විමල්ගේ තගරිය – සී. ජේ. අමරතුංග

 

 ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ආණ්ඩුකිරීම ඉතා අමාරු බවත් එසේ වුවද රටේ යහපත පිණිස එය කළයුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබිණි. හැමවිටම පරිස්සම් වීම මෙහිදී වැදගත් බවද ඒ මහතා කියා තිබෙන්නේ ආණ්ඩුව තුළ ඇතිවී තිබෙන යම් මත ගැටුම් නිසාද විය හැකියි. දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවාදීන් වන මෙම පක්ෂ ‍දෙක එක්ව ආණ්ඩුකිරීම අලුත් අත්හදාබැලීමක් මෙන්ම අමාරු ක්‍රියාවකි.

මේ ආණ්ඩුව තවත් අමාරු කාර්යකට අත ගසා සිටියි. එනම් සියලු දේශපාලන පක්ෂ හවුල් කරගෙන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමයි. ඒ සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියාකරන අතර එහි සියලු පක්ෂ නියෝජනය කරන මෙහෙයුම් කමිටුවක්ද ක්‍රියාත්මකය . එජාපය, ශ්‍රීලනිපය, දෙමළ සංධානය , ජවිපෙ මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද එයට ඇතුළත්ය. මේ දක්වා මෙම කමිටුව සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

කෙසේ වෙතත් දැන් එම සාමුහික ක්‍රියාවලිය බිඳ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මකය. එයට පෙරමුණ ගෙන ඇත්තේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණයි. එම පක්ෂය පසුගියදා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුක්‍රම සම්පාදන මෙහෙයුම් මණ්ඩලයෙන් ඉවත් නොවන්නේ නම් තම පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස්දෙනා ස්වාධීන වීමට කටයුතු කරන බවයි. එනම් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වන බවයි. එමඟින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීම අවසන් වන බවද වීරවංශ මහතා ප්‍රකාශ කොට තිබිණි.

අනුන්ගේ මල් වට්ටියට අත ගැසීම

විමල් වීරවංශට අනුව නව ව්‍යවස්ථාවක් සැකසීම එජාපයේ වැඩකි. එයට දායකවීම ඔහු දකින්නේ අනුන්ගේ මල් වට්ටියකට අතගැසීමක් වශයෙනි. මේ හදන්නේ අප රටේ ජනතාවගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බවත් එවැන්නක් සැලකිය යුත්තේ ජාතික වශයෙන් වැදගත් කාර්යයක් ලෙස බවත් වීරවංශ මහතා වැන්නන්ට වැටහෙන්නේ නැත. වැටහුනත් ඒ අනුව ක්‍රියාකරන්නේ නැත. ක්‍රියාකරන්න උත්සාහ දරන්නේ තමන්ගේ වෙනත් දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට දමන්නටය. එයින් රටට හෙන ගැහුවත් මොවුන්ට එය එතරම් වැදගත් නොවේ.

විමල් විරවංශ මහතාගේ විරෝධය තවත් උත්සන්න වී ඇත්තේ බලය බෙදීම ගැන මෙහෙයුම් කමිටුවේ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් සහභාගීවීමත් ඔවුන් බලය බෙදීම සඳහා වූ යෝජනාවලට එකඟවීමත් නිසාය. එය විමල් වීරවංශලාට දිරවන්නේ නැති වැඩක් වී තිබේ.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සම්බන්ධ කරගෙන හා මහජන අදහස් විමසීමක්ද කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරිම ‘යහපාලන ආණ්ඩුවේ’ ප්‍රමුඛ කාර්යයකි. එයට හැකි ඉහළම දායකත්වය ලබාගැනීමට කටයුතු කරනු ලැබීය. මහජන අදහස් විමසා ලබාගත් වාර්තාවක් සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සම්බන්ධ කරගත් කමිටු මඟින් විවිධ ක්ෂේත්‍ර ගැන වාර්තා සකස්කොට ඒවා මෙහෙයුම් කමිටුවට යොමුකොට සාකච්ඡා කරමින් දැන් මේ වැඩපිළිවෙළ බොහෝ දුරක් පැමිණ ඇත. වඩාත් වැදගත් දේ නම් මෙම ජාතික වගකීමෙන් කර අරින්නට කිසිවකුට ඉඩ නොතැබීමයි.

ශ්‍රී ලංකාවට තම ජනතාවගේම ව්‍යවස්ථාවක් මේ දක්වා ලැබී නැත. 1948 දී ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාව හැදුවේ බ්‍රිතාන්‍යයන් විසිනි. 1972 ව්‍යවස්ථාවට වෙනත් පක්ෂ සහභාගී කර ගත්තද සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගැනීමක් සිදු නොවීය. එය සකස් කරන ලද්දේ එවකට පැවැති සමඟි පෙරමුණු ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුවයි.

1978 සකස් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වනු ලබන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව වශයෙනි. එය සකස් වූයේ ජයවර්ධන මහතාගේත් එක්සත් ජාතික පක්ෂයේත් වුවමනාව හා අදහස් උදහස් අනුවය. එමගින් හඳුන්වාදුන් විධායක ජනාධිපති ක්‍රමයට එකල සිටම බරපතළ විරෝධතා මතුවිය. එහෙත් එය සම්පූර්ණයෙන් වෙනස්කර ගැනීමට මේ වනවිටත් අපට හැකිවී නැත.

ජේ. ආර්. ජයවර්ධන මහතා මෙම ව්‍යවස්ථාව සම්මත කරගත්තේ රට සංවර්ධනයට බලගතු විධායකයක් අවශ්‍ය බව කියමිනි. එයට ශ්‍රීලනිපය මෙන්ම වමත් විරුද්ධ වූයේ එමගින් ඒකාධිපතියකු බිහිවන බව පෙන්වා දෙමිනි. ලංකා සමසමාජ පක්ෂයේ නායක එන්. එම්. පෙරේරා මහතා ඒ පිළිබඳව පොතක් ලියා පළ කළේය. ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වූ කාලයේ පෙනී ගියේ එකී විරෝධය සාධාරණ බවයි. හිතුවක්කාර පාලනයකට ‍මෙයින් ඉඩ සැලසෙන බවයි.

විධායක ජනාධිපති ක්‍රමයේ බිහිසුණු ලක්ෂණ රටට හොඳින්ම පෙනී ගියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. මහජන උද්ඝෝෂණ ආදියට ඉඩක් තිබුණේ නැත. ඇතැම් විට සුදු වෑන්වලින් මිනිසුන් ඉස්සීමෙන් ජනතාව බියටපත්කිරීමෙන් මහජන නැගිටීම් නවත්වනු ලැබීය. මහජනයා වීදි බසින විට නිදහස් වෙළෙඳ කළාපයේ හෝ රතු පස්වල මෙන් වෙඩි තබා මිනිසුන් ඝාතනය කරමින් උද්ඝෝෂණ මර්දනය කරනු ලැබීය.

ජනමාධ්‍යයට මේ කාලයේ සිදුවූ තර්ජන ගර්ජන නිමක් නැත. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍ය ආයතන ගිනිතැබීම්, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහරදීම හෝ මරාදැමීම ආදී බොහෝ දේ එම කාලයේ සිදුවීය.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජනාධිපතිවරණයට තරග කළ සරත් ෆොන්සේකා මහතා කුදලාගෙන ගොස් සිරගත කිරීම, ජනාධිපතිගේ අත්තනෝමතික බලය ගැන කදිම නිදසුනකි. තවත් නිදසුනක් නම් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තනතුරින් පහ කළ ආකාරයයි.

විධායක බලය ශක්තිමත් කර ගැනීම

මෙහි තිබෙන අප්‍රසන්න දේශපාලනය වන්නේ මෙලෙස විධායක ජනාධිපති බලය අත්තනෝමතික ලෙස යොදාගන්නා ලද්දේ එම ක්‍රමය අහෝසිකරන බවට පෙරොන්දු දී බලයට පැමිණි පාලකයන් විසින් ම වීමයි. මහින්ද රාජපක්ෂ මහතා 2005 දී මෙන්ම 2010 දී ද බලයට පැමිණියේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවට පො‍රොන්දු දෙමිනි.

ජවිපෙ සමඟ 2005 ගිවිසුමකට වැටුණේද ඒ සඳහාය. අවසානයේ ඔහු කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 වන සංශෝධනයක් ඉදිරිපත් කරමින් විධායක බලය වඩාත් ශක්තිමත් කර ගැනීමයි.

ඊට පෙර බලයේ සිටි චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය 1994 දී බලයට පත්වූයේ ද ජනාධිපතික්‍රමය අහෝසි කරන බව කියමිනි. වසරකින් එය කරන බවට පොරොන්දු වුවද ඇයද එය ඉටු කළේ නැත. එයට ද හේතුවූයේ දේශපාලන වාසියයි. තමන්ට බල යේ සිටින්නට ජනාධිපති බල ය අවශ්‍ය බවට ඇතිවූ විශ්වාසයයි. එසේ වුවද එම ක්‍රමය පවත්වාගෙන යාමෙන් එම ජනාධිපතිනියටද විශේෂ දේශපාලන වාසියක් හිමිවූයේ ද යන්න සැක සහිතය.

සෝභිත හිමියන්ගේ ඉල්ලීම්

ඇතැම් දේශපාලඥයන් සිතුවේ විධායක ජනාධිපතික්‍රමය දිගටම බලායේ සිටිය හැකි ක්‍රමයක් වශයෙනි. එසේ සිතූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බලය වඩා ශක්තිමත් කරගෙන බලයේ සිටිය හැකි වාර ගණනේ සීමාවද ඉවත්කර ගත්තේ දිගටම බලයේ සිටින්නටය. එසේ වුවද ඔහුට සිදුවූයේ නියමිත කාලයටත් කලින් ගෙදර යන්නටය. විධායක ජනාධිපති බලයේ දේශපාලන වාසිය පිළිබඳ මිථ්‍යාවද එලෙස බිඳවැටී හමාරය.

රට මුහුණ දී තිබූ ‍අනෙක් ප්‍රධාන ප්‍රශ්නය නම් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. සමානුපාතික ඡන්ද ක්‍රමය වඩා සාධාරණ බව පෙනී ගියත් ඒ සමඟ ක්‍රියාත්මක වූ මනාප ඡන්ද ක්‍රමය නිසා මැතිවරණය ප්‍රචණ්ඩ යුද පිටියක් බවටත් සල්ලිකාරයන්ගේ සටනක් බවටත් පත්ව තිබිණි. එම තත්ත්වය වෙනස් කිරීමට මහජන හඬක් මතුවීමද ඒ අනුව සිදුවී තිබිණි. 2002 – 2004 එජාප ආණ්ඩු කාලයේ දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ කමිටුවක් පත් කළේ රටට නව ඡන්ද ක්‍රමයක් සකස් කරන්නටය. එයින් යෝජනා ඉදිරිපත්ව තිබුණද එම ක්‍රමය හෝ වෙනත් සුදුසු ක්‍රමයක් හෝ හඳුන්වාදීමක් සිදු වූයේ නැත

විසඳාගත යුතු තවත් ප්‍රශ්නයක් වූයේ මෙරට සුළුතර ජාතීන් සඳහා බලය බෙදීමේ සාර්ථක යාන්ත්‍රණයක් ගොඩනඟා ගැනීමයි. කවුරුන් කෙසේ කීවද ‍මෙම ප්‍රශ්නය නිසා රට දිගුකලක් විශාල විනාශයන්ට මුහුණදී ඇති බව පැහැදිලිය. තවත් එබඳු විනාශයන්ට ඉඩ තැබිය යුතු නැත. එයද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් විසඳාගත යුතු ගැටලුවකි.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ‘සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය’ බිහිවන්නේ ඉහතකී ජාතික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමටය. සෝභිත හිමියන් තම ආමන්ත්‍රණය කළේ සියලු දේශපාලන පක්ෂවලටය. උන්වහන්සේ තම ඉල්ලීම් මුලින්ම ඉදිරිපත් කළේ එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ රජයටයි. ඔහුගෙන් එම ඉල්ලීම් ඉටු නොවන විට එම ඉල්ලීම් ඉටු කළ හැකි විපක්ෂයේ පොදු අපේක්ෂකයකු ගැන සෝභිත හිමියෝ කතා කළහ. ඉන්පසු සිදුවූ දේ කාටත් මතක ඇත. මේ රටේ දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ කණ්ඩායම් රාජපක්ෂ පාලනය පෙරළා දමන ලද්දේ මෙම අරමුණු ඉටුකර ගැනීමටය.

සෝභිත හිමියන් දිගටම ඉල්ලා සිටියේ මෙම ජාතික කර්තව්‍යයේදී ප්‍රධාන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවටය. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව ශ්‍රී ලංනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීම නිසා එම හැකියාව වඩාත් පුළුල් විය. පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් කිරීමට යහපාලන රජය ක්‍රියා කිරීමත් සමඟ සියලු පක්ෂ වලට මෙම කාර්යයට සම්බන්ධවීමට සිදුවීය. ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින පිරිසද මෙයට සහභාගී කර ගැනීමට හැකිවීම ආණ්ඩුවේ ජයග්‍රහණයකි.

ඒකාබද්ධ විපක්ෂය මෙම ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නේ ඔවුන්ගේම න්‍යාය පත්‍ර නිසා වන්නට බැරි නැත. වත්මන් ව්‍යවස්ථාව අනුව තවමත් විධායක ජනාධිපති ක්‍රමය පවතියි. එසේ වුවද දහ නව වන සංශෝධනයෙන් එහි බලය සීමාකොට සැලකිය යුතු බලයක් ස්වාධීන කොමිසන් සභාවලට පවරා ඇත.

කෙසේ වෙතත් විධායක ජනාධිපතිගේ ධූර කාලය සඳහා දහනව වන සංශෝධනයෙන් පනවා ඇති සීමා නිසා මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් එම තනතුරට තරඟ කළ නොහැකිය. නැවතත් විධායක බලය දැරීමට රාජපක්ෂ මහතාට ඇති බාධකය ඉවත්කරගත හැක්කේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඉඩ දීමෙනි. ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ රැඳී සිටින්නේ එම කාරණා නිසා වුවද එසේ හෝ සම්බන්ධවීම වැදගත්ය.

ජාතිවාදය ඇවිස්සීම

එසේ වුවද බල්ලන් සමඟ දඩයමේ යන ගමන් හාවුන් සමඟ දුවන්නටද ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ට අවශ්‍යය. ඔවුන් කරන්නේ ව්‍යවස්ථා ක්‍රියාවලියේ සිටින ගමන්ම “රට බෙදන ව්‍යවස්ථාව” යැයි කියමින් එයට විරුද්ධ වීමය.

විමල් වීරවංශලා ක්‍රියා කරන්නේ රටේ වෙනස් වී ඇති දේශපාලනය ගැන වගේ වගක් නැතිවය. එල්. ටී. ටී. ඊයත් යුද්ධයත් අවසන් බවත් රට බෙදීමක් කොත­ැනකවත් කතා නොකරන බවත් වීරවංශලා දන්නේ නැත. ඔවුන් හිතන්නේ යුද කාලයේ කළා මෙන්ම දෙමළ ඩයස්පෝරාව ගැන රට බෙදන සැලසුම් ගැන කියමින් ජාතිවාදය අවුස්සන්නට තවමත් හැකියාව තිබෙන බවය.

අතීතය අමතක කොට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සහජීවනය, මානව අයිතීන් තහවුරුවන නව යුගයකට ගමන් කරන බව වීරවංශ කල්ලියට තේරෙන්නේ නැත. දැන් වසර ගණනාවක් තිස්සේ නැවත නැවත කියා ප්‍රතිඵල නොලැබූ දේ යළි යළිත් කීමෙන් වගතුවක් නොවන බව තේරුම්ගන්නට මොවුනට තවත් කල් යනු ඇත.

ගමේ භාෂාවෙන් මේවාට කියන්නේ මෝඩකමට බෙහෙත් නෑ කියාය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *