රාජපක්ෂ ආණ්ඩුවේ කෑම බිල යහපාලන ආණ්ඩුවෙන් ගෙවන හැටි – භාතිය බරුකන්ද

දේශපාලන අවස්ථාවාදය හා අන්තවාදය විසින් නොකඩවා පෝෂණය කරමින් ශක්තිමත් කරන මේ ඊනියා ප්‍රවාද තීරණාත්මකව පරාජය කිරීමේ වැඩි වගකීමක් තිබෙන්නේ අප විශ්වාස කරන ආකාරයට යහපාලන ආණ්ඩුව වෙනුවෙන් ඡන්ද භාවිත කළ ජනතාවටමයි. එය ඔවුන්ගේ වගකීමක් මෙන්ම වගවීමක් වශයෙන් ද සැලකිය හැකියි.

විමල් වීරවංශ ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් හදිසියේම ඉල්ලා අස්වෙමින් නැති ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නේ කෙසේ හෝ කුමන උපායකින් හෝ ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කඩාකප්පල් කර දැමිය යුතු නිසයි

2018 වසරට අදාළ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට කලින් නව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්වීමට ආණ්ඩුව සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (20) යුරෝපා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ “ආර්ථික සංවර්ධන ප්‍රමුඛතා යළි සැකසීම පිළිබඳ වැඩසටහනට’ සහභාගි වෙමින් ප්‍රකාශ කළා. මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ආයෝජකයන්ට වැඩි අවස්ථා ලබාදෙන බවයි. පවතින බදු නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හා හැකියාව සොයා බලන බව ද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාව ප්‍රකාශ කළේ මේ වසරේ මුල් කාර්තුවේදී මෙරට ආර්ථිකය තුළ අලුතින් රැකියා 223,507ක් බිහි වී ඇති බවයි. ඒ අනුව මෙරට විරැකියා ප්‍රතිශතය සියයට හතරේ සිට සියයට 2.28 දක්වා අඩු වී ඇති බව ද එම වාර්තාව ප්‍රකාශ කළා.

අගමැතිවරයාගේ නව සැලසුම සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හෙළිදරව්ව අනුව අපට දැකිය හැකි වන්නේ මෙරට ආර්ථිකය නිසි මඟට ගැනීමට ආණ්ඩුවට පසුගිය කාලය තුළ හැකියාව ලැබී ඇති බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ රටේ සිදුවන තිරසාර ආර්ථික සංවර්ධනය හා එහි ඵලදායීබව නිසි පරිදි ජනතාවට සන්නිවේදනය නොවීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය

මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තවත් වැදගත් සිදුවීමක් ද පසුගියදා සිදු වුණා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට පිරිනැමූ ඩොලර් බිලියන 1.2ක ණය පැකේජයේ තෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට මුදාහැරීමයි. එය අමෙරිකානු ඩොලර් මිලියන 167.2කි. මේ මුදල ලැබීමත් සමඟ ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ මුහුණ දුන් රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීමට හා ගෙවුම්ශේෂ හිඟය අඩු කර ගැනීමට අවස්ථාව උදාවන බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මේ ණය පැකේජය ප්‍රදානය කිරීම මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධීන්ගේ ඍජු හා දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. පසුගිය කාලය මුළුල්ලේම සෑම ආණ්ඩුවකටම එරෙහිව ම පහසුවෙන් දමා ගැසූ කප්පරක් බොරු හා හිතුළු ද මේවන විට යළි යළිත් මුදාහැරෙමින් තිබෙන බවක් ද දැකිය හැකියි.

මේ අතර ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය රටේ සංවර්ධන කාර්යයන් සඳහා භාවිත නොකොට රුපියල ශක්තිමත් කිරීමට හා ගෙවුම්ශේෂ හිඟය පියවා ගැනීමට යොදා ගැනීම සම්බන්ධයෙන් දේශපාලන චෝදනා මෙන්ම සමාජ මැසිවිලිද තිබෙනවා.

ආණ්ඩුව ණය ගන්නේ ඇයි ?

පසුගිය කාලයේ රාජපක්ෂ පන්නයේ කිසිදු සංවර්ධනයක් නොදකින ජනතාව මේ සමඟ නඟන බරපතළ ප්‍රශ්නයක් වන්නේ ‘ආණ්ඩුව මේ තරම් ණය කන්දරාවක් අරගෙන කරන වැඩේ මොකක්ද? යන්නයි. ‘හොරාට කලින් කැණ වැට පනිනවා’ යන ප්‍රකට ගැමි කියමන අනුව ජනතාව මේ ප්‍රශ්නය අසන මොහොතේම ඒකාබද්ධ විපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු විරෝධීන් දෙන ජනප්‍රිය පිළිතුර වන්නේ ‘ආණ්ඩුව හොරා කනවා’ යන්නයි.

එහෙත් ජනතාව නොදකින සහ ජනතාවට නොකියන සත්‍ය කතාව වන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට ආණ්ඩුව දසඅතේ ණයට ගනිමින් ද, හැකි සෑම වියදමක් සීමා කරමින් ද කරමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2005 සිට 2015 දක්වා දේශීය හා විදේශීය වශයෙන් ගිනි පොළියට ගත් ණය කන්ද ගෙවා දැමීම බවයි. ණය කන්දේ බර ක්‍රමයෙන් හෑල්ලු කර ගැනීම බවයි.

වත්මන් ආණ්ඩුව මුහුණ දෙමින් සිටින මේ අසීරු තත්ත්වය පසුගියදා එක් ආර්ථික විශේෂඥයෙකු විසින් පැහැදිලි කර තිබුණේ ‘මහින්දගේ කෑම බිල ගෙවීමක්’ යනුවෙනුයි. අපට මේ තත්ත්වය වඩාත් පහසුවෙන් සංඛ්‍යා ලේඛන අැසුරින් ද පැහැදිලි කරගත හැකියි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ ආරම්භ වන 2005 වසරේදී ආණ්ඩුව විසින් ලබා ගෙන තිබූ දේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,265,722ක් වූ අතර විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 2,222,341 ක් වුණා. මේ ප්‍රමාණය 2010 දී දේශීය ණය රුපියල් මිලියන 2,565,662 ක් දක්වා ද විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 4,590,245ක් දක්වා ද වර්ධනය වුණා. 2014 වසර අවසානයේදී දේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 4,277,783 දක්වා ද විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 7,390,899 දක්වා ද වර්ධන වී තිබුණා.

2015 ජනවාරී 08 වැනිදා නව ආණ්ඩුව බලයට පත්ව වසරක් ගත වන විට දේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 4,959,196 ක් දක්වා ද විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 8,503,227 දක්වා වර්ධනය වුණා.

මේ සමඟ අපට ක්ෂණයෙන් ඇතිවන ප්‍රශ්නයක් වන්නේ වසරක් ගත වීමටත් මත්තෙන් යහපාලන ආණ්ඩුව දේශීය වශයෙන් රුපියල් මිලියන 681,413ක් ද විදේශීය වශයෙන් රුපියල් මිලියන 1,112,378 ක් ණය ලබාගත්තේ කුමක් නිසාද යන්නයි.

මහින්දගේ කෑම බිල ගෙවීම

මේ සම්බන්ධයෙන් වඩාත් හොඳ පැහැදිලි කිරීමක් පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද සිදු කර තිබුණා. “අප රට බාරගන්නාවිට රජය ගත් ණයවල පොලිය ගෙවන්නටවත් හැකියාවක් තිබුණේ නැහැ. පොළිය ගෙවන්න ණය ගත් විට ණය කන්ද තවත් වැඩි වෙනවා. එය විශාල ප්‍රශ්නයක්. ඔබේ දරුවන්ට මේ ණය බර ඉතිරි කරනවාද? නැතිනම් ඊළඟ දශකය තුළදී මේ ණය ප්‍රශ්නය විසඳනවාද? ඊළඟ වසර තුනේ අපට ගෙවීමට ඇති ණය සහ පොළී ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වෙනවා. එනම් බිලියන හාරදහස් හයසීයක් ගෙවා දැමිය යුතුයි. එනම් ඩොලර් බිලියන 26ක මුදල් ගෙවිය යුතුයි. මේ ණය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව සියයට 35 – 36 ක් වෙන් කළ යුතුව තිබෙනවා”

අගමැතිවරයා මේ ප්‍රකාශය කරන්නේ ඉතාමත් සංවේදීව. මොකද වත්මන් ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන කටයුතුවල බර සම්පූර්ණයෙන්ම කරට අරන් ඉන්නේ අගමැතිවරයා. ඒ කටයුතු නිසි පරිදි සිදු නොවන විට, ඒවායේ ප්‍රතිලාභ ජනතාව වෙත ළඟා නොවන විට ඒ දේශපාලන අවදානම ගන්නෙත් අගමැතිවරයා. යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කෑම බිල ගෙවමින් ඉන්නවා කියන කතාව දේශපාලන හා අර්ථික යථාර්ථයක් වන්නේ මේ නිසයි.

අයාලේ ගිය සංවර්ධන නිසි මඟට

ජාත්‍යන්තරයෙන් හා දේශීය වශයෙන් සැලසුම් සහගතව ණය ගනිමින් ආණ්ඩුව මහින්දගේ කෑම බිල ගෙවන අතර එම යුගයේ අයාලේ ගිය ආර්ථිකය ද තිරසර හා ඵලදායී මාවතට ගනිමින් සිටින බව මේ ලිපියේ මුලින්ම සඳහන් කළ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හෙළි කිරීම මගින් පැහැදිලි වෙනවා. අගමැතිවරයා යුරෝපා වාණිජ මණ්ඩලය හමුවේ අවධාරණය කළ පරිදි ජීඑස්පී ප්ලස් තීරු බදු සහනයේ වාසිය ආයෝජකයන්ට වඩාත් ඵලදායී ආකාරයෙන් භාවිත කිරීමට අවස්ථාව උදා වුවහොත් එජාපය මහ මැතිවරණයේදී ලබාදුන් රැකියා දශ ලක්ෂයේ පොරොන්දුව පහසුවෙන් යථාර්ථයක් වෙන බව නිසැකයි.

මේ බව ආණ්ඩුවත් ඉතා බැරෑරුම්ව තේරුම් ගෙන ඇති බව අගමැතිවරයා ගාල්ලේ දී කළ කතාවෙන් පැහැදිලි වෙනවා. “අපේ අරමුණ ආදායම වැඩි කිරීමයි. වැට් බද්ද වැඩි කළා. බැණුම් ඇහුවා. කරන්න දෙයක් නැහැ. අප ඒ වගකීම ගත යුතුයි. දැන් අපට ණය පොලිය ප්‍රශ්නයක් නැතිව ගෙවා දමන්නට හැකියාව තිබෙනවා. ඊළඟ වසර තුනේ පොලිය ගෙවූ පසු ණය ගෙවන්න තිබෙනවා. ඇතැම්විට නැවත ණය ගන්නට සිදුවේවි. නමුත් දැවැන්ත සංවර්ධන වැඩසටහන් ඇරැඹූ පසුව රටට ආයෝජන ලැබෙනවා. ඊළඟ වසර තුනේදී අපට ඩොලර් බිලියන හතක් ගැනීමට හැකිවේවි. ඒ ප්‍රමාණය බිලියන අටක් හෝ නවයක් බවට පත් කිරීමට පුළුවන්. ඒ මුදල් නැවත ආයෝජනය කළ විට ඉන් ලැබෙන ආදායමෙන් අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන්නට හැකියාව ලැබෙනවා. 2020 වනවිට සමබර තත්ත්වයක් ඇති කර 2025 වනවිට ආර්ථිකය ශක්තිමත් කොට ණය ගෙවීමට හැකි තත්ත්වයක් උදා කරනවා”

ගමන නිදහසේ යාමට දෙයිද ?

ඒත් මේ මඟ නිසි බොහොම සැහැල්ලුවෙන් යා නොහැකි බව පැහැදිලියි. ආණ්ඩුවේ දේශපාලන හා අාර්ථික ප්‍රතිසංස්කරණ අඩාල කරන හෝ දියාරු කරන අවස්ථාවාදී දේශපාලන බලවේග මේ මොහොත වන විට වඩාත් සක්‍රීය වෙමින් තිබෙන බවක් දැකිය හැකියි. ඒ සඳහා ඔවුන් වැඩවර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන උපක්‍රම හා භාවිතයන් සේම ඊට වඩා ඔබ්බට ගිය පාර්ලිමේන්තු කුමන්ත්‍රණ පවා සිදු කළ හැකි බවයි බොහෝ දෙනකුගේ අදහස වන්නේ.

ඔවුන් බොහෝ දෙනෙක් මේ තත්ත්වය 2001 -2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ උද්ගත වූ තත්ත්වය සමඟ සැසඳීමට වැඩි කැමැත්තක් දක්වනවා.

එහිදී සිදු වුණු දේ අද බොහෝ දෙනකුට අමතක විය හැකියි. එදා 2001 දෙසැම්බර් 05 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. ඒත් ජනාධිපති ධූරයේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. එදා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව භාර ගන්න විට ආර්ථික වර්ධනය තිබුණේ ඍණ අගයක. එය ලංකා ඉතිහාසයේ ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් වාර්තා කළ ප්‍රථම අවස්ථාව. ඒ වගේම ජාතික ගැටලුව, යුද්ධය දිනගත නොහැකි තත්ත්වයට පත්වෙලා රට අරාජිකභාවයට පත්වීමට ආසන්නව තිබුණා. කටුනායක ගුවන් තොටුපොළට එල්ල වූ කොටි ප්‍රහාරය සමඟ ලංකාවේ ජාත්‍යන්තර ආර්ථික කටයුතු බිඳ වැටීමේ හෝ අධිභාරයක් පැනවීමේ අවදානමක් තිබුණා. රට ජාත්‍යන්තර ප්‍රජාවෙන් කොන් කරලා තිබුණා.

ඒත් එක්සත් ජාතික පක්ෂය ඉතා කෙටි කාලයකින්, එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැවැන්ත කැපකිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමින් (රජයේ රැකියා ලබාදීම සම්පූර්ණයෙන්ම නවතා දමා) ඍණ අගයක පැවැති ආර්ථිකය කඩිනම් වර්ධනයකට ලක් කළා. ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වඩාත් ප්‍රශස්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් වූ ‘පිබිදෙමු ශ්‍රී ලංකා’ ජාත්‍යන්තරයට ඉදිරිපත් කළා. අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මහත් ඉහළින් ලකුණු දාගන්න කොළඹ වට රවුම් මාර්ග, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ග පද්ධතිය ආදි ඉදිරිගාමී දැවැන්ත සංවර්ධන සැලසුමක් සමඟ තිරසාර ගමන් ආරම්භ කළා. අද බොහෝ දෙනෙක්ට අමතක ‘ටෝකියෝ අාධාර සමුළුව’ හරහා ලංකාවේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළට රුපියල් කෝටි 45,000 ක ජාත්‍යන්තර ආධාර අනුමත වුණා.

එහෙත් ඒ සමඟම සිදු වූ අවස්ථාවාදී දේශපාලන කුමන්ත්‍රණය හා එහි ආදීනව ගැන සඳහන් කිරීමට මෙහිදී ඉඩකඩ නැහැ. කොහොම වුණත් ඍණ ආර්ථිකයක් කඩිනම් හා ප්‍රශස්ත වර්ධනයකට පත් කරමින් බෙදී වෙන්වීමට ආසන්න රටක් යළි එක් කරමින් එජාප ආණ්ඩුව ගෙන ගිය සමස්ත වැඩපිළිවෙළ එදා සම්පූර්ණයෙන්ම විනාශ කරදැමීමට පාර්ලිමේන්තු කුමන්ත්‍රණකරුවන්ට පහසුවෙන් හැකි වුණා.

තීරණාත්මක අවස්ථාව

අද යහපාලන ආණ්ඩුවත් පැමිණ සිටින්නේ මෙවැනි තීරණාත්මක අවධියකට බවයි අපගේ අදහස. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම පැහැදිලි කරන ආකාරයට ආණ්ඩුවට නව ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ නිදහසේ ක්‍රියාත්මක කිරීමට ඊනියා ඒකාබද්ධ විපක්ෂය සහ අවස්ථාවාදී දේශපාලන පක්ෂ හා කල්ලි ඉඩ නොදෙන තත්ත්වයක් තමයි දැන් වර්ධනය වෙමින් තිබෙන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම හෙළි කරන ආකාරයට මේ කණ්ඩායම්වල ඍජු හා ඉක්මන් අරමුණ වන්නේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම හෝ දියාරු කර දැමීමයි.

“පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන නිසා ජනතාව බදු නොගෙවිය යුතුයි” කියලා බන්දුල ගුණවර්ධන ජනතාවට බලපෑම් කරන්නේ මෙවැනි තත්ත්වයක් තුළයි. ආණ්ඩුවේ නව බදු සංශෝධනවලට එරෙහිව දිගින් දිගටම අධිකරණය හමුවට යමින් ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට බන්දුල ගුණවර්ධන ඇතුළු පාර්ශ්ව හැකි සෑම පියවරක්ම ගන්නේ ඒ නිසයි. විමල් වීරවංශ ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් හදිසියේම ඉල්ලා අස්වෙමින් නැති ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නේ කෙසේ හෝ කුමන උපායකින් හෝ ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කඩාකප්පල් කර දැමිය යුතු නිසයි.

අප මෙය තීරණාත්මක අවස්ථාවක් වශයෙන් සලකන්නේ මේ වසර අවසාන වන විට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය ආණ්ඩුව සම්බන්ධයෙන් ජනමතය උරගා බැලෙන ජනමත විචාරණයක් වීමට ඇති අවස්ථාව නිසයි. එහිදී ජනතාව ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් පොරොන්දු හා බලයට පත් වූ පසු ඉටු කළ දේ අතර වෙනස මෙන්ම ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ තුළින් තමන්ට ලැබුණු පුද්ගලික පංගුව ගැනත් වැඩියෙන් අවධානය යොමු කරන බව නිසැකයි.

මේ තත්ත්වය තුළ ගතවන සෑම මොහොතක්ම, ගන්නා සෑම තීරණයක්ම ආණ්ඩුව අතිශයින් වැදගත් වෙනවා. ඊට හේතුව තමයි ආණ්ඩුව ගන්නා, ආණ්ඩුව කරන සියලුම සාධනීය හා ජනතාවාදී දේවල් දේශපාලන අවස්ථාවාදය හා අන්තවාදය විසින් ඉතා සූක්ෂමව තමන්ගේ දේශපාලන හා බල වුවමනා එපාකම් අනුව ජනතාව හමුවේ අවධාරණය කිරීම. පසුගිය කාර්තුව තුළ රටේ රැකියා ලක්ෂ 2 කට වැඩි ප්‍රමාණයක් අලුතින් බිහි වූ බව ජනතාවට සන්නිවේදනය නොවී “කෝ ෆොක්ස් වැගන් කම්හල’ කියලා අහන්න ජනතාව පෙළඹවන්න පුළුවන් වෙලා තිබෙන්නේ මේ නිසයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දැවැන්ත සුදු අලි ව්‍යාපෘතිවල ( හම්බන්තොට, මත්තල) මුල්ම ණය වාරිකය පවා යහපාලන ආණ්ඩුව විසින් ගෙවද්දී “යහපාලන ආණ්ඩුවේ සංවර්ධනය කෝ” කියලා අහන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ නිසයි.

දේශපාලන අවස්ථාවාදය හා අන්තවාදය විසින් නොකඩවා පෝෂණය කරමින් ශක්තිමත් කරන මේ ඊනියා ප්‍රවාද තීරණාත්මකව පරාජය කිරීමේ වැඩි වගකීමක් තිබෙන්නේ අප විශ්වාස කරන ආකාරයට යහපාලන ආණ්ඩුව වෙනුවෙන් ඡන්ද භාවිත කළ ජනතාවටමයි. එය ඔවුන්ගේ වගකීමක් මෙන්ම වගවීමක් වශයෙන් ද සැලකිය හැකියි. රාජපක්ෂලාගේ කෑම බිලත් ගෙවමින් යළිත් රට සංවර්ධනය කරා ගෙන යා හැක්කේ ඔබෙන් එවැනි සහායක් ආණ්ඩුවට ලැබුණහොත් පමණයි.

සටහන- භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *