|

පෙහොට්ටු පක්ෂයේ බැසිල්ගේ වැඩ ගැන ඇතුළෙන් විරෝධයක්

 

ජනාධිපතිතුමා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ සැහැල්ලුවෙන්. යහපාලන ආණ්ඩුවේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වන හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීන සමාගමක් සමග ඇතිකර ගැනීමට නියමිත ගිවිසුම මේ වනවිට සකස්කොට අවසන්. වරාය ඇමැති මහින්ද සමරසිංහ මහතා එය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත්කොට තිබුණා. චීන සමාගමට මුලින් යෝජනා කර තිබූ සියයට 80 කොටස් සියයට 70 දක්වා අඩු කරගෙන වරාය අධිකාරියේ කොටස සියයට 30 දක්වා ඉහළ නංවාගැනීමටත් බදු දෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 500කින් අඩු කිරීමටත් නව ගිවිසුමෙන් හැකියාව ලැබී තිබුණා. එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමත් සමග ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හා අලුතින් හොඳ යෝජනා ආවොත් ඒවාද සලකා බැලීමටයි.

මේ අතර රවි කරුණානායක ඇමැතිවරයාට එල්ලවන චෝදනා ගැනද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වරින්වර ජනාධිපතිතුමාගේ අවධානය යොමුකොට තිබුණා. ඒ අතර විදේශ ඇමැතිවරයා ලෙස කරුණානායක මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා තුනක් ඉදිරිපත්කොට තිබුණා. ඉන් එකක් නම් කොම්පඤ්ඤවීදියේ ඇති ඔක්ලන්ඩ් හවුස් නිවස (විසුම්පාය) විදේශ ඇමැති නිල නිවස ලෙස භාවිත කිරීමට වෙන්කර දෙන ලෙසයි. එයට විරුද්ධ වූ ජනාධිපතිවරයා කීවේ එය නුසුදුසු මෙන්ම අතීතයේ එහි වාසය කළ ඇමැතිවරුන් රෝගාතුර වූ බවයි. අනුර බණ්ඩාරනායක මහතාටත්, දි මු ජයරත්න හිටපු අගමැතිවරයාටත් මුහුණ දීමට සිදුවූ තත්ත්වය පෙන්වා දෙමින් ජනාධිපතිතුමා එම යෝජනාව ප්‍රතික්ෂේප කළා.

රවි කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ දෙවන පත්‍රිකාවෙන් ඉල්ලා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ප්‍රධාන විධායක නිලධාරියකු පත්කිරීමටයි. රුපියල් දෙලක්ෂ පනස් දහසක වැටුපක්, වාහන හා වෙනත් වරප්‍රසාද ලබාදීමට එමගින් ඉල්ලා තිබුණා. ජනාධිපතිතුමා කීවේ එක අමාත්‍යාංශයකට දුන්නොත් අනෙක් අමාත්‍යාංශත් ඉල්ලන බවයි. විධායක නිලධාරියකු අවශ්‍ය ඇමැතිවරුන් කවුදැයි ඇසූ විට මුළු ඇමැති මණ්ඩලයම අත් එසවූවා. ජනාධිපතිතුමා රවීගේ එම යෝජනාවත් ප්‍රතික්ෂේප කළා.

තුන්වන පත්‍රිකාවෙන් විදේශ ඇමැතිවරයා ඉල්ලා සිටියේ නේපාලයේ ඇති මහබෝධි සමාගමේ කාර්යාලයේ අයිතිය පිළිබඳ ගැටලු මතුවී ඇති බැවින් එය විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදෙන ලෙසයි. එවිට නැගී සිටියේ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතායි. බුද්ධ ශාසන ඇමැතිවරයා කීවේ මහාබෝධි සමාගම පිළිබඳ කාරණය තම අමාත්‍යාංශය යටතට වැටෙන විෂයයක් බවයි. ඒ අනුව ඇමැති රවී ගේ එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප වුණා. මෙලෙස රවි කරුණානායක ඇමැතිවරයා ගෙන ආ විවාදාත්මක ඉල්ලීම් තුනක්ම ප්‍රතික්ෂේප කරන්නට ජනාධිපතිතුමා කටයුතු කළා.

හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ ගිවිසුමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා වෙනත් කණ්ඩාය‍ම් ගෙනයන විරෝධතා ව්‍යාපාරයට ජනාධිපතිතුමා පිළිතුරු දුන්නා. ඒ ඉබ්බාගමුව කුඹල්අංග හමීදියා මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමේදීයි. හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ භූමිය විදේශ සමාගම්වලට සින්නක්කරව පවරා දීමට කටයුතු කරද්දී අද කෑගසන ඇතැම් දේශප්‍රේමීන් සිටියේ ඇඳන් යටට වී බව ජනාධිපතිතුමා කීවා. වරාය නගර ව්‍යාපෘතියේදී හා ෂැන්දග්‍රිලා හෝටල ව්‍යාපෘතියේදී එසේ පවරාදීමට එකඟව තිබූ භූමිය බදු පදනමින් පමණක් ලබාදීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපතිතුමා පැවසුවා.

වරාය ගිවිසුමට එරෙහිව වැඩ වර්ජන කරන තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කරනවිට ඔවුන් මොනතරම් වැරදි මතවල සිටිනවාද කියා තමන්ට පැහැදිලිවන බවත් හරියට කරුණු නොදන්නා මෙම පිරිස වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරමින් ජනතාව පීඩාවට පත්කර ඇති බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා.

“වෛද්‍යවරුන්ට අද වැඩ වර්ජන ක්‍රීඩාවක් වෙලා. මොවුන් මිනිස් ජීවිතවලට කිසිම වටිනාකමක් නොදීම ගැන මම කනගාටු වෙනවා. ජනතාව විසින් බලයෙන් පහ කළ උදවිය විවිධ කුමන්ත්‍රණ කරමින් යළි බලයට එන්න සිහින දැක්කද ආණ්ඩුව පෙරළන්න කිසිවකුට ඉඩ දෙන්නේ නෑ යි” ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසුවා.

නිවාස අපලයක් ගැන ජනපති රවීට පෙන්වා දෙයි

ගත වුණු සතියේ අගමැති වික්‍රමසිංහ මහතා උත්සව අවස්ථා ගණනාවකට එක් වුණා. වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා පුරවැසි බලය සංවිධානයේ සාමාජික සාමාජිකාවන් හමු වුණා. යහපාලන රජය පිහිටුවීමේදී සාකච්ජා කර එකඟ වූ කරුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම පමා වීම ගැන ඔවුන් සිදු කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අගමැතිවරයා වසර දෙකක් තිස්සේ රජය සිදු කළ ක්‍රියාදාමයන් ගැන කෙටි විස්තරයක් කළා. කෙසේ වෙතත් සිය අදහස ප්‍රකාශ කිරිමට සියල්ලන්ටම අයිතිය ඇති බව කී අගමැතිවරයා රජය කරන හොඳ වැඩවලට ප්‍රශංසා කරන ලෙසත් එසේ නොමැති විට විවේචනය කරන ලෙසත් ඉල්ලා සිටියා.

එදින උදේ අගමැතිවරයා කොළඹ මහජන පුස්තකාලයේ පැවති පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වුණා. එහිදි අගමැතිවරයා සිය දේශනයේදී පොත්, පුස්තකාලවලට අමතරව කුණු සහ ඩෙංගු ගැනද සඳහන් කළා. කසළ කළමනාකරණය සඳහා මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ලබා දුන් බවත් එම විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවගේ සෞඛ්‍යයට හානි වන කිසිම පියවරක් නොගන්නා බවත් පැවසුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ පාර්ලිමේන්තු දිවියට වසර හතළිහක් සම්පූර්ණ වුයේ පසුගිය 22 දායි. අගමැතිවරයා එම සුවිශේෂි අවස්ථාව සමරනු ලැබුවේ 1976 දී බියගම ආසනයෙන් දේශපාලනයට පිවිසි අවස්ථාවේදී තමාට සහය ලබා දුන් එවකට බියගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් සහෘද ප්‍රිය සම්භාෂණයක් පවත්වමින්. අරලිය ගහ මන්දිරය වෙත පැමිණි එදා බියගම ඇත් පවුර, අදත් එක්සත් ජාතික පක්ෂය සමග නොවෙනස්ව අත්වැල් බැඳ සිටින පිරිසක්. පැමිණ සිටි සියල්ලම වියපත් වූවෝය. සියල්ලන් සමගම සුහදව කථා බහ කළ අගමැතිවරයා ඔවුන් ගෙනවිත් තිබූ පැරණි ජායාරූපද බැලූවා. පැරණි ආධාරකරුවන්ගේ කරට අත දමා‍‍ ගෙන වික්‍රමසිංහ මහතා ඔවුනගේ සුව දුක් විමසුවා. මේ අය අතරින් වයස්ගතම පුද්ගලයා වුයේ වයස අවුරුදු 102 ක් වු කඳුබොඩ ලියනගේ ජයසේකර මහතාය. ඔහු දුටු වහාම අගමැතිවරයා ඔහු වෙත ගොස් කථා බස් කළා.

මෙහිදි පිරිස අමතමින් අගමැති වික්‍රමසිංහ මහතා සිය දේශපාලන දිවියේ ආරම්භය පිළිබඳව පැවසුවා. තමාට සහයෝගය දුන් සියල්ලන්ටම ස්තූතිය පිරිනැමුවා. කෙළෙහි ගුණ පළ කරන නායකයා සමග ජායාරූප ගැනීමටද පිරිස උනන්දු වුණා.

එදින හවස ගෝල්ෆේස් හෝටලයේ පැවති ආසියා පැසිපික් නීතීඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුවටත් අගමැතිවරයා සහභාගි වුණා. එහිදි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ තාක්ෂණය සමග ඉදිරියට යන ලෝකයට ගැලපෙන අයුරින් නීතීය නවීකරණය විය යුතු බවයි. එහිදි විනිශ්චයකාරවරුන්ගේ සහ ශ්‍රී ලංකා නීතීඥ සංග‍මයේ අදහස් වැදගත් වන බවත් පෙන්වා දුන්නා.

රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යා ආයතනය පිහිටුවීම සහ එම වෘත්තිකයන්ගේ දියමන්ති සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට අගමැතිවරයා 23 දා එක් වුණා. එය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ. පැවති රජය ඩෙංගු සම්බන්ධ මූලික ගැටලුවලට විසැඳුම් නොදුන් නිසා ඩෙංගු ව්‍යාප්ත වුණු බව කී අගමැතිවරයා ජනතාවට දිගටම ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමට ඉඩ දිය නොහැකි බවද කීය.

බියගමින් අගමැතිට උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැති වික්‍රමසිංහ මහතා නොසිතූ දෙයක් සිදු වුණා. ජනාධිපතිවරයා එනතුරු බලා සිටි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙත ජනාධිපතිවරයා එහි පැමිණෙන විට පිටුපසින් ‍ලොකු පෙට්ටියක් රැ‍ගත් අයකුද එහි ඇතුල් වුණා. බැලූ බැල්මට එය කේක් ගෙඩියක් බව සියල්ලන්ටම වැටහුණා. “අවුරුදු හතළිහක දේශපාලන දිවියට මා සුබ පතනවා”. ජනාධිපතිවරයා අගමැතිවරයාට සුබ පැතුවා. ජනාධිපතිගේ ආරාධනයෙන් අගමැති කේක් කපද්දී ජනාධිපතිත් එයට හවුල් වුණා. සියල්ලන්ගේම අත් පොළසන් මැද කේක් කැපු පසු තැටියක තැබු මුල්ම කේක් කැබැල්ල අගමැති වික්‍රමසිංහ මහතා ජනාධිපති සිරිසේන මහතාට පිළි ගැන්වුවා. ජනාධිපති ‍සිරිසේන මහතා අගමැති වික්‍රමසිංහ මහතාට කේක් කැබැල්ලක් කවා සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමුවා.

34 වැනි උදා ගම්මානය වන “සියජයගම” ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උත්සවයේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසුව නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති සෙසු ආයතනවල නිලධාරීන් හා කළමනාකාරවරුන් හමුවුණේ ඉතා කෙටි දැනුම් දීමකින්. “මම දැන් අවුරුදු දෙක හමාරකට වැඩි කාලයක් තිස්සේ කිසිම භේදයක් නැතිව මේ නිලධාරීන් එක්ක වැඩ කළා. ඒ අයගේ කලින් තිබුණු දේශපාලන සම්බන්ධකම් බැලුවේ නෑ. මට හොඳ මූණක් පෙන්වගෙන හිටියත් සමහරුන්ගේ මහජන සම්බන්ධතාවය බිංදුවේ. ඉවසීමක් නෑ. මිනිස්සුන්ට කාරුණිකව කතා කරන්න දන්නෙ නෑ. අනවශ්‍ය විදියට රස්තියාදු කරවනවා. එහෙම කළාම ජනතාව මේ ආයතන ගැන කළකිරෙනවා. මං ගැන තිබෙන විශ්වාසයයි නැති වෙන්නේ. මගේ ප්‍රතිරූපයයි බිඳ වැටෙන්නේ. නියම ජනතා සේවයක් ඉටු නොකරන අය සම්බන්ධව විනයානුකූලව කටයුතු කරන්න මම කිසිසේත් පසුබට වෙන්නේ නෑ. ඒක හොඳට මතක තියා ගන්න” සජිත් කථා කළේ කෝපයෙන්.

උදා ගම්මානවලට ජාතික නායකයන්ගේ, ජාතී හිතෛශී අතීත ප්‍රභූවරුන්ගේ, සෙන්පතියන්ගේ හා රණවිරුවන්ගේ නම් තැබීමට පසුගියදා ගත් තීරණය පරිදි සජිත් ඉකුත් සතියේ මුල්ගල් තැබූ නව ගම්මානයට නම් තැබුණේ “සදාවීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ගම” යනුවෙන්. එදින උදෑසනම සජිත් දුරකථනයෙන් ඇමතුවේ දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිවරයාගේ බිරිඳ ලලී කොබ්බෑකඩුව මහත්මියටයි. සජිත් කීවේ “සෙන්පතිතුමන්ගේ ශ්‍රී නාමයට උපහාර පිණිස එතුමා නමින් ලුණුගම්වෙහෙරේ ඉදිකරන උදා ගම්මානයකට අද අපි මුල්ගල් තබනවා” කියායි. මේ ආරංචියෙන් සතුටට පත් කොබ්බෑකඩුව මහත්මිය විමසා සිටියේ එහි කොපමණ නිවාස ඉදිකරනවාද කියාය. “නිවාස 40ක්” යනුවෙන් සජිත් පිළිතුරු දෙද්දී ඇය කීවේ “බොහොම හොඳයි. ගොඩක් ස්තූතියි. එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි මම ඔබට ආශිර්වාද කරනවා” යනුවෙන්

දැනට දිස්ත්‍රික්ක පහක ක්‍රියාත්මක නිල මෙහෙවර ජනපති ජනතා සේවය පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් වජිර අබේවර්ධන ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 21 වන සිකුරාදා පැවැතියේ අරලියගහ මන්දිරයේදී.මේ සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අගමැති ලේකම් සමන් ඒකනායක මහත්වරු ඇතුළු සියලුම අමාත්‍යාංශ නියෝජනය කරමින් ඉහළ රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගි වී සිටියා.

මෙහිදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ‘‘අද දිසාපතිගේ සිට සියලුම නිලධාරීන්ට පරිගණක ඇතුළු නවීන යන්ත්‍ර සූත්‍ර තිබුණත් මා දිසාපතිවරයකු ලෙස සිටි මීට අවුරුදු 40ට පමණ පෙර කාලයේ මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් අපි අද කරන වැඩ එදත් කළා. එදා මා දිසාපතිවරයකු ලෙස කටයුතු කරන කාලයේ අද මෙතැන සිටින අය ඉන්න ඇත්තේ පාසලක පහේ හයේ පන්තිවල. අපි පරිගණක ගැන අහලා තිබුණේවත් නැහැ. යනුවෙන් කළ කතාව එහි සිටි සැමගේ ප්‍රශංසාවට බඳුන් වුණා.

22 සෙනසුරාදා උදෑසනම රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා සමඟ ඇමති වජිර කොබෙයිගනේ ජාතික පාසල වෙත ගියේ නිල මෙහෙවර ජනතා සේවයේ තවත් වැඩසටහනකට එක් වීමටයි. එදින නිල මෙහෙවර භූමියට පැමිණි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ඇමති වජිර එහි සිටි රාජ්‍ය නිලධාරින් සමඟ කටයුතු කළා.අනතුරුව පසුදින ද මාවතගම ජාතික පාසල වෙත ගියේ නිල මෙහෙවර ජනතා සේවයේ තවත් වැඩසටහනකට එක් වීමට යි. ඒ අමාත්‍ය හලිම් සමඟ.

එය අවසන් වූ පසු වජිර අබේවර්ධන ඇමතිවරයා කෙළින්ම කොළඹ ආවේ අගමැතිවරයාට සෙත්පතා කැලණිය රජමහා විහාරයේ සංවිධානය කර තිබූ පිංකමට එක් වීමටයි.

පසුදින සඳුදා උදෑසනම නවගත්තේගමට ගිය ඇමැතිවරයා රුපියල් ලක්ෂ 315 ක වියදමකින් යුතුව ඉදි කිරීමට නියමිත නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමට එක් වුණා.

අමාත්‍යාංශයේ දී සජිත් දෙහි කපයි

විසිපස්වෙනිදා මධ්‍යම රාත්‍රීයේ දී වැඩවර්ජනයක් දියත් වූ කොලොන්නාව තෙල් සංකීර්ණයට පොලිසිය සහ හමුදා විශේෂ කාර්ය බලකාය යෙදවීමට ආණ්ඩුව තීරණය කළා. විසිහයවෙනිදා දහවල් වන විට තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් හමුදාව මැදිහත්කරවීමට විරෝධය පළකළා. එහි දී පොලිසිය වෘත්තීය සමිති නායකයින් ඇතුළු සංස්ථාවේ සේවකයින් පිරිසක් පොලිස් වාහනවල පටවාගෙන වැලිකඩ පොලිසිය වෙත ගෙන ගියා. පොලිසිය අපිට පහර දුන්නා. බිත්තියට හේත්තු කරලා තමයි පහර දුන්නේ. මේක අමානුෂික පහරදීමක්. පොලිසියේ ඕඅයිසීත් මේ පහරදීමටත් මැදිහත් වුණා. අපි ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” ඛනිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියා සිටියා. කටඋත්තර ගැනීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කෙරුණා.මේ අතර වෘත්තීය සමිති නායකයින් තීරණය කළේ පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.

සයිටම් විරෝධී ජන පවුර යනු සයිටම් ආයතනයට එරෙහිව තැන තැන කළ අරගලයන් එක් මධ්‍යස්ථානයක් වෙත කැඳවූ සිවිල් සංවිධානයක්. ඒ සඳහා දේශපාලන පක්ෂ, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, මාපිය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් ඇතුළු සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සිටිනවා.මේ සියලූ සංවිධානවල ස්ථාවරය වන්නේ, සයිටම් වසා දැමිය යුතු බවයි. පසුගිය 25වෙනිදා සයිටම් විරෝධී ජනපවුර විසින් පා ගමනක් හා රැලියක් සංවිධානය කළ අතර ඒ සඳහා විශාල ජනතාවක් එක්ව සිටියා.මෙහි දී සයිටම් අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කරන යෝජනා හතරක් සම්මත කර ගත් අතර අගෝස්තු 02 දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලක් සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට තැත්කිරීමත් එදින විශේෂ මාතෘකාවක් වුණා. මෙහි දී එක් එක් සංවිධාන නියෝජනය කරමින් එහි නායකයෝ අදහස් දැක්වූවා. ජවිපෙ නියෝජනය කරමින් එහි නායක අනුර දිසානායකද කතාවක් පැවැත්වුණා.

මෙහි දී වෘත්තීය සමිති නියෝජනය කරමින් කතාව සිදුකළේ ලාල්කාන්ත විසින්. ඔහුගේ කතාව වෙනස් ආකාරයක් ගත්තා.ඔහු පැමිණි සිටි පිරිසට සහ වේදිකාවේ සිටි සිවිල් සංවිධානවල නියෝජිතයින්ට සහ දේශපාලඥයින්ට සිය අසුන්වලින් නැ‍ඟී සිටින ලෙස ඉල්ලා සිටියා.සියලූ දෙනාම ඊට එකඟත්වය දැක්වූවා. ‘සයිටම් එපා’ යනුවෙන් සටන්පාඨ කියන ලෙසත් අගෝස්තු 02 විරෝධතාව සාර්ථක කරන බවට සපථ කරන ලෙසත් ඔහු සැමගෙන් ඉල්ලා සිටියා. සියලූ දෙනාම උස් හඩින් ඒ බව කියාසිටියා. ”සයිටම් විරෝධී ජනපවුර සියලූ දෙනා අරගලයට කැඳවන්නත් අරගලය ජයග්‍රහණයෙන් පසු විසුරුවන්නත් සූදානම්. ඒ වගේම අපේ අරගලයට විනයක් තියෙන්න ඕනෑ. එහෙම තමයි අරගල කරන්නේ. අපි අගෝස්තු 02 විරෝධතාවක් කරනවා. ආණ්ඩුවට ඇහෙන්නේ නැත්නම් අපි ඊටත් එහා ක්‍රියාමාර්ග ගන්න සූදානම්” ලාල්කාන්ත කියා සිටියා.

පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු දෙදෙනකු බිමල් රත්නායකගෙන් සයිටම් ගැන විමසීමක් කළා. ”ඇත්තටම මන්ත්‍රීතුමා මේ සයිටම් එකේ අවුල මොකක්ද? අපිට මේ රාජිතලා, කිරිඇල්ලලා කියන්නේ බොරුවක් කියලා නම් තෙරෙනවා.” ඇමතිවරයෙක් බිමල් රත්නායකගෙන් විමසා සිටියා. මන්ත්‍රීවරයා සෑහෙන වෙලාවක් ගෙන සයිටම් ප්‍රමිතිය සහ ජවිපෙ ස්ථාවරය පිළිබඳව ඇමතිවරුන් දෙදෙනාට විස්තරයක් කළා. මේ පැහැදිලි කිරීම අසා සිටි ඇමතිවරු දෙදෙනා විමසා සිටියේ” දෙපැත්තටම සාධාරණයක් වෙන විසඳුමක් නැද්ද?” යනුවෙන්. ”තියෙනවා. සයිටම් වහන්න ඕනෑ. ඊට පස්සේ ඇතුළේ ඉන්න සිසුන්ට සාධාරණ විසදුමක් ලබාදෙන්න වෛද්‍ය සභාව යෝජනා කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනෑ. එතකොට හරි බිමල් රත්නායක කියා සිටියා.

ව්‍යවස්ථාදායක සභාව පසුගිය අඟහරුවාදා සියලූ පක්ෂ නියොජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ශ්‍රීලනිපය එකඟ නැහැ.ජනාධිපතික්‍රමය අහෝසි කරන බව ජනාධිපතිතුමා මැතිවරණයේ දී කිව්වා. නමුත් ඒක එතුමාගේ පෞද්ගලික අදහස. එතකොට එතුමා ශ්‍රීලනිපයේ සභාපති නෙවෙයි. නමුත් දැන් එතුමා පක්ෂයේ සභාපති. අපේ පක්ෂයේ ස්ථාවරය විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි කියන එක.” විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡාවේ දී නිමල් සිරිපාලද සිල්වා සිය පක්ෂයේ ස්ථාවරය කියා සිටියා.මෙහි දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලූම පක්ෂ නියෝජිතයින් නිමල් සිරිපාල ඇමතිවරයාට විරෝධය පළකර සිටියා.මේ වනවිට පක්ෂ බහුතරයක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා එකඟතාව පළකර ඇති අතර ශ්‍රීලනිපය හා පක්ෂ කිහිපයක් පමණක් ඒ සඳහා විරෝධය පළකරනවා.

විධායකය ගැන උණුසුම් විවාදයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉවත්විය යුතු බව කියමින් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත්වන බවට ලිපියක් භාරදීම නිසා ඇති වූ මත ගැටුම තවමත් නිමා වී නැහැ. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස ක්‍රියාකරන්නේ සමස්ත පාර්ලිමේන්තුවයි. ඒ පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවක් අනුවයි. එයින් ඉවත්වන බව ජාතික නිදහස් පෙරමුණ කීවත්, එය පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂයක් නොවෙයි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මෙහෙයුම් කමිටුවක් පත්කොට ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් එයට සහභාගී වී ක්‍රියාකරනවා. විමල්ගේ කණ්ඩායම බල කරන්නේ මෙහෙයුම් කමිටුවෙන් ඉවත්වන ලෙසයි. කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදනයෙන් ඉවත් නොවිය යුතු බවයි.

මෙම ප්‍රශ්නය විසඳාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවතුණත් දෙපාර්ශ්වයේම ස්ථාවරයන් වෙනස් වූයේ නැහැ. ඒ අතර ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ පසුගිය සතියේ පැවැති රැස්වීමට පෞද්ගලික හේතුවක් නිසා සහභාගී විය නොහැකි බව දිනේෂ් ගුණවර්ධන මහතා දන්වා තිබුණා. ප්‍රසන්න රණතුංග මහතාද කමිටුවට සහභාගී වූයේ නැහැ. එසේ වුවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග කියන්නේ ඉදිරි කා‍ලයේ රැස්වීම්වලට ඔවුන් දෙදෙනා සහභාගී වන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවීම මේ දිනවල සිදුවන්නේ බැසිල් රාජපක්ෂ හා මහාචාර්ය ජී.එල්.පීරිස් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන ප්‍රසන්න රණතුංග මහතා නියෝජනය කරන මිනුවන්ගොඩ ආසනයේ බල මණ්ඩලය පිහිටුවීම පසුගියදා සිදුවුණා. එහි දී රැස්වීම ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩලය වශයෙන්. පසුව එය පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලය ලෙස නම් කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග කියන්නේ ප්‍රසන්න රණතුංග මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත්කොට ඇති නිසා ආසන බල මණ්ඩලය කැඳවීමේ හැකියාවක් ඔහුට නැති බවයි. ඔවුන් කියන්නේ මෙය සෝබන කටයුත්තක් බවයි.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන ආකාරය ගැන ඇතුළෙන්ම විරෝධතා මතුවී තිබෙනවා. ආසන සංවිධායකයන් හා ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් නොතකා වෙනත් අය ඉදිරියට දමාගෙන සංවිධාන කටයුතු කිරීම විරෝධයට හේතු වී තිබෙනවා. පොළොන්නරුවේ රෝෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකුද ඉවත්වීම මෙම ගැටුමේ ප්‍රතිඵලයක්. දැන් මේ ගැටුම එකිනෙකාට ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නා තත්ත්වයට පත්ව තිබෙනවා.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *