හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් තබයි – ශ්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක්

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකා රජය සහ චීනයේ “චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම” අතර ගිවිසුමට  කොළඹ දී 29 වනදා අත්සන් තැබුණි. පෙරවරු 10.43 ට එළඹුණු සුභ මොහතින් කොළඹ වරාය අමාත්‍යංශ පරිශ්‍රයේදී ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාවට මැති ඇමතිවරුන් සහ චීනයේ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමේ නිලධාරීහු ද එක්ව සිටියහ. වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්පී ජයම්පති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා (Dr. Hu Jianhua) ද ගිවිසුමට අත්සන් තැබූහ.

උත්සවය අමතා අදහස් දැක්වූ වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නියමයෙන් මෙම ගිවිසුම ඕනෑම මොහොතක සංශෝධනය කළ හැකි බවට වගන්තියක් අවසාන මොහාතේ ගිවිසුමට ඇතුළත් කළ බව කියා සිටියේය.

චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උපසභාපති ආචාර්ය හූ ජියාන්හුවා අදහස් දක්වමින්:

“මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට,හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි.” හම්බන්තොට  වරාය අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකාවාසීන්ට බව අවධාරණය කළේය.

නව අනුග්‍රාහක ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) රාජ්‍ය හවුල්කරු වශයෙන් ද අදාළ ආයෝජක සමාගම පෞද්ගලික හවුල්කරු වශයෙන් ද සම්බන්ධ වී සමාගම් දෙකක් පිහිටුවීමට නියමිතය.

1. Hambantota International Port Services Co.(Pvt) Ltd. – (HIPS) සමාගම පිහිටුවනු ලබන්නේ හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කළමනාකරණය සඳහාය. එහි ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 606 ක් වනු ඇත. මෙම සමාගමේ කොටස්වල 50.7% ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියටද ඉතිරි 49.3% ක අයිතිය CMPort සමාගමටද හිමිවනු ඇත.

2. Hambantota International Port Group (Pvt) Ltd – (HIPG) සමාගම. වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම අනෙකුත් මෙහෙයුම් වාණිජකරණය පිණිස පිහිටුවනු ලබන, ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 794 ක් වන මෙම සමාගමේ කොටස් ප්‍රාග්ධනය දැනට කොළඹ වරායේ SAGT පර්යන්තයේ හා CICT පර්යන්තයේ මෙහෙයුම්වල කොටස් හිමිකම බෙදී ගොස් ඇති ආකාරය අනුවම ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15% ක් ද, CMPort සමාගමට 85% ක් ද වශයෙන් හිමි වනු ඇත

හම්බන්තොට වරායේ මුල් ගිවිසුමේ යෝජනා වූ සියයට 80:20 කොටස් බෙදී යාමේ පදනම වෙනුවට CMPort සමාගමට සියයට 69.55 ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 30.45 වශයෙන් සමස්ත ආයෝජනයෙහි කොටස් අයිතිය මෙම නව ගිවිසුම යටතේ සංශෝධනය වන බව රජය පවසයි.

ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට එනම් 2116 දී CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01 ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතු බව ද ගිවිසුමේ සඳහන් වෙයි.

යුදමය ක්‍රියාවන් සඳහා හම්බන්තොට වරාය භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධාන ද යෝජිත ගිවිසුමේ ඇතුළත්ව ඇති බව රජය පවසයි. නව ගිවිසුම ප්‍රකාර වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූ‍ර්ණ වගකීම හා අධිකාරිය ශ්‍රී ලංකා රජය සතුවේ.

ගිවිසුම අනුව රජය බදු දෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1151 කි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *