ඒකාබද්ධයේ සිහිනය සැබෑ වෙන්නේ නෑ – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

 

ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ අය කොතෙක් දැඟලුවත් මේ ආණ්ඩුව 2020 වර්ෂය දක්වාම ඉදිරියට යනවා. ඒක වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබාගන්න ඕනෑ යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය. බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ ඉකුත්දා (23) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතා අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ කීය.

අද ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ අය දකින හීනයක් තියෙනවා. මේ පවතින ජාතික ආණ්ඩුව පෙරළලා වෙනමම ආණ්ඩුවක් හැදීම තමයි ඒ හීනය. ඒක ඒ අය දකින හීනයක්ම විතරයි. යනුවෙන් ද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කෙළේය.

ජනාධිපති මෛත්‍රීපාල හරිනම් අපිට පයින් ගහලා එලවන්න ඕනි. එතුමා එහෙම ක‍ළේ නෑ. මහින්ද මෛත්‍රීට පක්ෂය බාරදුන්නා. පක්ෂය කියන විධියට අපි ඉන්නවා. හෙට පක්ෂය තීන්දුවක් ගත්තොත් අපි ආණ්ඩුවෙන් එළියට යනවා යැයි ද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මම මගේ ජනතාවගෙන් ආණ්ඩුවට යන්නද කියලා ඇහුවා. ජනතාව කියපු නිසයි මම ගියේ. මම ගිය නිසා හොඳ ඇමැතිකමක් ඇරගෙන අද බදුල්ලේ ජනතාවට වැඩ කරනවා. අපි නොගියානම් අද තත්ත්වය කොහොමද?

අද අපේ පක්ෂයේ බෙදීමක් තියෙන බව ඇත්ත. නමුත් ආණ්ඩුවේ ඉන්න අපි ඉවත් වුණා කියලා ආණ්ඩු පිහිටුවන්න බෑ. අපි ආණ්ඩුවෙන් ඉවත් වුණොත් එක්සත් ජාතික පක්ෂය ටී. එන්. ඒ. පක්ෂය තවත් පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටුවයි.

පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ බලයක් ඒකටත් ඕනි. අපි කැමති වුණත් නැතත් 2020 දක්වා මේ ආණ්ඩුව තියෙනවා. අපි දැනගන්න ඕනි එතන ඉඳගෙන අපේ ජනතාවට වැඩ කරන්න.

අතීතයේදීත් විජය, චන්ද්‍රිකා අපේ පක්ෂය කඩාගෙන ගියා. නමුත් ටික කාලයකින් නැවත ඇවිත් තමයි චන්ද්‍රිකා ජනාධිපතිනිය වුණේ. ඒක නිසා පක්ෂය කඩාගෙන යන අයට ආයෙ මේ පක්ෂයට එන්න වෙනවාම තමයි.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙසේ කීය.

අද බලවේග දෙකකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගත යුතුයි. බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් පක්ෂය ශ්‍රී ලංකා කිය කියා වෙනත් පක්ෂ හදනවා. බැසිල්ලට නඩු පමා කරගන්න පිටරට යන්න, වෙනත් අවශ්‍යතා නිසා එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් ගහගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩනවා. මේ පිරිසගෙන් අපේ පක්ෂය බේරාගත යුතුයි.

ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා,

පසුගිය ජනවාරි අට වැනිදා තිබුණ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල නැතුව වෙන කවුරු දැම්මත් දිනන තත්ත්වයකයි තිබුණේ. ඒ තත්ත්වයට හිටපු අය ගෙනත් තිබුණා.

බදුල්ලෙන් පැරදුන අපේ පක්ෂය අපි බදුල්ලෙන්ම නැවත ගොඩ ගන්නවා යැයි ප්‍රධාන අමාත්‍යවරයා කීය.

ඌව පළාත් සමූහ – ප්‍රසන්න බණ්ඩාර – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *