක් දී ඇත්තේ මෙම උපාය තේරුම්ගෙන ඇති නිසා බැව් පැහැදිලිය.

අනෙක් අතට මහින්දලා සමග ආණ්ඩු හදන්නට කුමන බලපෑමක් නිසා හෝ ජනාධිපතිවරයා එකඟ වුවහොත් එයද එතුමාගේ දේශපාලනයේ පරාජයක් වන බවද ඒකාබද්ධ විපක්ෂයේ උදවිය ගණන් බලා ඇතුවාට සැකයක් නැත. දූෂිත හා භීෂණ‍කාරී පාලනයෙන් රට ගොඩගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කරන්නට සිරිසේන මහතාට සහය දුන් බලවේග ඔහුගෙන් ඉවත්කිරීම එමගින් සිදු කළ හැකිය. එම නිසා විපක්ෂයේ උදවිය එම අරමුණද අත් නොහරිනු ඇත.

ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් ඉන් ඉවත්වන බව කියන්නේ හවුල් ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වකරු වන එජාපය සමග කේවල් කිරීමක් සඳහා බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව තුළ තමන්ට වැඩි බලයක් දිනාගැනීම එක් අරමුණක් විය හැකිය.

මේ අතර ඇතැම් දේශපාලනඥයන් මේ වනවිට ජනප්‍රියතාවයෙන් පිරිහී ඇති බවද පැහැදිලි කාරණයකි. කාලයක් තිස්සේ තම ජනයා නොසලකා තමන්ගේ සුඛ විහරණය සඳහා කටයුතු කළ මෙම දේශපාලනඥයන් දැන් සිටින්නේ පිරිහිණු තත්ත්වයකය. දේශපාලන ලෝකයේ භාෂාවෙන් කීවොත් මොවුහු දැන් ‘චොර’ වූ චරිත බවට පත්ව සිටිති. ඔවුන්ට දැන් ගොඩ යෑමක් නැතත් කිසියම් සටන්කාමී බවක් පෙන්වා නැවත ජනප්‍රියවීමට උත්සාහ දරන බවක්ද පෙනෙන්නට ඇත. එය ප්‍රශ්නයේ තවත් පැත්තකි.

ඉටුනොවන සිහිනය

පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගැනීමේ මොවුන්ගේ සිහිනය සාර්ථක නොවන බව මොවුන් හොඳින්ම දකින කාරණයකි. ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ පනස් දෙකකි. එයට ආණ්ඩුවෙන් යන බව කියන දහ අටම ගියත් හැත්තෑවකි. එයින් බහුතරය තබා තුනෙන් එකක්වත් හැදෙන්නේ නැත.

ජනාධිපතිවරණයේදී මෛත්‍රී සමග නොසිටි පිරිසට මහින්ද කණ්ඩායම සමග එක්වීමට බරපතළ බාධා නැතත් කිසිසේත් එසේ කළ නොහැකි පිරිසක්ද සිටිති. කෙසේ හෝ මේ සියලු දෙනා එකතු කර ගත්තද හැදෙන්නේ අනූ හයකි. ඒ අනූහය අතර මහින්ද හා ඔහුගේ ගෝල බාලයින් සිටින විට දෙමළ ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ ඒ පැත්ත බලන්නවත් සූදානම් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. සුළු ජාතික පක්ෂ මොවුන් හා සබඳකම් පවත්වන්නට සූදානම් නොවනු ඇත. ජනාධිපතිතුමා කියන පරිදිම මොවුන්ගේ ආණ්ඩු හැදීම සිහිනයක්ම පමණක් වන්නේ ඒ නිසාය.

ඒකාබද්ධ විපක්ෂයේ පනස් දෙකද රැකගැනීම අපහසු බව පෙනෙන්නට ඇත. විමල් වීරවංශලා වෙනම ගමනක් පටන්ගෙන ඇත. රොෂාන් ‍රණසිංහ වැඩ කටයුතුවලින් ඉවත් වී ගොසිනි. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය උසාවි තීන්දුව මත රැඳී ඇත. මෙම කණ්ඩායමේ බොහෝ දෙනාට එරෙහිව තිබෙන නඩු ඉදිරි කාලයේ විභාග වීමට නියමිතය. එයින් කී දෙනෙකුට හිරේ විලංගුවේ ලගින්නට වේදැයි කියන්න දන්නේ නැත. වහාම ආණ්ඩුව පෙරළා දමන්නට ඒකාබද්ධ විපක්ෂයට තදියමක් ඇති වී තිබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද මෙම තත්ත්වයයි. එසේ වුවද තදියම තිබුණාට එය කළ හැක්කක් නොවේ.

මේ කණ්ඩායම ආණ්ඩුව පෙරළනවාය කියා හයියෙන් කියන්නේ පෙරළන්න බැරි බව හොඳින් දන්නා නිසාය. එය තම දේශපාලන පැවැත්මට කියන කතාවක් මිස ඇත්තටම කරන්නට හදන දෙයක් නොවේ. යනවාය කියන අය එසේ කියන්නේද නොයන නිසාය. යනවානම් කිය කියා ඉන්නේ නැති බව දේශපාලනය දන්නා උදවිය දනිති.

ආණ්ඩු පෙරළීම ගැන මේ කියන කතා එක අතකින් හීන දැකීමකි. තවත් අතෙකින් දේශපාලන ගුණ්ඩුවකි. තවත් විටෙක එය මරු විකල්ලෙන් කරන දෙඩවීමකි. මහජනයා නිහඬව බලා ඉන්නේ මේ රඟපෑම් සියල්ල දන්නා නිසාය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *