රජයේ වෛද්‍ය සංගමය ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ – වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න – ලේකම්-ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 

පසුගිය සතියේ කොළඹ දී පැවැති ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙවැනි සංවත්සරය ජනතාවගේත් ජනමාධ්‍යවලත් දැඩි අවධානයට ලක් විය. ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු සෞඛ්‍ය ඇමැතිවරයාගේ බළල් අතක් බව ද ඇතැම්හු කීය. ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු කුමක්ද? එහි අරමුණු මොනවාද? සයිටම් ප්‍රශ්නය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැනි දේ සම්බන්ධව ඔවුන්ගේ අදහස කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා එම සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න ‘එහා ඉවුර‘ ට කැඳවීමු.

පසුගියදා කරලියට පැමිණි ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව බිහිවුණ එකක් කියලා කියනවා. ඇත්තටම මොකක්ද මේ සංගමය?

මේ සංගමය අද ඊයේ පටන් ගත්තු එකක් නෙමෙයි. දැනට අවුරුදු දෙකකට පමණ කලින් තමයි සංගමය ආරම්භ කළේ. එදා සංගමය බහුවිධ අංශයන් හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා තිබුණත්, අපිට අදාළව තිබුණ ගැටලු විසඳා ගැනීමට නොහැකි වූ නිසා තමයි අපි මේ විදිහට ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා ඉස්සරහට එන්නේ. මේක සමහරු දකිනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව පිහිටවපු එකක් කියලා. ඒ වගේම සංගමය දෙකඩ කළා කියලා කියනවා. එහෙම කියනවා නම් අවුරුදු දෙකකට කලින් මේ දෙකඩ වීම වෙලා තියෙනවා. ඒ විදිහට බැලුවොත් අපේ සංගමය තමයි ප්‍රබල සංගමය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ආයතනය සම්බන්ධයෙන් ප්‍රබල ජනමතයක් ගොඩනඟලා තියෙනවා. එහෙම තිබිය දී මේ මොහොතේ ඔබ සංගමය ඉස්සරහට එන ඇත්ත අරමුණ මොකක් ද?

අපේ ඇත්ත අරමුණ තමයි, අනෙක් වෘත්තීය සමිති වගේම ව්‍යවස්ථාව අනුව, අපේ සාමාජික සාමාජිකාවන්ගේ අභිවෘද්ධිය. විශේෂයෙන්ම ශ්‍රේණිගත වෛද්‍යවරුන්ට ගැටලු රැසක් තිබෙනවා. හැබැයි ඒ ගැටලුවලට හේතුව පවතින රජය නෙවෙයි. වෛද්‍ය සංගමයේ ඉහළ නිලවල ඉන්න පුද්ගලයන් තමයි මේ ගැටලුවලට වග කියන්න ඕන. අවුරුදු ගාණක් නායකත්වයේ ඉන්න ඔය කියන පුද්ගලයන්ගේ පුද්ගලික අරමුණ ඉටුකරගන්න වෛද්‍ය සංගමය පාවිච්චි කරනවා. අපේ ගැටලු ගැන කතා කළේ නෑ.

ඔබ කියන විදිහට වෛද්‍යවරුන්ගේ සංගමයේ වත්මන් නිලධාරීන් මේ ගැටලුවලට වගකිව යුතු ද?

ඔව්, අපිට වැටුප් විෂමතාවයේ ගැටලු තිබෙනවා. ඒ වගේම අපිට නීතිමය ගැටලුත් තියෙනවා. වෛද්‍ය ආඥා පනතක් තියෙනවා. ඔය කියන සංගමය ඒ පනත වරින් වර වෙනස් කරනවා. ඒකෙ ප්‍රතිඵලය තමයි වෛද්‍යවරයාට තියෙන අයිතිවාසිකම් හා වරප්‍රසාද එකිනෙක අහිමි වෙන එක. ඒක තමයි මේ අයගේ තියෙන ලොකුම ගැටලුව.

මේ සංගමය බිහිවීමත් සමග සංගම් දෙකේ සාමාජික දෙපිරිස අතර ගැටුමක් ඇති වීමේ අවදානමක් නැද්ද?

නැහැ. ඔය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැමදාම පෙනී හිටින කිහිප දෙනා හැරෙන්න අනෙක් කිසි කෙනෙක් එක්ක අපට ප්‍රශ්නයක් නැහැ. ඒ අය අපි කරන කාර්යභාරය ගැන හොඳට දන්නවා. නමුත් මේ අය භීෂණයක් මවලා තියෙන නිසා කවුරුත් එළියට එන්නේ නෑ. ඒ කියන්නේ කට ඇරියොත් ස්ථාන මාරුවක් දෙනවා. ළමයි පාසල්වලට දාගන්න නම් ඒ අයත් එක්ක ඉන්න ඕන. ස්ථාන මාරුවක් ගන්න ඕන නම් ඒ අයත් එක්ක ඉන්න ඕන. ඒ බලය ඔය සංගමය දිගටම තියාගෙන ආවා. ගිය ආණ්ඩුවෙත්, මේ ආණ්ඩුවෙත් ඒ වැඩේ කළා. හැබැයි දැන් ඒවා ඉවරයි. ඒ පහසුකම් දැන් ලැබෙන්නේ නෑ. එතකොට එතැන රැඳිල ඉන්න වෛද්‍යවරුන්ට අවශ්‍යතාවයක් නැහැ.

ඔබ සංගමයේ දෙවැනි සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා වුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා. එතුමා එතැනට ආපු එක ගැන බොහෝ පිරිසක් කතා කරන්නේ චෝදනා මුඛයෙන්. ඇයි එතුමා එතනට ආවේ?

එතුමාට අපි ආරාධනයක් කළා. ඒ ආරාධනයට අනුව තමයි එතුමා ඇවිත් කතා කළේ. හැබැයි ඔය සෞඛ්‍ය අමාත්‍යවරයා අපේ සංගමය ඉල්ලපු සාකච්ඡා එකක්වත් අවුරුදු දෙකක් යනකල් දුන්නේ නෑ. හරි නම් අපි මේ අයට චෝදනා කරන්න ඕන අපේ ප්‍රශ්න කතා කරන්න දුන්නෙ නැති එක ගැන. හැබැයි අමාත්‍යවරයා නැතිව වෘත්තීයවේදීන් නැතිව මේ ගැටලු විසඳන්න බෑ. වර්තමානයේ ඇතිවෙලා තියෙන අර්බුද නිරාකරණය කරගන්න අමාත්‍යවරයාට වෘත්තිකයන්ගේ සහයත් අවශ්‍යයි. අපේ ගැටලු විසඳගන්න අමාත්‍යවරයාගේ සහයත් අවශ්‍යයි. ඒ නිසා එතුමා සංගමයේ ප්‍රධාන ආරාධිතයා වීම කවුරුත් ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව අමාත්‍යවරයාත් එක්ක එකතුවෙලා ඔබගේ සංගමය කරලියට ආවා කියල තමයි ඔවුන් කියන්නේ?

මේ කාරණය මාධ්‍යයෙන් පෙන්නලා දුන්නේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔය කාරණය විකෘති කරපු නිසයි. ඒ අය කල්පනා කරන්නේ ඒ අය කියන දේ පමණක් පිළිගන්න පිරිසක් ඉන්න ඕන කියලා විතරයි. එහෙම ඒකාධිපති වෘත්තීය සමිති නායකයන් අවශ්‍ය නෑ. සෑම මතයකටම ඉඩ දෙන්නෙ ඕන. ඇමැතිවරයා අපේ සැසිවාරයේ දීම කියනවා අවුරුදු දෙකහමාරක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක කටයුතු කළා කියලා. එතකොට අද ඒ අය කියනවා අපි ඇමැතිවරයාගේ පැත්තෙ කියලා. නෑ, ඒ අය තමයි ඇමැතිවරයාගේ පැත්තෙ අවුරුදු දෙකහමාරක්ම හිටියේ.

කොහොම නමුත් සයිටම් වෛද්‍ය විද්‍යාලය දැන් රටේ සමාජ විරෝධයක් බවට පත් වෙලා තියෙන්නේ, ඔබ සංගමයට මේ ආයතනය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන් ද?

මේ තියෙන තත්ත්වයත් එක්ක අපිට ඒකට මුහුණ දෙන්න බැහැ. මේක පසුගිය රජය ආරම්භ කරත්දී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට මම කිව්වා, මේ වෙලාවේම මේ ප්‍රශ්නය විසඳගන්න නැත්නම් ලොකු අර්බුදයක් ඇති වෙනවා කියලා. හැබැයි ඒ වෙලාවේ කවුරුවත් ඒක ඇහුවේ නෑ. එදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිම දෙයක් කිව්වේ නෑ. සද්ද නැතිව හිටියා. ඒත් අපි සංගමයක් විදිහට ප්‍රතිපත්තියක් විදිහට සයිටම් එකට විරුද්ධයි. විරුද්ධ වෙන්නෙ ඇයි කියන එක හරියට පැහැදිලි කරන්න ඕන. ඔය කිසිම සංගමයක් ඒ කාරණා ගැන හරිහැටි කියන්නෙ නැහැ. සයිටම් ආයතනයේ ගැටලුව දැන් ලිහන්න බැරි තරම් අවුල් කරලා ඉවරයි.

ඔබ කියන්නේ සයිටම් ආයතනය අපේ රටට අවශ්‍ය නෑ කියල ද?

අපේ රටේ තියෙන යටිතල පහසුකම් අනුව ජනතාවගේ මානසිකත්වය හැදිල තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික කරන්න සුදුසු වාතාවරණයක් නෑ. එහි නරක පූර්වාදර්ශ අපි මීට කලින් අත්විදලා තියෙනවා. අසූ ගණන්වල ඔය වැඩේ කරන්න ගිහින් වෛද්‍ය ශිෂ්‍යයන් ජීවිතවලින් වන්දි ගෙව්වා. එදා තිබුණ ආණ්ඩුව තරුණ අසහන කමිටු දාලා මේ ගැටලුව තේරුම් ගත්තා. මෙතැන තියෙන ප්‍රශ්නය තමයි සයිටම් එක ගුණාත්මක නෑ කියන එක. හැබැයි විරෝධතා දක්වන අය සයිටම් ආයතනය කොයිතරම් ගුණාත්මක තත්ත්වයක තියන්න ඕනද කියලා කියන්නෙත් නෑ. ඔය සංගමයේ ඉන්නවා අඩු ලකුණුවලින් ආපු අය. එහෙම ඉන්න අය කියනවා සයිටම් එකට තත්ත්වයක් නෑ කියලා. එහෙම නම් තත්ත්වය කුමක්ද කියලා ඒ අය පැහැදිලි කරන්න ඕන.

මේ තරම් සමාජ රැල්ලක් බවට සයිටම් රැල්ල පත්වෙන්න බලපා තිබෙන ප්‍රධාන කාරණය මොකක් ද?

මේ රටේ ජනතාවගේ මනස හැදිල තියෙන්නේ, මේ රටේ තිබෙන අධ්‍යාපන ක්‍රමය අනුව. ඒ ක්‍රමයට අනුව ශ්‍රේණියෙන් ශ්‍රේණියට කඩඉම් පහුකරලා තමයි ඉහළට එන්න තියෙන්නේ. ඊට අනුව ජනතාව ස්වභාවිකවම හැඩ ගැහිලා තියෙනවා, විභාග තියලා ඉන් වැඩිම ලකුණු ගන්න පිරිස ඉදිරියට යන්න ඕන කියලා. එහෙම හිතන එක අසාධාරණ නෑ. මේතාක් කාලයක් ගලාගෙන ආපු ක්‍රමවේදය ඒක. නමුත් සයිටම් ආරම්භ කරලා එකවරම ක්‍රමය වෙනස් කරපු එක තමයි ගැටලුව. වෙන කිසි ගැටලුවක් නෑ.

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට අවසර දුන්න වෛද්‍ය සභාව ඇයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර නොදෙන්නෙ?

අපි වෛද්‍ය සභාවට එකඟ නෑ. මේ සටනේ ඉන්න වෛද්‍ය ශිෂ්‍යයෝ හැරුණාම වෙන කිසිම සංවිධානයක් හෝ පුද්ගලයෙක් අවංකව කටයුතු කරන්නේ නෑ. ඒ අයට තියෙන්නෙ වෙනත් අරමුණු. ඒ අරමුණු එක්ක කටයුතු කරන නිසා තමයි සයිටම් එකට අවසර නොදෙන්නේ. ආණ්ඩුව විසඳුමක් විදිහට අද සයිටම් ආයතනය තහනම් කරලා අහෝසි කළත් මේ කුහක පිරිස සතුටු වෙන්නේ නෑ. දීර්ඝ කාලීන දේශපාලන න්‍යාය පත්‍රයක ප්‍රතිඵලයක් විදිහට සයිටම් ප්‍රශ්නය තව කාලයක් ඉස්සරහට යනවා. ඒකට විසඳුමක් දෙන්න දෙන්නේ නෑ. ඔය න්‍යාය නිසා තමයි වෛද්‍ය ශිෂ්‍යයන් පවා අමාරුවේ වැටිලා ඉන්නෙ. දවසින් දවස වෛද්‍ය වෘත්තිකයන් බිහිවීම ප්‍රමාද වෙනවා. අපේ රටට මේ තත්ත්වය හිතකර තත්ත්වයක් නොවෙයි. ඒ නිසා ඉක්මනින් මේවට විසඳුම් දෙන්න ඕන.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සයිටම් වෛද්‍ය විද්‍යාලය පාර්ශ්වයේ සිට කටයුතු කරනවා යැයි චෝදනා එල්ල වෙනවා. එතකොට ඔබේ පාර්ශ්වය අමාත්‍යවරයාට පක්ෂව කටයුතු කරනවා කියල තමයි සඳහන් වෙන්නේ?

පසුගිය කාලයෙත් අපේ සාකච්ඡා බිඳ වැටුණා. හැබැයි අපි සෘජුව ඇමැතිවරයාට කිව්වා අපි සයිටම් එකට විරුද්ධයි කියලා. එතකොට අමාත්‍යවරයා අපිට කිව්වේ අපේ සංගමයෙන් එතුමාවට උදව් අවශ්‍ය නෑ කියලයි. නමුත් අපි සංගමයක් විදිහට ඉස්සරහට ආවේ වෛද්‍යවරුන්ගේ අනෙකුත් ගැටලුවලට විසඳුම් ගන්න. එතුමා පැහැදිලිව කිව්වා ඒ ගැටලු ගැන ඉදිරියේ දී විසඳුමකට යමු කියලා. කොහොම නමුත් සයිටම් ගැන අපේ ස්ථාවරය ඇමැතිවරයාට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපි සයිටම් ප්‍රශ්නයේ දී විරුද්ධයි.

අද රටේ ඇතිවෙලා තිබෙන අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යම් අවධානයක් යොමු කරන්න ඔබ සංගමය සූදානම් නැද්ද?

රජය හරි සෞඛ්‍ය අමාත්‍යවරයා හරි අපෙන් ඇහුවොත් මොකක් ද කරන්නේ කියලා අපි ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙනවා. මාධ්‍ය අපෙන් ඇහුවොත් මොනව ද ගත යුතු ක්‍රියාමාර්ග කියලා අපි ඒවාට සූදානම්. හැබැයි බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ කරන්නේ නෑ. රජයක් තියෙන්නෙ ඒකට. අද රජයේ වෛද්‍ය සංගමයට වෙලා තියෙන්නෙත් බූරුවාගේ වැඩේ කරන්න. ඒ අය යනවා රටේ පොහොර ගැන කතා කරන්න, රටේ මිනිස්සුන්ගෙ වැටුප් ගැන කතා කරන්න. තමන්ගෙ අයට වැටුප් ප්‍රශ්න ඕන තරම් තියෙනවා. මම කලින් කිව්වා වගේ ඒ අයට ඕනේ දේශපාලන වේදිකාවක් හදන්න. ඕකට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා.

පසුගිය දිනවල දිවයින පුරා වෛද්‍ය වර්ජන සිදු වෙත්දී ජනතාව බොහෝ පීඩාවන්ට ලක් වුණා. ඔබ සංගමය පෙරට ඒමත් සමග එවැනි වර්ජනවලදී ජනතාවට සහනයක් ලැබෙයි ද?

නෑ, අපි ආවේ ඔවුන්ගේ වර්ජන කඩා කප්පල් කරන්නවත් ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම්වලට අභියෝග කරන්නවත් නෙවෙයි. අපේ සංගමයේ ඉන්න සාමාජිකයන්ට හා සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ටම අදාළ ගැටලු රාශියක් තියෙනවා. අපේ ප්‍රධාන අරමුණ ඒ ගැටලු විසඳා ගන්න එක. ඒ ගැටලුවලට විසඳුම් ඉතා සාධාරණ විදිහට තමයි අපි ඉල්ලන්නේ. වැඩ වර්ජනයකට යන්න ඕනේ සියලු උත්සාහයන් අසාර්ථක වුණාට පස්සෙයි. අපි කරන්නේ සේවයක්. මේ සේවය ගන්න ඉන්න පිරිස වැඩියි. ඒ නිසා හැම වෙලාවෙම අපිට වැඩ වර්ජන කර කර ඉන්න බෑ. ඒක සදාචාරාත්මක නෑ. ඒ වගේම තමයි වෛද්‍යවරු අකමැතිම කාරණය තමයි වැඩ වර්ජන කරන එක. ඒ නිසා ඉදිරියේ දී මේ සියල්ල සර්ව සාධාරණව විසඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

 

සංවාද සටහන
දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප මහින්ද විතානච්චි 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *