දඹුල්ල අයිති හාමුදුරුවන්ට විතරද ? – අනුර සූරියබණ්ඩාර

රාජ රත්නාකරයේ සහ විහාරය පිළිබඳ තල්පත්වල සඳහන්වන ආකාරයට දඹුලූ විහාරය කරවා ඇත්තේ වළගම්බා රජ සමයේය. පසුව නිශ්ශංකමල්ල රජු විහාරය ප‍්‍රතිසංස්කරණය කරවා පිළිමවල රන් ආලේප කර තිබේ. විහාරය රන්ගිරි දඹුලූ විහාරය වශයෙන් හැඳින්වීම ඇරඹෙන්නේ ඉන් පසුවය. මෙම විහාරය වැදගත් වන්නේ මහනුවර යුගයට අයත් බිතු සිතුවම් සහිත ලෙන් විහාර හේතුවෙනි. මෙහි අවට ප‍්‍රලේඛනගත ලෙන් 80කට වැඩි ගණනක් ඇත. ඒ අතරින් ප‍්‍රධාන ආකර්ශනය වන්නේ පිළිම සහ සිතුවම් සහිත ලෙන් 05කි. බුදු පිළිම 153 ක් ද රජවරුන් 3 දෙනකුගේ පිළිම ද දේවතා සහ දේතාවියන්ගේ පිළිම 4 ක් ද මෙහි තිබේ. ඒ අතර විෂ්ණු සහ ගනදෙවි පිළිම දෙකකි. බිතු සිතුවම් 2,100කි. එහි බාරකාරත්වය පළමු උයන්වත්ත පන්සල, දෙවන උයන්වත්ත පන්සල, දඹුල්ල මැද පන්සල, දඹුල්ල ඉහළ පන්සල යන පන්සල් හතරට හිමිය.
අතීතයේ පූජ්‍ය ස්ථානයක් වුව අදවන විට රන්ගිරි දඹුලූ විහාරයට ඇත්තේ සිද්ධස්ථානමය වටිනාකමකට වඩා කලාත්මක වටිනාකමකි. කෙටියෙන් කියන්නේ නම් එය ශ‍්‍රි ලංකාවේ පිහිටි මහනුවර යුගයට අයත් සුවිශාලම ඓතිහාසික කලාගරයකි. මෙහි වර්ග අඩි 20,000ක පමණ ප‍්‍රමාණයක චිත‍්‍ර තිබේ.
ලෙන් විහාර සංකීර්ණය යුනේස්කෝව විසින් ලෝක උරුමයක් වශයෙන් නම් කරනු ලබන්නේ ද එහි ඇති කලාත්මක වටිනාකම හේතුවෙනි. රන්ගිරි දඹුලූ විහාරයට විශාල විදේශ සංචාරක ආකර්ශනයක් ඇති වීමට හේතුව ද එය ලෝක උරුමයක් වශයෙන් නම් කරනු ලැබ තිබීමය.
ඉහත කී රන්ගිරි දඹුලූ විහාරය මෑත දී මහත් ආන්දෝලාන්ත්මක කරුණක් බවට පත් වූයේ පින්කැට ප‍්‍රශ්නයක් මුල්කොට ගනිමිනි. එනම් විහාරයේ පින්කැටවලට සීල් තබන්නට අඛිල විරාජ් අමාත්‍යවරයා උත්සාහ දරන්නේ යැයි එහි බාරකාර හිමිවරුන් උද්ඝෝෂණය කිරීම හේතුවෙනි.
කවර හෝ සටන් පාඨයක එල්ලී ගොඩයාමට බලාසිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පිරිස ද මෙන්න දඹුල්ලට සීල් තබනවෝය කියමින් මහත් ඝෝෂාවක් ආරම්භ කළහ.
ඒ අතර ජුලි 17 සඳුදා දිනමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් දෙමින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මණ්ඩාවල මහතා පවසා තිබුණේ දඹුලූ ලෙන්හි බිතු සිතුවම් සහිත බදාමයේ ශක්තිය හීණ වී ඇති බැවින් ඉක්මන් ප‍්‍රතිසංස්කරණයකට නොගියහොත් බිතුසිතුවම් විනාශ විය හැකි බවයි.
එකී විනාශයෙන් සිතුවම් බේරා ගැනීමේ අටියෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂණ කණ්ඩායමක් වර්නන් ස්මිත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ සංරක්‍ෂණ කටයුතු නතර වී ඇත්තේ හාමුදුරුවරු ඊට බාදා කළ බැවිනි.
මේ තත්ත්වය මත රන්ගිරි දඹුලූ නාමය යුනේස්කෝ ලෝක උරුම ලේඛනයන් මැකී යා හැකිය. එපමණක් නොවේ, ලෝක උරුමයක් රැුක ගත නොහැකි ජාතියක් වශයෙන් ශ‍්‍රී ලාංකිකයන් ලෝකය හමුවේ අපවාදයට ද පත්වනු ඇත.
අෆ්ගනිස්ථානයේ බාමියන් බුදු ප‍්‍රතිමා විනාශ කළෝ තලේබාන් ත‍්‍රස්තවාදිහුය. ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් වන තලේබාන්වරුන් එම ප‍්‍රතිමා විනාශ කළ විට මෙරට අන්තවාදී බෞද්ධයන් මෙරට අහිංසක මුස්ලිම් ජනතාවත් මරාකන තරමට කුපිත වූ බව අපේ මතකයේ තිබේ. ඉන් නොවතී ඇතැම් භික්‍ෂවක් බාමියන් ප‍්‍රතිමා අනුරුවක් මෙරට ඉදිකිරීමට පවා ඉදිරිපත් විය.
බාමියන් බුදු පිළිම විනාශ කිරීම ත‍්‍රස්තවාදයක් නම් දඹුල්ලේ බිතුසිතුවම් විනාශවන්නට ඉඩ හැර බලා හිඳීම ද ත‍්‍රස්තවාදයකි. දෙක නිසාම සිදුවන්නේ බෞද්ධ ලෝක උරුමයක් විනාශ මුඛයට පත්වීම වන බැවිනි. වෙනස තලේබාන්ලා බාමියන් ප‍්‍රතිමා විනාශ කරන්නට තුවක්කු උපයෝගී කර ගන්නා විට මෙරට භික්‍ෂුහු දඹුල්ලේ බිතු සිතුවම් විනාශ කිරීමට වටහපතට මුවාවීම පමණි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශයක් කරමින් පවසා තිබුණේ, දඹුල්ල ලෝක උරුමයෙන් ගිලෙහෙනවාද රැුකගන්නවාද යන්න තීරණය කළ යුත්තේ ආණ්ඩුව නොව අස්ගිරි විහාරය බවයි.
අපේ මතය නම් දඹුල්ල ලෝක උරුමයෙන් ගිලිහීයාම වලක්වා ගැනීමටත්, දඹුල්ලේ බිතු සිතුවම් විනාශය වලක්වා ගැනීමටත් අස්ගිරිය නොව ආණ්ඩුව වහා ඉදිරිපත් විය යුතු බවයි. භික්‍ෂූන් වහන්සේගේ පාලනය යටතේ තිබුණා වුව දඹුල්ල යනු මෙරට ජනතාවගේ ඓතිහාසික කලාත්මක උරුමයක් බව වටහාගත යුතුය. එය ජනතාව වෙනුවෙන් අනාගතය උදෙසා ආරක්‍ෂාකර දීම ආණ්ඩුවේ යුතුකමයි. එය නිශ්ශංක මල්ල රජු කටාරම් කොටවා රන් ආලේපකර විහාරස්ථානය සංසරක්‍ෂණය කරවූවාට නොදෙවෙනි ඓතිහාසික යුතුකමකි.
දඹුලූ විහාරයේ ආර්ථික වටිනාකම පිළිබඳ මිස එහි කලාත්මක වටිනාකම පිළිබඳ එහි බාරකාරත්වය දරන්නේ යැයි කියන භික්‍ෂුන්ට හැ`ගීමක් තිබේ ද යන්න ද සැකයකි. එසේ වන්නට හේතුවක් වන්නේ එකී භික්‍ෂුන්ගේ මැදිහත් වීම හේතුවෙන් දඹුල්ලේ පෞරාණික වටිනාකම මේ වන විටත් විනාශවෙමින් තිබීමයි. එයට හොඳම උදාහරණය විහාර භූමියේ කර ඇති නවීන ඉදිකිරීමය.
පුරාවිද්‍යා ස්ථානයක නවීන ඉදිකිරීම් නීතියෙන් තහනම් වුව භික්‍ෂුන් ඒ නීතිය අමුඅමුවේම උල්ලංඝණය කර තිබේ. නැගෙනහිර පුරාවිද්‍යා උරුමය පිළිබඳ කෑමොර දෙන කිසිවකුට මේවා නොපෙනීම ද පුදුමයකි. එසේම එැවැනි ඉදිරිකිරීමක් පුරාවිද්‍යා භූමියක කරන තුරා බලා සිටි පුරා විද්‍යා බලධාරීන්ට ද ඒ වරදේ පංගුවක් පැවරේ. ආණ්ඩුව කළ යුත්තේ ඒ සියල්ල අස්ගිරියට බාර දී අත පිසාදා ගැනීම ද නැතහොත් විනාශය පිළිබඳ සොයාබලා වලකිව යුත්තන්ට දඬුවම් පැමිණවීම ද යන්න කල්පනා කළ යුතුය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පනතට අනුව රන්ගිරි දඹුල්ල වැනි ස්ථානයන්හි ප‍්‍රවේශපත‍්‍ර නිකුත්කිරීමේ අයිතිය හිමිවන්නේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ වරයාටය. 1996 වන තෙක්ම එය සිදු වී තිබේ. එහෙත් 1996 පසුව ඒ අයිතිය මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් උදුරාගෙන තිබේ. එතැන් පටන් මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන තුරු ඒ පිළබඳ නිහඬව සිරීම ද ගැටලූවකි.
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක කියන ආකාරයට දඹුල්ල විහාරයේ රුපියල් කෝටි හත්සියයකය අධික මුදල් වංචාවක් විදු වී තිබේ. එයට හේතුව ඉනාමලූවේ සුමංගල හිමියන්ගේ කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලට එම ස්ථානයේ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමට ඉඩ නොලැබුණු නිසාය. එක් අවස්ථාවක පමණක් රුපියල් 280.000 ක මුදලක් ලබා දුන් නමුත් මුල්‍ය පාලන කටයුතුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනීම සුමංගල හිමියන් බැහැර කර ඇති බව පුරා විද්‍යා හිටපු කොමසොරිස් වරයා පවසයි. ඔහු තවදුරටත් වපවා ඇත්තේ ¥ෂණ විමර්ශන කොමිසමට ඒ පිළිබඳ පැමිණිලි කරන බවයි.
කලෙක කණ්ඩලම හෝටලයට විරුද්ධව අවි අමෝරා සිටි ඉනාමලූවේ හිමියන්ගේ දෙබිඩි පිලිවෙත ද ඉන් පැහැදිලිවේ. වැව රැුක ගන්නට තිබූ උනන්දුව උන්වහන්සේට දඹුලූ විහාරය රැුක ගැනීමට නැති බව පැහැදිලිය. ලෝක උරුමයක මීටර් 500ක් ඇතුළත අලූත් ඉදිකිරීම් නොකළ යුතුය යන නීතිය ද උල්ලංඝණය කරමින් සුමංගල හිමි උයන්වත්ත පන්සල නවීකරණය කරන විටත් එහි රන් පිලිමයක් ඉදිකරන විටත් අස්ගිරි විහාරය තබා එකල පුරාවිද්‍යා කොමසාරිස්වරයාව සිටි ශිරාන් දැරණියගල පවා විරුද්ධත්වයක් නොපෑම පුදුමයකි.
දඹුල්ලේ විහාරයේ දෛනික ආදායම ලක්‍ෂ 35ක් පමණ වෙතැයි පැවසේ කටයුතු සිදුවන ආකාරය අනුව වටාගත යුතු වන්නේ දඹුල්ලේ සටන ඒ ආදායම රැුක ගැනීම සඳහා මිස විහාරයේ හෝ බුදු දහමේ හෝ විහාරයේ ඓතිහාසික වටිනාකම හෝ රැුකගැනීමට කරන්නක් නොවන බවයි. ඊට යට නොවීම ආණ්ඩුවේ වගකීමයි. ඊට එරෙහිවීම සියලූ ශ‍්‍රී ලාංකියන්ගේ යුතුකමයි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *