හැත්තෑ හතේ දෙවන ඉනිම – සී. ජේ. අමරතුංග

 එක්දහස් නවසිය හැත්තෑ හත යනු මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයකි. එම වසරේ ජූලි 21 දා පැවති මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය මේ රටේ දේශපාලන හා ආර්ථික පරිවර්තනයක් සිදුකළ බව අවිවාදිතය. එකල එම පරිවර්තනයට විවිධ විරෝධතා පැවැති බව ද අමතක කළ නොහැකිය. කෙසේ වෙතත් එම පරිවර්තනයේ වැදගත්කම පෙනී යන්නේ වසර හතළිහක් ගතවන විට ආපසු හැරී බැලීමේදීය. එම වසර හතළිහ ගෙවී යන මොහොතේ මේ රටේ අගමැති ධුරය දරන්නේ එම පෙරළිය මොහොතේ පාර්ලිමේන්තුවට පැමිණ අපරාජිතව වසර හතළිහක් සේවය කරන රනිල් වික්‍රමසිංහ මහතා වීම ද විශේෂත්වයකි.

නවසිය හැත්තෑ හත යනු ශ්‍රී ලංකාවේ වාමාංශික මතවාදය ශක්තිමත්ව තුබූ වකවානුවකි. එකල ජනප්‍රිය දේශපාලන ක්‍රමයක් වූයේ ‘සමාජවාදය’ යි. එය සියලුදෙනාට සමානත්වය සලසන ක්‍රමයක් බව කියැවිණි. එවැනි සමාජයක පොහොසතුන් හා දුප්පතුන් නැත. සියලු දෙනා සමානයෝ වෙති. එවැනි සමාජ ක්‍රම ලොව රාජ්‍යයන්ගෙන් තුනෙන් එකක ගොඩනඟා තිබිණි. වාමාංශිකයන් විශ්වාස කළේ ඉදිරි කාලයේ ලෝකයම සමාජවාදී වන බවකි. මෙම ක්‍රමය පවත්වාගෙන යා නොහැකි බව ඒ වන විට තේරුම්ගෙන සිටියේ සුළු පිරිසකි.

එකල ජනප්‍රිය සටන් පාඨයක් වූයේ ජනසතු කිරීමයි. එනම් ව්‍යාපාරිකයන් (ධනපතියන්) සතු දේපළ රජයට පවරා ගැනීමයි. රජය මඟින් සියලු ව්‍යාපාර හා නිෂ්පාදන ක්‍රියාත්මක කිරීමයි. ඒවා පෞද්ගලික අංශයට දීම ගැන කීවේ ධනපති ක්‍රියාවක් වශයෙනි. ප්‍රතිගාමී ක්‍රියාවක් වශයෙනි. නොකළ යුත්තක් වශයෙනි. සියල්ල රජයට කළ හැකි බව විශ්වාස කෙරුණි.

එකල පිඟන් නිෂ්පාදනය කළේ රජයයි. ටයර් සිමෙන්ති, උදලු, උළු, රෙදිපිළි ආදී බොහෝ දේ නිෂ්පාදනය කළේ රජයෙනි. මත්පැන් නිෂ්පාදනයට ද රාජ්‍ය සංස්ථාවක් තිබිණි. එපමණක් නොවේ මරදානේ බුහාරි ‍හෝටලය ද රජයට පවරාගනු ලැබීය. එයට ඇතැමුන් කීවේ බුරියානි සංස්ථාව කියාය. මේ සියල්ල රජයෙන් කළ යුත්තේ මන්ද කියා එදා ප්‍රශ්න කළේ සුළු පිරිසකි. ආධිපත්‍යධාරී මතවාදය වී තිබුණේ සියලු දේ රජයෙන්ම කිරීම අවශ්‍ය බවයි.

විදේශීය භාණ්ඩ ගෙන්වීම සීමාකොට තිබුණේ දේශීය වෙළෙඳපොළ දේශීය නිෂ්පාදනවලට සීමා කිරීමටය. ටයර් සංස්ථාවට වෙළෙඳපොළ සකසා දුන්නේ විදේශීය ටයර් සඳහා සියයට තුන්සියයක බදු පනවමිනි. එහි තේරුම නම් දේශීය ටයර් නිෂ්පාදනය සිදුවූයේ ඉතාම අකාර්යක්ෂමව බවයි. අධික වියදම, නාස්තිය, දූෂණය ඉහ වහා ගොස් තිබිණි. සේවක අතිරික්තයක් ද විය. රජය සතුව තුබූ සියලු ව්‍යාපාරවල අඩු වැඩි වශයෙන් පැවැතියේ එබඳුම තත්ත්වයකි.

වාමාංශිකයන් සිතා සිටියේ මෙබඳු ක්‍රමයකින් මහජනයාට සෙත සැලසිය හැකි බවයි. එසේ වුවද ඇත්ත වශයෙන්ම සිදුවූයේ රාජ්‍ය ආයතනවල නාස්තිය, දූෂණය හා අකාර්යක්ෂමතාවයට ජනතාවට ගෙවන්න සිදුවීමය. භාණ්ඩ මිල වශයෙන් මෙන්ම බදු වශයෙන් ද එම ගෙවීම කළේ මහජනතාවයි.

අාර්ථිකයේ විලංගු ගැලවීම

මෙබඳු ආර්ථික ක්‍රමයක් දිගටම පවත්වාගෙන යා නොහැකි බව ජේ. ආර්. ජයවර්ධන නැමැති පරිණත දේශපාලනඥයා දැන සිටියේය. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රොනී ද මෙල් හා රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් ඔහු සමඟ සිටියේය. එම රජය තීන්දු කළේ මෙම ක්‍රමය කනපිට හරවන්නටය. විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාවට නඟන්නේ එම ඉදිරි දැක්ම අනුවය. එය පෙරළිකාර තීන්දුවක් වීය.

මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට නම් අප කළ යුත්තේ දේශීය වෙළෙඳපොළට භාණ්ඩ නිෂ්පාදනය නොව ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීම බව හැත්තෑ හතේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ රජයේ ආර්ථික දර්ශනය විය. නිදහස් වෙළෙඳ කලාප ඇතිකරන්නේ එම දර්ශනය අනුවය. එහි ප්‍රධාන ප්‍රතිඵලය නම් ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයයි. එය අද අප රටට විදේශ ආදායම් ගෙන දෙන ප්‍රධාන මාර්ගයකි. එමෙන්ම ලක්ෂ ගණන් ජනතාවගේ ජීවන මාර්ගයක් ද වී ඇත්තේ මෙම කර්මාන්තයයි.

ටයර් සංස්ථාව, වානේ සංස්ථාව, සිමෙන්ති සංස්ථාව විකුණන විට එදා කීවේ ද ජාතික සම්පත් විකුණන බවයි. එසේ වුවද එම කර්මාන්ත පෞද්ගලික අංශයට දීමෙන් අද ලෝක වෙළෙඳපොළට නිෂ්පාදන යවන තත්ත්වයට කර්මාන්ත සංවර්ධනය කිරීමට හැකි වී ඇත. අකාර්යක්ෂම නිෂ්පාදන ආයතන වැසී ගිය බව ඇත්තකි. ඒ වෙනුවට වඩාත් කාර්යක්ෂම හා උසස් තත්ත්වයේ භාණ්ඩ නිපදවන කර්මාන්තශාලා සිය දහස් ගණනක් බිහිවී ඇත. ලෝකයේ හොඳම ගුවන් යානා ටයර් නිපදවීමේ කීර්ති නාමය ද මේ වන විට අප රටට හිමි වී ඇත. එසේ වුවද අපේ ඇතැම් දේශපාලනඥයන් මේ කිසිවක් සොයා නොබලා කටට ආවාට කියන්නේ අපේ රටේ ඇල්පෙනෙත්තක්වත් නිපදවන්නේ නැති බවය. ඒ ඔවුන්ගේ දැනුමේ තරමය. බංකොලොත් බවයි.

විරුද්ධවාදීනුත් අනුගත වූ වෙනස

හැත්තෑ හතේ පෙරළියේ සැබෑ ජයග්‍රහණය පෙනෙන්නේ දැන් ය. එදා එම පෙරළිකාර ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ වූ බොහෝ දෙනා දැන් එය පිළිගෙන හමාරය. කිසිවකු දැන් හැත්තෑ හතට පෙර තිබූ සංවෘත්ත ආර්ථික ප්‍රතිපත්තියට ආපසු යාමට කතා නොකරති. දේශපාලනය හා ආර්ථිකය ගැන දැනුවත් උදවිය දැන් කියන්නේ විවෘත ආර්ථික ක්‍රමයට විකල්ප ක්‍රමයක් නැති බවයි. විවේචන තිබෙන්නේ මෙම ක්‍රමය ක්‍රියාවට නැඟීම පිළිබඳවය.

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීම ද හැත්තෑ හතේ රජය ප්‍රමාද නොකර ඉටු කළේය. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළේ එහි ප්‍රධාන පියවර වශයෙනි. රජරට ජල ප්‍රශ්නයට විසඳුම් දී දෙකන්න වගා කිරීමට හැකි වූයේ එහි ප්‍රතිඵල වශයෙනි. සහලින් රට ස්වයංපෝෂිත තත්ත්වයට ළඟාවීමට අපට හැකි වී තිබෙන්නේ මහවැලි සංවර්ධන ක්‍රමය හේතුවෙනි. මේවා අද කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේ වුවද එකල මෙම ව්‍යාපාරයට විරුද්ධ වූවෝ සිටියහ. මහා ජලාශ නිසා පරිසර හානිවන බව, නායයාම් වැඩිවන බව කියමින් ඔවුහු විරෝධතා නැඟූහ. එසේ වුවද එම විරෝධතා නොතකා ක්‍රියා නොකළේ නම් අපේ රට තවමත් ආර්ථික වශයෙන් වළ පල්ලේය.

විධායක ජනපති ක්‍රමය

මේ මහා සංවර්ධනයේදී නගර පිටින් යටවීය. දසදහස් ගණන් ජනයා වෙනත් ස්ථානවල පදිංචි කරන්නට සිදුවීය. පැරණි තෙල්දෙණිය නගරය යටවූයේ පන්සල්, පල්ලි, කෝවිල් ද සමඟය. කොත්මලේ ප්‍රදේශයෙන් ද ජනයා ඉවත් කරනු ලැබීය. එම ජනයා එදා එම කටයුතුවලට එතරම් වි‍රෝධය නොදැක්වූයේ සංවර්ධනයේ අවශ්‍යතාව දැන සිටි නිසා විය හැකිය. එමෙන්ම එම ජනයා උසිගන්වන්නට පටු අරමුණින් ක්‍රියාකරන විපක්ෂයක් ද නොතිබීම තවත් හේතුවක් ලෙස සිතිය හැකිය.

ජේ. ආර්. ජයවර්ධන පාලනයේ වඩාත් විවාදාත්මක ක්‍රියාව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමයි. එය අතිශය බලගතු එකකි. ජේ. ආර්. ම කීවේ ‘ගැහැනියෙකු පිරිමියකු කිරීමත්, පිරිමියකු ගැහැනියකු කිරීමත් හැර අන් සෑම දෙයම කළ හැකි ක්‍රමයක්’ වශයෙනි. කෙසේ වෙතත් ජයවර්ධන මහතා කීවේ රට සංවර්ධනය සඳහා බලගතු විධායකයක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මෙම බලගතු විධායකයේ අනිටු ප්‍රතිඵල පසුගිය කාලයේ අපට දකින්නට ලැබිණි. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේය. සුදු වෑන් භීෂණය, මාධ්‍යවේදීන් මරා දැමීම, අතුරුදන් කිරීම, රතුපස්වල ඝාතනය, නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු ඝාතනය, වැලිකඩ සිරකරු ඝාතනය සහ වෙනත් අපකීර්තිමත් ක්‍රියා රැසක් සිදුවූයේ බලගතු විධායකය හේතුවෙනි.

මෙලෙස විධායකය අත්තනෝමතික වීම ජේ. ආර්. ජයවර්ධන මහතාගේ හැත්තෑ අටේ ව්‍යවස්ථාවේම ප්‍රතිඵලයක් යැයි කීම ද සත්‍ය තත්ත්වයම නොවේ. එම ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබාගැනීමේ අවස්ථාව කිසිදු පක්ෂයකට නොමැති තත්ත්වයක් තිබිණි. එය යම් පමණකට තුලනයක් ලෙස ක්‍රියාත්මක විය. පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුකිරීමට ඉඩ නොතිබිණි. කෙසේ වෙතත් පසුකලෙක ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවකින් සියල්ල කනපිට හැරිණි. ඇමැතිකම්, උප ඇමැතිකම් දෙමින් විපක්ෂයේ උදවිය ආණ්ඩුවට ගැනීමට ජනාධිපතිවරයාට ඉඩ ලැබුණේ එම නඩු තීන්දුවෙනි. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රයෝජන ගත්තේ එම තීන්දුවෙනි. තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් හදා ගන්නටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ අටවන සංශෝධනය මඟින් සුපිරි බලයක් ලබාගන්නටත් රාජපක්ෂ මහතාට ඉඩ ලැබුණේ එලෙසය. එය හැත්තෑ අටේ ව්‍යවස්ථාව බිඳගෙන යෑමක් ලෙස සැලකිය හැකිය.

අනෙක් අතට හැත්තෑ අටේ ව්‍යවස්ථාව මඟින් රටට හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන ද අමතක කළ යුතු නැත. මානව හිමිකම් පිළිබඳව පළමුවරට සඳහන් වන්නේ මෙම ව්‍යවස්ථාවෙනි. එය දැන් බොහෝ දෙනා භාවිතයට ගන්නා අයිතියක් වී තිබේ. එමෙන්ම සමානුපාතික ඡන්ද ක්‍රමය ද වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මේ වන විටත් විවේචනයට ලක්ව ඇත්තේ සමානුපාතික ක්‍රමය සමඟ ගැට ගැසුණු මනාප ඡන්ද ක්‍රමයයි. සියලු පක්ෂ දැන් කතා කරන්නේ සමානුපාතික ක්‍රමයේ යහපත් අංග රැකගෙන වඩා දියුණු ක්‍රමයක් කරා ගමන් කිරීමටයි.

පසුගාමින්ගේ විරෝධතා

නවසිය හැත්තෑ හතේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය මෙබඳු බරපතළ හා කල් පවත්නා ප්‍රතිසංස්කරණ සිදුකළේ බොහෝ විරෝධතා මධ්‍යයේ බව අමතක කළ නොහැකිය. එසේ වුවද ඒ සියල්ල කළ යුතුව තිබූ බව පෙනී යන්නේ වසර හතළිහකට පසුව ආපසු හැරී බැලීමේදීය. මෙම කරුණ වැදගත් වන්නේ අද ද මෙරටෙහි ආර්ථික, දේශපාලන පරිවර්තනයක් සිදුවෙමින් පැවතීමත්, එයට ද එදා මෙන්ම විරෝධතා පැන නැඟී තිබීමත් නිසාය. එදා කළ දේ නිවැරැදි බව විවේචකයන්ට තේරෙන්න දශක ගණනාවක් ගියා මෙන්ම අද කරන දේ වටිනාකම වැටහෙන්නටද තවත් වසර ගණනාවක් කල් ගතවන්නට ඉඩ ඇත.

මේ මොහොතේ ද අප සිටින්නේ නවසිය හැත්තෑ හතේ ආණ්ඩුව කළ ආකාරයේම ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නඟමිනි. එදා විවෘත ආර්ථිකය අප රටට හඳුන්වා දුන්නා මෙන්ම දැන් කරන්නට තිබෙන්නේ ලෝක ආර්ථික ක්‍රියාවලිය හා බද්ද වීම සඳහා වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමය. ගෝලීය අගය දාම ක්‍රියාවලිය ලෙස හැඳින්වෙන නිෂ්පාදන ක්‍රියාවලියට අප රටට ඇතුළු විය හැකිවන්නේ එබඳු ක්‍රියාමාර්ග මඟිනි. එහිදී ඉන්දියාව හා චීනය සමග වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යය. ඇතැම් අන්තවාදී බලවේග උත්සාහ දරමින් සිටින්නේ මේවා කඩාකප්පල් කරන්නටය.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, ශ්‍රී ලන්කන් එයාර් ආදිය සඳහා නව ක්‍රමවේද ක්‍රියාවට නඟමින් සිටින්නේ රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහාය. මෙම ක්‍රියාමාර්ගවල සම්පූර්ණ ප්‍රතිලාභ දැකීමට වසර ගණනාවක් ගතවීමට ඉඩ ඇත. ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැනගැනීමේ පනත ඇතුළු බොහෝ දේශපාලන ප්‍රතිසංස්කරණ මේ වන විටත් ක්‍රියාත්මකය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ අභියෝගය ඉතිරිව ඇත. එයට ද විරෝධතා මතුව ඇත.

රජයට තිබෙන අභියෝගය වන්නේ විරෝධතා මැඬගෙන මෙම ප්‍රතිසංස්කරණ, සියල්ල නොපමාව ක්‍රියාවට නැඟීමයි. රටේ ආණ්ඩුවක් තිබෙන බව රූපවාහිනී බලන අපට පවා තේරෙන්නේ එවිටය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *