රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් ඉවත්වෙයි!

ඒකාබද්ධ විපක්ෂය පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඉදිරියේ යොදා ඇති දේශපාලන රැස්වීම්වලට තමා සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස තමා මෙම තීරණය ගනු ලැබුවේ, දැඩි අපහසුවකින් බවද රෝෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බිම් මට්ටම හරිහැටි හදුනා නොගෙන ඒකාබද්ධ විපක්ෂය ගන්නා තීන්දු තීරණ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් ජයග්‍රහණයක් කරා දිස්ත්‍රික්කය මෙහෙයවීමේ දැඩි අපහසුතාවයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ නොයෙක් නායකයන් තමාගේ කිසිදු විමසීමකින් තොරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතුවලට අත පෙවීම තුළ දිස්ත්‍රික්කයේ ඉදිරි ජයග්‍රහණ උදෙසා ගෙන ගිය දේශපාලන වැඩපිළවෙල තවදුරටත් පවත්වාගෙන යාම අපහසු වී ඇතැයිද රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සිය නිවේදනය මඟින් අවධාරණය කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරියට යොදාගෙන ඇති රැස්වීම් කිසිවෙකට සහභාගී නොවීමටත්, ඒවා කල් දැමීමටත් තීරණය කළද දේශපාලන වාසි, වරදාන හෝ වරප්‍රසාද වෙනුවෙන් තම ප්‍රතිපත්ති අත් නොහරින බවද ඒ මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඇති වී තිබෙන වර්තමාන තත්ත්වයන් පිළිබඳව තමා කනගාටුවට පත්වන බවද රෝෂාන් රණසිංහ මහතා සිය මාධ්‍ය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *