මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ කිරි පොවලා හදපු සංවිධාන ගෝත‍්‍රිකයන් ලෙස හැසිරුණා – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර

1983 ජූලි 23 කියන්නේ අපේ රටට කළුපැල්ලමක් එක් කළ දවසක්. මේ ජාතිවාදී සිදුවීම ජාතිකව විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් අපේ රටට කළු පැල්ලමක් එක් කළා. මේක අහඹු සිදුවීමක් නෙවෙයි. එදා ඇති වූ ජාතිවාදී ගැටුම්වල තීරණාත්මක අවස්ථාවක්. වසර 34ක් ගතවෙලත් එම සිදුවීම අත්දැකීමක් කරගෙන අපේ රටේ ජාතික සමගිය ඇති කරන්න මේ රටේ පාලකයින් තවමත් සමත් වෙලා නැහැ.
මීට වසර 34කට පෙර යාපනයේදී බිම්බෝම්බයකට අසු වී හමුදා සෙබළුන් 13ක් ඝාතනයට ලක් වුණා. එම හමුදා සෙබළුන්ගේ මෘත දේහය ආදාහනය කරන්න තිබුණේ දිස්ත‍්‍රික්ක ගණනාවකදීයි. නමුත් එවකට පැවති එජාප ආණ්ඩුව එම මෘත ශරීර 13ම කොළඹට ගෙනල්ලා එක මළගෙයක් බවට පත් කළා. ඉන් පසුව ගත වූ දින කිහිපය තුළ පාරවල් ගානේ මීනි ගොඩ ගැසුණා. කඩ ගිනි තිබ්බා. මංකොල්ලකෑම් සිදු වුණා. මුළු රටටම මහ අවුලක් බවට පත්වුණා. බන්ධනාගාර ගතව සිටි දෙමළ සැකකරුවන් පොලූවලින් ගහලා මරා දැම්මා. එම සිදුවීම ඇති කළේ එවකට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව දැනුවත්වමයි. ඔවුන් වුවමනාවෙන්ම ජාතිවාදය වැපුරුවා.
එම සිදුවීමෙන් පස්සේ සිංහල, දෙමළ ජාතිවාදය පිමි ගණනකින් වර්ධනය වුණා. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් එජාප නායකයින් ජාතිවාදය විකුණන්න පටන් ගත්තා. එල්ටීටීඊ සංවිධානයේ නායකයින් දෙමළ ජාතිවාදය ගොඩනැගුවා. ඉන්පසු ඇති වූ තිස් අවුරුදු යුද්ධයෙන් පසු අපේ රටට ඉතිරි කළ ශේෂපත‍්‍රය මොකක්ද? රටට වැඩදායී සිංහල, දෙමළ මුස්ලිම් තරුණ තරුණයින් විශාල ප‍්‍රමාණයක් රටට අහිමි වුණා. කෝටි ගණනක දේපළ අහිමි වුණා. ස්වාමි පුරුෂයන් නැති බිරින්දෑවරු දහස් ගණනක් ඉතිරි වුණා. දෙමව්පියන් නැතිව දරුවන් අනාථ වුණා. මේ තත්වය අපේ රට පාලනය කරන පාලකයින් තේරුම් නොගන්නා නිසාම සමාජවාදී තරුණ සංගමය විදිහට අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ඇති කිරීමේ දිනය ලෙස ජූලි 23 අඳුරු දිනය, සහෝදරත්වයේ දිනය බවට පත් කරන්න කටයුතු කළා.
2008 යුද්ධය පැවති වේලාවේ තමයි අපි මේ කටයුත්ත පටන් ගත්තේ. ඒ වේලාවේ විශාල බාධක තිබුණත් ජනතා විමුක්ති පෙරමුණත් සමාජවාදී තරුණ සංගමයත් තේරුම්ගත්තා ජාතික සමගිය ඇති කිරීම සඳහා යුද්ධයට එහා ගිය ක‍්‍රියා මාර්ග ගත යුතුයි කියලා. එනිසා විශාල අභියෝග මැද්දේ 2008 සිට මේ දක්වා සහෝදරත්වයේ දින වැඩසටහන් දියත් කරනවා. 30 අවුරුදු යුද්ධයකින් පසුවත් එහි ප‍්‍රතිඵල ගැන කිසිදු හැගීමක් අපේ රටේ පාලකයින්ට නැහැ. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් නැවතත් ජාතිවාදය පෝෂණය කරමින් ඉන්නවා. මේ නරක සෙල්ලම නැවතත් ඔවුන් පටන් අරගෙන. වර්තමාන පාලකයිනුත් මීට පෙර සිටි පාලකයිනුත් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය වැපුරුවා.
පහුගිය කාලයේ අපේ රට පාලනය කරපු මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ කිරි පොවලා සමහර සේනා ගොඩ නැගුවා. එම සංවිධාන ගෝත‍්‍රික ලෙස හැසුරුණු බව මුළු රටම දැක්කා. ජනවාරී 08 වැනිදා ආණ්ඩු මාරුවෙන් පස්සේ ඔවුන්ගේ කලින් තරම් හැසිරීමක් අපි දැක්කේ නැහැ. නමුත් මීට මාස කිහිපයකට පෙර එම සංවිධානයේ හිමි නමක් අත්අඩංගුවට ගත යුතුු යැයි රටේ සාකච්ඡුාවක් මතු වුණා. නමුත් සිදු වුණේ හොරා පොලිස් සෙල්ලමක්. දෙගොල්ල එකතුවෙලා ජනතාවට විහිළුවක් කළා. එම හිමි නමට එරෙහිව තිබූ නඩු 3ක් එකම දවසේ විභාගයට අරගෙන ඇප ලබාදුන්නා. නමුත් සයිටම් අරගලය වෙනුවෙන් පාරට බැහැපු අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කැදවුම්කරු ලහිරු සහෝදරයා තවමත් බන්ධනාගාරයේ. රාජ්‍ය මැදිහත්වීමක් නැත්නම් හිමි නමට ඇප ලැබෙන්නේ කොහොමද? මේ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු ජාතිවාදයට සහය දෙනවා.
නැවතත් අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර සැක සංකා මතුවෙමින් තියෙනවා. ආණ්ඩුව වහාම මැදිහත්වෙලා සිංහල, දෙමළ ජනතාව අතර ඇතිවෙමින් තිබෙන සැක සංකා නැති කිරීම සඳහා ක‍්‍රියාමාර්ග ගත යුතුයි. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන රහුෆ් හකීම් ඇමතිවරයා මුස්ලිම් ජනතාවගේ කඩ ගිනිතියනවා කියලා ප‍්‍රකාශයක් කළා. ඇතිවෙලා තිබෙන සිදුවීම් 12න් වැඩි ප‍්‍රමාණයක් විදුලි කාන්දුවීම් පහන් පෙරළීමෙන් ඇති වුණු ඒවායි. හකීම්ලා හදන මේ මතය දුරු කරන්න ආණ්ඩුව මැදිහත්වෙලා පරීක්‍ෂණ කරළා රටට පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව කරන්නේ මුස්ලිම් ජාතිවාදයට ඉඩ හදන එකයි.
බොදුබල සේනා සංවිධානයේ ඩිලන්ත විතානගේ ප‍්‍රකාශයක් කළා ලංකාවේ මුස්ලිම් තරුණයින් ෂීෂී සංවිධානයට සහය දෙනවා කියලා. ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ තමන්ගේ බුද්ධි අංශ ආරක්‍ෂක අංශ මෙහෙයවලා පරීක්‍ෂණයක් කිරීමයි. එම ප‍්‍රකාශය ඇත්ත නැත්ත රටට හෙළිදරව් කළ යුත්තේ ආණ්ඩුවයි. නමුත් ආණ්ඩුව ඊට මැදිහත් නොවී සිංහල ජාතිවාදයට ඉඩ හදනවා. ඒ වගේම සමාජ ජාලාවලත් ජාතිවාදය පෝෂණය කරමින් තිබෙනවා. ආගමික සිද්ධස්ථාන විනාශ කළා කියලා මත හදනවා. ජනතාව තුළ ඇතිවන මෙම සැකය දුරු කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ නිසා ජාතිවාදයට එරෙහි මැදිහත් වීම සිදු කළ යුතුව තිබෙනවා.
මේ ආණ්ඩුවට වසර දෙකකට වැඩි කාලයක් ගත වෙලත් ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර හදන්න බැරිවෙලා තියෙනවා. උමා ඔය ගැටලූවට ආණ්ඩුවට උත්තර නැහැ. ඩෙංගු හැදිලා රටේ ජනතාව මිය යනවා. පාරවල් ගානේ කුණු කඳු ගොඩගැහෙනවා. කසළ ප‍්‍රතිචක‍්‍රීකරණයට වැඩපිළිවෙලක් නැහැ. සයිටම් ගැටලූවට උත්තර නැහැ. පාරට බැහැලා උද්ඝෝෂණය කරන ගොවියන්ගේ ප‍්‍රශ්නයට උත්තර නැහැ. මේ ඇත්ත ප‍්‍රශ්නවලට උත්තර දෙන්න බැරි ආණ්ඩුව ජනතාවට ජාතිවාදී චුයින්ගම් එකක් දෙනවා හප හපා ඉන්න කියලා. අපි රටේ අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් කියනවා මේ ජාතිවාදී සෙල්ලම නතර කරන්න කියලා. ජාතිවාදය සමග සෙල්ලම් කරපු අපේ රටේ එකම නායකයෙකුටවත් දේශපාලන අනාගතයක් තිබුණේ නැහැ. ඒ වගේම අපි ජාතිවාදය වැපිරීම නිසා පැරදුණු මහින්ද රාජපක්‍ෂ ඇතුළු කල්ලියට කියනවා නැවතත් ජාතිවාදය පතුරුවලා බලයට එන්න සිහින දකින්න එපා කියලා. සමාජවාදී තරුණ සංගමයත් ජනතා විමුක්ති පෙරමුණත් ප‍්‍රගතිශීලි බලවේගත් ඉන්නකම් නැවතත් අපේ රටේ ජාතිවාදි ගැටුමක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
ඒවගේම දියුණු තාක්‍ෂණය භාවිතා කරන ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අපේ රටේ තරුණ තරුණියන්ට කියනවා තවමත් ස්මාර්ට් වෙලා නැති තමන්ගේ ඔළුව ස්මාර්ට් කරගන්න කියලා. ගෝත‍්‍රිවාදී අදහස් ඉවත් කරලා සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ දෙනා එකම මිනිස් කොට්ඨාසයක් ලෙස හිතන්න කියලා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්. එක ගෙදර ජීවත් වන ස්වාමියා, බිරිඳ, දරුවන් අතරත් වෙනස්කම් නැද්ද. එම වෙනස්කම් තේරුම් ගන්න අපි පුරුදුවෙන්න  ඕන. පාට ගොඩක් එකතු වුණාමයි ලස්සන.
සමාජවාදී තරුණ සංගමය විදිහට අපි ජූලි 23ට සහෝදරත්වයේ දිනය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. දින 12ක් පුරා එම වැඩසටහන් දියත් වෙනවා. ජාතිවාදයට විරුද්ධව මතවාදයක් ගොඩනගන්නත් ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ප‍්‍රායෝගිකව මැදිහත්වෙන්නත් මෙම වැඩසටහන් උපයෝගි කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර බැ`දීමක් හදාගන්න මෙම වැඩසටහන් යොදාගන්නවා. . 31 වැනිදා කොළඹදී ‘ජාතිවාදය එපා’ මැයෙන් උද්ඝෝෂණයක්ද ‘ජාතිවාදය කා සඳහාද’ මැයෙන් සම්මන්ත‍්‍රණයක්ද ජාතික පුස්තකාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *