|

අලුත් ව්‍යවස්ථාවට අකුල් හෙළන්නට යාමෙන් ඒකාබද්ධය අමාරුවේ වැටේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උත්සව ගණනාවකට සහභාගී වුණා. විවෘත කිරීම් ගණනාවක් ඒ අතර වුණා. පසුගිය ඉරිදා ජනාධිපතිතුමා සහභාගී වූයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ උත්සව කිහිපයකටයි. නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයාත් උතුරු මැද මහ ඇමැති ‍පේෂල බණ්ඩාර ජයරත්න මහතාත් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටියා.

පොළොන්නරුවේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන රත්න සහල් කර්මාන්ත අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින් අලුතින් ආරම්භ කළ රත්න පොලිසැක් කර්මාන්ත ශාලාව විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවුණා. එහිදී ජනාධිපතිතුමා කීවේ රත්න සහල්, රත්න ඉංජිනියරින් හා රත්න පොලිසැක් වශයෙන් වර්ධනය වන ව්‍යාපාර සමූහය පොළොන්නරුවට ආඩම්බරයක් බවයි.

විවේචන, නින්දා, අපහාස තමන්ට ප්‍රශ්නයක් ‍නොවන බවත් අභියෝගවලට බියනම් ගිය ආණ්ඩුවෙන් එළියට නොඑන බවත්, සෑම අභියෝගයක් ම භාරගන්නා බවත් ජනාධිපතිතුමා එහිදී කීවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට මුහුණදීමට සිදුවූ තත්ත්වයද ජනාධිපතිතුමා විස්තර කළා. “බණ්ඩාරනායක මැතිතුමා දුක් වින්ද තරම් මම තවම දුක් විඳ නෑ. එතුමා වසර තුනයි හිටියේ. මරල දැම්මා. කැබිනට් වර්ජනය කළා. වසර තුනට එක දිගට වැඩ වර්ජන, උද්ඝෝෂණ කළා. එතුමාට කිව්වා ‍සෙවල බණ්ඩා කියලා. කොන්ද පණ නෑ කිව්වා. මට කියන ඒවත් මේ අය දන්නවා ඇතිනේ.’ යැයි ජනාධිපතිතුමා කිවා. “මහත්මා ගාන්ධි තුමා ඉන්දීය ජාතික අරගල කරනකොට එතුමාට කළ නින්දා අපහාස කොතරම්ද? මේ නාකියා, මේ මහල්ලා , ඉන්දියාව විනාශ කරනවා කීවා. අද මුළු ලෝකයම ගාන්ධි තුමාට ගෞරව කරනවා ජනාධිපතිතුමා වැඩිදුරටත් කීවා.

දෙහිඅත්තකණ්ඩිය කැලේගම ශ්‍රී සම්බෝධි විහාරාධිපති මකුරුප්පේ පඤ්ඤාසේන නාහිමියන්ට නැගෙනහිර පළාත හා තමන්කඩුව එගොඩ පත්තුව ‍දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවය පසුගිය සඳුදා පැවැතියේ දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේදීයි. එයට සහභාගි වූ ජනාධිපතිතුමා අතින් නාහිමියන්ට විජිනිපත පිළිගැන්වීම සිදුවණා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ඇතිවී තිබෙන සැක සංකා ගැන කතා කරමින් ජනාධිපතිතුමා එහිදී කීවේ 72 ව්‍යවස්ථාවේ හා 78 ව්‍යවස්ථාවේ බුද්ධාගමට දී ඇති තැන කිසිසේත් වෙනස් කරන්නේ නැති බවයි. ඒකීයභාවය සම්බන්ධ‍යෙන්ද කිසිදු වෙනසක් ‍නොකරන බවත් කී ජනාධිපතිතුමා රටට නව මැතිවරණ ක්‍රමයක් හා ආසනයකට වගකියන මන්ත්‍රීවරුන් සිටින ක්‍රමයක් අවශ්‍ය බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බවත් කීවා. මේ රටේ ජාතීන් අතර කාලයක් තිස්සේ පවතින ප්‍රශ්න නව ව්‍යවස්ථාවක් මඟින් විසඳාගෙන සහජීවනයෙන් යුතු රටක් ගොඩනැඟීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

‍පොළොන්නරුව පළුගස්දමන ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමේ උත්සවයටද ජනාධිපතිතුමා සඳුදා සහභාගී වුණා. ඒ සඳහා වන සමරුඵලකය විවෘත කිරීමෙන් පසුව පාසලේ නිල වෙබ් අඩවියද විවෘත කරනු ලැබුවා. 2017 පළාත් චිත්‍ර තරගයෙන් දක්ෂතා දැක්වූ විශ්මිනි මනුත්තරා ශිෂ්‍යාවට සහතිකපත් පිරිනැමීමද ජනාධිපතිතුමා අතින් සිදු වුවා.

දේශීය වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යන්නේ කන්න දෙක තුනක් පවතින නියඟය නිසා බවත්, මෙය අප රටටම පමණක් නොව කලාපයේ රටවල් ගණනාවක පවතින තත්ත්වයක් බවත් ජනාධිපතිතුමා උත්සව සභාව අමතා කීවා. විවිධ රටවල් පසුගිය කාලයේ ඇතිවූ ව්‍යසන ගැන එතුමා විස්තර කළා. කෙසේ වෙතත් සහල් මිල පාලනය සඳහා පිටරටින් සහල් ගෙන්වා මිල පාලනය කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.

සමහරු අහනවා වෙනස මොකක්ද කියලා. මේක තමයි වෙනස. වෙනස මොකක්ද කියලා අහන අයට පොළොන්නරුවට ගියාම වෙනස පේනවා. වෙනස වුණේ නැතිනම් අද මේ වෙනස නෑ “ ජනාධිපතිතුමා කීවා.

බංගලිදේශයේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා බදාදා පිටත්ව ගියා. බංගලිදේශ අගමැතිනි ශික් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව මෙම සංචාරය සිදුවනවා. බංගලිදේශය ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කිරීමට අවස්ථා ඇති රටක්. මේ වනවිටත් අප රටේ ව්‍යාපාරිකයන් රාශියක් බංගලිදේශයේ ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටිනවා එම අවස්ථා පුළුල් කර ගැනීමට ජනාධිපතිතුමාගේ සංචාරය ඉවහල් වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 07 දා මන්නාරම එළුතූර් හි නව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වුණා.එහිදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරනුයේ සියලුම ජාතින්ගෙන් ලැබුණු ජන වරම අනුව බවයි. 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ප්‍රකාශය මගින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට පොරොන්දුවක් ලබා දුන් අතර 2015 ජනාධිපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට සනිටුහන් වී තිබුණා.මන්නාරමේදි අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලැබුණු ජනවරමට ද්‍රෝහි වීමට රජයට නොහැකි බවයි.මේ සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝයා වහන්සේලා දැනුවත් කිරිමට පියවර ගන්නා බවත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමන්ගේ පමණක් නොව මුළු රටේම ව්‍යවස්ථාව බවත් අගමැතිවරයා සඳහන් කළා.

ඇසළ පුන් පොහෝ දිනය යෙදී තිබුණු 08 දා අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පින් බිමේ ආගමික වතාවත්වලට සහභාගි වුණා. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දැක සිවුරු පිරිකර පූජා කර උන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත් අගමැතිවරයා උන් වහන්සේ සමග සුව දුක් කථා කිරීමේදී පින් කැට සීල් තබන බවට යන රාවය පිළිබඳවද කථා බහට ආවා. මෙහිදි සිරිනිවාස නාහිමියන් පැවසුවේ පින් කැට සීල් තබා මුදල් බැංකුවල තැන්පත් කිරීම සිදු වුණේ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ යුගයේ සිට බවයි. එම අවස්ථාවට එක් වී සිටි අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ එම මුදල් බෞද්ධ කටයුතු කොමසාරිස් හරහා පන්සලේ කටයුතු සඳහා යළි ලබා දෙන බවයි.

අඛණ්ඩව වසර හතලිහක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තව බොහො කාලයක් රට දැය වෙනුවෙන් සේවය කිරිමට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමන බව රුවන්වැලි මහා චෛත්‍යාධිකාරි පල්ලේගම හේමරතන හිමියෝ පුන්‍ය මහෝත්සවය අමතමින් පැවසුවා.

1972 සහ 1978 ව්‍යවස්ථාවල බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබිය යුතු බව සඳහන් වුවත් පසුගිය වසර පහ හය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොලැබුණු බව පුන්‍ය මහෝත්සවය අමතමින් කී අගමැතිවරයා රටේ බෞද්ධ කේන්ද්‍රස්ථානය වන මහා විහාරය ආරක්ෂාව මුළුමනින්ම සහතික කරන බවට සපථ වුණා. රාජපක්ෂ රෙජිමය මල්වතු පාර්ශ්වය කඩා දමන බවට මල්වතු මහ නාහිමියන්ට තර්ජනය කළ බව මතක් කර දුන් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව බෞද්ධ නිකායන්ට මැදිහත් වී එහි සංයුතිය වෙනස් කිරීමට නොහැකි බවට වන යෝජනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට තමා ඉදිරිපත් කරන බවද කීවා.

බදාදා (12) අගමැති වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදි තරුණ භික්ෂු පෙරමුණේ පනාමුරේ චන්දානන්ද , වැලිමඩ චන්ද්‍රරතන සහ වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිවරුන් ඇතුළු භික්ෂුන් පිරිසක් හමු වුණා.මෙහිදි හිමිවරුන් ඇසූ ප්‍රශ්නවලට අගමැතිවරයා පිළිතුරු දුන්නා.අගමැතිවරයා මෙහිදි අවධාරණය කළේ දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයක් ලෙස පවත්වා ගෙන යාමට නම් සංරක්ෂණය කළ යුතු බව යුනෙස්කෝව දැනුම් දී‍ ඇති බව සහ එසේ නැති වුවහොත් ලබන වසරේ ලෝක උරුමයෙන් ඉවත්ව ‍යාමේ අවදානමක් ඇති බවයි. එසේ ඉවත්ව යනවාද නැතිද යන වග තීරණය කිරීමට බලයක් රජයට නොමැති බව පෙන්වා දුන් අගමැතිවරයා ලෝක උරුමයෙන් ඉවත්ව යාමට දඹුල්ල විහාරයට අවශ්‍ය නම් අස්ගිරිය මහ නාහිමි සමග සාකච්ජා කර අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මගින් යුනෙස්කෝවට දැනුම් දිය හැකි බවද ප්‍රකාශ කළා. ලෝක උරුමයේ පවතින කල් දඹුල්ල විහාරය ආරක්ෂා කිරීමේ වගකීම රජය සතුව පවතින බවද අගමැතිවරයා මෙහිදි පෙන්වා දුන්නා.

රජය සිදු කරන සංවර්ධන වැඩ සටහන් පිළිබඳව සහ ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සිදු කරන වැඩසටහන් පිළිබඳව පක්ෂයේ මන්ත්‍රිවරුන් දැනුවත් කිරිම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේදි පැවැත්වුණු එක් දින වැඩ මුළුවේ ආරම්භක අවස්ථාවට අගමැති වික්‍රමසිංහ මහතා ඊයේ (13) උදේ සහභාගි වුණා.

ඉන්දියාවේ බූබනේස්වර්හි කාලිංග ක්‍රීඩාංගණයේ පැවැති 2017 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් සූරියවැව, දොම්පෙ යායේ නිමාලි ලියනආරච්චි සහ රිදී පදක්කමක් දිනා දුන් සූරිය වැව සුරුවිරුගම ගයන්තිකා තුෂාරි අබේරත්න යන දෙදෙනාම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිය සංවිධාන බල ප්‍රදේශය වන තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ යෞවනියන් වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉමහත් සතුටට පත්ව සිටියා. ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී සජිත් මේ නැඟීගෙන එන ක්‍රීඩිකාවන් දෙදෙනාට කොළඹට නුදුරු “සයුරුපුර” නිවාස සංකීර්ණයෙන් එකක් රුපියල් ලක්ෂ 45 ක් වටිනා නව නිවාස 2ක් පරිත්‍යාග කළේ ඔවුන්ගේ අගනුවර පුහුණු කටයුතුවලට පහසු වෙන්නයි. දුරකථනයෙන් අමතා ක්‍රීඩිකාවන් දෙදෙනාට සුබපැතුම් එක් කරමින් “ළඟදීම දිනයක් දාගෙන හම්බන්තොටට එන්න.

මගෙනුත් තව තෑගි දෙකක් තියෙනවා දෙන්න” යයි සජිත් කියද්දී ක්‍රීඩිකාවන් දෙදෙනාම නොඉවසිලිමත්ව ඇසුවේ ‍ “මොනවද, මොනවද සර් ඒ” කියාය. “ඉන්න කෝ, මම ඔය දෙන්නව ඔලිම්පික් යවල වර්ල්ඩ් කප් ගහන්න පාර හ දන්නයි යන්නේ” සජිත් කීවාය. “අනේ සර් අපේ පුහුණුකරුවෝ දෙන්නටත් උදව්වක් කරන්න” ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ඒ ඉල්ලීම ඉටු කිරීමටත් සජිත් එකඟ වුණා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවකට ලැබුණු අනුමැතිය මත ක්‍රියාත්මක වන “සැමට සෙවණ – විරු සුමිතු‍රු” ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන ඉකුත් 05 වැනිදා සවස ‍කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකාද සහභාගී වුණා. නිවසක අයිතිය අහිමි මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරු පවුල් 3,650 කට නිවාස හිමිකර දීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 31,920ක්. ජනාධිපතිවරයා සිය කථාවේදී කීවේ සජිත් නිවාස අමාත්‍යවරයා ලෙස කරන කැපකිරීම අතින් ඔහුගේ පියාට නොදෙවෙනි වන බවත්, තමන් එය ඉතා අගයන බවත් ය.

එච්. ආර්. ‍ජෝතිපාල ප්‍රවීණ ගායන ශිල්පියාගේ අභාවයට 30 වසරක් පිරීම නිමිත්තෙන් නිවාස 39කින් සමන්විත “සදාකෝකිල ජෝතිමගම” සඳහා සජිත් අතින් මුල්ගල් තැබුණේ හම්බන්තොට ‘සිරිබෝපුර’ දී. මෙය ජනාධිපතිවරයාගේ සංකල්පය මත ඉදිකෙරෙන ‘ග්‍රාම ශක්ති’ වැඩපිළිවෙළේ ප්‍රථම ගම්මානයද වනවා. මෙම ගම්මානය ජෝතිපාල කලාකරුවා නමින් නම් කිරීම උත්සවයට පැමිණ සිටි රජයේ නිලධාරීන්ගේ විශේෂ ප්‍රශංසාවට ලක් වුණා. ‘අවසන් වරට කතරගම ‘ගම් උදාවට’ ඇවිත් ‍ජෝති සින්දු කිව්වා අපි කාටත් මතකයි. එතුමා අපේ තාත්තා ඉතා ආදරය කළ කලාකරුවෙක් වගේම ‘ගම් උදාව’ වැඩසට හන්වලට ලොකු ශක්තියක් ලබා දුන් කෙනෙක්. මගේ තාත්තා ‘කලා පුරය’ නිර්මාණය කළේත් ජෝතිගේ යෝජනාවකට අනුවයි. ‘ජගත් නිවාස වසර’ නිල වැඩසටහනටත්, ජෝතිගේ අකල් මරණයටත් වසර 30ක් සපිරෙනවා. සැඟවුණු හැකියාවන් ඇතිව සිටින ප්‍රාදේශීය කලාකරුවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම කලා ගම්මාන පිහිටුවා ඒ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කිරීමටයි අපේ බලාපොරොත්තුව” සජිත් කීවේ සිය මතකයද අවදි කරමින්.

ගංවතුරින් විපතට පත් වූවන්ට ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම සඳහා ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ඉකුත් 8 වන පොහොය දින ගාල්ලට ගියා.නෙළුව,තවලම,නාගොඩ, යක්කලමුල්ල සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මෙම චෙක්පත් ප්‍රදානයන් සිදු වුණා.ගංවතුර පාලන කිරීමට මහා ජලාශයක් ඉදිකිරීමට ලබන වසරේ වැඩ ආරම්භ කිරීමට තමන් සූදානම් බව මෙහිදී ඇමති වජිර අවධාරණය කළා.

නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය ජනාදන් ශර්මා ප්‍රභාකර් මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතර සුහද හමුවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදු වූයේ ඉකුත් 12 වන බදාදායි.මෙහිදී දෙරටේ පැරණි මිතුදම පිළිබඳව මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ශ්‍රි ලංකාවේ ස්වදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස මෙතෙක් අමාත්‍යාංශය තුළ සිදු කළ මෙහෙය, එහි ප්‍රගතිය සහ ඉදිරියේදී අමාත්‍යාංශය ලෙස සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය ජනාදන් ශර්මා ප්‍රභාකර් මහතා ඇතුළු නියෝජිත පිරිස අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් දැනුවත් කළා. නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට එදින රාත්‍රී තම නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකටද ඇමති වජිර ඇරයුම් කළා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වජිර අබේවර්ධන ඇමතිවරයා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ තාක්ෂණ පීඨය විවෘත කිරීම සඳහා එක්වූයේ ඉකුත් 13 බ්‍රහස්පතින්දායි.

උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට ඒ අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාව විශාල පීඩාවකට පත්ව සිටිනවා. සිය එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වතුරද සිය ගෙවල් දොරවල්ද පාසල් ඇතුළු පොදු ස්ථානද එම ප්‍රදේශවල ජනතාවට අහිමි වෙමින් තිබෙනවා. මේ පීඩනය නිසාම පසුගියදා බණ්ඩාරවෙලට පැමිණි දසදහස් ගණන් ජනතාව හර්තාල් ව්‍යාපාරයක්ද දියත් කළා. මේ නිසා ජනාධිපතිවරයාට ඇමති අනු කමිටුවක් පත්කිරීමට සිදුවුවත් කමිටුවෙන් මේ වනවිට සිදුවෙමින් තිබෙන්නේ කළ යුතු දේ වෙනුවට ජනතා අයිතීන් වෙනුවෙන් මුල සිටම පෙනී සිටි ජනතා සංවිධානය නොසලකා ආණ්ඩුවට හිතවාදී සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වීම බව උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ නායකයන්ට දැනගන්නට ලැබී තිබෙනවා.ඇමති කමිටුවේ සාමාජිකයෙකු වන මහින්ද අමරවීර අමාත්‍යවරයා පසුගියදා බණ්ඩාරවෙලට ගිය අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවූ අතර ජනතාවගෙන්ද විරෝධයක් එල්ල වුණා. පසුව අමාත්‍යවරයා මාධ්‍ය ඔස්සේ කියා සිටියේ ජවිපෙ සමන්ත විද්‍යාරත්න නිසා තමන් ජනතාව වෙනුවෙන් ලබා දීමට ගිය සහන සියල්ල ලබාදෙන්නට නොහැකි වූ බවයි. මේ අතර මහින්ද අමරවීර ඇමතිවරයා ජූලි දහතුන්වෙනිදා උමාඔය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් කොළඹදී සංවිධානය කළා. නමුත් එම රැස්වීමට උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණට ආරාධනා කොට නෑ. ඒ වෙනුවට ස්වාමින්වහන්සේ කිහිප නමකට ආරාධනා කර තිබෙනවා. අපේ සංවිධානයට කතා කරන්නේ නැතිව ඇමතිතුමා අපි ටික දෙනෙක්ට කතා කරලා තියෙන්නේ මන්ත්‍රීතුමා මේකෙන් කපන්න. අපිට පුද්ගලිකව ආරාධනා කරලා වැඩක් නැහැ. අපි ජනතාව වෙනුවෙන් සංවිධානයක් නියෝජනය කරන්නේ. අපේ සංවිධානයට ආරාධනා නැති නිසා අපි යන්න ඕන නෑ” ස්වාමින්වහන්සේලා සමන්ත විද්‍යාරත්නට මේ බව සැලකරමින් කියා සිටියා. ඒ අනුව ඇමතිවරයාට හිතවත් සංවිධාන කිහිපයක් සමඟ සාකච්ඡාව කිරීමට සැලසුම් කර තිබූ බව වාර්තා වෙනවා.

ඩෙංගු උවදුර අධිවසංගත තත්වයක් බවට පත්වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණද සිය අවධානය යොමු කළ අතර මූලික අදියරේදී දින දෙකක ශ්‍රම මෙහෙයුමක් සිදුකිරීමට පසුගිය අටවෙනිදා සහ නමවෙනිදා දින යොදා ගත්තා. ශ්‍රී ලංකා රතුතරුව විසින් මෙම කටයුත්ත සංවිධානය කළ අතර එම ශ්‍රම මෙහෙයුම දිවයින පුරා තෝරාගත් පාසල් දෙසීයකට අධික ගණනක සිදුකිරීමට කටයුතු කළා.එම ශ්‍රම මෙහෙයුමට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, විජිත හේරත්, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු ජනතා නියෝජිතයෝ සහභාගි වූණා. මෙහිදී පාසල්වල විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ සහ මාපියන්ගේ විශාල සහයක් ලැබුණු අතර විශාල ප්‍රසාදයක්ද පළවුණා.මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනෑ දේවල්. ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් 25%ක් ළමයි. සමහර විදුහල්පතිලාට ගුරුවරුන්ට ඩෙංගු හැදිලා. ළමයින්ට ජීවිත පවා නැති වුණා. ඒත් අධ්‍යාපන අමාත්‍යංශයට මේ වගේ දෙයක් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ” අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ ශ්‍රම මෙහෙයුමට සහභාගි වූ ටිල්වින් සිල්වාට එක මවක් කියා සිටියා.මේ අතර කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ ශ්‍රම මෙහෙයුමට එක්වූ විජිත හේරත් ව්‍යාපාරිකයින්ගෙන් ඩෙංගු මර්දනය මූලික පියවරක් විදියට කසළ බැහැර කිරීම විධිමත් කරන්න විවෘත ආරාධනාවක් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කණ්ඩායම් අතර මතභේද කිහිපයක් පැන නැගී තිබෙනවා. ඉන් පළමුවැන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවයි. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුගියදා කීමත් සමඟ උදය ගම්මන්පිල, විමල් වීරවංශ මහත්වරුන් ඇතුළු පිරිසක් ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පත්කර තිබෙන පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම ඉවත්විය යුතු බවයි. නව ව්‍යවස්ථාවකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ප්‍රසිද්ධියේ ප්‍රකාශ ක‍ළ ද ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු කමිටුවලට එම කණ්ඩායමේ නියෝජිතයන් ක්‍රියාශීලීව දායකත්වය දෙමින් සිටිනවා. එය සිදුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිවයි. විමල්, ගම්මන්පිල ආදීන් කියන්නේ ඒකාබද්ධ විපක්ෂය එම ක්‍රියාවලියෙන් ඉවත්විය යුතු බවයි. එසේ වුව ද අනෙක් කණ්ඩායම එය ප්‍රතික්ෂේප කරනවා. එයින් එම කණ්ඩායමේ මතභේදයක් ඇතිවී තිබෙන බව පසුගිය ඉරිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විමල් වීරවංශ මහතා පිළිගත්තා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නට ඉඩ නොදී මීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ උත්සාහයක් ද තිබෙනවා. එම කණ්ඩායමේ දේශපාලන උපදේශකයකු වන දයාන් ජයතිලක මහතා ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ සඳහා ප්‍රචාරක ව්‍යාපාරයක් ද ගෙන ගියා. එම අදහසට ද මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත ලැබී නැහැ. රාජපක්ෂ මහතා කියන්නේ ජනතාව ඉල්ලා සිටින්නේ තමාගේ නායකත්වය බවයි. නව ව්‍යවස්ථාවකින් ඇතිවන විධායක අගමැති ධුරයට පත්වීම ඔහුගේ අපේක්ෂාවයි. මේ නිසාද මතභේදයක් ඇතිවී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සති අන්තයේ මහනුවරදී මාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළේ තමා කිසි දිනෙක දේශපාලනයට නොඑන බවයි. එයද ඒකාබද්ධ විපක්ෂයේ මත ගැටුම් වර්ධනය වීමේ ප්‍රතිඵලයක්.

මේ අතර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව කටයුතු කිරීම නිසා ඉන් ඉවත්ව ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් ඇතුළු කණ්ඩායම එක්සත් වාමාංශික පෙරමුණ නමින් නව පක්ෂයක් පිහිටුවාගෙන තිබෙනවා. එය පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගත්තා. එම පක්ෂය වාමාංශිකයන්ගේ පුළුල් සහභාගිත්වයකින් යුතු පක්ෂයක් ලෙස වර්ධනය කිරීම අරමුණ වී තිබෙනවා. පක්ෂයේ ලාංඡනය ලෙස තෝරාගෙන තිබෙන්නේ රුවල් ඔරුවයි. ලාල් විජේනායක මහතා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ද ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක වශයෙන් ද තෝරා‍ පත්කරගෙන තිබෙනවා.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *