රාජපක්ෂ ආණ්ඩුව කිව්වා උමා ඔයට දකුණට හැරෙන් කියලා ඒකෙන් සිදුවෙච්ච ව්‍යසනයේ තරම කියන්න බැහැ – සමන්ත විද්‍යාරත්න

ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම සංවිධානය කළ, 24 වනදා මහවැලි කේන්ද්‍රයේ දී පැවති, උමා ඔය ව්‍යාපෘතිය හා අනාගත ඉරණම සම්මන්ත‍්‍රණයේ දී, උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න කළ කතාව.
මේ වන විට උමාඔය ව්‍යාපෘතිය නිසා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක ගම්මාන අවදානමකට ලක්වෙලා. නිවාස හත්දහස් පන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් විනාශයට පත්වෙලා. දිය උල්පත් සහ දිය කඳුරු හාරසිය පනහකට ආසන්න ප‍්‍රමාණයක් සිඳී ගිහිල්ලා. අක්කර දහස් ගණනක ගොවිබිම් පුරන්වෙලා. ආණ්ඩුවට බරක් නොවී කෘෂිකර්මාන්තයෙන් ජීවත්වූ ජනතාවගේ ආදායම් මාර්ග අහිමිවෙලා. ආණ්ඩුවෙන් දෙන වන්දි එක කොටසකට හිමිවෙලා තිබුණත් තවත් කොටසකට වන්දි ලැබී නැහැ.
භූ විද්‍යාඥයන් පවසන්නේ, මධ්‍ය කඳුකරයේ භූ ගර්භය භූ කෞතුකාගාරයක් විදිහටයි. ඒ තරමටම භූ විෂමතාවයන් විශාල ප‍්‍රමාණයක් මධ්‍යම කඳුකරයේ භූ ගර්භයේ තිබෙනවා. එනිසා එවැනි පරිසරයක භූ අභ්‍යන්තරයේ ඉදිකිරීම් කරන විට ඉතාම පරිස්සම් විය යුතුයි. නමුත් මේ රටේ පාලකයන් ඒවා මායිම් කළේ නැහැ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ ජනතාව ආණ්ඩුවට බරක් වුණේ නැහැ. කෘෂිකර්මාන්තයෙන් ජීවත් වුණු ඒ ජනතාව අද ජල හි‘ගන්නන් බවට පත්වෙලා. සංවර්ධනයේ නාමයෙන් ආපු ව්‍යාපෘතියක් නිසා ජනතාව අනාථභාවයට පත්වෙලා. බණ්ඩාරවෙල නගරය බරපතළ හානියකට පත්වෙලා. ඇතැම් ප‍්‍රදේශවල නිවාස හානියට පත්නොවුණට ඔවුන්ගේ ඉඩමේ තිබුණු ළිඳ හිඳී ගිහිල්ලා. මේ වන විට පවුල් දහදාහකට ආසන්න ප‍්‍රමාණයක් ජල හි‘ගයෙන් පෙළෙනවා. බවුසර් 40ක් පමණ වතුර අරගෙන පිස්සු බල්ලො වගේ දුවනවා. ආණ්ඩුව කියන විදිහට දිනකට ජල ලීටර් ලක්ෂ හතරහමාරයි දෙන්නේ. නමුත් ජල අවශ්‍යතාවය ලීටර් ලක්ෂ පනහක් පමණ වෙනවා. ඒ ජනතාවට දවස් දහයකට දොළහකට පමණ වතුර ලීටර් පන්සියයක් දෙනවා. නාගන්න විදිහක් නැහැ. අනෙකුත් එදිනෙදා කටයුතු කරගන්න බැරුව ජීවත්වෙන්නේ කොහොමද? මෛතී‍්‍රට මහින්දට එහෙම ජල හිගයක් නැති නිසා ඔවුන්ට මේක තේරෙන්නේ නැහැ. මූලික අයිතියක් වෙච්ච ජලය නැතිව මිනිස්සු ජීවත්වෙන් කොහොමද? වැල්ලවායට, තණමල්විලට වතුර දෙන්න හදපු ව්‍යාපෘතියක් නිසා අද උමාඔය අවට ජනතාවට වතුර ගෙනත් දෙන්න වෙලා.
මධ්‍යම කඳුකරයට ප‍්‍රශ්නයක් නම් ඒක මුළු රටටම ප‍්‍රශ්නයක්. මොකද මුළු රටටම ජල විදුලිය ලැබුණේ මධ්‍යම කඳුකරයෙන් ලැබුණු ගංගා ජලය නිසයි. මධ්‍යම කඳුකරය කියන්නේ රටේ හදවත වගේ. අද බණ්ඩාරවෙල ගොවිජනතාව පමණක් නොවෙයි කම්කරුවන්, මේසන් බාස්වරුන්, වඩුවන්, කුඩා තේවතු හිමියන් පමණක් නොවෙයි, මහා පරිමාණ වතුහිමියන් පවා ආදායමක් නැතිව අර්බුදයකට ගිහිල්ලා. විශාල වතු යායවල් අභාවයට යමින් තිබෙනවා. බණ්ඩාවෙල නගරය කියන්නේ බදුල්ල දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන කේන්ද්‍රයයි. දරුවන් තිස්පන්දාහක් විතර ඉගෙන ගන්නවා. ප‍්‍රධාන පාසල්වල ගොඩනැගිලි පුපුරලා. විද්‍යාගාර දෙපලූවෙලා. අපේ රටට  ගුරුවරුන් බිහිකරන බිඳුනුවැව විද්‍යා පීඨයේ ගුරු සිසුන්ගේ නේවාසිකාගාරවලට වතුර නැහැ. ගොවිපළවල් විනාශ වෙලා.
අපිට තේරුම් ගන්න බැහැ භූ ගර්භය ඇතුළේ වෙන්නේ මොනවද කියලා. භූ ගර්භයට වෙන හානි කවුද මනින්නේ? අනාගතයේ මුහුණ දෙන්න වෙන ඉරණම ගැන කියන්න බැහැ. මේ ආණ්ඩුවට කිව්වට තේරුම් ගන්නේ නැහැ. උමා ඔයට පාර කිව්වේ එක්සත් ජාතික පක්ෂයවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයවත් වෙනත් දේශපාලන පක්ෂයක්වත් නොවෙයි. උමාඔයට පාර කිව්වේ ස්වභාව ධර්මයයි. රාජපක්ෂ ආණ්ඩුව කිව්වා උමාඔයට දකුණට හැරෙන්න කියලා. දැන් ඒකෙන් සිදුවෙච්ච ව්‍යසනයේ දිග-පළළ කියන්න බැහැ. නැගෙනහිර බෑවුම කැබලි වෙලා. පොළොව අභ්‍යන්තරය කැබලිවෙලා ගිහින්. මනුෂ්‍ය ශරීරයේ අවයව වෙන්වුණොත් එකතු කරන්න පුළුවන්. නමුත් මහපොළව කැබලි වුණාට පස්සේ නැවත සකස් කරන්න පුළුවන් ශල්‍යාගාරයක් තියෙනවා ද? පහුගිය කාලයේ විමර්ශනයකින් හෙළිවුණා බදුල්ල දිස්ති‍්‍රක්කය 66.9%ක්ම නාය යෑමේ අවදානමක තියෙනවා. නාය යෑමට ස්වභාවික හේතු වගේම මානව කි‍්‍රයාකාරකම් බලපානවා. ස්වභාවික හේතු අපිට වළක්වන්න බැහැ. මානව කි‍්‍රයාකාරකම් වෙනුවට ඒකට රජයේ කි‍්‍රයාකාරකම් කියලා වෙනස් කරන්න  ඕනෑ. අද නැගෙනහිර බෑවුමේ නාය යෑමේ අවදානම වැඩිවෙලා.
2015 මාර්තු 20 අපි මෛතී‍්‍රපාල ජනාධිපතිතුමා හමුවුණා. එතුමා අපිට කිව්වේ විනාඩි පහෙන් ප‍්‍රශ්නය කියන්න කියලා. නමුත් අපි අරගල කරලා අපේ ප‍්‍රශ්නය කියන්න උත්සාහ කළා. ඒ වෙලාවේ මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කිව්වා උමා ඔය කියන්නේ දේශපාලන තක්කඩිකමක් කියලා. පරිසර වාර්තා වැරදියි කිව්වා. ඒ නිසා මේක තාවකාලික නවත්තලා විමර්ශනය කරනවා කියලා කිව්ව. නමුත් ඒ කියපු දේවල් වුණේ නැහැ. ව්‍යාපෘතිය දිගටම කරගෙන ගියා. මහින්ද රාජපක්ෂගේ කාලයේ ඉදිකිරීම් කරල තිබුණේ 16%යි. මුදල් වැයකරලා තිබුණා 42%ක්. නමුත් මෛතී‍්‍ර-රනිල් යහපාලනය යටතේ තමයි ඉදිකිරීම් කටයුතු කළේ. එතකොට මෛතී‍්‍ර-රනිල් හවුල් ආණ්ඩුව මේ විනාශයට වගකිව යුතු නැද්ද? මේ රටේ පාලකයන් මේ විනාශයේ දිග-පළල දකින්නේ නැහැ. ඒ ගැන තැකීමක් නැහැ. ප‍්‍රශ්නය උග‍්‍ර වුණහම ජනතාවට ලොසින්ජර් බෙදනවා වගේ සහන දෙන්න හදනවා. බොන්න වතුර නැහැ කිව්වහම නළ ළිං ගහලා වතුර දෙන්න හදනව. භූ ගර්භයේ තිබෙන ජලය ටික ඇද්දාම ඊට පස්සේ වෙන්නේ විශාල හානියක්.
දැන් අපේ රටේ ආපදා වේගවත් වෙලා. පරිසරය වැරදි විදිහට භාවිතා කරලා ආපදාවන්ට අත වනනවා. ගං වතුරෙන් වෙන විනාශයෙන, නිය‘ගයෙන්, නාය යෑම්වලින්, මුහුදු ඛාදනයෙන්, ඩෙංගු විනාශයෙන්, වකුගඩු රෝග පැතිරීමෙන් මැන ගන්න පුළුවන් පරිසරය වැරදි විදිහට භාවිතා කිරීමේ ප‍්‍රතිඵල මොනවාද කියලා. අපි පරිසරයට අතවර කළා; අභියෝග කළා. ඒවායේ ප‍්‍රතිවිපාක දැන් අපිට විඳින්න වෙලා. අපේ රටට සංවර්ධනය අවශ්‍යයි. නමුත් එය කළ යුත්තේ පරිසරය විනාශ කරලා නොවෙයි.  කියමනක් තිබෙනවා පරිසරයට එල්ල කරන එක කුළුගෙඩි පහරක් වෙනුවෙන් අපිට කුළුගෙඩි පාරවල් සීයකට මුහුණ දෙන්න වෙනවා කියලා. නමුත් දැන් අපි කුළුගෙඩි පහරවල් දහස් ගණනකට ලක්වෙලා ඉවරයි.
මෙම අවස්ථාවට සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත, මහාචාර්ය පී. ලියනආරච්චි යන මහත්වරුන් දේශකයින් ලෙස සහභාගි වූ අතර, පරිසරවේදී සජීව චාමිකර, උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ ලේකම්, පරිසරවේදී අතුල පි‍්‍රයන්ත මහතා භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි මහතා, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ති‍්‍රක් සභාපති, ගණකාධිකාරී, සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු විද්වත්හු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *