|

විමල් බුදු බණ මොඩ් කරයි – විනය පිටකය අලුතෙන් ලියයි – කන්ඩසූත්තරය වදාරයි

එදින නිවසට ගිය සැනින් බිරිය විමල්ගෙන් ඇසුවේ ‘ඇයි අනේ ඔයා ව්‍යවස්ථා සම්පාදන වැඩෙන් අයින් වුණේ? කියාය.

.විමල් ගත්කටටම කීවේ තෛනිකායික ස්වාමීන් වහන්සේලා එපා කියන වැඩකට සම්මාදම් වී ආනන්තර්ය පාපකර්මයකට කරගහන්නට බැරි බැවින් අයින් වූවා කියාය.

ආනන්තර්ය පාප කර්ම කියා දහම් පාසැලේත්, පාසැලේත් උගැන්වූයේ, මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, බුදු සිරුරෙන් ලේ සෙලවීම බවත්, ආණ්ඩුකම ව්‍යවස්ථා සංසෝධනය ආනන්තර්ය පාපකර්මවලට අයත් නැති බවත් බිරිය කී විට විමල් කීවේ බුද්ධාගම පොතේ අලුත් නිර්දේශයට ආණ්ඩුකරමයත් ආනන්තර්ය පාපකර්ම ලැයිස්තවට ඇතලත් කිරීමට මහරජාණෝ නැවත ජනාධිපති වූ පසුව කටයුත කරන බවය.

ඔයාලගෙ කාලයේ සියල්ලම කළේ තෛනිකායික භික්ෂූන්ගේ උපදෙස් අනුවම දැයි එවිට බිරිය ඇසුවාය.

එවිට විමල් කීවේ, අපේ කාලයේ උන් වහන්සේලාගේ උපදෙස් නැතිව නොකළේ මොනවාද කියාය.

ඇයි අනේ දළදා මාලිගාව වටේ කාර් රේස් කරන්නට උන්නාන්සේලා උපදෙස් දුන්නා දැයි බිරිය ඇසූ විට විමල් කීවේ කාර් රේස් තරගය පැවැත්වූයේම උන්නාන්සේලාගේ උපදෙස් මත උන්නාන්සේලාගේ බලවත් ඉල්ලීම මත බවයි.

මම නම් හිතාන හිටියේ උන්නාන්සේලා ආණ්ඩුවලින් කාර් ඉල්ලුවාට කාර් රේස් ඉලන්නේ නැතැයි කියා බව එවිට බිරිය කීවාය.

ඕකනෙ හැමදාම කියන්නෙ ඔයාට දේශපාලනේ තේරෙන්නේ නැහැ කියලා. උන්නාන්සේලා මොකද රහත් වෙලාද? කාර් රේස් බලන්න කටුකරුන්දට වඩින්නද? පන්සලේ ඉඳන් බලාගන්න පුළුවන් විදිහට නුවරටම ගිහිං කාර් රේස් පැවැත්තවේ උන්නාන්සේලාගෙ හිත සුව පිණිස නෙමේ නම් වෙන අහවල් මඟලකටද? කියා විමල් ඇසූ කෝපයෙන් කී බැවින්, තාජුඩීන් ඝාතනය, සරත් ෆොන්සේකා හිරේ විලංගවේ දැමීම, රතපස්වල වෙඩි තැබීම ආදියත් කළේ උන්නාන්සේලාගේ උපදෙස් අනුගමනය කර ද කියා අසන්නට සිතණු සිතවිල්ල බිරිය ඉල්ලා අස්කර ගත්තාය.

දැන් එතකොට ඔයාල හිතාන ඉන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාව කොයි ආකාරයට ගෙනෙන්න දැයි බිරිය ඇසුවේ, මදකට පසුව සැමියාගේ කෝපය අඩු වී ඇතැයි සිතණු නිසාය.

අපි හිතාන ඉන්නෙ අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් හදන වැඩේ විතරක් නෙමෙයි ආණ්ඩු කරන වැඩෙත් උන්නාන්සේලාටම බාර දීමට යැයි විමල් එවිට කීවේය.

ඒ කොහොමද අනේ එහෙම කරන්නේ? එවිට බිරිය විමතියෙන් ඇසුවාය.

ඔකනේ කියන්නේ ඔයාට දේශපාලනය තේරෙන්නෙ නැහැනෙ. අපි හිතාන ඉන්නෙ පාර්ලිමේන්තවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරල ආණ්ඩුකම ව්‍යවස්ථාව හදන වැඩේ සම්පූර්ණයෙන්ම තෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලාටම පූජා කරන්න. එතකොට උන්නාන්සෙලාගෙ මනාපයේ හැටියට ඒ වැඩේ කෙරෙයි.

ඊට පස්සේ රාජ්‍ය නායකත්වයත් උන්නාන්ලෙටම පවරන්න වුණත් පුළුවනි. අවුරුදු පහක් ජනාධිපතිකම අස්ගිරියට. ඊළඟ අවුරුදු පහ මල්වත්තට. ඒ ඒ පළාත්වල මහානායක හිමිවරුන්ට පළාත් සභා බාර දෙන්නත් පුළුවනි.

කිරි අප්පොච්චියේ! පන්සල්වල ඉන්න හාමුදුරුවරු හැමෝටම ඇමතිකම් දෙන්න ගියොත් ඇමති මණ්ඩලේ කීයක් කරන්න වෙයිද? මේ ඉන්න ඇමති මණ්ඩලෙත් වැඩියි කියල නේද මිනිස්සු කියන්නෙ? බිරිය ඇසුවාය.

අධිකරණ සංඝනායකට අධිකරණ ඇමතිකම. බුද්ධ ශාසන ඇමතිකම තව හාමුදුරු කෙනෙක්ට. මුදල් ඇමතිකම නම් රංගිරි දඹුළු පාර්ශවයටම දෙන්නත් පුළුවනි. විමල් කියාගෙන යද්දී බිරිය විශ්මයෙන් බලා සිටියාය.

ඒක නෙමෙයි විමල් ඔයා උප්පැන්න සහතික දෙකක් හදන කොටත් මහානායක හාමුදුරුවන්ගෙන් උපදෙස් ගත්තාදැයි බිරිය ඇසුවේ, විමල් ඔල්මාදයෙන් දොඩවනවායැයි මෙහෙකාරියට ඇසුණොත් හිතාවිය යන බිය නිසාය.

උප්පැන්න හදන්න විතරක් නෙමෙයි පාස්පෝර්ට් හදන්නත් ධර්මානුශාසනා කළේ උන්නාන්සේලාම බව එවිට විමල් කීවේය.

එතකොට අර ගෙවල් බෙදිල්ලට, වාහන බෙදිල්ලටත් උන්නාසේලා හමු වී උපදෙස් ගත්තාදැයි බිරිය ඇසුවේ, තමන්ගේ සැමියා කොතරම් ධාර්මිකදැයි සැකහැර දැනගන්නට තිබුණු කැමැත්ත නිසාය.

නෑදැයන්ට සැලකීම මහා පින්කමක් බව බුදු දහමේ නොයෙක් තැන්වල සඳහන් වී ඇති බව එවිට විමල් කීවේය. අනෙකක් තබා කරණීයමෙත්ත සූතතරයේ මුළුමනින්ම ස‍ඳහන්ව ඇත්තේ ඥති සංගරහය වැදගත්කම බවද ඔහු බිරියට පෙන්වා දුන්නේ ජවිපෙ දේශපාලනය කළ කාලයේ මැයි රැළිවලදී කම්කරු පන්ති විප්ලවයේ වැදගත්කම පැහැදිලි කරන්නාසේ උච්ච ස්වරයෙනි.

දැන් බලන්න ඔය හැම පන්සලකම වාගෙ දෙවෙනි පෙළ නායකත්වයට පත්කරන්නෙ නායක හාමුදුරුවන්ගෙ ඥාතියෙක්ව. අධර්මිෂ්ඨයො නම් කියන්නෙ දේපළ රකින්න කරන වැඩ කියලා. ඇත්ත ඒක නෙවෙයි. උන්නාන්සෙල එහෙම කරන්නේ ශාසනයෙ චිර්ස්ථිය වෙනුවෙන්.  බුදුහාමුදුරුවො ධර්ම භාණ්ඩාගාරෙ බාර දුන්නෙ තමන්ගෙ සහෝදරය ආනන්ද හාමුදුරුවන්ට. විමල් පැහැදිලි කළේ අර දවස්වල රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින විට කතා කළ මවාගත් තැන්පත් ස්වරයෙනි.

කරණීයමෙත්ත සූත්තරයේ පෙන්වා දෙන්නේ මෙත්තානිශංස යැයි තමා මෙතෙක් සිතා සිටියා වැරදි නොවේදැයි බිරියට සිතණේ දුකකි. විමල් පතන ධර්ම රාජ්‍යය බිහි වූ දවසක ජයවේවා! වෙනුවට සාධු…, සාධු… කියමින් මැයි පෙළපාලි යන ආකාරය නැවත සිහි වූ බැවින් ඇය සිනාසෙන්නට පටන් ගත්තාය.

නරසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *