ගෝඨා නොකළ වැරදි – අනුර සූරියබණ්ඩාර

රාජපක්‍ෂවරු හොරුන් දුෂිතයන් නොවෙයි. අවුරුදු අසූවක ඉතිහාසයේ මෙරටට සේවයක් කළ පරපුරක්. තව මාසයකින් මා අත්අඩංගුවට ගන්නවා කියා මහින්ද අමරවීර කියනවා. අත්අඩංගුවට ගැනීමට මා කළ බරපතල වරද තිස් අවුරුදු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කර රටට නිදහස ලබාදීම දැයි කියා අසන්නට කැමති යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහනුවරදී පැවසීය. (දිවයින 2017 ජුලි මස 08 වැනිදා සෙනසුරාදා – පිටුව 13)
ඇත්තෙන්ම කියන්නේ නම් අත්අඩංගුවට ගැනීමට ගෝඨා කළ එකම වරද තිස් අවුරුදු ත‍්‍රස්තවාදී යුද්ධයෙන් රට බේරා ගැනීම පමණි.
මන්ද ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ සමයේ මෙරට බුද්ධි අංශ හමුදා බාරව කටයුතු කළ ආරක්‍ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්‍ෂ නොවන බැවිනි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරන සමයේ ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළේද ගෝඨාභය රාජපක්‍ෂ නොවේ. පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ සමයේ ආරක්‍ෂක ලේකම් වශයෙන් කටයුතු කළේ ද ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂ ලේකම්ව  සිටියේ නැත.
තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්‍ෂ වගකිවයුතු නැත. හේතුව එකල ඔහුගේ වැඩිමහලූ සහොදරයා ලංකාවේ ජනාධිපති ධුරයේ කටයුතු නොකළ බැවින් සහ එකල ගෝඨා මෙරට ආරක්‍ෂක ලේකම්වරයා නොවූ නිසාය. තාජුදින් ඝාතනය කිරීම සාක්‍ෂි වසන් කිරීම දැන් එළිදරව් වෙමින් පවතින ආකාරයට තාජුදීන්ගේ මරණය පරීක්‍ෂණය පවා නිසි පරිදි සිදු නොවීම සම්බන්ධයෙන් රාජපක්‍ෂලාට කිසිදු වරදක් කීමට හැකියාවක් නැත. තාජුදින් මරණයට පත් වූ දිනයේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ රථ වාහන ආගිය ගමන් පිළිබඳ සටහන් අතුරුදන් වීමටත් ගෝඨාභය ඇතුළු රාජපක්‍ෂවරුන් වගකිවයුතු වරදක් නොවේ.
යුද්ධය අවසන් කිරීමට අබමල් රේණුවක දායකත්වයක් නොදුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන නඩු අසා සිරගත කළේ ද ගෝඨාභය ආරක්‍ෂක ලේකම්ව සිටි සමයේ නොවේ.
රතුපස්වල, මීගමුව, කටුනායක වැනි ස්ථානවල පොදු ජනතාවට, ධීවර ජනතාවට, කම්කරුවන්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ද ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්ව සිටියදී නොවන බැවින් ඒ පිළිබඳව ඔහුට වරදක් කියන්නට ද හැකියාවක් ඇත්තේ නැත.
අහිංසක දෙමළ මුස්ලිම් තරුණයන් පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලා නොදුන් විට ඔවුන් අතුරුදන් කළ බුද්ධි අංශ නිලධාරින් සිටියායැයි කියන්නේ ද ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කාලයේ නොවන බැවින් ඒ ගැන ඔහුට වරදක් කියන්නට ද හැකියාවක් නැත.
රාජපක්‍ෂවරුන් හොරුන් දුෂිතයන් නොවන බව ගෝඨාභය කියන්නේ ඇත්තකි. මක්නිසා ද ආණ්ඩුවේ මුදල් ලක්‍ෂ දස ලක්‍ෂ නොව කෝටි ගණනින් වියදම් කරමින් මියගිය දෙමව්පියන් සිහිකිරීමට ස්මාරක තනන ලද්දේ රාජපක්‍ෂවරුන්ගේ සමයේ නොවන බැවිනි.
ගම්පහ දිස්ත‍්‍රික්කයේ නිට්ටඹුව ආසනයේ අයිතිකරුවන් නැති ඉඩම් ඇත්තේ ද රාජපක්‍ෂවරුන්ගේ වරදක් නිසා නොවේ.
හමුදා සෙබලූන් යොදවා වැලිකොට්ට ගස්සවමින් පදික වේදිකා පුරවා නයිට් රේස් පැද්දේ ද රාජපක්‍ෂ සමයේ හෝ රාජපක්‍ෂවරුන්ගේ පුතුන් නොවේ. එසේ ඉපැයූ මුදල් එකතු වූයේද ඔවුන්ගේ අනුදැනුම ඇති ගිණුම් වලට නොවේ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ දුක කියන්නට ගිය මල්වත්තේ විහාරය අසල දළදා මාළිගය අසල රේස් පැදීම් ආදියට රාජපක්‍ෂවරුන් කිසිම සම්බන්ධයක් නැත.
සුනාමි නිවාස ඉදිකිරීමට වෙන් කළ මුදල් අවභාවිත වූ බවට චෝදනා ඇත්තේ ද, ආණ්ඩුවේ නිවාස, ඇමතිවරු තම ඥතීන්ට අඩු මිලට ලබා දී ඇත්තේ ද, පවුලේ අයට භාවිතයට ආණ්ඩුවේ වාහන ලබා දී ඇත්තේ ද ගෝඨාභය ආරක්‍ෂක ලේකම් වශයෙන් කටයුතු කළ කාලයේ හෝ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වශයෙන් සිටි කාලයේ නොවේ.
රටේ අහිංසකම දිළිඳුම ජන තීරුව වන සමෘද්ධි ලාභින්ට අයිති මුදල් යොදවා දිවිනැගුම ව්‍යපාරය යටතේ ලිත් මුද්‍රණය කර මැතිවරණයට යෙදවූයේ ද ආණ්ඩුවේ මුදලින් ඡුන්ද අල්ලස් වශයෙන් සිල්රෙදි බෙදුවේ ද රාජපක්‍ෂවරුන්ගේ සමයේ නොවන බැවින් රාජපක්‍ෂවරුන් ¥ෂිතයන් නොවන බවට ගෝඨාභය කරන ප‍්‍රකාශය බැහැර කළ හැකි නොවේ.
මිලියන සිය ගණනින් වැඩිපුර තක්සේරු කර උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ද රාජපක්‍ෂවරුන්ගේ කාලයේ නොවේ. ඒ නිසා දැනට බදුල්ල දිස්ත‍්‍රික්කයේ සිදුව ඇති විනාශයට රාජපක්‍ෂවරු වගකිව යුතු ද නැත.  රන්මිණිතැන්න, සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනය, හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාව, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය යන ජනතා මුදල් නාස්ති කළ, රට විදේශයනට ණය කළ ව්‍යාපෘතීන්වලට ද රාජපක්‍ෂවරුන් වගකියයුතු නැත. මිහින් ලංකා, ශ‍්‍රී ලංකන් එයාර් වැනි ආයතන සම්බන්ධයෙන් ද හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් ද වගකීමක් රාජපක්‍ෂවරුනට නැත.
වැදගත්ම කරුණ වන්නේ යුද්ධයයි. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් වශයෙන් පත්වන්නට පෙර උතුරු නැගෙනහිර ත‍්‍රස්තවාදී යුද්ධය නවත්වන්නට මෙරට සිටි කිසිම රාජ්‍ය නායකයකු ආරක්‍ෂක ලේකම්වරයකු උත්සාහ කළේ නැත. කිසිම රාජ්‍ය නායකයකු ඇමතිවරයකු ආරක්‍ෂක ලේකම්වරයකු ත‍්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් ජීවිත පරිත්‍යාග කර නැත. රන්ජන් විජේරත්න ජීවිත පරිත්‍යාග කළේ එල්.ටී.ටී.ඊ. යුද්ධය නිසා නොවේ.
ඩෙන්සිල් කොබ්බෑකඩුව වඩමාරච්චි මෙහෙයුමෙ ආදිය කළේ ත‍්‍රස්තවාදින්ගෙන් රට මුදාගැනීමේ අරමුණින් නොවේ. ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක වැනි අයට එල්.ටී.ටී.ඊ. ප‍්‍රාහාරයනට ලක්ව මියයන්නට සිදු වූයේ ඔවුන් එල්.ටී.ටී.ඊ. ය ට විරුද්ධව කටයුතු කළ නිසා නොවේ. හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාට මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප‍්‍රහාරයට ගොදුරුවන්නට සිදු වූයේ ද එල්.ටී.ටී.ඊ. ය ට විරුද්ධව සටන් මෙහෙය වූ නිසා නොවේ. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක්ව යන්තම් දිවි ගලවා ගත්තේ ද එල්.ටී.ටී.ඊ. ය ට විරුද්ධව හමුදා මෙහෙය වූ නිසා හෝ මල්ටි බැරල් වැනි ශක්තිමත් බර අවි එල්.ටී.ටී.ඊ. ය ට විරුද්ධව සටන් කරන්නට හමුදාවට ලබා දුන් නිසා හෝ නොවේ.
මහින්ද රාජපක්‍ෂට උතුරේ යුද්ධය අවසන් කරන්නට අවශ්‍ය ලෝක තත්ත්වයන් විශේෂයෙන්ම ඉන්දියාව චීනය පාකිස්ථානය ඇමරිකාව වැනි රටවලින් සහයෝගය ලැබුණේ හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා එල්.ටී.ටී.ඊ. මතවාදය ලෝක මට්ටමින් පරාජය කරමින් දියත් කළ මතවාදීමය අරගලය නිසා ද නොවේ. ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ද ඒ අරගලය නිසා නොවේ.
තිස් අවුරුදු යුද්ධය පරාජය කළ බවට උදම් අනන්නට ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අද හැකි වී ඇත්තේ ද වඩමාරච්චි මෙහෙයුම සමයේ පැවති ලෝක තත්ත්වයන් මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණි වකවානුව වන විට වෙනස්ව තිබූ නිසා ද නොවේ. එනම්, වඩමාරච්චි මෙහෙයුම පැවති කාලයේ ගුවනින් පරිප්පු හෙළුෑ ඉන්දියාව ත‍්‍රස්ත විරෝධි ආස්ථානයකට පැමිණ ශ‍්‍රී ලංකා රජයට උපකාර කිරීම, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරය හේතුවෙන් ත‍්‍රස්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයකට ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් පැමිණ සිටීම ආදී හේතු නිසාද නොවේ. ඒ වගත් එසේම,

අනුර සූරියබණ්ඩාර වම්හ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *