රාජපක්ෂලා ජාතිවාදය පෝෂණය කළේ දේශපාලන බලය තහවුරු කර ගන්නයි – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු ම්න්ත්‍රි විජිත හේරත්

රාජපක්ෂ පාලනය කාලේ අර සේනා, අර බලය මේ බලය නමින් සංවිධාන හැදුවා, පෝෂණය කෙරුවා. ජාතිවාදය ඇවිස්සුවා. අලුත්ගම දර්ගානගරයේ මහා ජාතිවාදි ගිනි දැල්ලක් ඇවිලුවා. ඒ ජාතිවාදයෙන් රාජපක්ෂවරු තමන්ගෙ දේශපාලන බලය තහවුරු කර ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු ම්න්ත්‍රි විජිත හේරත් එසේ ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදි තරුණ සංගමය මගින් පසුගියදා කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේ දී සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් පැවති ‘ජාතිවාදය කා සඳහාද?, යන සම්මන්ත්‍රණය අමතමනි.

1983 කළු ජූලිය සිද්ධවෙලා අද වෙනකොට වසර 34යි. මට මතකයි. මට මතකයි ඒ අඳුරු කළු ජූලිය ඇතිවෙච්ච ආකාරය. මම එතකොට වයස අවුරුදු 15ක පාසැල් ශිෂ්‍යයෙක්. මම ඉගෙන ගත්තෙ 8 පන්තියෙ. බණ්ඩාරවෙල මහා විද්‍යාලයෙ හොස්ටල් එකේ මම නේවාසිකව ඉන්න වෙලාවෙ ඒ ගිනි පත්තුවෙන හැටි, වෙඩි පත්තුවෙන හැටි දැකල, අපි පාසැලේ වැට ළඟට ආවා. බණ්ඩාරවෙල නගරයත්, අවට කඳුයායවල් වෙලාගත්ත අඳුරු කළු දුමාරය ඇස් දෙකෙන් දැක්කා. ඒ වෙනකොට කඩු කිනිසි පොලු අරගත්ත කණ්ඩායම් එහාට මෙහාට දුවනවා. වාහන එහාට මෙහාට යනවා. කඩවල්වලට බෝම්බ ගහනකොට කඩවල්වල මුදලාලිලා ‘කඩවලේ සාමිනේ, කියලා ඔළුවෙ අත් දෙක ගහගෙන විලාප තිබ්බා. ගිනි ගන්න කඩවල් වලින් පැහැර ගත්ත රූපවාහිනි වගේ බඩු අරගෙන මිනිස්සු පාරවල් දිගේ යනවා. නගරයේ හැම තැනම විවිධ තරුණයෝ මංපහරන හැටි දැක්කා. නගරයේ තිබුණ හින්දු කෝවිලේ රත්තරන් පිළිමය බණ්ඩාරවෙල නගරයේ වැඩිපුරම දේශපාලන බලය තිබුණ මුදලාලි අරගෙන කියල ආරංචි වුණා. ඊට සතියකට පමණ පස්සෙ ආරංචිවුණා ජනතා විමුක්ති පෙරමුණත්, ලංකා සමසමාජ පක්ෂයත් එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් තහනම් කෙරුවා කියලා. ජාතිවාදය කාටද කියන එක හරි පැහැදිලියි. එදා රත්තරන් පිළිම මංකොල්ලකාපු මුදලාලිලා ඒයින් ව්‍යාපාර දියුණු කරගත්තා. අනුන්ගෙ දේපොළ මංකොල්ල කාපු පිරිස් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. දේශපාලන අධිකාරිය අපේ පක්ෂ තහනම් කළා. ඒක තමයි කළු ජූලියේ ඇත්ත ඛේදවාචකය. මේ යාථාර්තය අපි හරියට දැකිය යුතුයි.

එදා අපිව යටත් කරගෙන හිටපු ඉංග්‍රීසින් අපිව බෙදා වෙන්කරන්න ජාතිවාදය පාව්ච්චි කළා. ඔවුන්ගේ පාළනය පහසු කර ගැනීම සඳහා ජාතිවාදයේ පදනම මත අපේ රට බේද කෙරුවා. ඊට පස්සෙ නිදහස ලබලා 1947 එක්සත් ජාතික පක්ෂය පුරවැසි පනත ගෙනාවා. ඒ පුරවැසි පනතින් මොකද කළේ? පාකිස්තානු ඉන්දියානු ව්‍යාපාරික බෝරකාරයන්ට ඡන්ද අයිතිය දුන්නා. වතුකරේ හිටපු ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කෙරුවා. 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකලා දේශපාලන බලය සඳහා පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව සිංහල කරනව කියලා දේශපාලන බලය ගත්තා. ඊට පස්සෙ විවිධ ගිවිසුම් අත්සන් කෙරුවා. විවිධ පොරොන්දු දෙමළ දේශපාලන නායකයන්ට දීලා ඒවා කැඩුවා. අවසානයේ ඒවා ටික ටික වර්ධනය වේවි මහා ගිනි දළු බවට පත්තු වෙවී ආවා. 1972 බලයට පත්වෙච්ච සමගි පෙරමුණු ආණ්ඩුව ප්‍රමිති කරණය ගෙනල්ලා යාපනේ තරුණයන්ට විශ්වවිද්‍යාලයට එන්න තියෙන ප්‍රතිශතය අඩු කෙරුවා. ඩග්ලස් දේවානන්ද ඇතුළු උතුරෙ තරුණයො ආයුධ ගත්තෙ 72 ප්‍රමිතිකරණයට එරෙහිව කියල ඩග්ලස් දේවානන්දලා කියනව.  ඒවා වෙනස් කරනව කියලා ආපු 1977 ආණ්ඩුව 1981 සංවර්ධන සභා ඡන්දෙදි ඡන්දෙ පෙට්ටි උස්සලා ගිනිතියලා, යාපනයේ පුස්තකාලය ගිනි තියලා එදා ඇති කරපු මහා ජාතිවාදය අපිට මතකයි.

එතනින් පෝෂණය වුන ජාතිවාදය ටිකෙන් ටික පෝෂණය වුණා. රාජපක්ෂ පාලනය කාලේ අර සේනා අර බලය මේ බලය සංවිධාන හැදුවා පෝෂණය කෙරුවා. ජාතිවාදය ඇවිස්සුවා. අලුත්ගම දර්ගානගරයේ මහා ජාතිවාදි ගිනි දැල්ලක් ඇවිලුවා. ඒ ජාතිවාදයෙන් තමන්ගෙ දේශපාලන බලය තහවුරු කර ගත්තා. තම දේශපාලන උවමනා වෙනුවෙන් ඒ ජාතිවාදය පාවිච්චි කෙරුවා.

මේ ආණ්ඩුව ආවට පස්සෙ අපි හිතුවා ජාතිවාදය අවසන් කියලා. දැන් අළුයට ගිනි පුපුරු වගේ ජාතිවාදයත්, ආගම්වාදයත් යළි හිස ඔසවමින් තිබෙනවා. මහා දෑවන්ත විනාශයකට අත වනනවා. පසුගිය මාස දෙක තුනේ මුස්ලිම් ජනතාව පුදුම භීතියකින් ජීවත් වුනේ, මහා ගිනි ජාලාවක් රට පුරාම පැතිරෙයි කියලා බයෙන්. ජතිවාදයට විරුද්ධ පිරිස් බය වෙලා හිටියා කොහෙහරි එහෙම සිද්ධියක් වුණොත් නැවත 83ක් නිර්මාණය වෙයි කියල. ජාතිවාදය සේවය කරන්නෙ පාළකයන්ට. පාළකයන් තමයි ජාතිවාදය දේශපාලන උවමාන වෙනුවෙන් පාව්ච්චි කරන්නෙ. එක පැත්තකින් ධනපති පාලකයො තමන්ගෙ බලය සඳහා ජාතිවාදය පාවිච්චි කරනව. එකත් එක්ක මිශ්‍ර වෙච්ච ආගම්වාදය පාවිච්චි කරනව. මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *