|

විමල් වීරවංශගේ යෝජනාවට ඒකාබද්ධය පස්ස හරවයි

 

මේ දිනවල ජනාධිපතිතුමාගේ ප්‍රමුඛතාව හිමිව තිබෙන ප්‍රශ්න දෙකක් වන්නේ කුණු ප්‍රශ්නය හා ඩෙංගු උවදුරයි. එකිනෙකට බැඳුණු ප්‍රශ්න දෙකක් වන මේ ප්‍රශ්න පසුගිය දිනවල ඉතා බරපතළ තත්ත්වයට පත් වුණා. එම තත්ත්වය පාලනයකොට අවසන් වශයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා මේ දිනවල ප්‍රමුඛතාවය දී කටයුතු කරමින් සිටිනවා.

කසළ කළමනාකරණය හා ඩෙංගු උවදුර මැඬලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සම්බන්ධ කරගෙන සැලසුමක් සකස් කිරීම මේ දිනවල සිදුවන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා එම වැඩසටහන සම්බන්ධීකරණයේ නිරත වී සිටිනවා. පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ වැඩමුළුවක් පසුගිය සඳුදා පැවැත්වුණේ එම වැඩ පිළිවෙළේ තවත් එක් පියවරක් වශයෙන්. ඇමැති මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩ මුළුවට දිවයිනේ පළාත්පාලන ආයතන 335ක් නියෝජනය කරමින් කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් සහභාගි වී සිටියා. වැඩ මුළුව අවසානයේ පැවැති රැස්වීමට ජනාධිපතිතුමාද සහභාගී වුණා. වැඩ මුළුවේ සාකච්ඡාවෙන් සකස් කළ යෝජනා මාලාවක් ෆයිසර් මුස්තාපා, ඇමැතිවරයා විසින් ජනාධිපිතුමාට පිළිගන්වනු ලැබුවා.

එහි දී කතා කළ ජනාධිපතිතුමා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ හෙළදරව් වූ තොරතුරු ගැන කතා කළා. කසළ ජීවිකාව කරගත් එයින් ජීවත්වන පිරිසක් නිර්මාණය වී ඇති බවත්, කසළ පාතාලයක්ද බිහිවී ඇති බවත් ජනාධිපතිතුමා කීවා. මීතොටමුල්ල කුණු කන්ද අසලින් ඉවත් වන්නැයි කීවාට ඉවත් නොවුණේ කුණු ඔවුන්ගේ ජීවිකාව වී ඇති නිසා බව ද ජනාධිපතිතුමා සඳහන් කළා. රටට විපතක් වී තිබෙන කුණු ඇතැම් ජාවාරම්කරුවන්ට රත්තරන් වී ඇති අන්දමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

කුණු ප්‍රශ්නය විසඳන්න කිසිම රජයකට වැඩපිළිවෙළක් නොතිබූ බව කී ජනාධිපතිතුමා තම රජයට මොන ප්‍රශ්න ආවත් කුණු ප්‍රශ්නය ඉවර කරන බව ද කීවා.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වන සැසිවාරය පසුගියදා ආරම්භ වුණා. සාමාජික රටවල් 41 ක හා අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් දින පහක් තිස්සේ පැවැත්වෙන සමුළුවේ ආරම්භක සැසියට ජනාධිපතිතුමා සඳුදා සහභාගි වුණා. මුල්‍ය කළමනාකරණයේ දී පැවතිය යුතු විනිවිදභාවය ආරක්ෂා කර ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය කැප වී සිටින බව සමුළුව අමතා ප්‍රකාශ කළා. මුදල් විශුද්ධි කරණයෙන් ත්‍රස්තවාදීන් බලවත් වන බවත්, එබඳු ඇතැම් ජාවාරම්කරුවන්ට ආණ්ඩු පෙරළීමට හැකියාව ලැබුණු බවත් ජනාධිපතිතුමා කීවා.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සෑම රටක්ම මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීමට නම් ඒ පිළිබඳව ජාතික හා අන්තර්ජාතික වශයෙන් ඇතිකර ගන්නා බැඳීම්, එකඟතාවයන් හා ප්‍රඥප්තීන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට සියලු රටවල් අවංකව කැපවිය යුතු බවත් එමගින් සෑම රටකම ජාතික ආර්ථිකය ශක්තිමත් වනවා සේම, අන්තර්ජාතික මුල්‍ය කළමනාකරණයේ දී එය ඉතා වැදගත් වන බවත් පෙන්වා දුන්නා.

ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය විසින් සම්පාදිත ‘පීපල්ස් ඔෆ් ශ්‍රී ලංකා’ ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටියා. අප රටේ විවිධ ජනවර්ගයන්ගේ සංස්කෘතික අනන්‍යතා විදහා දැක්වෙන අයුරින් සකස් කළ පීපල්ස් ඔෆ් ශ්‍රී ලංකා ග්‍රන්ථය ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට පිළිගැන්වීම සිදුවුණේ ඇමැති මනෝ ගනේෂන් මහතා අතින් ග්‍රන්ථය වෙනුවෙන් තොරතුරු සම්පාදනය කළ විද්වතුන් පිරිසකට සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු වුණා.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගේ රැස්වීමක් කොළඹ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ දී සඳුදා පවත්වනු ලැබුවා. ජනාධිපතිතුමා මෙම රැස්වීම කැඳවා තිබුණේ රටේ සංවර්ධන කටයුතු වේගවත් කළ යුතු අන්දම පිළිබඳව ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහායි. සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරගැනීමට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහය අවශ්‍ය බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා. අමාත්‍යාංශ මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ප්‍රචාරක වැඩ පිළිවෙළක අවශ්‍යතාවයද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

පසුගිය සිකුරාදා (14) උදේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැත්වුණා.එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයට‍ දැනුම් දු‍න්නේ එළැඹෙන දෙසැම්බර් මස පළාත් පාලන මැතිවරණය කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන බැවින් කොට්ඨාස ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබල අපේක්ෂක කණ්ඩායමක් තෝරා ගත යුතු බවයි.බිම් මට්ටමෙන් සංවිධාන කටයුතු කබීර් හෂීම් සහ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරුන්ටත් මැතිවරණයේ මාධ්‍ය කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාටත් පැවරුණා.එහිදි සාකච්ජාවට ලක් වූ අනෙක් කරුණ වුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ පාර්ලි‍මේන්තු දිවියට සහ එක්සත් ජාතික පක්ෂය විවෘත ආර්ථිකය රටට හඳුන්වා දී ඇති කළ ආර්ථික විප්ලවයට වසර හතළිහක් පිරිම නිමිත්තෙන් පවත්වන සමරු උත්සව පිළිබඳවයි. එහිදි තීරණය වුණේ එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් සිදු කර ඇති සේවාව අළලා ප්‍රදර්ශනයක් පැවැත්වීමටයි. මෙම 27 දා සිට දින තුනක් මහරගම තරුණ සේවා සභාවේ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එහි කටයුතු අමාත්‍යවරුන්ට පැවරුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා හවස් වරුව ගත කළේ ගාල්ල නෙළුව ප්‍රදේශ‍යේ.පසුගිය වර්ෂාපතනය සහ ගංවතුර නිසා සිදු වූ ආපදාව යථා තත්ත්වයට පත් කිරිමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලිම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. අවදානම් කලාපයේ සිටින ජනතාවගේ කැමැත්ත අනුව උසෙන් අඩු තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් අත්හදා බැලීමක් ලෙස ඉඳි කිරීමට අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නා. ගංවතුරෙන් පූර්ණ ලෙස හානියට පත් වු පාසැල් හා අත්‍යාවශ්‍ය මහා මාර්ග යළි ඉඳි කිරිමට ටෙන්ඩර් පටිපාටිවලට හිර නොවී භාණ්ඩාගාරය සමඟ සාකච්ජා කර වහාම අවශ්‍ය මුදල් වෙන් කර ගන්නා ලෙසද අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නා.

17 දා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පන්නිපිටිය වීර මාවතේ වෘත්තියවේදින් සඳහා වන වියත්පුර නිවාස සංකීර්ණයේ ඉඳි කිරිම් ආරම්භක අවස්ථාවට එක් වුණා. එහිදි අගමැතිවරයා අත්තිවාරම් කැණීම් යන්ත්‍රය ක්‍රියාත්මක කර ඉඳි කිරිම් කටයුතු ආරම්භ කළා. කැණීම් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා එහි රියදුරු අගමැතිවරයාට උපදෙස් ලබා දුන් අතර එහිදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ජාතික ආණ්ඩුව මෙහෙයවීම වාගේ කියායි. උත්සව සභාව අමතමින් ‍ඒ පිළිබඳව සඳහන් කළ වික්‍රමසිංහ මහතා පැවසුවේ පොඩ්ඩක් වැරදුණොත් කැණීම් යන්ත්‍රය කොහේ ගිහින් වැදෙයිද දන්නෑ වාගේ ජාතික ආණ්ඩුවත් රැගෙන යනවිට යන්තම් හෝ අවධානය ගිලිහු‍ෙණාත් වරදින්න පුළුවන් බවයි.

නියඟයෙන් පිඩාවට පත් ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ට්‍රැක්ටර් ජල බවුසර් ලබාදීමේ දෙවැනි අදියරට අරලියගහ මන්දිරයේ පැවැත්වුණු උත්සවයට 18 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා ජල බවුසර් ට්‍රැක්ටර් 25 ක් බෙදා දෙනු ලැබුණා. එහිදි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දේශගුණික විපර්යාසයන්ට ගැලපෙන අයුරින් අපගේ ආර්ථිකය සකස් කළ යුතු බවයි.

ආසියාවේ මීළඟ ආර්ථික ආශ්චර්ය ආසියාවයි යනුවෙන් යුරෝපීය වානිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්වූ සම්මන්ත්‍රණයකට අග්‍රාමාත්‍යවරයා 19 දා සහභාගි වුණා. එහිදි අගමැතිවරයා සඳහන් කළේ එදා වීර අලකේෂ්වර සෙන්පතියා මඩ වගුරක්ව තිබු ප්‍රදේශයේ කෝට්ටේ රාජධානිය නිර්මාණය කළ බවත් වර්තමාන රජයට ලැබුණේද සර්පයින්, නරියන්, බල්ලන්, වවුලන් ආදි සතුන් සිටි මඩ වගුරක් බවත් එය පිරිසිදු කිරිමට රජයට වසර දෙකක් ගත වූ අතර එහි ඉදිරි කටයුතු සඳහා ආර්ථිකය ශක්තිමත් කර ගත යුතු බවත්ය.

පසුගියදා 425 වැනි උදා ගම්මානයට මුල්ගල් තැබීම වෙනුවෙන් තිස්සමහාරාම, උද්ධගන්ධර පැවැති උත්සවයට සහභාගීවීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා උත්සවයේ නිල කාර්යයන් අවසන් කර ගැමියන් සමඟ පිළිසඳරේ යෙදී සිටිය දී ඔවුන් කීවේ “ඇමතිතුමා, අපට තවත් අලුත් ගම්මානයක් ලබා දුන්නට බොහෝමත්ම ස්තූතියි. මේ ගම්මානයට දාන නම මොකක්ද කියලත් දැනගන්ඩ කැමැතියි” කියාය. සජිත් කීවේ “බොහොම හොඳයි ඒක මතක් කරපු එක – අපි මේ ගම්මානයට ‘සෙන්පති විජය විමලරත්නගම’ කියල දාමු යනුවෙනි. රට ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගැනීම වෙනුවෙන් විජය විමලරත්න සෙන්පතිතුමා කළ සේවය සහ කැපවීම අද හුඟදෙනෙකුට අමතක වෙලයි තියෙන්නේ. මෙයින් නතර නොවී ඊළඟ සති කීපයේ දී ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිතුමා නමිනුත් උදා ගම්මානයක වැඩ ආරම්භ කරනවා” සජිත් කීවා.

එක්සත් ජාතික පක්ෂය වසර 1977 දී ලැබූ සුවිශේෂ ජයග්‍රහණය හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව සාකච්ඡා කිරීමට අඟහරුවාදා රාත්‍රියේ මැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් කොළඹ දී පැවැත් වුණා. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ දී ඊට අදාළ සියලු මෙහෙයුම් පිළිබඳ කරුණු දක්වමින් සජිත් “අපි ඇඟට පතට දැනෙන වැඩක් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ‍මේ සංවත්සරය නිමිත්තෙන්ම අලුත් උදා ගම්මාන 40ක වැඩ ආරම්භ කරනවා. දින වකවානු ඇතිව ඒවා ජනතා අයිතියට පත්කරනවා. ඔබතුමාගේ ආශිර්වාදය විතරයි ඕනෑ .” කියා කියද් දී අගමැතිවරයා කීවේ “නියමයි වැඩේ” කියායි.

තංගල්ල ප්‍රදේශයේ ගංවතුර උවදුරුවලින් පීඩාවට පත්වූ තවත් පවුල් 800කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සඳහා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනට සහභාගී වීමට ගිය සජිත්ගෙන් එහි නිලධාරියකු ඇසුවේ “බඩු බෙදන්න කලින් කතාවක් පවත්වන්න ඕනෑ නේද” කියාය. සජිත් කීවේ “කතා පවත්වන්න බඩු බෙදපු කාලෙ ඉවරයි. අපි මේවා බෙදල ඉවර කරමු. මේ ඉන්න කට්ටිය බඩු ටික අරන් ඉක්මනින් ගෙදර යන්න බලාගෙන ඉන්නේ” යනුවෙනි. එවර නිලධාරියා ඇසුවේ “ සංකේතයක් හැටියට සර් අතින් 10 දෙනෙකුට විතර දුන්නම ඇති නේද” කියාය. “නෑ… නෑ… නෑ… 800 දෙනාටම මගේ අතින් තමයි දෙන්නේ. අටසීයක් නෙවෙයි අටදාහක් ආවත් බෙදන්න මට හයිය තියෙනව” කියමින් සජිත් බෙදිල්ල පටන් ගත්තා. සෑම කෙනෙකුටම හාල් කිලෝ 30ක්, පරිප්පු, සැමන් ඇතුළු ආහාර ද්‍රව්‍ය අඩංගු ඇසුරුමක් පිරිනැමුණේ ඇමැතිවරයා අතින්මයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් වූවන්ගේ සහන කටයුතු සොයා බැලීමට හා දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වජිර අබේවර්ධන ඇමතිවරයා ගුවනින්ම නෙළුවට ගියේ ඉකුත් 14 වැනි සිකුරාදායි.

පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් ගණනාවක්ම මෙම අවස්ථාව සඳහා එක්ව සිටි අතර ඒ සැවොම ගංවතුර පීඩාව වූ අවස්ථාවේ දී ඇමැති වජිර ක්‍රියා කළ ආකාරය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළා.එම සාකච්ඡාව සාර්ථක වීම ගැන වජිර ඇමතිවරයාද සිටියේ සතුටින්.

15 වන සෙනසුරාදා උදේම ගල්ගමුව යූ.බී.වන්නිනායක ජාතික පාසල වෙත වජිර අබේවර්ධන ඇමතිවරයා ගියේ නිල මෙහෙවර ජනපති ජනතා සේවයට එක් වීම සඳහායි.ඒ ඇමැති එස්.බී.නාවින්න, අමරා පියසීලී රත්නායක ආණ්ඩුකාරතුමිය ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් මහජන නියෝජිතයින්ද සමගයි.

මෙහි දී යූ.බී.වන්නිනායක ජාතික පාසලේ ඉතිහාසයටම සිදු නොවූ දැවැන්ත සංවර්ධනයක් වත්මන් රජය මගින් සිදු වෙමින් පැවැතීම පිළිබඳව වජිර ඇමතිවරයා දැක්වූ අදහස් එහි සිටි කාගේත් අවධානයට ලක් වුණා.

අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් අනතුරුව අගමැතිවරයා සමඟ වජිර අබේවර්ධන ඇමතිවරයා අරලියගහ මන්දිරය වෙත කෙළින්ම ආවේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක සඳහා ටැක්ටර් ජල බවුසර් බෙදාදීමේ උත්සව අවස්ථාවට එක් වීමටයි.

මෙම අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වජිර අබේවර්ධන ඇමතිවරයාට විශේෂ ස්තූතියක්ද මේ අවස්ථාවේ දී පළ කළා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලූම පක්ෂවලට ආරාධනා කොට තිබුණා.මේ සඳහා ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූයේ පක්ෂ නායක අනුර දිසානායකයි .ඔහු සාකච්ඡාවේ කරුණු දේශපාලන මණ්ඩල සභිකයින් වෙත ඉදිරිපත් කළා.පළාත් පාලන මැතිවරණය මේ වසරේ අග පවත්වන්න තමයි ආණ්ඩුවේ කල්පනාව. පළාත් පාලන මැතිවරණයත් පාර්ලිමේන්තු ක්‍රමයට පවත්වන්න තමයි සූදානම.ඒ කියන්නේ කොට්ඨාස ක්‍රමයයි සමානුපාතික ක්‍රමයයි සහිත මැතිවරණ ක්‍රමයක්.අපි යෝජනා කළේ ගෙනාපු පනතේ තියෙන ඇතැම් කරුණු සංශෝධනය කරන්න ඕනෑ කියලා.ඒ අනුව කොට්ඨාස ක්‍රමයට 60%ක් සහ සමානුපාතික ක්‍රමයට 40%ක් මන්ත්‍රීවරුන් පත්කිරීමට පක්ෂ එකඟතාවය පළකරලා තියෙනවා. තවත් සංශෝධන කිහිපයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න තමයි ආණ්ඩුව හදන්නේ අනුර දිසානායක පැහැදිලි කළා.මේ අවුරුද්ද අග මැතිවරණය තිබ්බොත් බජට් එකට මොකද වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පළාත් සභා මැතිවරණයට මොකද වෙන්නේ. කල්දාන්න තමයි වෙන්නේ.” ලාල්කාන්ත විමසා සිටියා.එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි. ගොඩක්දුරට ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දාන්න පුළුවන්.

පසුගිය 2007 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ සහ එවකට අමෙරිකානු තානාපතිවරයා විසින් අත්සන් කළ ආරක්ෂක ගිවිසුම 2017 වසරේ දී කල් ඉකුත්වීමට නියමිතව තිබුණා. මේ පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබූ අතර මේ පිළිබඳවද ජවිපෙ නායකයෝ අවධානය යොමු කළා.

මේක අපේ රට පාවාදුන්න ගිවිසුමක්.ඇමරිකාවට යුද ක්‍රියාවලියකට අවශ්‍ය පහසුකම් සපයන්න අපි එකඟ වෙලා තියෙනවා මේ ගිවිසුමෙන්.මහලොකු දේශප්‍රේමයක් පෙන්වන රාජපක්ෂලා මේක අත්සන් කළා. නමුත් දැන් වසර 10 ඉක්ම යනකොට මේ ආණ්ඩුවත් කැබිනට් තීරණයක් ගන්නවා මේ ගිවිසුම අලූත් කරන්න.ටිල්වින් සිල්වා කියා සිටියා. පුදුම වැඩේ කියන්නේ ගෝඨාභයලා අත්සන් කරපු රටට අහිතකර ගිවිසුම අලූත් කරන්න මෛත්‍රීපාල සිරිසේනත් එකඟ වෙන එකයි.” විජිත හේරත් කියා සිටියා.ඒ විතරක් නෙවෙයි, මහින්ද රාජපක්ෂ කණ්ඩායම මේ ගිවිසුම අලූත් කිරීම ගැන කිසිම කතාවක් නෑ. එහෙම දෙයක් ගැන නොදන්නවා වගේ ඉන්නවා. මහලොකුවට දේශප්‍රේමය ගැන කයිවාරු ගහන විමල් වීරවංශලා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ.” බිමල් රත්නායක කීවා…

ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කළ කණ්ඩායමේ බරපතළ බෙදීමක් මේ සතියේ ප්‍රදර්ශනය වුණා. එම ගැටුම කරළියට පැමිණියේ විමල් වීරවංශ මහතා නායකත්වය දුන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්දෙනා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත්වන බවට කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් භාරදීම සමඟින්, එම ලිපියෙන් කියැවුණේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කිරීමට තීරණයකොට තිබුණ ද තම පක්ෂයේ පස්දෙනා ඉන් ඉවත්වන බවයි. එසේ ඉවත්වූ මන්ත්‍රීවරුන් වන්නේ විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර හා නිරෝෂන් ප්‍රේමරත්න යන මන්ත්‍රීවරුන් පස්දෙනායි.

ජාතික නිදහස් පෙරමුණ පසුගියදා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්විය යුතු බවයි. එසේ වුවද පසුගියදා කොළඹ විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී රැස් වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක රැස්වීමේ දී තීරණය වූයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කටයුතුවලට දිගටම සහභාගී වීමටයි. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් මෙහෙයුම් කමිටුවට දිගටම සහභාගී වුණා.

තත්ත්වය වඩාත් බරපතළ වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීම සඳහා කර තිබූ යෝජනාවලියට ඒකාබද්ධ විපක්ෂයේ කැමැත්ත පළකිරීමත් සමඟයි. පාර්ලිමේන්තුවේ අනුකමිටුවකින් සකස් කළ එම යෝජනා සැකසීමට ද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෝ සහභාගී වුණා. එලෙස සකස් කළ යෝජනා අනුව පළාත් සභාවලට අර්ථවත් බලය බෙදීමක් ලබාදීමටත් සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමටත් යෝජනා කොට තිබුණා. ඒකාබද්ධ විපක්ෂය ද එබඳු බලය බෙදීමකට කැමැති බව දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් මෙහෙයුම් කමිටුවේ දී ප්‍රකාශ කළා. විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම වඩාත් දැඩි ස්ථාවරයක් ගත්තේ එම සිදුවීමෙන් පසුවයි.

විමල් වීරවංශ මහතා කියන්නේ තම කණ්ඩායම ඉවත්වී තිබෙන නිසා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස සැලකීම දැන් අවසන් වන බවයි. එසේ වුවද මෙම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ වෙනම පිළිගැනීමක් නැති අතර ඔවුන් සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වශයෙන්, අනෙක් අතට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවකින්. එම තත්ත්වය වෙනස් කළ හැක්කේද පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් බව නීතිවේදීහු කියනවා, මෙය දැන් කථානායකතුමා ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක්.

ඒකාබද්ධ විපක්ෂයේ තවත් ප්‍රබලයින් දෙදෙනෙක් ඉන් ඉවත්වන බව ප්‍රකාශකොට තිබෙනවා. එනම් පොළොන්නරුව නියෝජනය කරන රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සහ දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතායි. ඒකාබද්ධ විපක්ෂයේ සියලු කටයුතුවලින් වහාම ඉවත්වන බව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශකොට තිබෙන අතර අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බව ප්‍රකාශකොට තිබෙනවා. මෙයින් පෙනීයන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම මේ වනවිට ප්‍රබල පසුබෑමකට ලක්වෙමින් සිටින බවයි.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *