නව ව්‍යවස්ථාවක් එපා කියමින් හෙළන කිඹුල් කඳුළු – භාතිය බරුකන්ද

 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාහිිමිවරුන් බැහැදැක සත්‍ය තත්ත්වය පැහැදිලි කළ වහාම වාගේ මාධ්‍ය වාර්තා කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අස්ගිරි මහා විහාර පැත්තේ ගිය බවයි. ඒ ගියේ කුමක් නිසාද කියලා මාධ්‍යවලට අනාවරණය නොවුණත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්ම නා හිමියෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ අනුශාසනාවක් මාධ්‍යවල පළ වෙලා තිබුණා.

නව ව්‍යවස්ථා සම්පාදනයේ මුඛ්‍ය අරමුණ වන්නේ පසුගිය දශක හතර පුරා ජනතාවගේ, විශේෂයෙන් දේශපාලනඥයන්ගේ නිගරුවට ලක්ව තිබෙන විධායක ජනාධිපති ක්‍රමය පදනම් කරගත් ව්‍යවස්ථාව වෙනුවට වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ගෞරවයට හා විශ්වාසයට හේතු වන, පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් හා රටේ සියලූ පාර්ශ්වයන්ගේ පුළුල් නියෝජනයක් සහිත පොදු පිළිගැනීමක් හා සුජාත භාවයක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමයි.

අලූත් ව්‍යවස්ථාවක් එපා’ කියලා මහින්ද රාජපක්ෂ රෙජිමයට දරදිය ඇද්ද, ආශිර්වාද කළ සියලූ අවස්ථාවාදී බලවේග එක හඬින් කියද් දී මේ රටේ අති බහුතරයක් ජනතාව ඉතාම පැහැදිලිව නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමන්ගේ කැමැත්ත පසුගිය කාලය පුරාම ප්‍රකාශ කරලා ඉවරයි.

‘ස ත්‍ය දුවන්න සපත්තු දා ගනිද් දී බොරුව ලෝකය පුරා දුවලත් ඉවරයි’ කියලා බොහෝම ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. යහපාලන ආණ්ඩුව බලයට පත් වුණ දා සිට අපි මේ කතාව දිනපතාම තහවුරු වන කතා බොහොමයක් දකිනවා. උමා ඔය, නව ව්‍යවස්ථාව, හම්බන්තොට වරාය ආදි කතා පුරාම තහවුරු වෙන්නේ ‘බොරුව කොතරම් හයියෙන් දුවනවාද කියන කතාව. මේ නිසා රුපියල් 2500න් පස්දෙනකුගෙන් යුතු පවුලකට ජීවත් වෙන්න පුළුවන් කිව්ව බන්දුල ගුණවර්ධනලා අදත් මහා ආර්ථික විශේෂඥයෝ වාගේ ජනතාව මුලා කරනවා. ජනතාව විසින් දෙවරක් තීරණාත්මකව පරාජය කළ රාජපක්ෂ රෙජිමයට යළි බලය අල්ලා ගැනීමට අහුමුළු අල්ලා ගැනීමට හැකි වෙලා.

පසුගිය කාලය පුරාම දිය යට ඔබන්න තැත් කරන රබර් බෝලයක් වගේ නිතර නිතර මතු වුණු නව ව්‍යවස්ථාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ ඊනියා විරෝධය මහා නායක හිමිවරුන් විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයත් සමඟ යළිත් ගිනි කන්දක් බවට පත් වුණා. ‘අලූත් ව්‍යවස්ථාවක් එපා’ කියලා මහ නාහිමිවරුන් අවධාරණය කරන කොට මහින්ද රෙජිමයේ කසකරුවෝ හිතුවේ ‘දැන් ව්‍යවස්ථාව ඉවරයි’ කියලා. ඇත්තටම බොහෝ දෙනකුට පෙනුනෙත් එහෙමම තමයි. මොකද ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශය ඒ තරම් බලවත්. සමාජයේ අවධානය දිනා ගැනීමට සමත්.

ඒත් සෑමවිටම අත්‍යවශ්‍ය මොහොතේ දී ක්ෂණිකව මෙන්ම උපායශීලීව ක්‍රියාත්මක වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා නාහිමිවරුන් මාධ්‍ය නිවේදනය නිකුත් කළ වහාම ගොස් උන්වහන්සේලා බැහැදැක ඇත්ත තත්ත්වය පැහැදිලි කළා. නාහිමිවරුන් තුළ පැසවමින් තිබූ කුකුස දුරු කළා.

‘රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාව යන මූලික වගන්තිවලට හානි වන ආකාරයේ ව්‍යවස්ථාවක් රජය විසින් කිසිවිටෙකත් ගෙන එන්නේ නැහැ. ඒ ගැන කිසිදු බියක් හෝ සැකයක් තබා ගැනීමට අවශ්‍යතාවක් නැහැ’ නව ව්‍යවස්ථාව ගැන ජනපතිවරයා මහා නාහිමිවරුන් හමුවේ කියා සිටියා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාහිිමිවරුන් බැහැදැක සත්‍ය තත්ත්වය පැහැදිලි කළ වහාම වාගේ මාධ්‍ය වාර්තා කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අස්ගිරි මහා විහාර පැත්තේ ගිය බවයි. ඒ ගියේ කුමක් නිසාද කියලා මාධ්‍යවලට අනාවරණය නොවුණත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්ම නා හිමියෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ අනුශාසනාවක් මාධ්‍යවල පළ වෙලා තිබුණා. අනුනාහිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට කියා තිබුණේ ‘කුසේ සිටින ළමයින්ට හඳහන් හදන්න එපා’ කියලයි. නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ විපක්ෂය කියන කතාවලට පදනමක් නැහැ කියලත් අනු නාහිමියන් කියලා තිබුණා. ඒ අනුව යළිත් වරක් කොතැනින් හෝ ගින්නක් අවුළුවන්න ව්‍යවස්ථා විරෝධීන් ගත් උත්හාසයක් ලත් තැනම ලොප් වුණා.

ජනපතිටත් වඩා දන්නේ කවුද ?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ හනුමලා සහ ඔවුන්ට උඩගෙඩි දෙන තවත් කල්ලි රැසක් උදේ හවස හිතට එන එන පට්ටපල් බොරු බේගල් ඇදබාමින් නොමිලේ ලැබෙන ජනමාධ්‍ය අවකාශය හූරාකමින් සිටින්නේ ඉතාමත් අවස්ථාවාදී ආකාරයට බව ඉහත සඳහන් සිදුවීම්වලින් අපට පැහැදිලි වෙනවා.

මේ තත්ත්වය තුළ යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ඡන්දය දුන් ලක්ෂ 62 ක ජනතාව මේ අන්ධභූත කතා හමුවේ මුනිවත රකිමින් බලා සිටිද් දී මහින්ද රාජපක්ෂ යාවජීව විධායක ජනාධිපති කිරීමට හැකි සෑම දෙයක්ම කළ සියලූ දෙනාම ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් රටපුරා දුවනවා. අද නැති බිල්ලන් මවමන් යළිත් රට ගිනි තියන්න මේ හනුමලා ගන්න අවස්ථාවාදී උත්සාහය අප මුළු මනින්ම පරාජය කළ යුත්තේ මේ නිසයි.

‘අලූත් ව්‍යවස්ථාවක් එපා’ කියලා මහින්ද රාජපක්ෂ රෙජිමයට දරදිය ඇද්ද, ආශිර්වාද කළ සියලූ අවස්ථාවාදී බලවේග එක හඬින් කියද් දී මේ රටේ අති බහුතරයක් ජනතාව ඉතාම පැහැදිලිව නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමන්ගේ කැමැත්ත පසුගිය කාලය පුරාම ප්‍රකාශ කරලා ඉවරයි. පුදුමේ කියන්නේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා 2000 දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කොට මේ කිසිදු බලවේගයක් ‘අනේ අපිට ජේ.ආර්ගේ බහුභූත ව්‍යවස්ථාව හොඳයි’ කියලා පාරට බැස්සේ නැහැ. මාධ්‍ය නිවේදන නිකුත් කළේ නැහැ. අද මෛත්‍රී-රනිල් ආණ්ඩුව අලූත් ව්‍යවස්ථාවක් ගේන්න වඩාත්ම ප්‍රශස්ත ක්‍රියාවලියක නිරත වෙමින් සිටිය දී එහෙනම් ඇයි රෙජිමයට කත් ඇද්ද සියලූ බලවේග නව ව්‍යවස්ථා විරෝධීන් වෙලා තියෙන්නේ. මෙතැන තිබෙන්නේ ඉතාම පැහැදිලිව දේශපාලන අවස්ථාවාදය. කුමන මාර්ගයක් ඔස්සේ හෝ යළි බලය අත්පත්කොට ගැනීමේ වුවමනාව. ඒ සඳහා ජාතික තලයේ අවධානයක් දිනාගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ‘මෙන්න යහපාලන ආණ්ඩුව බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් දුන්න තැන නැති කරනවෝ’ ‘රට බෙදන්න යනවෝ’ කියමින් පසුගිය කාලය පුරාම කළ ආකාරයට ගොබෙල්ස්වාදී ප්‍රචාරයක් ගෙන යාම.

පුහු තර්ක

මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය පසුගිය කාලය පුරාම අවධාරණය කරමින් සිටින කරුණ වන්නේ අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා යහපාලන ආණ්ඩුවට ජනතා අනුමැතියක් ලැබී නොමැති බවයි. එහෙත් හිටපු ජනපතිවරයා ඇතුළු කල්ලිය මෙන්ම හිටපු ජනපතිවරයා යළි කිරුළු පළඳිනු කැමැත්තෙන් සිටින පිරිස් හිතාමතාම සඟවන ඇත්ත වන්නේ 2015 ජනපතිවරණය යනු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නීතියේ ආධිපත්‍ය යළි පිහිටුවීම, යහපාලනය ඇති කිරීම හා ජාතික සංහිඳියාව බිහි කිරීම යන ප්‍රධාන අරමුණු මත කේන්ද්‍රිය එකක් වූ බවයි. හොරු ඇල්ලීම වැනි කරුණු 2015 ජනපතිවරණයේ චිත්තාකර්ෂණීය පොරොන්දුවක් වුවත් සිවිල් සමාජය ප්‍රමුඛ යහපාලන බලවේගවල පූර්ණ හා දැඩි අවධානය යොමු වූයේ ඉහත සඳහන් සිවු වැදෑරුම් අරමුණු රටේ ස්ථාපිත කර ගැනීම වෙනුවෙනුයි.

ඒ නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු නව ව්‍යවස්ථා විරෝධීන්ට ඉතා පැහැදිලිව අවධාරණය කළ යුතු වන්නේ 2015 ජනවාරි මැතිවරණයට පෙර සිට මාදුළුවාවේ සෝහිත හිමියන් ප්‍රමුඛ සිවිල් සමාජ බලවේග විසින් ජීවය දුන් යහපාලන බලවේගවල සමස්ත අරමුණ සාධන කර ගැනීමේ තාර්කික අවස්ථාව පවතින්නේ නව ව්‍යවස්ථා සම්පාදනය මගින් පමණක් හෙයින් 2015 ජනවාරි 08 දේදුනු විප්ලවය යනු ඉතා පැහැදිලිව ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජන අනුමැතිය හිමි වූ මැතිවරණයක් වශයෙන් සැලකිය හැකි බවයි.

අතීතය අමතක කිරීම

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් හා ජනමත ප්‍රධානීන්ගෙන් අති බහුතරයක් සැලකිය හැක්කේ අවස්ථාවාදීන් වශයෙනුයි. ගමේ ගොඩේ භාෂාවෙන් ප්‍රකාශ කළහොත් ඔවුන්ගෙන් අති බහුතරයක් ‘කන්න වුවමනා වූ විට කබරයා තලගොයා කළ හැකි ජාතියේ මිනිසුන්. ගොරකා දඩමස් කළ හැකි කට්ට කයිරාටිකයන්ය. අද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය 2015 ජනවරම තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කර ගැනීමට දැඩි සේ වෙහෙසෙන්නේ මේ නිසයි. අද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ක්‍රමක් ක්‍රමයෙන් වත්මන් ආණ්ඩුව අර්බුදයකට තල්ලූ කර කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත් කිරීමයි. ඒ සඳහා දිනපතා අඩු වැඩි සපයන ඥානසාරලාට, පාදේණියලාට වඩා නව ව්‍යවස්ථාව අල්ලා ගැනීම වඩාත් වැදගත්ය. ඒ හරහා ආණ්ඩුවට කළ හැකි හානිය ද ඉතා බලවත්.

අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එපා යැයි මොරදෙන පිරිස්වලට රිදෙන පිළිතුරක් පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දුන්නා. ‘‘ව්‍යවස්ථාව පිළිබඳව වැඩිපුරම උනන්දු විය යුත්තේ තරුණ පරපුරයි. වත්මන් ව්‍යවස්ථාවේ අප දැන් වසර 40ක් ජීවත් වී තිබෙනවා. ඉදිරියට එන්නේ අපේ කාලය නොවේ. දැන් තරුණ තරුණියන් ඔවුන්ට ව්‍යවස්ථාවක් හදා එහි ජීවත්විය යුතුයි. ඒ තරුණ බලාපොරොත්තු අප විසින් ඉටු කළ යුතුයි. ඒවාට ද්‍රෝහීවීමට හැකියාවක් නැහැ’ කියලා අගමැතිවරයා ඉතාම පැහැදිලිවම ප්‍රකාශ කළා.

අගමැතිවරයා කියන මේ කතාව පැහැදිලිවම නිවැරදි එකක්. මේ ලේඛකයාද ඇතුළත් වන පරම්පරාව වත්මන් ඒකාධිපති ව්‍යවස්ථාවට කිසිසේත් අනුකූලත්වයක් දක්වන්නේ නැහැ. එය ඔවුන්ට විහිළුවක්, බහුභූතයක් බවට පත්ව බොහෝ කල්. මේ ලේඛකයාට ද අනුව 1994 සිට වත්මන් ව්‍යවස්ථාව සැලකෙන්නේ ‘බහුභූත ව්‍යවස්ථාවක්’ වශයෙනුයි. 1994 දී වත්මන් විපක්ෂයේ මෙන්ම යහපාලන ආණ්ඩුවේ ද ප්‍රබලයන් බහුතරයක් නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සියයට 62ක් වැනි අති බහුතර ජන බලයක් මගින් එදා බලයට පැමිණීමට කේන්ද්‍රීය හේතුවක් ලෙස අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ද වූ බව අද එදා එතුමිය සමඟ හවුලේ ආණ්ඩු කළ බොහෝ දෙනකු අමතක කිරීම හාස්‍යයට නොව බිම පෙරැළි පෙරැළී අඬා වැටීමට හේතුවක්.

1994 දී පමණක් නොව එදා සිට 2015 දක්වා පැවැති සියලූම මැතිවරණවල කේන්ද්‍රීය මැතිවරණ පොරොන්දුවක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් ලබාදීම, යහපාලනය හා නීතියේ ආධිපත්‍ය ඇති කිරීම වැනි ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු තිබූ බව අමතක කළ හැක්කේ දේශපාලන අවස්ථාවාදය ද ඉක්මවා ගිය දේශපාලන වසලයෙකුට පමණයි.

නව ව්‍යවස්ථාවකට බය ඇයි ?

මහ නාහිමිවරුන්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කල්ලිය සහ ඊනියා බුද්ධිමතුන් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට යහපාලන ආණ්ඩුව ගන්නා උත්සාහය කඩාකප්පල් කිරීමට මේ තරම් දත කන්නේ ඇයි දැයි අප සියුම්ව විමසා බැලිය යුතුයි.

නව ව්‍යවස්ථා සම්පාදනයේ මුඛ්‍ය අරමුණ වන්නේ පසුගිය දශක හතර පුරා ජනතාවගේ, විශේෂයෙන් දේශපාලනඥයන්ගේ නිගරුවට ලක්ව තිබෙන විධායක ජනාධිපති ක්‍රමය පදනම් කරගත් ව්‍යවස්ථාව වෙනුවට වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ගෞරවයට හා විශ්වාසයට හේතු වන, පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් හා රටේ සියලූ පාර්ශ්වයන්ගේ පුළුල් නියෝජනයක් සහිත පොදු පිළිගැනීමක් හා සුජාත භාවයක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමයි.

මෙහි දී අපට ප්‍රථමයෙන්ම අවධාරණය කර ගැනීමට සිදුවන්නේ පසුගිය 40 වසර පුරාම ජනතාවගේ දැඩි විවේචනයට හා නිගරුවට ලක්ව සිටින විධායක ජනාධිපති ක්‍රමය නව ව්‍යවස්ථාවකින් මිස වත්මන් ව්‍යවස්ථාවට එක්කරන පැලැස්තර් සංශෝධන මගින් ඉටුකර ගත නොහැකි බවයි. විධායක බලතල කප්පාදු කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මගින් ඒ බව මනාව තහවුරු වෙනවා. ඒ නිසා විධායක බලතලවල තීරණාත්මක අගය බාල කිරීමක් පවා සිදු කරගත හැකි වන්නේ නව ව්‍යවස්ථාවක් මගින් පමණයි.

අද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය නව ව්‍යවස්ථාවකට මාරාන්තිකව එරෙහි වන්නේ මේ නිසයි. මන්ද මහින්ද රාජපක්ෂ වේවා, ගෝඨාභය රාජපක්ෂ වේවා යළි සිහින දකිමින් සිටින්නේ කැබිනට් මණ්ඩලයක් සමඟ, පාර්ලිමේන්තුව සමඟ හවුලේ භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී බලාධිකාරියක් නොවෙයි. සියලූ බලතල එකමිටට ගත් ඒකාධිපති බලාධිකාරියකට යළිත් රට බිලිදීමටයි. අද නව ව්‍යවස්ථාව එපා කියමින් රට ගිනි තියන හනුමලාගෙන් පේන අහන්න ජනතාව සූදානම් නොවිය යුත්තේ මේ නිසයි.

අද මහින්ද රාජපක්ෂගේ, ගෝඨාභය රාජපක්ෂයේ මේ සිහිනය වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස කඩේ යන සියලූ පාර්ශ්වයන්ගේ ආසන්න අතීතය විමසා බැලූවහොත් ඔවුන් අධිපතිවාදයට, බලකේන්ද්‍රනයට කොතරම් ලොබ කරන්නේද, දණ නමන්නේද කියා වටහා ගත හැකියි. උදාහරණයක් වශයෙන් 78 ව්‍යවස්ථාවේ තිබූ අවම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පවා, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පවා මහ දවාලේ කොල්ලකෑ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ද නිරුවත් ලෙස පෙනී සිටියේ මෙම පාර්ශ්වයන් බව අපට හඳුනා ගත හැකියි. මේ නිසා වත්මන් ව්‍යවස්ථා විරෝධී බලවේග අද නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් මාරාන්තික විරෝධය පාන්නේ ප්‍රජාතන්ත්‍රවාදී හා යහපාලන භාවිතයන්ට එරෙහිව ඔවුන් තුළ පවතින ආවේණික භීතිය නිසා බව අප වටහා ගත යුතුයි.

දුර දකින්න ළඟ නොබලන්න

නව ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට හිමි ව්‍යවස්ථාමය ප්‍රමුඛතාව හෝ රටේ ඒකීයභාවයට කිසිදු ආකාරයක හානියක් සිදුනොවන බව ජනපතිවරයා සහ අගමැතිවරයා පසුගිය කාලය පුරාම අඛණ්ඩව සහතික වුණා. ඒ නිසා අපිට නව ව්‍යවස්ථාව එපා කියන පාර්ශ්වයන්ගෙන් අහන්න තියෙන්නේ අලූත් ව්‍යවස්ථාව ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඔබ දන්නේ මොනවාද ? යන්නයි. මේ බව දන්න නිසා විය හැකියි අස්ගිරි පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධර්ම නාහිමියෝ ‘බඩේ ඉන්න ළමයින්ට හඳහන් හදන්න එපා’ කියලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අවධාරණය කළේ.

අනෙක් කාරණය තමයි දකුණේ දේශපාලනඥයන් සිංහල අති බහුතරයේ වුවමනා එපාකම්වලට විරුද්ධ කිසිම දෙයක් කරයි කියලා හිතන්න බැරි ප්‍රායෝගික දේශපාලන යථාර්ථය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වේවා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වේවා දකුණේ සිංහල බෞද්ධ බහුතරයේ මතයට හා වුවමනා එපාකම්වලට විරුද්ධ දේශපාලනයක් කිරීමට කිසිදු වුවමනාවක් නැහැ. ඒ වගේම ඔවුන් දෙදෙනාම 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් ජනතාව කළ කැප කිරීම නොසලකා හැරීමටත් සූදානම් නැහැ.

අනෙක් අතින් උතුරේ දමිළ ජනතාව හෝ මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතීන් අද ඉන්නේ 40 දශකයේ වාගේ ‘50ට 50’ ඉල්ලන තැනක නොවෙයි. අද ඔවුන් වඩාත් ඉදිරි පියවරට පැමිණ තිබෙනවා. ඔවුන්ට බුද්ධාගමට දෙන ව්‍යවස්ථාපිත ප්‍රමුඛතාව හෝ ඒකීයභාවය තවදුරටත් ප්‍රශ්නයක් නොවෙයි.

මේ දේශපාලන හා සමාජ ප්‍රවණතා තුළ අපි ඉතා පැහැදිලිවම බලාපොරොත්තු වන්නේ සියලූ පාර්ශ්වයන්ගේ පොදු පිළිගැනීමට ලක් වන ප්‍රශස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ හීනය සොරා කෑමට කිසිඳු අවස්ථාවාදී හෝ අන්තවාදී බලවේගයකට ඉඩ නොදීම අප සැමගේ වගකීමක්. මොකද මේ ඇවිත් තියෙන්නේ අවසන් අවස්ථාව. මේ අවස්ථාව මඟ හැරියොත් ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව ගැන හිතා ගන්නවත් බැරි වෙවි. මොකද නව ව්‍යවස්ථාව එපා කියමින් මේ සියලූ දෙනා හෙළන්නේ කිඹුල් කඳුළු.

භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *