නූල් සූත්තර අනුව නැටවෙන ඊනියා රූකඩ විරෝධතා – භාතිය බරුකන්ද

ඛණිජ තෙල් සංස්ථා සේවකයෝ යළි දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නියැලී සිටිනවා. සුපුරුදු පරිදි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකිය හැකියි. රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීමට ද බොහෝ විට ඉඩ තිබෙනවා. වැඩවර්ජනය තුළින් ඔවුන් අපේක්ෂා කරන්නේ ද එම තත්ත්වය නිසා ඒ ගැන පුදුම විය යුතු ද නැහැ.
එහෙත් අප රටක්, සමාජයක් හා පුද්ගලයෙක් ලෙස කනගාටු විය යුතු, වඩාත් ගැඹුරින් හෘද සාක්ෂියට එකඟව කල්පනා කළ යුතු තත්ත්වයක් මේ හරහා යළිත් නිර්මාණය වී තිබෙනවා. ඒ මේ වැඩවර්ජන කරන්නේ කවුරුන් පිනවන්නද ? යන්නයි. ඒ හරහා රටට, සමාජය ලැබෙන වටිනාකම කුමක්ද ? යන්නයි.
අවුල යහපාලනයේ නොවේ
ලංකාවේ අති බහුතරයක් රාජ්‍ය සේවකයින්ට වැඩවර්ජනය නම් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ අවසන් අවිය අත්තනෝමතික ආකාරයෙන් භාවිත කිරීමට පහසු අවස්ථාවක් යහපාලන ආණ්ඩුව විසින් බිහි කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළින් නිර්මාණය වී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඛණිජ තෙල් සංස්ථා සේවකයින් ඇතුළු බොහෝ කණ්ඩායම් පසුගිය කාලය තුළ අඛණ්ඩව මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළ හිතූමතේ ක‍්‍රීඩා කරන ආකාරයක් ද අපට නිරතුරුව දැක ගැනීමට අවස්ථාව ලැබුණා. අද (2‍්‍ර* ඛනිජ තෙල් සංස්ථා සේවකයින් සමග හරි හරියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වැඩවර්ජනයක් දියත් කොට ඇත්තේ මේ නිසායි.
යහපාලන අවකාශය තුළ අපට මේ අත්තනෝමතික හා අවස්ථාවාදී අවභාවිතය සම්බන්ධයෙන් මැසිවිලි නැගීම හැර ඊට එරෙහි වීමට සදාචාරාත්මක අවකාශයක් නැහැ. ඊට හේතුව වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීම මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය යළි බිහි කිරීමේ තීරණාත්මක කොන්දේසියක් වූ නිසයි.
මේ තත්ත්වය වඩාත් පැහැදිලි කරන්නේ නම් සුදු වෑන්වලට බිය නොවී හෝ රාජ්‍ය අනුග‍්‍රහය හෝ ආශිර්වාදය ලබන මැර කල්ලලිවලින් පහර කෑමේ අවදානමක් නොමැතිව වැඩවර්ජනය කිරීමට, හමුදාවේ හෝ පොලීස්යේ උණ්ඩවලට බිලි නොවී ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කිරීමට ජනතාවට, වෘත්තිකයින්ට හා බලපෑම් කණ්ඩායම්වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා නිදහස් පරිසරයක් නිර්මාණය කිරීම යහපාලනයේ පොරොන්දුවක් මෙන්ම හරයාත්මක භාවිතයක් ද වුණා. එනිසා දැං යහපාලන ආණ්ඩුව හමුවේ පවතින්නේ ‘කන්න දුන්න අත හපා කනවා’ යැයි කියමින් යළි පහරදීමේ රාජ්‍යයේ සුපුරුදු පිළිවෙතට යාම හෝ ස්ව කැමැත්තෙන් ලබා දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය යළි හකුලා ලන තැනකට යාම නොවෙයි මෙම අවස්ථාවාදීන් හා ඔවුන්ගේ වුවමනා එපාකම්, සැඟවුණු න්‍යාය පත‍්‍රයන් සමාජය හමුවේ හෙළිකිරීමයි. එය යහපාලන ආණ්ඩුවේ සේම යහපාලනය සඳහා ඡුන්දය භාවිත කළ සියලූ පාර්ශ්වයන්ගේ වගකීමෙන් ඔබ්බට ගිය වගවීමක් වශයෙන් ද සැලකිය හැකියි.
චින්තනයේ අවුල
අප මේ තත්ත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවුලක් වශයෙන් අර්ථකථනය කර ගන්නවාට වඩා ශ‍්‍රී ලාංකික චින්තනයේ අවුලක් වශයෙන් අර්ථකථනය කර ගැනීම වඩාත් යථාර්ථවාදීයි. එය එසේ වන්නේ මෙවැනි දැවැන්ත වැඩවර්ජන හා විරෝධතා හරහා සමාජයට හිමිකර දුන් ශේෂ පත‍්‍රයක් ද අප හමුවේ පවතින නිසයි.
මේ සාකච්ඡුාව සඳහා ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ගේ වැඩවර්ජනය ම ආදර්ශය කොට ගත හැකියි. ඔවුන් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම වැඩවර්ජනයන්ට යොමු වූයේ වත්මන් වැඩවර්ජනයේ ම ඉල්ලීම් මුල්කර ගනිමිනුයි. අපට මතක ආකාරයට පසුගිය අවස්ථාවේදී ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගේ ඉල්ලීම්වලට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධනාත්මකව ප‍්‍රතිචාර දක්වා තිබුණා. ගෙවී ගිය කෙටි කාලය තුළ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ගත් පියවර ගැන සාමාන්‍ය පුරවැසියන් ලෙස අපට වැටහීමක් නැහැ. ඒත් ඇත්තටම සිදු වුණේ, සිදුවන්නේ කුමක්ද කියලා මේ වෘත්තීීය සමිති දන්නවා. ඒත් මහා වැඩවර්ජනයට යාමට පෙර ඔවුන් ජනතාවට පසුගිය කාලය තුළ තම ඉල්ලීම් සම්බන්ධයෙන් අත්කරගත් ප‍්‍රගතිය හෝ ඒ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් ගත් ක‍්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කළේ නැහැ.
මෙවැනි තත්ත්වයක් තුළ අපට පහසුවෙන් හා තාර්කිකව එළඹිය හැකි නිගමනය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය හා ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගේ වැඩවර්ජනය එකම න්‍යාය පත‍්‍රයකට අනුව මෙහෙය වෙන බවයි. නැතිනම් එකම අතකින් නැටවෙන ?කඩ බවයි.
වගකියන්නේ ස්වාමියාට පමණයි
මේ තත්ත්වය පැහැදිලිව සත්‍යයක් බව අපට පේනවා. අද රාජ්‍ය අංශයේ ඇතැම් අමාත්‍යාංශ සහ සංස්ථා කිහිපයක පහළම සේවකයාගේ සිට ඉහළම විධායක නිලධාරියා දක්වා සුවිශේෂ වරප‍්‍රසාද රැුසක් සමග අතිෂයින් සුරක්ෂිත රැුකියාවකට හිමිකම් කියනවා. උදාහරණයක් විදිහට අපට නිතර නිතර වර්ජන තර්ජන කරන ඛණ්ජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය හා වරාය අධිකාරිය දැක්විය හැකියි. මේ සියලූම අර්ධ රාජ්‍ය ආයතවල රැුකියාවලින් සියයට සියයක්ම ඉතිහාසය පුරාම පුරවනු ලැබුවේ දේශපාලන අතේවාසිකයින්ගෙන්. කොටින්ම අදාළ අමාත්‍යාංශය භාර ඇමැතිවරයාගේ රැුකියා බැංකුවක් බවටයි මේවා පත් වුණේ. ඒ නිසා මේ ආයතනවල සේවකයින්ගේ රැුකියාව සම්බන්ධයෙන් පවතින්නේ අතිශය පටු අදහසක්. ඔවුන්ට ඒවා රාජකාරී ස්ථාන නොවෙයි පක්ෂ කාර්යාල. තමන්ගේ සේවය ලබාදිය යුත්තේ ජනතාවට නොවෙයි අදාළ ඇමැතිවරයාටයි.
අද යහපාලන ආණ්ඩුවට මේ බොහොමයක් රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා අධිකාරී නිසි පරිදි හසුරවා ගැනීමට නොහැකි වී ඇත්තේ මේ චින්තනමය අවුල නිසයි. මේවායේ අති බහුතරයක් පසුගිය ආණ්ඩුවේ දේශපාලන පත්වීම්කරුවන් නිසා ඔවුන් තව දුරටත් සේවය කරන්නේ තමන්ගේ ස්වාමියාට මිස ආණ්ඩුවට නොවන බව අප වටහා ගත යුතුයි.
හිටපු පාලකයින්ට ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයම ?කඩයක් සේ හිතූ මනාපෙට නැටවීමට පහසු අවස්ථාවක් උදාවී ඇත්තේ මේ නිසයි. ක‍්‍රමයෙන් වර්ධනය වන දේශපාලන ප‍්‍රවණතා සමග මේ ?කඩ නැටවීම චිත‍්‍රපටක්ම දක්වා ප‍්‍රසාරණය වන බව අපගේ අදහසයි.
නයාට අඳු කොළ
ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගේ වැඩවර්ජනයේ ප‍්‍රධාන ඉල්ලීම්වල සාටෝපකාරී වචන ඉවත් කළහොත් මතුවන පැහැදිලි අදහස වන්නේ ‘පුද්ගලීකරණය එපා, ආණ්ඩුවට ගන්න’ යන්නයි.
පුද්ගලීකරණය ලංකාවේ රාජ්‍ය සේවකයින්ට ‘නයාට අඳුකොළ’ වාගේ අදහසක්. දශක කිහිපයක් පුරා හෝද හෝදා මඬේ දාන සුලභ භාවිතයක්. ලංකාවේ බොහෝ දෙනකු තුළ දැවැන්ත චින්තනමය අවුලක් වගේම දැඩි ආත්මාර්ථකාමීත්වයක් පවතින බව අපට වැටහෙන්නේ මෙවැනි තත්ත්වයන් විග‍්‍රහ කිරීමට යාමේදීයි.
ලංකාවේ ලක්ෂ 15කට ආසන්න රාජ්‍ය සේවයේ පවතින චින්තනමය අවුල ගැන පසුගිය දා ප‍්‍රකට බ්ලෝග්කරුවකු ලියා තිබුණේ ‘ලංකාවේ රාජ්‍ය සේවය තුළ සිටින අති බහුතරයක් මනසින් වාමාංශිකයින් වන අතර ක‍්‍රියාකාරීත්වය තුළින් අන්ත දක්ෂිණාංශිකයින්’ වන බවයිි. රටේ රාජ්‍ය සම්පත් දැවැන්ත ලෙස අවභාවිත කරමින් මෙම පිරිස තමන්ගෙන් ඉටුවිය යුතු අවම සේවය හෝ යළි ජනතාවට ලබා නොදෙන අතිෂය පසුගාමී සමාජ කණ්ඩායමක් බවයි. රාජ්‍ය සේවකයින් විශේෂයෙනුත් ඇතැම් බලපෑම් කණ්ඩායම් සුවිශේෂ හේතු මතත් පුද්ගලීකරණයට විරුද්ධ වන්නේ ඇයි ? අපිට මේ මානසිකත්වය පහසුවෙන් හඳුනාගත හැකියි.
රාජ්‍ය සේවකයින් පුද්ගලීකරණය සම්බන්ධයෙන් මාරාන්තික විරෝධයක් දක්වන්නේ පොදු හෝ සමස්ත වුවමනාවක් පදනම් කරගෙන නොවෙයි. අතිෂයින්ම පටු පුද්ගලික වුවමනාවක් පදනම් කරගෙන. ඒ ‘රැුකියා සුරක්ෂිතභාවය’යි.
පුද්ගලික අංශයට සාපේක්ෂව වැටුප් අඩුයැයි සලකමින් හෝ රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවල රැුකියාවන් පිණිස මේ රටේ බහුතරයක් යොමුවන ප‍්‍රධාන කාරණය වන්නේ රැුකියා සුරක්ෂිතභාවය සහ පුද්ගලික අංශයට නොලැබෙන විවිධ රාජ්‍ය සහනාධාර හා වරප‍්‍රසාද නිසයි. උදාහරණයක් විදිහට සැලකුවහොත් රාජ්‍ය සේවකයින්ට නිවාස තැනීමේදී හෝ ඉඩම් මිලදී ගැනීමේදී සියයට 04ක පොලියට රාජ්‍ය බැංකුවලින් සුවිශේෂ ණයක් ලබාගත හැකියි. මෙය කිසිදු පුද්ගලික අංශයේ සේවකයෙකුට හිමිවන්නේ නැහැ. මේ තත්ත්වය තවත් පැහැදිලි කළ හැකි උදාහරණයක් තිබෙනවා. පසුගිය මැයි මාසයේ ගංවතුරෙන් හානියට පත් රාජ්‍ය සේවකයින්ට (අර්ධ රාජ්‍ය නැත* තම වැටුප මෙන් මාස හයක පොලී රහිත ණය මුදලක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගිය දා අනුමත කර තිබෙනවා. මෙම ලියුම්කරු දන්න කියන ගංවතුරින් විපතට පත් වූ සියලූම රාජ්‍ය සේවකයින් මේ ණය මේ වන විට ලබාගනිමින් සිටිනවා. මෙවැනි සහන කිසිවක් පුද්ගලික අංශයට නැහැ.
ඒ වගේම තමයි රැුකියා සුරක්ෂිතභාවය. අලාභ නම් පුද්ගලික අංශය කරන්නේ ආයතන වසා දැමීම හෝ අලාභය පියවා ගැනීම සඳහා කළමනාකරණ තීන්දු ගැනීම. එය සේවකයින් ඉවත් කිරීම, වරප‍්‍රසාද කප්පාදුවේ සිට ආයතනය වසා දැමීම දක්වා ගමන් කළ හැකියි. ‘අලාභ නොහැක’ යන්න පුද්ගලික අංශයේ ස්වර්ණමය වැකියක්.
ඒත් රාජ්‍ය අංශයේ තිබෙන්නේ මෙහි විලෝමය. කොපමණ පාඩු ලැබුවත් කිසිදු වරප‍්‍රසාද කප්පාදුවක්, සේවකයින් ඉවත් කිරීමක් නැහැ. ආයතන වසාදැමීමක් නැහැ. ඒවා රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කරමින් හෝ නඩත්තු කළ යුතුයි. මේ තත්ත්වය සුවිශේෂ වන්නේ රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා අධිකාරී වැනි රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන්. අපි දකින්නේ දේශපාලන පත්වීම්වලින්ම පිරීගිය මේ ආයතන දැවැන්ත ලෙස පාඩු ලබමින් තිබියදී පවා දිගින් දිගටම මහජන මුදල් යොදා ගනිමින් පවත්වා ගෙන යන බවයි.
අද දැවැන්ත වැඩවර්ජනයක් කරමින් සිටින ඛණිජ තෙල් සංස්ථාව මේ සඳහා හොඳම උදාහරණයක්. එය පසුගිය කාලය පුරා අඛණ්ඩව පාඩු ලබමින් සිටිනවා. මහා භාණ්ඩාගාරය හිස් කරමින් සිටිනවා. මේ ආයතන පාඩු ලබන්නේ අහේතුකව නොවෙයි. මේවා පූර්ණ වශයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්න තැන්. මීට ඉහත සඳහන් කළ ආකාරයට දේශපාලන පක්ෂ කාර්යාල, දේශපාලනඥයින්ගේ රැුකියා බැංකු වැනි තැන්. සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ට වඩා දැවැන්ත වැටුප් සහ වරප‍්‍රසාද භූක්ති විඳින තැන්. ඒත් අකාර්යක්ෂමතාව, ¥ෂණය හා අවපාලනය රජයන තැන්.
දිගින් දිගටම පාඩු ලබමින්, අකාර්යක්ෂමව පවත්වා ගෙන යන මේ ආයතන විධිමත් කළමනකාරණයකට ලක් නොකළහොත් සිදුවන්නේ මේ ආයතන සමග මුළු රාජ්‍යම බිඳ වැටීම. මහින්ද රාජපක්ෂ මහතා විසින් පටු දේශපාලන අවශ්‍යතා මත යළි රජයට පවරා ගත් ශ‍්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම මේ සඳහා දැක්විය හැකි වඩාත්ම හොඳ උදාහරණයයි. කිසිදාක ගුවන් යානයක නොගිය පුරවැසියාගේ පමණක් නොවෙයි හත්මුතු පරම්පරාවෙම ගුවන් යානයක නොගිය පුරවැසියා දක්වා වර්තමානයේ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් ණය ගෙවනවා. විදුලි බලය, ඛණිජ තෙලූත් මීට නොදෙවෙනියි. ඒත් මේවා කිසිදු ආකාරයකින් ප‍්‍රතිව්‍යුහගත කිරීමට හො ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුවට ඉඩක් නැහැ. ඒ සඳහා මාරාන්තික විරෝධයක් දක්වනවා.
මේ මාරාන්තික විරෝධයේ සහ ඊනියා ජනතාවගේ දේපොළ වල නාමකරණය නිසා අද මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම ගෙවමින් සිටින වන්දිය ගණනය කළ නොහැකි තරම්.
කළ යුතු දේ
‘දොං නම් දොං, සිමන් නම් සිමන්, දොනුයි සිමනුයි දෙකක් බැහැ’ කියලා කතාවක් ගමේගොඬේ ජනතාව අතර තිබෙනවා. අද ඛණ්ජ තෙල් සංස්ථා සේවකයිනුත් හෙට තවත් කවුරු හරිත් මේ දොනුයි සිමනුයි දෙන්නම වෙන්න තැත් කරයි. ඒ කියන්නේ ආණ්ඩුව හරහා සියලූම සුභසාධන හා පොදු පහසුකම් (රුපියල් 350ට පොහොර, වී මිලට ගැනීම, හොඳ පාසල්, හොඳ රෝහල්, හොඳ මාර්ග, හොඳ ආරක්ෂාව ආදි…* ඉල්ලයි. ඒ අතරේ ඉහළ වැටුප් හා වරප‍්‍රසාදත් ඉල්ලයි. ඒත් රාජ්‍ය සම්පත් කාර්යක්ෂම කිරීම, අවභාවිතය හා ¥ෂණය වැළැක්වීමට එරෙහි වෙයි. සමස්ත රටේ ආර්ථිකයම පරදුවට තබා හෝ තමන්ගේ රජයේ රැුකියාව සුරක්ෂිත කරන මෙන් ඉල්ලයි.
අපි සමාජයක් ලෙස පොදුවේ හෙළිකළ යුත්තේ මෙන්න මේ ඊනියා තත්ත්වයයි. අවස්ථාවාදයි. ‘පුද්ගලීකරණය එපා’’ කියන විටම ‘මගේ රැුකියාව සුරක්ෂත කරවු’ කියන ආත්මාර්ථකාමී වචනත් තමන්ගේ ස්වාමියාගේ අවස්ථාවාදී න්‍යය පත‍්‍රයත් එළියට එන බව අපි වටහා ගත යුතුයි. ජනතාවගේ් නාමයෙන් එහෙත් ජනතාව ඇපයට තබා පටු වුවමනා එපාකම් වෙනුවෙන් සිදුකරන සියලූම අවස්ථාවාදී වැඩවර්ජන හා උද්ඝෝෂණ ජනතාව විසින් තීරණත්මකව පරාජය කළ යුත්තේ මේ නිසයි.
කබරයා තලගොයා වූ හැටි
අද පුද්ගලීකරණය එපා යැයි මොර දෙන කණ්ඩායම්, පුද්ගලීකරණය නයාට අඳුකොළ වැනි කණ්ඩායම් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම පුද්ගලීකරණය කිරීම සමග ජනතාවට සන්නිවේදන සේවා විශ්මය ජනක ලෙස පුළුල් හා කාර්යක්ෂම වූ ආකාරය, පුද්ගලික බැංකු රා රක්ෂණ සමාගම් සමග එම ක්ෂේත‍්‍රය පුළුල් වූ ආකාරය ගැනත් අවංකව විමසා බැලිය යුතුයි. එදත් මේ ආයතන පුද්ගලීකරණය කිරීමේදී, මෙම ක්ෂේත‍්‍රවලට පුද්ගලික අංශයට පැමිණීමට අවස්ථාව ලබාදීමේදී අද ආකාරයෙන්ම දැවැන්ත විරෝධතා ඇති වුණා. ඒත් අද මෙම අංශ ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයට සේම ජනතාවට ද මහත් ජවයක් ලබා දෙනවා.
අද ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයින් මාරාන්තිකව විරෝධය පාන්නේ පුද්ගලීකරණය බිල්ලෙක් කරමිනුයි. ඒත් ඉන්දියානු තෙල් සමාගම ( අයි. ඕ.සී* ලංකාවට පැමිණ තමන්ගේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට පෙර ඛණිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් පැවැති අකාර්යක්ෂම හා දුර්වර්ණ තත්ත්වය ජනතාවට පහසුවෙන් අමතක කළ නොහැකියි. ලංකාවේ ඉන්ධන පිරවුම් හල් නවීකරණය වුණේ, කාර්යක්ෂම වුණේ අයි. ඕ.සී ආගමනයක් එක්ක.
ඒ වගේම තමයි දඹුල්ලේ කණ්ඩලම හෝටලයටත් මේ වාගේම මරාගෙන මැරෙන විරෝධයක් තිබුණා. පරිසරය, බෞද්ධ සංස්කෘතිය එමගින් වැනසෙන බවට චෝදනා තිබුණා. ඒත් අද ඒ සියල්ල බොරු බවත් ඒවා අවස්ථාවාදී වුවමනා එපාකම් වෙනුවෙන් දියත් වූ දේශපාලන ව්‍යාපෘති බවත් මනාව තහවුරු වෙලා තිබෙනවා.
ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ දේශපාලන නූල් සූත්තර අනුව නැටවෙන ඊනියා රූකඩ විරෝධතාකරුවන්ට ආණ්ඩුවේ න්‍යාය පත‍්‍ර බිඳ දැමීමට අවකාශය නොදිය යුතු බවයි. ඒ සඳහා යහපාලනයට ඡුන්දය භාවිත කළ සියලූ පාර්ශ්ව කොන්දේසි විරහිතව එක්විය යුතු බවයි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *