අසීමාන්තික බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයේ අවසානය කරා ….

1978 ව්‍යවස්ථාව නිර්මාණය කල ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධූරයක් හදුන්වා දෙන ලදී. VII වන පරිච්ඡේදයේ 30 (¡) වන වගන්තිය විධායකයේ ,ආණ්ඩුවේ ,සන්නද්ධ සේවා වල නායකයා ලෙස දක්වා ඇත. රටක සියලු බලතල තනි පුද්ගලයකු වටා ඒකරාශී වීම ඉතාම භයානක තත්ත්වයකි.එසේම අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු කිරීමට ඇති නොහැකියාව (357) නිසා එය අතිශය භයානකය.මෙම සුපිරි බලය රටක ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයකි.

1978 ව්‍යවස්ථාව ආරම්භ වූදා සිටම එහි ඇති අඩුපාඩු පෙන්වා දෙමින් එය වෙනස් කළයුතුය යන්න බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා . පසුගිය දශක හතරක පමණ කාලයක සිට පැවති ජනාධිපතිවරණ හා මැතිවරණ සියල්ලකදීම පාහේ විශේෂ අවධානය යොමු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ ඇතිකිරීම සම්බන්ධවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු වුණා .
72 සහ 78 ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී සිදුවුණේ පැවති ආණ්ඩුක්‍රම උවමනා ආකාරයෙන් ව්‍යවස්ථා නිර්මාණය කරගැනීමයි.78 ව්‍යවස්ථාව සම්පාදනයේදී දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන බවට එවක ආණ්ඩුව පොරොන්දු වූවත් එය නියමාකාරයෙන් සිදුවී නොමැත .1994 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ කාලයේ සුදු නෙලුම් ව්‍යාපාරය ,තවලම වැනි වැඩසටහන් මගින් ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට කටයුතු සිදුකලත් ඒවා අසාර්ථක වී ඇත. ව්‍යවස්ථා සංශෝධනය සමග බලය බෙදීමට වැඩිදෙනාගේ ආවධානය යොමු වුවත් එම කාලයේ පැවති දේශපාලන වාතාවරණය නිසා ඒවා මගහැරී ගොස් ඇත.
2001 වසරේදී සිදුකරන ලද 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුවීමක් නොවිය .පසුව 18 වන සංශෝධනයේදී විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමට තිබූ වාර දෙකක සීමාව ඉවත් කරන ලදී. මේ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විවිධවූ පැලැස්තර යොදමින් තමන්සතු බලය තරකර ගැනීමට පාලකයෝ උත්සහ දැරීය. ඒකාධිපති ෆැසිස්ට් විධායක ජනාධිපති ධූරය ඉවත් කල යුතුමය යන අදහස් ජනතාව අතරින් පැන නගින්නට විය.18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තම ධූරයේ බලය තරකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් ජනාධිපතිවරයා වීමේ සිහිනය මුදුන්පමුණවා ගැනීමට සිය ධූර කාලය අවසන් වීමට වසර දෙකකට පෙර නැවත ජනාධිපතිවරණයක් කැදවීය.එලෙස රටක අනාගතය තීරණය කිරිමේ අසීමාන්තික බලයක් විධායක ජනාධිපති ධූරය සතුය. තමන්ගේ ජනප්‍රිය භාවය අඩුවීමට මත්තෙන් නැවත ජනාධිපතිවරණයක් පවත්වා තෙවන වරටත් ජනාධිපති වීම’ ජනතා පරමාධිපත්‍යයට කරන නිග්‍රහයකි . ලෝකයේ ජනාධිපති ක්‍රමය පවතින රටවල එක් පුද්ගලයෙකුට ජනාධිපති ධූරය දැරීය හැක්කේ දෙවතාවක් පමණි. එය කාලානුරූපීව යහපත් ප්‍රවනතාවකි. ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට වඩාත් යෝග්‍ය වන්නේ පාර්ලිමේන්තු ක්‍රමයකි.එයට හේතුව විවිධ ජනවාර්ගික ,ආගමික ,සංස්කෘතික පදනම මත සියල්ලන්ටම ආණ්ඩුකරණයට දායක වීමේ අවස්ථාව පාර්ලිමේන්තු ක්‍රමයෙන් ලැබෙන නිසාය.

2015 ජනාධිපතිවරණයේදී තෙවන වතාවටත් ජනාධිපතිවරයා වීමේ සිහිනය බොද වී යන්නේ ජනතාව විසින් එම ධුරය කොතරම් ප්‍රතික්ෂේප කරනවාද යන්න සාක්ශාත් කරමිනි. නමුත් ඒ අවස්තාවේ ජනතාවට තිබුණේ එක් විකල්පයකි.මන්දයත් පොදු අපේක්ෂකයා දේශපාලන කරලියට පැමිනෙන්නේ “විධායක ජනාධිපති ධූරය අහෝසි කරමි” යන සටන්පාඨය පෙරටු කරගෙන නිසාය. ලක්ෂ හැට දෙකක් ජනතාව ඡන්දය ලබාදෙන්නේ එම පොරොන්දුව ඉටු කිරීම සදහාය. ඒ බව පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙසේ සදහන් වේ.

”මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහය ලබාගැනීමටමාහට හැකිය. එමෙන්ම, එම සංශෝධනය සිදුකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය මා සමඟ ගිවිසුම් ගත වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ 1994 සිටම මේ පිළිබඳව අප පක්ෂය සමඟ එකඟවී ඇත. ජාතික හෙළ උරුමය ද මීට සහය දක්වනබවට ගිවිසුමකින් මා සමඟ එකඟ වී ඇත. එම නිසා සෙසු පක්ෂ සමඟ ද සාකච්ඡුා කර දින සියයක් ඇතුළත මෙම සංශෝධනය අනිවාර්යයයෙන්ම සිදු කරන්නෙමි. විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සඳහා මා විසින් පසුබිම් කරගනු ලබන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ප‍්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් ඇති කරගෙන තිබෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ එකඟතා හා පුජ්‍ය අතුරලියේ රතන හිමි ප‍්‍රමුඛ පිවිතුරු හෙටක් ජාතික සභාව විසින් සම්පාදනය කර ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් ඉදිරිපත් කර ඇති ජනාධිපති-අගමැති ව්‍යවස්ථාමය සන්ධානයක් පිළිබඳ වූ යෝජනාය. තවද, එක්සත් ජාතික පක්ෂය විසින් එම යෝජනා සඳහා ඉදිරිපත් කර ඇති වෙනස්කම් ද සැලකිල්ලට ගනිමි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යූහය අනිවාර්යයෙන්ම දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් වනු ඇත. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව සලකනු ඇත. පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ දී අත නොතබන බවට මම සහතික වෙමි. එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු වන්නා වූ සංශෝධනයක් මිස ඊට හානිකර වන්නා වූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට ද මම සහතික වෙමි.”

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලහොත් රට අස්ථාවර වීමට ඉඩ ඇතිබව ඇතැම් අය ප්‍රකාශ කරති. නමුත් ලෝකයේ බොහෝමයක් රටවල ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රමවේදයකි. එනිසා බොරු බියක් මවාගතයුතු නැත. ජනතාවට වගකියන අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකින් පාලනය වන පාර්ලිමේන්තු ක්‍රමය ලංකාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ඇත.
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පමනක් අපිට සෑහීමකට පත්විය නොහැක . රටට අවශ්‍ය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. අසීමාන්තික බලතල නොමැති ජනාධිපති වරයෙකුගේ අවශ්‍යතාවයක් ඇත. එය ගරු තනතුරක් වූවාට කම් නැත.

ගයාන් රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *