ආර්ථික ඝාතකයන්ගේ නූතන ප්‍රවේශය – භාතිය බරුකන්ද

වර්ජන තර්ජන කිරීම මගින් සිදුවන්නේ ආණ්ඩුවේ සියලු සංවර්ධන ප්‍රවේශයන් පමණක් නොවෙයි සමස්ත පොදුජන ජීවිතයම අඩාල කිරීමයි. මෙය ආර්ථික ඝාතනයේ අලුත්ම ප්‍රකාශනයක් ලෙස හැඳින්විය යුත්තේ මේ නිසයි. ඒ නිසා දැන් ප්‍රශ්නය වන්නේ මේ ආර්ථික ඝාතකයන්ට කොතරම් කල් නිදැල්ලේ සිටීමට ඉඩ දෙනවාද ? යන්නයි.

හම්බන්තොට වරාය සේවකයන් කළ වැඩවර්ජනය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට ගෙන ඇති සැලසුම්වලට එරෙහිව දිගින් දිගටම සිදුවන වර්ජන තර්ජන මගින් සිදුවන්නේ විදේශ ආයෝජකයන් හමුවේ රටේ නම කැත කිරීමම පමණයි.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් පසුගිය 25 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සමඟ වැඩවර්ජන සම්බන්ධයෙන් අලුතින් සිතා බැලිය යුතු තැනට පසුබිම සකස් වෙමින් තිබෙනවා.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ආණ්ඩුව ගත් ක්ෂණික හා ඍජු තීරණය සම්බන්ධයෙන් සමාජයේ ප්‍රසාදයක් මෙන්ම කිසියම් බියකුත් තිබෙන බවක් පේනවා. ප්‍රසාදයට හේතු ඉතාම පැහැදිලියි. රටේ ජනතාව පසුගිය කෙටි කාලය තුළ විශේෂයෙන් ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නොකඩවා ක්‍රියාත්මක කළ වැඩවර්ජන මගින් දැඩි අපහසුතාවට පත් වුණා. එම තත්ත්වය වෛද්‍යවරුන් කෙරෙහි ද දැඩි බලපෑමක් කළ බව අලුතින් වෛද්‍ය වෘත්තීය සමිතියක් බිහිවීම මගින් පැහැදිලි වෙනවා.

රජයේ මේ තීරණය සම්බන්ධයෙන් කිසියම් බියක් ඇති වීම ද අපට පහසුවෙන් අවබෝධ කරගත හැකියි. යහපාලන ආණ්ඩුව බිහි වුණේ අන්ත මර්දනකාරී තත්ත්වයක පැවැති රෙජිමයක් පරාජය කරමින්. එහි ජයග්‍රහණය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ගැන වුවමනාව මුලින්ම තිබුණා. පොලිසියේ හෝ හමුදාවේ උණ්ඩවලට බිලි නොවී සාමකාමීව උද්ඝෝෂණය කිරීමට, සුදු වෑන් භීතිකාවෙන් තොරව ආණ්ඩුව විවේචනය කිරීමට පරිසරයක් බිහිකර ගැනීමේ වුවමනාවෙන් තමයි ජනතාව යහපාලන ආණ්ඩුව බලයට පත් කළේ. ඒ නිසා යහපාලනය විසින් උදාකර දුන් නිදහස් පරිසරය, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය කුමනාකාරයෙන් හෝ පටු කිරීමක් ඔවුන් ඉවසන්නේ නැති වෙන්න පුළුවන්.

වැඩවර්ජන ප්‍රජාතන්ත්‍රවාදීද ?

වැඩවර්ජන කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හෝ නිදහසක් නම් ඒ වැඩවර්ජන ද කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද? යන්න අපට විමසා බැලීමට සිදු වෙනවා. මොකද නිදහස සම්බන්ධයෙන් වඩාත් ප්‍රායෝගික අදහසක් තමයි ‘ඔබට සැරයටිය වනමින් පාරේ යාමට ඇති නිදහස අනෙකාගේ නාසය අසලින් කෙළවර වේ’ කියන එක. මෙයින් අදහස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ නිදහස කියන සංකල්පය ප්‍රායෝගිකත්වයේදී ‘වල්බූරු’ නිදහසක් වශයෙන් අර්ථවත් නොවන බවයි. ඒ කියන්නේ ඔබට ඔබගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය හිමිවන්නේ එමගින් අනෙකාගේ නිදහස ද අහිමි නොවනවා නම් පමණයි.

බොහොමයක් වැඩවර්ජන ප්‍රජතන්ත්‍රවාදී හා මානවවාදී නොවන්නේ මේ පදනම මතයි. උදාහරණයක් විදිහට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකමක් දිනා ගැනීම හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කිරීමට වෛද්‍යවරුන් වැඩවර්ජනයකට ගියහොත් ඒ මගින් ඍජුව රෝගීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. රෝගීන් අපහසුතාවට පමණක් නොවෙයි ඇතැම් විට ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය පවා අහිමි වෙනවා. මෙවැනි භාවිතයක් තුළ අපට ඉතාම පැහැදිලිව හඳුනාගත හැකි වන්නේ බොහෝ වැඩවර්ජන මගින් බහුතරයක් වන අනෙකාගේ අයිතිවාසිකම් ඍජුව හෝ වක්‍රව උල්ලංඝනය වන බවයි.

එහෙත් වැඩවර්ජකයන්ගේ ප්‍රධාන අරමුණ වන්නෙත් මේ තත්ත්වය තමයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුවට බලපෑම් කිරීමටයි. ආණ්ඩුවට බලපෑමක් වන්නේ එය කොතරම් දුරට ජනතාවට බලපෑම් කරන්නේද ? යන පදනම මතයි. සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිය වැනි මහජනතාවට එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වැඩවර්ජනය කරන්නේ මේ පදනමින්. මේ ආකාරයෙන් ජනජීවිතයට බලපෑමක් කළ නොහැකි ආයතන හෝ වෘත්තීය සමිතිවල වැඩවර්ජන බොහෝ විට හකුලා ගන්න සිදුවන්නේ හෝ දිනකින් දෙකකින් අත්හැර දැමීමට සිදුවන්නේ මේ නිසයි.

වැඩවර්ජනය කරන හානිය

වැඩවර්ජන මගින් අනෙකාගේ අයිතීන් උල්ලංඝනය වීම වගේම එමගින් තවත් පැති ගණාවකින් රටටත්, ආර්ථිකයටත් පොදුවේ හානිකර තත්ත්වයන් රැසක් උරුම වෙනවා. දැවැන්ත වර්ජන රැල්ලක තර්ජනවලට මුහුණ දෙමින් සිටින අපේ සමාජය මේ ගැන වඩවඩාත් උනන්දු විය යුතු බවයි අපගේ අදහස වන්නේ.

වැඩවර්ජන මගින් ප්‍රථමයෙන්ම ඍජු හානිය සිදුවන්නේ එකී ආයතනවලින් සපයනු ලබන සේවාලාභීන්ටයි. මේ සේවාලාභීන්ට සිදුකළ හැකි හානියේ ප්‍රමාණය අනුව ආයතනිකව හෝ දේශපාලනමය වශයෙන් විසඳුම් ලබාදීම බොහෝ විට සිදු වෙනවා. ඒ නිසා හැකිතාක් තම සේවාලාභීන්ට දැඩි බලපෑමක් විය හැකි ආකාරයට තමයි වැඩවර්ජන සැලසුම් වන්නේ. උදාහරණයක් ලෙස අප නිරන්තරයෙන් අත්දකින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයක් ගතහොත් එහි ප්‍රමුඛ ඉලක්කය වන්නේ බාහිර රෝගී අංශ සේවා අඩාල කිරීමයි.

වැඩවර්ජකයන්ගේ පැත්තෙන් මෙය හොඳ තුරුම්පුවක්. මොකද රජයේ රෝහල්වල වැඩි පිරිසක් පැමිණෙන්නේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමටයි. එම පිරිස අතිසංවේදී පිරිසක් ද වෙනවා. ඔවුන්ගෙන් අති බහුතරය දිළිඳු ජනතාවයි. ඔවුන්ට මුදල් ගෙවා සෞඛ්‍ය සේවා ලබාගත නොහැකියි. ඒ නිසා මේ පිරිස අපහසුතාවට පත් කළ විගස එය ආණ්ඩුවට බලපානවා. ආණ්ඩුව ඒ ගැන සංවේදී වෙනවා.

අනෙක් අතින් වැඩවර්ජකයන්ගේ මානුෂිකභාවය හා වෘත්තීය වගකීමත් මේ සමඟ ප්‍රදර්ශනය කිරීමට හැකි වෙනවා. යළිත් වෛද්‍යවරුන්ම ගතහොත් ඔවුන් වැඩවර්ජනයකට යාමට පෙර අවධාරණය කරන්නේ හදිසි ප්‍රතිකාර, ළමා හෝ පිළිකා රෝහල්වල කටයුතු පවත්වා ගෙන යන බවයි. ඒත් අපි ඉතා පැහැදිලිව දකින්නේ වැඩවර්ජන සමඟ මේ ආයතනික සේවා පවා යම් පමණකට අඩාල වන බවයි.

පොදු ජනතාව කබළෙන් ළිපට දැමීම

කෙසේ වුවත් වැඩවර්ජන මගින් ඍජුව වින්දිතයන් බවට එම ආයතනික සේවා ලබා ගන්නා පාර්ශ්ව පත්වෙද්දී එමගින් එකී ආයතින යාන්ත්‍රණය තුළ සිදුවන බිඳ වැටීම් ද සලකා බැලිය යුතුයි. මන්ද එයත් වැඩවර්ජන මගින් සිදුවන හානියට ගැළපිය හැකි වන නිසයි.

වැඩවර්ජන මගින් ආයතනික දෛනික සේවා බිඳ වැටීම හෝ මුළුමනින්ම නතර වන තත්ත්වයක් තුළ සිදුවන කාර්යය වන්නේ ඒවා යළි යථා තත්ත්වයට පත් කිරීමට අමතර කාලයක් හා ශ්‍රමයක් අවශ්‍ය වීමයි. මේ ආයතනික පිරිවැය කළමනාකරණය තුළ ගණනය නොවුණත් අපි නිතර දකින්නේ යම් ආයතනයක වැඩවර්ජනයකින් පසු එකී ආයතනයේ සේවා ආරම්භ කළ විට තදබදයක් හෝ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවන බවයි.

වත්මන් ඛනිජ තෙල් වර්ජනය මගින් මෙකී තත්ත්වය අපට පැහැදිලි කරගත හැකියි. මේ වැඩවර්ජනය හේතුවෙන් කිහිප දිනක් ඛනිජ තෙල් බෙදා හැරීම් සේවා නතරව තිබුණා. ඒ සමඟ ලංකාව පුරාම ඉන්ධන හිඟයක් ඇති වුණා. වැඩවර්ජනය අවසන් වුණත් බොහෝ ප්‍රදේශවල ඉන්ධන හිඟටක් හටගෙන තිබුණා. මොකද දින කිහිපයක් පුරා මේ කටයුතු සිදු නොවන තත්ත්වය තුළ පසුගිය දිනවල ඉල්ලුමට අදාළ බෙදා හැරීම් මෙන්ම එදිනට අදාළ බෙදා හැරීම් සිදු කළ යුතු වුණා.

මෙවැනි තත්ත්වයක් වෛද්‍ය වැඩවර්ජනවලින් පසුව ද ඇතිවන බව රෝහල්වල බාහිර රෝගී අංශවල කටයුතු නිරීක්ෂණය කරන විට දැකිය හැකියි. ඉතා පැහැදිලිව වැඩවර්ජනවලින් පසු රෝහල්වල බාහිර රෝගී අංශවල තදබදයක් නිර්මාණය වෙනවා. මේ තත්ත්වය වර්ජනයෙන් පසු යළි සේවයට වාර්තා කරන සේවකයන්ට සේම දිනක හෝ දින කිහිපයකට පසු යළි සේවා ලබාගැනීමට යොමු වන පොදුජනතාව සම්බන්ධයෙන් ද අදාළ ඍණාත්මක තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි.

වැඩවර්ජන හේතුවෙන් වින්දිතයන් බවට පත්වන පාර්ශ්ව ගැන සඳහන් කිරීමේදී අප අවධාරණය කරගත යුතු වන්නේ මේ සියලු වැඩවර්ජනවලින් දැඩිම පීඩාවට පත්වන්නේ මේ රටේ දිළිඳු හෝ අඩු ආදායම්ලාභී ජනතාව බවයි. රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් පමණක් තම සෞඛ්‍ය සේවා ලබා ගන්නේද පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් සිය දෛනික ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කර ගන්නේ ද මේ දිළිඳු හා අඩු ආදායම්ලාභී ජනතාවයි. විදුලි බල මණ්ඩලය වැඩවර්ජනය කරන විට දැඩිව හානියට පත් වන්නේ විදුලි ජෙනරේටර් හිමි ඉහළ පන්තියේ ව්‍යාපාරිකයන් නොව මණ්ඩලයේ විදුලියෙන් දෛනික වැඩකටයුතු ඉටුකර ගන්නා සාමාන්‍ය ව්‍යාපාරිකයන් (සිල්ලර කඩ හිමියන්, කුඩා ආපනශාලා හිමියන්, කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන් (කොණ්ඩා කපන ස්ථාන, ඇඳුම් මසන තැන) පමණක් බව අප වටහා ගත යුතුයි. මෙය ගුරුවරුන්ගේ සිට වෙනත් සේවා සපයන අංශ දක්වා ද අදාළ බව සඳහන් කළ යුතුයි.

ආර්ථික අගතිය මිල කළ නොහැකියි

වැඩවර්ජන මගින් දිළිඳු සහ අඩු ආදායම්ලාභීන් ඍජු ගොදුරු බවට පත්කර ගනිද්දී ඒ හරහා රටේ සමස්ත ආර්ථිකය දැවැන්ත අගතියකට ලක්වන බව අප වටහා ගත යුතුයි.

පසුගියදා පැවැති ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ වැඩ වර්ජනයේදී ඔවුන් පාරම්බාමින් කියා සිටියේ දිනක් තුළ මුළු රටේම ප්‍රවාහන හා පොදු සේවා අඩාල කිරීමට තමන් සූදානම් බවයි. එහිදී ඉන්ධන භාවිතයෙන් සිදුවන විදුලිය ජනනය කටයුතු අඩාල කිරීමට ඇති හැකියාව ගැන ඔවුන් තර්ජනය කළ බව අප අමතක නොකළ යුතුයි.

රටේ ආර්ථික හා පරිපාලන කටයුතු අඩාල කරන බවට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යන වෘත්තීය සමිති කරන තර්ජනය සුදු කතාවට පමණක් සීමා වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් වන හානි ගැන නිවැරදි තක්සේරුවක් සිදු වෙලා නැති තත්ත්වයක් තුළ පවා අපි දකින්නේ වැඩවර්ජන මගින් ඒ ඒ ප්‍රමාණයන්ගෙන් විශාල ආර්ථික අගතියක් සිදුවන බවයි. උදාහරණයක් වශයෙන් දුම්රිය හෝ බස් රථ වර්ජනයක් සැලකුවහොත් එමගින් සමස්ත පරිපාලන හා ආර්ථික යාන්ත්‍රණයම අඩාල කිරීමක් සිදුවෙනවා. එහිදී ඍජුව ආර්ථිකය හා සම්බන්ධ වන සේවකයන්ගේ පැමිණීමේ අඩුව සිට සේවා කටයුතු නියමිත කාලයට පෙර අවසන් කිරීමට සිදුවීම, අදාළ කාලයන් තුළ නිසි පරිදි සේවා කටයුතු කළමනාකරණය නොවීමෙන් (පාරිභොගිකයන් නොපැමිණීම ආදි) සිදුවන ආර්ථික හානිය විශාලයි.

මේ ලියුම්කරු පසුගිය කාලය තුළ කළ පෞද්ගලික නිරීක්ෂණ අනුව ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ සිදුවන ඕනෑම වැඩවර්ජනයක් සමස්ත පරිපාලන යාන්ත්‍රණය අඩාල කරනවා පමණක් නොව ව්‍යාපාරික කටයුතුවලට ද ඍජුව බලපෑම් එල්ල කරනවා. මෙය හන්දියේ බුලත්විට විකුණන ගැමි කාන්තාවගේ සිට සුපිරි වෙළෙඳ සල දක්වාම විහිදී යන පොදු තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි.

නිරන්තරයෙන් සිදුවන වැඩවර්ජන හේතුවෙන් රටේ ආර්ථිකයට සම්බන්ධ අංශ විසින් විධිමත් හෝ යම්කිසි විගණනයක් කර තිබෙනවා නම් මේ වර්ජන තර්ජනවලින් කොතරම් ආර්ථික ඝාතනයක් සිදු කර තිබෙනවාද කියා හඳුනාගත හැකියි.

රටේ නම කැත කිරීම

වැඩවර්ජනවලින් රටේ නම කැත වෙනවාද ? බැලූ බැල්මට පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකි විය හැකියි. ඒත් ඔබ වඩාත්ම සියුම්ව නිරීක්ෂණය කළහොත් නිතර නිතර වැඩවර්ජන තිබෙන පසුබිමක් තුළ විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් උද්ගත වන ඍණාත්මක තත්ත්වය ඔබට වටහාගත හැකියි.

මේ සම්බන්ධයෙන් මේ ලියුම්කරු ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුගෙන්ම කළ විමසීමේදී ඔවුන් ඉතා පැහැදිලිව සඳහන් කළේ නිරන්තරයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ සිදුවන වැඩවර්ජන විදේශ ආයෝජන අධෛර්යමත් කරන බවයි. මෙය දෙයාකාරයකින් බලපාන බවයි ඔවුන් සඳහන් කළේ.

මෙහිදී විදේශ ආයෝජකයන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වන්නේ රටේ දේශපාලන ස්ථාවරභාවය කෙරෙහිය. විශේෂයෙන් පසුගිය කාලය තුළ ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි ගොඩනැඟීම හමුවේ ආණ්ඩුව විශාල වශයෙන් විදේශ ආයෝජන කෙරෙහි විශ්වාසය තැබුවා. එහෙත් යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට අහේතුකව හා අත්තනෝමතිකව සිදුවන වැඩවර්ජන හමුවේ රටේ දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ කිසියම් සැකයක් විදේශ ආයෝජකයන් තුළ ඇතිවීම ස්වභාවිකයි. ඊට හේතුව වන්නේ මේ බොහොමයක් වැඩවර්ජන පිටුපස ඍජු දේශපාලන න්‍යාය පත්‍ර පැවතීමයි.

උදාහරණයක් වශයෙන් පසුගියදා සිදු වුණු ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ වැඩවර්ජනය විදේශ ආයෝජන (චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට විරුද්ධ වීම හා හම්බන්තොට වරාය තෙල් ටැංකි සංකීර්ණය ආණ්ඩුව ගන්නා ලෙස බල කිරීම) හා ඍජුව සම්බන්ධයි. ඔවුන් මේ වැඩවර්ජනය මගින් දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ ඛනිජ තෙල් සංවර්ධන ක්ෂේත්‍රයට විදේශ ආයෝජන අනවශ්‍ය බවයි. ඒ වගේම හම්බන්තොට ඉඩම් චීන සමාගම්වලට පැවරීම සම්බන්ධයෙන් පසුගියදා හම්බන්තොට වරාය සේවකයන් කළ වැඩවර්ජනය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට ගෙන ඇති සැලසුම්වලට එරෙහිව දිගින් දිගටම සිදුවන වර්ජන තර්ජන මගින් සිදුවන්නේ විදේශ ආයෝජකයන් හමුවේ රටේ නම කැත කිරීමම පමණයි.

විදේශ ආයෝජන සම්බන්ධයෙන් රට තුළින්ම මේ ආකාරයේ දැවැන්ත විරෝධයක් වර්ධනය වන පසුබිමක විදේශ ආයෝජන තුළින්ම පමණක් සංවර්ධනය කළ හැකි රටකට එක අඟලක් හෝ ඉදිරියට යා හැකිදැයි අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුයි.

සංවර්ධන න්‍යාය පත්‍ර හකුලා ගැනීමට සිදුවීම

මේ වැඩවර්ජන හමුවේ සිදුවන තවත් ඍණාත්මක තත්ත්වයක් වශයෙන් ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට බාධාකාරී වීම සැලකිය හැකියි. මීට පෙරද සඳහන් කළ පරිදි ඉතාම පහළ ඉතුරුම් ප්‍රතිශතයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන සම්පාදනයේ ප්‍රමුඛයා විය යුත්තේ විදේශ ආයෝජනයි. එහෙත් වත්මන් ගෝලීය ප්‍රවණතා හමුවේ 1980 දශකයේ මෙන් ‘විදේශ ආයෝජකයන් ආයෝජනය කළ හැකි රටවල් සොයා යන තත්ත්වයක් නොව ආයෝජකයන් සොයා රටවල්වලට ලෝකය වටේ යාමට සිදුවන තත්ත්වයක් ’ උදාවෙලා තිබෙනවා. ලෝකයේ දැවැන්තම ආයෝජකයෙක් වන අමෙරිකා එක්සත් ජනපදය පවා තමන්ගේ විදේශ ආයෝජන යළි මවුරටට කැඳවන තත්ත්වයක් තුළ ලංකාව වාගේ නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ, නිරන්තරයෙන් වැඩවර්ජන සිදුවන රටකට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අභියෝගයක්.

මේ සඳහා වන නූතන උපාය වන්නේ කලාපීය හෝ ද්විපාර්ශ්වික ගිවිසුම් මගින් ආයෝජන හා වෙළෙඳ පොළ අවස්ථා පුළුල් කර ගැනීමයි. යහපාලන ආණ්ඩුව ඉන්දියාව සමඟ‘ඉට්කා’ ගිවිසුම අත්සන් කිරීමට දැවැන්ත අරගලයක් කරන්නේ මේ නිසයි. එමගින් දැවැන්ත ඉන්දීය වෙළෙඳපොළ හා අතිශයින් කුඩා ශ්‍රී ලංකා වෙළෙඳපොළ එකම ඒකකයක් බවට පත් වෙනවා. කෝටි 02 කට ආසන්න ශ්‍රී ලංකාවේ පටු වෙළෙඳපොළ වෙනුවට කෝටි 120ක් පමණ වන දැවැන්ත ඉන්දීයත් ලංකාවට එන විදේශ ආයෝජකයන්ට විවෘත වෙනවා.

ඒත් ‘තලියේ කිඹුලන් දකින’ පටු හා අවස්ථාවාදී බලවේග වැඩවර්ජන තර්ජන කරමින් මේ ගිවිසුමට බාධා කරමින් සිටිනවා. ඒ අනුව සිද්ධ වෙන්නේ අදාළ ගිවිසුම අත්සන් කිරීම කල්යාම. ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් අඩාලවීම හෝ කල්යාම. මෙය හම්බන්තොට වරාය නගර සංවර්ධනයේ සිට චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය දක්වාත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමේ සිට මාලඹේ සයිටම් ආයතනය දක්වාත් අදාළයි.

මේ සියල්ලට එරෙහිව වර්ජන තර්ජන කිරීම මගින් සිදුවන්නේ ආණ්ඩුවේ සියලු සංවර්ධන ප්‍රවේශයන් පමණක් නොවෙයි සමස්ත පොදුජන ජීවිතයම අඩාල කිරීමයි. මෙය ආර්ථික ඝාතනයේ අලුත්ම ප්‍රකාශනයක් ලෙස හැඳින්විය යුත්තේ මේ නිසයි. ඒ නිසා දැන් ප්‍රශ්නය වන්නේ මේ ආර්ථික ඝාතකයන්ට කොතරම් කල් නිදැල්ලේ සිටීමට ඉඩ දෙනවාද ? යන්නයි.

භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *