රණවිරු දඩයමේ ඇත්ත කතාව – අනුර කේ එදිරිසූරිය

 

කිලිං ඉන් වෝ (Killing in war) නොහොත් යුද්ධයේදී සිදුවන මිනිස් ඝාතන නමින් ජෙෆ් මැක්හන් 2009 වසරේ කළ නිබන්ධයේදී උත්සාහ කළේ යුද්ධයකදී මිනිසුන් මරා දැමීම සාධාරණ යැයි අප බොහෝවිට කල්පනා කළද එය ඉතා බරපතළ වරදක් බව පෙන්වා දීමටය.

ජෙෆ් මැක්හන් අපට සිහිපත්වන්නට ආසන්නතම හේතුව වන්නේ කොමදෝරු ඩී. කේ. පී. දසනායක අත්අඩංගුවට ගැනීම මූලික කර ගනිමින් මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ මෙන්ම දේශපාලන වේදිකා මත ඇතිවී තිබෙන සංවාදයයි.

කොමදෝරු ඩී. කේ. පී. දසනායක අත්අඩංගුවට ගැනීමට හේතුව වන්නේ ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළුව එකළොස් දෙනකු පැහැරගෙන ගොස් ඔවුන්ගේ මවුපියන්ට සහ පවුලේ අයට කප්පම් ඉල්ලා තර්ජනය කරමින් රඳවා තබා ගැනීමෙන් අනතුරුව අතුරුදන් කිරීමේ සිද්ධියකි. ඒ සම්බන්ධයෙන් නාවික හමුදාවේ නිලධාරිහු හත්දෙනකු අත්අඩංගුවේ පසුවෙති.

අහිංසකයන් ත්‍රස්තයන් කිරීම

ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ ඉහත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගෙන යනු ලැබුණු ශිෂ්‍යයන් ඇතුළු පිරිස කොළඹ නගරය පුපුරුවන්නට බෝම්බ රැගෙන ආ පිරිසක් බවයි. එහෙත් අතුරුදන් පුද්ගලයන් 11 දෙනා පිළිබඳ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සී.අයි.ඩී.ය විසින් ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධද යන වග ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවලින් පොලිසියෙන්, ජාතික බුද්ධි අංශයෙන් කරන ලද විමසීමට නාවික හමුදාව හැර අන් සියලු බුද්ධි අංශ පිළිතුරු දී ඇත්තේ ඔවුන් කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ වූවන් නොවන බවය.

නාවික හමුදාව මෙතෙක් ඒ සම්බන්ධව වාර්තාවක් එවා නැති බවද පැවසේ. ඉන් පැහැදිලි වන සත්‍යය වන්නේ දැනට අත්අඩංගුවේ පසුවන නාවික හමුදා නිලධාරින් නිර්දෝෂී තැනැත්තන් පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති බවය. නාවික හමුදාවට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බලයක් ඇති නමුත් රඳවා තබා ගැනීමට නීතිමය බලයක් ඇත්තේ නැත. යම් තැනැත්තකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තේ නම් කළ යුත්තේ ඒ තැනැත්තා පොලිසියට බාර දීමයි.

නමුත් එවැන්නක් සිදුව ඇති බවක් පෙනෙන්නේ නැත. එකල පැවැති තත්ත්වය අනුව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පිළිබඳ තොරතුරු මානව හිමිකම් කොමිසමට හා රතුකුරුසයට දැන්විය යුතුව තිබුණද එවැන්නක්ද සිදුවී නැත. ඒ අනුව ගත් කළ දැනට අත්අඩංගුවට පත්වී සිටින නාවික හමුදා නිලධාරින් පැහැදිලි ලෙසම නීති විරෝධී කටයුත්තක නියැළී තිබේ.

කවර තත්ත්වයක් තුළ හෝ කවර නිලධාරියකුට හෝ නීතිය ඉක්මවා කටයුතු කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අවසර ඇත්තේ නැත. කිසිවකු හෝ එවැන්නක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා නිසි අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවක වගකීමයි. පුරවැසියාගේ යුතුකම වන්නේ ඒ සඳහා රාජ්‍යයට සහයෝගය දීමයි. එවැනි නීති විරෝධී කටයුතු අනතුරුදායක වන්නේ සාමාන්‍ය පුරවැසියාට මිස රාජ්‍යයට නොවන බැවිනි. පුද්ගලයන් පැහැරගෙන යෑම්, අතුරුදන් කිරීම් හෝ ඝාතනය කිරීම් නිදැල්ලේ සිදුවන්නේ නම් ඉන් බිඳ වැටෙන්නේ පුරවැසියාගේ ආරක්ෂාවයි. ඔවුන්ගේ මානව හිමිකම්ය.

ගෝඨාභයගේ අවසරයෙන් ඇරඹි පරීක්ෂණය

මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නන් උත්සාහ ගන්නේ ඉහත අත්අඩංගුවට ගැනීම් යහපාලන ආණ්ඩුවේ වුවමනාවට එසේත් නැතිනම් දෙමළ ඩයස්පෝරාවේ හෝ එල්ටීටීඊයේ අවශ්‍යතාවට සිදුවන්නක් බව හුවා දක්වන්නටය.

එසේ වුව පෙරකී අතුරුදන්වී‍ම් පිළිබඳ පරීක්ෂණ ඇරඹෙන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට වසර ගණනකට එපිටදීය. එනම් මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. එපමණක් නොවේ, එකී අතුරුදන් කිරීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙද්දි පොලිසිය එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී අවසර ඉල්ලා තිබේ. එහිදී ආරක්ෂක ලේකම්වරයා ඒ පිළිබඳ පරීක්ෂණ කර වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. මෑතකාලීන අත්අඩංගුවට ගැනීම් යනු එකී පරීක්ෂණ මාලාවේම දිගුවකි.

එසේ නම් ඒ කටයුත්තට මුලින්ම අනුමැතිය ලබාදී ඇත්තේ තමාගේ කණ්ඩායමේ තැනැත්තකුම බව මහින්ද, වීරවංශ, ගම්මන්පිල ආදීන් පිළිගත යුතුය. එසේම මෙකී අත්අඩංගුවට ගැනීම්, ඩයස්පෝරාවේ හෝ එල්ටීටීඊයේ අවශ්‍යතාවට සිදුවන බව ඔවුන් තවදුරටත් කියන්නේ නම් ඩයස්පෝරාවේ හෝ එල්ටීටීඊයේ අවශ්‍යතාව ඉටුකිරීමේ මුල්ගල තබා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසා තිබුණේ ඊළාම් සටනේදී සොල්දාදුවන් 28000ක් මියගොස් ඇති බවයි. ඔවුන් මිය ගියේ මිනිසුන් පැහැරගැනීමට හෝ අහිංසකයන් ඝාතනය කිරීම සඳහා කටයුතු කර නොවේ. යුද්ධය වෙනුවෙනි. කවර නිලයක් දැරුවද කවර පදක්කම් දැරුවද මානව විරෝධී ක්‍රියාවන්හි යෙදෙන්නා, විනය විරෝධීව කටයුතු කරන්නා සැබෑ සොල්දාදුවකු වන්නේ නැත. නිල ඇඳුම් දරා සිටියා වුව මිනිසුන් මරා දමන්නා මිනීමරුවෙකි. නිල ඇඳුම යනු මහජන ආරක්ෂාව සැලසීම පිණිස උපයෝගී කරගත යුත්තක් මිස මානව විරෝධී ක්‍රියා සඳහා ‍හෝ පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම පිණිස යොදවාගත යුත්තක් නොවේ.

අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම හමුදාව පාවාදීමක් නොවේ. හමුදාව පාවාදීමක් වන්නේ අපරාධකාරයන්ට ආරක්ෂාව සැපයීම, නිදැල්ලේ හැසිරීමට ඉඩ සැලසීම හෝ රැකවරණ සැලසීමයි.

එවැන්නන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ත සොල්දාදුවන්ගේම කීර්තිනාමයට කැළලක් සිදුවන බැවිනි. සොල්දාදුවන්ගේ කීර්තිනාමය ආත්මාභිමානය, ආත්ම ගෞරවය ආරක්ෂා කළ හැකිවන්නේ දූෂිතයන් සිටින්නේනම් ඔවුන් හෙළිදරව් කිරීමෙන් හා ඔවුනට නීතිය ඉදිරියේ නිසි දඬුවම් ලබාදීමෙනි. අනාගතයේ වෙනත් කිසිවකු අතින් දූෂණ හෝ අපරාධ හෝ සිදුවීම වළක්වාගත හැකි වන්නේද එමඟිනි.

යුද්ධයකදී මිනිසුන් මියයාම එකකි. මිනිසුන් මියයාම කවර ආකාරයකින්වත් ශිෂ්ටසම්පන්න සමාජයක අනුමත කළ නොහැකිය. අත්අඩංගුවට පත් වූ තැනැත්තකු අත්අඩංගුවේදී මියයාම අතුරුදන්වීම කෙසේවත් අනුමත කළහැකි වන්නේ නැත. යම් වරදකරුවකු හෝ සැකකරුවකු හෝ අත්අඩංගුවට ගැනුණේ නම් කළ යුතු වන්නේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කොට නීතියට නිරාවරණය කිරීමයි. දඬුවම් නියම කළ යුත්තේ සාධාරණ නඩු විභාගයකින් පසුව අධිකරණය විසිනි.

නමුත් පසුගිය සමයේ ක්‍රියාත්මක වූ අපරාධ මර්දන විධි ක්‍රමය වූයේ සුදු වෑන් යැවීමයි. මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල හෝ ඒ පිළිබඳ නොදැන සිටියා නොවේ. එකල න්‍යාය වූ‍ෙය් කවර තැනැත්තකුට වුව කොටි ලේබලය අලවා ඔහු හෝ ඇය අතුරුදන් කිරීම පැහැරගෙන යාම සාධාරණීකරණය කිරීමයි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ඊට එක් උදාහරණයක් පමණී. එකී අතුරුදන් කිරීමද එකල සාධාරණීකරණය කෙරුණේ කොටි ලේබලයට මුවාවීමෙනි.

නාවික හමුදාවේ නම ගෑවී තිබෙන පුද්ගලයන් 11 දෙනා අතුරුදන් වීමේ සිද්ධිය එකී තත්ත්වයේම මුහුකුරා යාමකි. සුදු වෑන් සංස්කෘතියෙන් ප්‍රයෝජන ලබමින් ඇතැමුන් කල දුටු කල වළ ඉහ ගැනීමට ගත් උත්සාහයක් ඉන් අනාවරණය වේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශ අනුව පෙනී යන්නේ ඔවුන් ඒ කටයුතු අනුමත කරන බවයි. එසේම එවැනි කටයුතුවලට අනාගතයේදීද ඉඩ පැවතිය යුතු බවද විශ්වාස කරන බවයි.

නීතිය වල්වැදුණු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හුදෙකලා වන තත්ත්වයක් පසුගිය සමයේ ඇතිව තිබුණේ ඔවුන්ගේ එවැනි ක්‍රියා හේතුවෙනි. ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීම හොඳම නිදර්ශනයකි. එහිදී එකල පාලකයන් අනුගමනය කළ පිළිවෙත වූයේ වරද නිවරැදි කිරීම නොවේ. පුහු අධිරාජ්‍ය විරෝධයක් මවාපාමීන් ජනතාව නොමග යැවීමයි.

කප්පම් සඳහා පැහැර ගැනීම

කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබූ බව කියැවෙන කස්තුරි ආරච්චිලාගේ ඇන්ටන්, කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ්, ත්‍යාගරාජා ජෙගන්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, නිලකේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් නිලාන්, මොහමඩ් සාජිත්, සුසෙයිපිල්ලේ අමලන් ලියොන්, සුසෙයි පිල්ලේ රොෂාන් ලියොන්, අලි අන්වර් යන අය අතුරින් අලි අන්වර් හෙවත් හාජ්ජියාර් නාවික හමුදාවේ සහ පොලිසියේ ඔත්තුකරුවෙකි. ඔහුගේ නම නාවික හමුදාවේ සහ පොලිසියේ වැටුප් ලබන්නන්ගේ ලේඛනයේද සඳහන්ව තිබූ බව පැවසේ. ඔහු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට හේතුව වශයෙන් සැකකෙරෙන්නේ ඔහුගෙන් තොරතුරු හෙළිවෙතැයි යන බියයි.

ඒ අනුව ගත් කළ ඔත්තුකරුවකුට වුව ඝාතන රැල්ලෙන් ගැලවී ගත හැකි නොවුණු බව පැහැදිලිය. ඔවුන් රඳවා සිටි බව කියන ත්‍රිකුණාමලය ගන්සයිඩ් සිර මැදිරියේ බිත්තිවල ඔවුන් ලියා ඇති ‘මගේ බුදු සමිඳුනේ’, ‘මගේ ජේසුනේ මා රැකගනු මැනවි’, ‘ජේසුනේ මරියනේ මම නොකළ වරදින් නිදහස් කරන ලෙස බැගෑපත්ව ඉල්ලමි.’ වැනි පාඨවලින් ඔවුන්ගේ නි‍ර්දෝෂී මනස හෙළි වේ. ඔවුන් තුවාල සහිතව කඳවුරේ සිටි බවට සාක්ෂිද තිබේ. එපමණක් නොව පොලිතීන්වල ඔතා මළසිරුරු මුහුදේ ගිල්වීම එකල සිදුවී ඇති බවද කියති.

සුදු වෑන් සංස්කෘතිය ආරක්ෂා කරන්නෝ

අතුරුදන් පිරිසට අයත් ශිෂ්‍යයන් දෙදෙනකුගේ මව්වරු රූපවාහිනිය ඔස්සේ කළ කෙටි අදහස් දැක්වීම වුව සිත් කම්පාකරවන සුළුය. ඒ අතර ඇතැමුන් දැනට අත්අඩංගුවට පත්ව සිටින නාවික හමුදා නිලධාරින්ගේ පවුල්වල අයගේ කඳුළු විකුණමින් ජනතාවගේ ආවේග ඇවිස්සීමට උත්සාහ කරමින් සිටිනු පෙනේ. එකී නිලධාරින්ගේ පවුල්වල අය සම්බන්ධයෙන් ගැටලුවක් නැති වුව ඔවුන්ගේ කඳුළු සේම අතුරුදන් වූවන්ගේ පවුල්වල අයගේ කඳුළුවලටද බරක් තිබිය යුතුය.

අත්අඩංගුවේ පසුවන නිලධාරින් ඉදිරිපිට පැහැදිලි නීතිමය ක්‍රියාදාමයක් පවතී. ඔවුන්ගේ පවුල්වල අයට ඔවුන් ජීවත්වන බව පැහැදිලිය. ඔවුන් නිවැරැදිනම් ඒ බව උසාවිය හමුවේ ඔප්පුකොට නිදහස් විය හැකිය. නමුත් අතුරුදන් වූ අයගේ පවුල්වලට ඒ සියල්ල අහිමිය. සුදුවෑන් සංස්කෘතිය පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් ජනතාව ආරක්ෂා විය යුත්තේ එහෙයිනි.

තරාතිරම කුමක් වුව කිසිවකුට විරුද්ධව චෝදනාවක් එල්ලවන්නේ නම් එය විභාග කිරීම අධිකරණයේ වගකීමයි. හමුදා නිලධාරියාටය. වෙනත් අයකුටය කියා එහි වෙනසක් තිබිය යුතු නැත. කවර තරාතිරමක අයකුට වුව අපරාධයට දඬුවම් කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක ලක්ෂණයක් බැවිනි. ජනතාව විරුද්ධ විය යුත්තේ එය එසේ සිදුනොවන විටය. එහෙත් විමල්ලාගේ උත්සාහය සාධාරණය ඉටුවීම වළක්වාලීමටය. එහි රහස ජනතාව වටහාගත යුතුය.

අනුර කේ එදිරිසූරිය 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *