ගොරකා දඩමස් කරන රාජපක්ෂ තියරිය – භාතිය බරුකන්ද

‘කන්න  ඕනෑ වුනාම කබරගොයත් තලගොයා වගේ පේනවා’ කියලා කතාවක් ගම්වල තිබෙනවා. ගම්වල මිනිස්සු මේ කතාවෙන් අදහස් කරන්නේ අපි දේශපාලනයේදී බොහෝ විට කතා කරන ‘අවස්ථාවාදය’ කියලා කියන්න පුළුවන්. අවස්ථාවාදීන්ට කබරගොයා තලගොයා කරන්න විතරක් නෙමෙයි ‘ගොරකා දඩමස් කරන්නත් පුළුවන්’.
අද ලංකාවේ විපක්ෂයේ දේශපාලනඥයින්ගේ කෙරුවාවල් දිහා බලන කොට මේ අය කබරගොයා තලගොයා කරන්නත්, ගොරකා දඩමස් කරන්නත් උපන් හපන්නු කියලා කියන්න පුළුවන්. ඔවුන් දැන් හය හතර දොන්න තොත්ත බබාලා වගේ කතා කරන කොට හිතෙන්නේ මේ කතා කරන්නේ මුඛයෙන් ද එහෙම නැතිනම් අධෝමුඛයෙන් ද කියලයි.
භාරගත්තේ ගරා වැටුණු රටක්
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණේ සෑම අතින් ම ගරා වැටුණු, විනාශ මුඛය කරා ගමන් කරමින් තිබූ ආණ්ඩුවක්. ඒ අතරේ යහපාලන ආණ්ඩුවේ හිසමතට වැටුනු මරාලයක් වුණේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ. මේ දෙකම චීනයෙන් අධික පොලියට ලබාගත් ණය වලින් හැදුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී එක තඹ සතයක් ජාතික ආර්ථිකයට එකතු කළේ නැහැ. ඒ වෙනුවට යහපාලන ආණ්ඩුවට සිද්ධ වුණේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ කියන සුදු අලි දෙන්නව නඩත්තු කිරීමට පමණක් නොවෙයි, මේවා හදන්න ගත්ත දැවැන්ත ණය කන්දත් ගෙවීමට සිදුවීමයි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දිගින් දිගටම අවධාරණය කළ ආකාරයට ආණ්ඩුව පසුගිය අවුරුදු දෙක පුරාම මහන්සි වුණේ, කැප වුණේ මේ සුදු අලින්ව කොහොම හරි රටට පළක් ප‍්‍රයෝජනයක් ඇති තත්ත්වයට ගේන්න. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් ඉතිරි කරලා ගිය ණය කන්ද පාත් කර ගන්න.
හම්බන්තොට සුදු අලියා දැන් වැඩ
මේ අසීරු ප‍්‍රයත්නයේ ඉතාම වැදගත් කොටසක් පසුගිය දා ආණ්ඩුව කොහොම හරි ගොඩදා ගත්තා. ඒ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පවත්වා ගෙන යාම සඳහා වූ ගිවිසුමට අත්සන් කරලා. මේ ගිවිසුමේ හවුල්කරුවන් වන්නේ ශ‍්‍රී ලංකා රජය සහ චීනයේ ‘චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම. ආණ්ඩුව කියන ආකාරයට මේ ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 ක් ලංකාවට හිමි වෙනවා. ඒ අනුව හම්බන්තොට ණය උඟුලෙන් ගැළවෙන්න විතරක් නොවෙයි එය පවත්වා ගෙන යාමට අදාළ බරෙන් ද නිදහස් වීමට ආණ්ඩුවට අවස්ථාව ලැබෙනවා. වරාය කටයුතු සක‍්‍රිය වීම සමග රැුකියා බිහිවීම ආදියත් සිදුවන විට රටට තව තවත් ප‍්‍රතිලාභ හිමි වෙනවා.
කබරයා තලගොයා කිරීම
හම්බන්තොට වරාය ගිවිසුමට ආණ්ඩුව අත්සන් කළේ වර්ජන තර්ජන මැද්දේ. හරියට මීට අවුරුදු 30කට පමණ පෙර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කල දා වාගේ තත්ත්වයක් තමයි මේ ගිවිසුම අත්සන් කළ දාත් තිබුණේ. ඊනියා ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අන්තවාදීන් එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දා වාගේම මේ ගිවිසුමත් දැක්කේ රටේ ස්වාධීනත්වය පවාදීමක් විදිහට. රාජ්‍ය සම්පත් කොල්ලකෑමක් විදිහට.
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශිකයින්ගේ ඊනියා විරෝධය ජනතාවට වටහා ගන්න පුළුවන්. ඒ ඔවුන්ට ‘එරෙහි වීම’ හැර වෙනත් ප‍්‍රායෝගික කිසිවක් කළ නොහැකි බව ඉතිහාසය විසින් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ඔප්පු කරලා තියෙන නිසා.
ඒත් මහින්ද රාජපක්ෂ මහතාගේ, නාමල් රාජපක්ෂ මහතාගේ මේ මාරාන්තික විරෝධය අපි තේරුම් ගන්නේ කොහොමද ? මේක නම් දේශපාලන උභතෝකෝටිකයකට වඩා ඉදිරියට ගිය කතාවක්. මොකද හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂගේ නම ඉතිහාසගත කරන්න කළ ව්‍යාපෘතියක්. අද චීනය සමග අත්සන් කළ ගිවිසුමට මාරාන්තික විරෝධයක් දක්වන මහින්ද රාජපක්ෂ මහතාට තමන් මේ වරාය හැදුවේ කාගේ සල්ලි වලින් ද කියන එකත් අමතක වෙලා තිබෙනවා. මේ නිසදෝ කොහෙද අද මහින්ද රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා ආණ්ඩුව චීනය සමග අත්සන් කළ ගිවිසුම පේන්නේ රටේ ස්වාධිප්‍ය හා ජාතික ආරක්ෂාව බිල්ලට දෙන, රටට දැවැන්ත අවාසියක් හිමිවන ගිවිසුමක් විදිහට.
‘‘මේ ගණුදෙනුවෙන් ලංකාවට සිදුවන ආර්ථික වාසිය හෝ අවාසිය ගැනත්, වරාය පරිශ‍්‍රයේ පාලනයත්, රටේ ස්වාධිපත්‍යයත්, පරිසරයට ඇතිවිය හැකි බලපෑමත් සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු ගැටලූ තිබෙනවා’ කියලා මහින්ද මහත්තයා තමන්ගේ මාධ්‍ය නිවේදනයේ අවධාරණය කරන්නේ මේ නිසයි.
මහින්ද රාජපක්ෂ මහත්තයා නිකුත් කළ  මේ මාධ්‍ය නිවේදනයේ ඊනියා අන්තර්ගතය දැක්කාම හිතෙන්නේ මේ ‘චීනය එකම ගැළවුම්කාරයා’ කියලා හිතාගෙන අසල්වැසි ඉන්දියාවට පමණක් නොවෙයි, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝකයට අභියෝග කළ මහින්ද රාජපක්ෂම ද කියලයි.
මහින්ද රාජපක්ෂ  මහත්තයා මේ තරම් ඉක්මනින් තමන් කළ කී දෑ අමතක කරන්නේ කොහොමද ? තමන් රට පාලනය කළ අවුරුදු 10 පුරාම තමන්ව රැුකබලා ගත්, උපකාර කළ චීනයට, චීනයේ ම සල්ලිවලින්, චීන ශ‍්‍රමිකයින් ම ලවා ඉදි කළ හම්බන්තොට වරාය ඉතාම පැහැදිලිව 99 අවුරුද්දකට බදු දෙන කොට ඒක රටේ ස්වාධිපත්‍ය බිල්ලට දීමක් කියලා මහින්ද මහත්තයට හිතෙන්නේ කොහොමද කියලා අපට කවුරුන් හෝ පැහැදිලි කරලා දිය යුතුයි. එහෙම නැතිනම් අපිට හිතෙන්නේ මහින්ද මහත්තයා මේ දේශපාලන කුහකකමට කියන අවස්ථාවාදී කතාවක් විතරයි කියලා. කන්න හිතුණාම කබරයත් තලගොයා කර ගත්තා කියලා විතරයි.
පරිසයට ගැනත් මහින්ද මහත්තයා මේ මාධ්‍ය නිවේදනය මගින් අදෝනා නඟනවා. අද ද මහින්ද මහත්තයට පරිසයට ගැන මතක් වෙන්නේ ? ඒත් අපි දන්න විදිහට කොළඹ වරාය නගර හදන කොට, මත්තල ගුවන් තොටුපොළ හදන කොට, උමා ඔය හදන කොට මහින්ද මහත්තයට පරිසරය ගැන කිසිම කැක්කුමක් තිබුණේ නැහැ.
අද මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක හවුලේ ළඟින ඊනියා වෘත්තීය සමිති කිහිපයකුයි, වාමාංශිකයොයි මේ බෙරිහන් දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ හම්බන්තොට ගොඩදාගන්න බැරි වුණ දුකට මිසක් වෙන කිසිවකට නොවෙයි කියලා මේ ඊනියා කතා මගින් ජනතාවට මනාව පැහැදිලි වෙනවා. එහෙම නැතිනම් තමන්ගේ 2005-15 දස අවුරුදු පාලන කාලේ ‘‘කොකටත් තෛලය ’’ වුණ චීනය මේ අවුරුදු දෙකට වහ කඳුරු වෙන්න කිසිම හේතුවක් නැහැ.
නාමල්ගේ කිඹුල් කඳුළු
‘අප්පා නොකළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා’ කියලා කතාවක් තියෙනවා. කවුරු කිවුවත් ඒ කිව්ව කෙනාගේ කටේ මසුරං දාන්න  ඕනෑ කියලා හිතෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුත‍්‍ර රත්නය නාමල් රාජපක්ෂ හම්බන්තොට වරාය ගැන කියන කතා ඇහුවමයි.
චීනගේ සල්ලි වලින් කාලා, චීනගේ ලොකුකම හිතට අරං අවුරුදු දහයක් කරන්න පුළුවන් හැම කෙළියක්ම කරපු නාමල් රාජපක්ෂට අද හම්බන්තොට වරාය චීනය සමග හවුල් කළමනාකාරීත්වයකට යාම ගැන ඇති වෙලා තියෙන්නේ පුදුමාකාර භීතියක් කියලා පේනවා. මේ බව අපට අපූරුවට තහවුරු වෙන්නේ නාමල් රාජපක්ෂ බී.බී.සී සංදේශයට කළ ප‍්‍රකාශයක් මගිනුයි. ‘‘මූලෝපායික වශයෙන් වැදගත් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන සමාගමක් සම්බන්ධ කර ගැනීමෙන් අසල්වැසි ඉන්දියාව පවා දැඩි අසීරුතාවකට පත් වෙනවා’’ කියලයි නාමල් රාජපක්ෂ කියන්නේ.
ලංකාවේ වැඩවලට චීනය හවුල්කරගත්තාම,  ඕනෑවටත් වඩා චීනය එක්ක ළං වුණාම අසල්වැසි කලාපීය බලවතා, චීනය සමග සම්ප‍්‍රදායික තරගකරුවෙක් සහ හතුරෙක් වන ඉන්දියාව අසීරුතාවට පත් වෙනවා කියලා නාමල් රාජපක්ෂට තේරෙන්න ගිහින් තියෙන කාලය නම් බොහොම වැඩි කියලා තමයි අපිට හිතෙන්නේ. අනෙක් අතින් බලය තියෙන කාලයේ ඉන්දියාවට කරන්න පුළුවන් කෙනෙහිළිකම්, අවමන් සියල්ලම කරපු, ඉන්දීය විරෝධයක් රට පුරාම අවුලපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් වුණ නාමල් රාජපක්ෂ අද ඉන්දියාවේ සංවේදීභාවය ගැන කියමින් නටන්න හදන නාඩගම මොකක්ද කියලා ජනතාවට නම් ප‍්‍රශ්නයක් නොවෙයි. නාමල් රාජපක්ෂ මේ පත්තු කරන්නේ පුස් වෙඩි.
මොකද හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ වරාය නගර මේ හැම තැනටම චීන ගැබ්බෑයම් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි කාටත් වඩා හොඳින් ඉන්දියාව දන්නවා. අද යහපාලන ආණ්ඩුවේ හිර වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින්ම අටවා ගත්ත හබකේ කියලා ඉන්දියාව දන්නවා. ඒ හින්ද අද ඉන්දියාව ගැන නාමල් ලා කිඹුල් කඳුළු හෙළන කොට ‘අනේ අපොයි’ කියලා කියනවා හැරෙන්න ඉන්දියාවට වෙන විකල්පයක් නැහැ. මොකද ‘ඊශ්වරයගේ කරේ ඉන්න නාගයා විෂ්ණු දෙවියන්ගේ ගුරුළට ඔච්චම් කරපු’ බලය හා සම්බන්ධ කතාව ඉන්දියාව හොඳින් දන්නවා.
ආණ්ඩුව මේ දඟලන්නේ කුමකටද ?
අද තාත්තායි පුතයි ගෝලයො රොත්තයි භූමිතෙල් ගෑවුණ ගැරඬි වාගේ දඟලන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි ආණ්ඩුව තමන් හමුවේ තිබෙන ගැටලූ එකින් එක ලිහා ගනිමින් දැක්මක් සහිත ගමනක් යන නිසා බව ඉතාම පැහැදිලියි. ආණ්ඩුව අවශ්‍ය වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් උරුම කරලා ගිය හම්බන්තොට, මත්තල වාගේ ඌන උපයෝගී ව්‍යාපෘති (කිසිදු ලාභයක් නොලබන* හැකි තරම් ඉක්මනින් ලාභ ලබන හා ඵලදායී ව්‍යාපෘති බවට පත් කරමින් ණය පීඩනයෙන් හා ඒවා නඩත්තු කිරීමේ පීඩනයෙන් මිදීමයි. විදේශ ඍජු ආයෝජන හැකි තරම් වර්ධනය කර ගනිමින් සංවර්ධන කාර්යයන් වේගවත් හා ඵලදායී කිරීමයි. ණය උඟුලෙන් රට මුදවා ගැනීමයි.
ආණ්ඩුවේ මේ වුවමනාව හා සැලසුම් ගැන හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීම නිමිත්තෙන් පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවේදී  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙළි කරලා තිබුණා.
එහිදී අගමැතිවරයා අවධාරණය කරලා තිබුණේ හම්බන්තොට වරාය ආර්ථික සංවර්ධන කාර්යයට ඵලදායී ආකාරයෙන් යොදා ගත් ආකාරයෙන්ම මත්තල ගුවන් තොටුපොළ ඇතුළු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෙසු ඌනඋපයෝගී සංවර්ධන කාර්යයන් හැකි ඉක්මනින් ඵලදායී ආකාරයෙන් භාවිත කිරීමේ ක‍්‍රමවේදන් සකස් කරන බවයි. සැලසුම් කළ ආකාරයටම ආර්ථික සංවර්ධන කලාප ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන බවයි. ගෙවුම් ශේ්ෂය මත වන පීනය අවම කර ගනිමින් ආර්ථික සංවර්ධනය වේගවත් හා ඵලදායී තත්ත්වයට පත් කරන බවයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මේ සියලූ කාර්යයන් ඉටු කිරීමේ හැකියාවක් හා ශක්තිමත් දැක්මත් තිබෙන බව ඒ මහතා තමන්ගේ 40 වසරක දේශපාලන ඉතිහාසය මගින් ඔප්පු කරලා තිබෙනවා. ඒ සඳහා දැක්විය හැකි වඩාත් වර්ණවත් උදාහරණයක් වන්නේ මේ ලියුම්කරුගේ ද උපන් ගම වන වල්ගම ආසන්නයේ ම පිහිටා ඇති බියගම නිදහස් වෙළෙඳ කලාපයයි. එදා හද්ද කැලයක්ව තිබූ බිගයම ඇතුළු ගම්මාන අද ඉතා සංවර්ධිත දියුණු නගර බවට පත් වුණේ බියගම නිදහස් වෙළෙඳ කලාපය නිසයි.
ඒ වගේම 2001 දී ඍණ ආර්ථිකයක් ව පැවැති ලංකාව තමන් භාරයට ගෙන අවුරුදු දෙකක් ගත වීමටත් පෙර දැවැන්ත ආර්ථික වර්ධනයක් අත්පත් කර දීමට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 2001-2004 කෙටි කාලීන ආණ්ඩුවට හැකි වූ බව අප අමතක නොකළ යුතුයි.
අපි රටක් විදිහට, ජනතාවක් විදිහට මේ තත්ත්වය මනාව වටහා ගත යුතුයි. පසුගිය අවුරුදු දෙක පුරාම ආණ්ඩුව කළේ මොනවද කියලා අහන ජනතාවට ආණ්ඩුව කරමින් සිටින දේ ගැන පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුයි. එහෙම නොවුනොත් මහින්ද රාජපක්ෂ මහතාට, නාමල් රාජපක්ෂ මහතාට හැමදාමත් ගොරකා දඩමස් කරමින් ජනතාව ගොනාට අන්දවන්න පුළුවන් වෙයි. කබරයා තලගොයා කරමින් ජනතාව ගැන, ඉන්දියාව ගැන කිඹුල් කඳුළු හෙළන්න පුළුවන් වෙයි.
සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *