අතුරුදන් වූවන්ගේ පනතට පාර අරින්න – අනුර සූරියබණ්ඩාර

මෑත දිනයක මා දිස්ත‍්‍රික් රෙජිස්ටාර් කාර්යාලයට ගොඩවැදුනේ උප්පැන්න සහතිකයක් පිළිබඳ ප‍්‍රශ්නයක් විසඳාගන්නා අටියෙනි. එහිදී මහළු මවක් මට නම කියා කතා කළාය. ඇය මගේ පාසල් සමයේ මිතුරෙකුගේ මවකි. දැන් ඇගේ වයස අවුරුදු හැට හැත්තෑවක් වන්නට පුළුවන. ආ ගිය තොරතුරු කතා කරමින් සිටි ඇය මද වේලාවකින් සාකච්ඡුාවේ අසීරුම කොටසට අවතීර්ණ වූවාය.
ඇත්තෙන්ම කියන්නේ නම්, ඊට පෙර නොයෙක් වර නගරයේ දී ඇය නෙත ගැටී තිබුණ ද ඇගේ සුව දුක් විමසන්නට හෝ මා ඉදිරිපත් නොවුනේ, සුවදුක් විමසීම අවසන් වන්නේ අසීරුම කොටසට මුහුණ දීමට සිදුවීමෙන් බව දන්නා බැවිනි.
‘‘රෝහිත පුතා නම් මැරුව කියලයි කියන්නෙ, එහෙම නේද පුතේ? එහෙත් සුජිත් පුතා නම් කොහෙ හරි ඉන්නව. රාගම පැත්තෙ ප‍්‍රයිවට් ඉස්පිරිතාලෙක වැඩ කරනව ඇති. පුතාට හම්බ වෙයි. දැන් ප‍්‍රශ්නයක් නැහැ. ගෙදර එන්න කියන්න. ඇය කීවාය. මට ඊට දෙන්නට පිළිතුරක් තිබුණේ නැත.
රෝහිත සහ සුජිත් යනු ඇගේ පුතුන් දෙදෙනාය. රෝහිතත් මමත් එක පන්තියේය. සුජිත් රෝහිතගේ මලණුවන්ය. දෙදෙනාම 88/89 සමයේ ජ.වි.පෙ. දේශපාලයට සම්බන්ධව කටයුතු කළහ. පොලීසිය විසින් අත්අඩංගුවට ගත්හ. අතුරුදන් කෙරිණ. දෙදෙනාගෙන් කිසිවෙකු මියගිය බවට සාක්‍ෂි නැත. එහෙත් ලොකු පුතා රෝහිත මියගිය බවට අම්මා හිත හදාගෙන සිටියි. පොඩි පුතා සුජිත් යළි එන තෙක් ඇය බලා සිටින්නීය.
දරුවන් දෙදෙනාගෙන් තොරතුරක් නොමැති විට පවුලේ ඉතිරි දරුවන්වන අක්කලා දෙන්නාටද ගැටලූවක්ව ඇති බව ඇය කීවාය. මට වැටහුන ආකාරයට ඇගේ මිය ගිය සැමියා එනම් දරුවන්ගේ පියාගේ ඉඩම්වල අයිතිය නිරවුල් කරගැනීම පිළිබඳ ප‍්‍රශ්නයකි. පිරිමි දරුවන් දෙන්නාගේ අත්සන් නොමැතිව ගැහැනු දරුවනට ඉඩම් පැවරිය නොහැකි බවකි.
කිලිනොච්චි නගරයේ කන්දසාමි කෝවිල අසල දින සීය ඉක්මවා ඇති විරෝධතාවකි. ඔවුන්ගේ සටන් පාඨය ද රෝහිතගේත් සුජිත්ගේත් අම්මාගේ ප‍්‍රශ්නයට සමානය. කිලිනොච්චියේ කන්දසාමි කෝවිල අසල විරෝධතාවේ නියුතු පිරිස අසන්නේද අතුරුදන් වූවන් කෝ? කියා වන බැවිනි.
2017 ජුලි 05 දින විවාදයට ගැනීමට නියවිතව තිබූ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය කල්දමා ඇත්තේ මෙවැනි වටපිටාවක් රටේ පවතිත්දීය.
අතුරුදන් කිරීම්වලින් ආරක්‍ෂාකිරීමේ පනතට දකුණේ සිවිල් සමාජයෙන් මෙන්ම උතුරේ සාමාන්‍ය ජනතාවගෙන්ද බලවත් කැමැත්තක් හා ඉල්ලූමක් පවතී.  පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම පදනම් කරගනිමින් නිදහසේ වේදිකාව මෑතකදී මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වීම ඊට එක් උදාහරණයකි. එසේම, 2015 සැප්තැම්බර් මාසයේ ජීනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාව එක`ග වූ සංහිඳියා වැඩපිළිවෙළෙහි අංගයක් වන ‘අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත’ 2016 අගෝස්තුවේ දී ඒකාබද්ධ විපක්‍ෂයේ බලවත් විරෝධය මැද ඒකමතිකව සම්මත වූ නමුත් එය ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ‘අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව’ ජනාධිපතිවරයාට ලිපියක් බාර දීම තවත් උදාහරණයකි.
2017 මැයි 16 වැනිදා ශ‍්‍රී ලංකා වෘත්තිය මාධ්‍යවේදින්ගේ සංගමය සංවිධාන කළ ‘අතුරුදන් කිරීම අපරාධ වරදක් කරනු’ යන සම්මන්ත‍්‍රණයට එක්සත් ජනතා නිදහස් සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය නියෝජනය කරමින් අදහස් දැක්වූ සියලූ දේශපාලඥයන් පැවසුවේ, ඉහත පනතට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවය. එසේම, පනත් කෙටුම්පතෙහි අඩුපාඩු වෙතොත් ඒවා සකස්කර අතුරුදන් කිරීම්වලට විරුද්ධව බලවත් පනතක් ගෙන ආ යුතු බවය.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම යනු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් භේදයෙන් තොරව මෙරට සියලූ ජන කොටස් මුහුණ දුන් ප‍්‍රශ්නයකි. එසේම බලහත්කාරයෙන් අතුරුදන් කිරීමකට ලක් නොවූ සාමාජිකයකු නොමැති දේශපාලන පක්‍ෂයක් මෙරටින් සොයාගැනීම, නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීමටත් වඩා අසීරු කටයුත්තකි. අතුරුදන් වූවන් පිළිබඳ පනතට සියලූ දේශපාලන පක්‍ෂවල සහය ලැබීමටද හේතුව එය විය හැකිය. අනාගතයේ දී මෙරට ජනතාව යළිත් බලහත්කාරයෙන් අතුරුදන්වීමට ලක් නොවී සිටීමට නම් පනත බලාත්මක වීම අත්‍යාවශ්‍යය.
අප දන්නා තරමින් අතුරුදන් වීම් සම්බන්ධ පනතට එකම විරෝධය එල්ල වී ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂය සහ ඔවුන්ගේ මාතවාදය නියෝ්ජනය කරන පැවිදි ගිහි සුළු පිරිසකගෙන් පමණි. එකී පනතට විරුද්ධව සටනට මුලින්ම පිවිසුණේ මහින්ද වාදී කණ්ඩායමේ ජී.එල්. පීරිස්ය. ඒ අතරතුර මහින්ද රාජපක්‍ෂ ද ත‍්‍රිකුණාමලයේ දී පනතට විරුද්ධව කරුණු දක්වා තිබුණි. තවද හමුදාපතිවරයකු හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂවරයකු ද අස්ගිරි පාර්ශ්වයට පනතට විරුද්ධව කරුණු දක්වා තිබුණි.
පනතට විරුද්ධ නිවේදනයක් නිකුත්කරමින් මහින්ද රාජපක්‍ෂ පවසා තිබුණේ, පනත් කෙටුම්පතට පක්‍ෂව ඡුන්දය ලබාදීම රට පවාදීමක් බවත්, විදෙස් බලවතුන්ට රට පාවාදීමක් බවත් ඔහු සිය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබුණි.
විදෙස් බලවතුන්ට රට පාවාදීම, ඩයස්පෝරාව වැනි ප‍්‍රකාශ සහ වචන මහින්ද රාජපක්‍ෂ ගේ කෝකටත් ෙතෛලය බඳුය. නිල කාල දෙකකට වසර දෙකක් අඩුවෙන් බලයේ සිටි මුළුකාලයම ඔහු ගෙවා ගත්තේ විදෙස් බලවේග, ඩයස්පෝරාව, විදුලි පුටුව ආදියට පින්සිදු වන්නටය. 2015 ජනවාරි ජනාධිපති මැතිවරණයට ඔහු ඉදිරිපත් කළ කුරුම්පු වූයේ ද ඉහත වචන කිහිපයයි.  ඔහු ජනාධිපතිධුරයෙන් ඇද දැමීමෙන් ජනතාව පෙන්වා දුන්නේ ඩයස් පෝරාවට හෝ විදේශ බලවේගවලට හෝ විදුලි පුටුවට මුවා වී තමන් රැුවටීමට ඔහුට තවදුරටත් ඉඩ නොදෙන බවයි. එහෙත් මහින්ද නැවතත් අතුරුදන්වූවන් පිළිබඳ පනත හරහා කූජිත වූ පැරණි තුරුම්පු නැවතත් ශක්තිමත් කර ගැනීමට සමත් වී ඇති සැටියකි. අස්ගිරිය පාර්ශ්වයෙන් ලැබුනු තල්ලූවද ඊට හේතු වී තිබේ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම හෝ මැතිවරණ ක‍්‍රමය, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආදිය යනු භික්‍ෂු සමාජයට, පූජ්‍ය පක්‍ෂයට නොව සාමාන්‍ය ජනතාවට ඍජුව බලපාන ගැටලූය. 2015 ජනවාරි 8 අරගලය සම්බන්ධයෙන් වුව භික්‍ෂු නායකත්වය අනුගමනය කළේ ඇල්මැරුණු පිළිවෙතක් හෝ මහින්ද හිතවාදි පිළිවෙතකි. ඒ සටනට උර දී ක‍්‍රියාත්මක වූවෝ අවශේෂ භික්‍ෂුන් වහන්සේය. සිවිල් ක‍්‍රියාධරයන්ය, පොදු මහජනතාවය.
අතුරුදන් වූවන් පිළිබඳ පනත අහසින් පහත් වූවක් නොවේ.  එසේම අතුරුදන් කිරීම් යනු එක් පාර්ශවයක් විසින් පමණක් සිදු කළ දෙයක්ද නොවේ.
නිදහසින් පසුව මෙරට කැරලි තුනකි. ඒ අතුරින් 1989 කැරැුල්ලේදී රාජ්‍යය විසින් මෙන්ම විරුද්ධ පාර්ශ්වය වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් ද පුද්ගලයන් අතුරුදන් කිරීමට ලක්කළ බවට චෝදනා තිබේ. උතුරු – නැගෙනහිර පැවති 30 වසරක සිවිල් යුද්ධයේ දී ද පුද්ගලයන් අතුරුදන් වීම සම්බන්ධව රාජ්‍යයටත් එල්.ටී.ටී.ඊ සංවිධානයටත් වෙනත් සන්නද්ධ කණ්ඩායම් වලටත් චෝදනා තිබේ.
උතුරේ කැරැුල්ල අවසන් වූ පසුව එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හිටපු නීතිපති සී.ආර්. ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ උගත් පාඩම් සහ ප‍්‍රතිස්ධාන පිළිබඳ කොමිසම විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධව මෙසේ නිර්දේශ කළේය.
‘‘මෙම ප‍්‍රශ්නයට පුළුල්ව ආමන්ත‍්‍රණය කිරීමට හා අනාගතයේදී මෙවැනි සංසිද්ධීන් තුරන් කිරීමටත්, එසේම, පවත්නා හිඩැස් පිරවීමටත්, කොමිසම තරයේ නිර්දේශ කර සිටින්නේ, දේශීය ව්‍යවස්ථාවක් පැනවීම ම`ගින් විශේෂයෙන්ම බලහත්කාරයෙන් හෝ ස්ව්ච්ඡුාවෙන් තොරව අතුරුදන් කිරීම අපරාධකරණය කළ යුතු බවයි.’’
දැන් ඒකාබද්ධ විපක්‍ෂය කියන්නේ, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිධුරය දරද්දි පත්කළ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම ඉහත යෝජනාව කරන්නේ ඩයස්පෝරාවේ හෝ විදේශ බලවේගවල හෝ අවශ්‍යතාව මත කියාද? අතුරුදන් වූවන් පිළිබඳ කාර්යලයට, පනතට විරුද්ධව අවි ඔසවන අස්ගිරිය ඇතුළු පාර්ශ්වයන් ගේ අදහස කුමක්ද?
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අනුකාරක සභා අතුරින් එකක් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාව ඉදිරිපත් කළ යෝජනාවලියේ මෙසේ සඳහන් වේ.
‘‘…. බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් මිදී සිටිමේ අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගෙන ඇති අතර යුද තත්ත්වයක් හෝ දේශපාලන අස්ථාවරභාවයක් හෝ එවැනි හදිසි අවස්ථාවක කරන බලහත්කාරී අතුරුදන් කිරීමකට හදිසි තත්ත්වය නිදහසට කරුණක් නොවිය යුතුය…’’
මෙකී කරුණු අනුව තීරණය කළයුතු වන්නේ මෑත ඉතිහාසයේ ආණ්ඩු දෙකක් විසින් පත් කළ කමිටු දෙකක් විසින්ම බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට භාජනය නොවී සිටීමට ජනතාවට ඇති අයිතිය පිළිබඳ අවධාරණය කර ඇති බවයි. එසේ නම් අයිතිය සුරැුකෙන පනත නීත්‍යානුකූල කිරීමේ අවස්ථාව තවදුරටත් කල් දැමිය යුතුද?

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *