|

‘අතුරුදන් කිරීමේ නිදහස’ – සී.ජේ.අමරතුංග

 ඒකාබද්ධ විපක්ෂයේ උදවිය අලුත් බිල්ලෙකු මැවීමේ උත්සාහයක යෙදී සිටින බව පෙනෙන්නට තිබේ. එය නම් අතුරුදන් වූවන් සම්බන්ධ පනතයි. පුරවැසියකු අතුරුදන් කිරීම වරදක් බවට පත්කිරීමත්, එයට දඬුවම් නියම කිරීමේ නීති හඳුන්වාදීමත් සඳහා ඉදිරිපත්කොට ඇති පනත මේ විපක්ෂ කට්ටියට අනුව මහා භයානක පනතකි. ඒ කියන්නේ පුද්ගලයින් අතුරුදන් කර නිරුපද්‍රිතව සිටීමේ අයිතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

පුද්ගලයින් අතුරුදන් කිරීම මේ රටේ දැන් කාලයක් තිස්සේම පවතින ප්‍රශ්නයකි. ඒ බොහෝ විට දේශපාලන හේතු නිසාය. උතුරේ යුද්ධය නිසාත් දකුණේ කැරලි නිසාත් පුද්ගලයන් අතුරුදන් කිරීම සිදුවී ඇත. උතුරේ යුද බිමේ සිදු වූ මරණ ගැන මෙන්ම අතුරුදන් වීම් ගැනද විවිධ සංඛ්‍යා ලේඛන ඇත. දකුණේ 88 – 89 කාලයේ අතුරුදන් කළ සංඛ්‍යාව ලෙස කියැවුණේ හැට දහසක ප්‍රමාණයකි. එසේ වුවද එම අතුරුදන්වීම් ගැන සෙවූ කොමිසමට ලැබුණේ විසි දහසක පමණ පැමිණිලි සංඛ්‍යාවකි. එහිදීද නිවැරදි සංඛ්‍යාවක් සොයාගත නොහැකි විය.

සුදු වෑන් පැහැරගැනීම යන්න පසුගිය කාලයේ අසන්නට ලැබුණු සංසිද්ධියකි. එහිදීද සිදුවූයේ නාඳුනන පිරිසක් විසින් පුද්ගලයන් පැහැරගෙන යාමයි. එසේ ගෙනගිය බොහෝ දෙනෙක් අතුරුදන් කරනු ලැබූහ. ඇතැම්විට ඒ දේශපාලන හේතු නිසාය. තවත් පිරිසකට එම ඉරණම අත්වූයේ කප්පම් ගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵල වශයෙනි.

පුද්ගලයකු මරා දැමූ විට එය අපරාධයක් ලෙස සැලකෙයි. එසේ වුවද පුද්ගලයකු අතුරුදන් කිරීම අප රටේ නීතිය අනුව අපරාධයක් ලෙස සැලකෙන්නේ නැත. එයට දඬුවම් කිරීමට නීතිමය පසුබිමක් නොමැත. මෙය නීතියේ පවතින හිඩැසකි. පසුගිය කාලයේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අගයන සංවිධාන හඬ නැගුවේ නීතියේ පවතින මෙම හිඩැස පිරවිය යුතු බවටයි. එනම් පුද්ගලයකු අතුරුදන් කිරීම නීතිය අනුව වරදක් බවට පත්කරන ලෙසයි. ආණ්ඩුව නව නීතියක් හඳුන්වා දෙන්නට යන්නේ ඒ සඳහාය. ඒකාබද්ධ විපක්ෂය බිල්ලකු ලෙස මවා පාන්නට හදන්නේ එම නීතියයි.

අතුරුදන් කරන ක්‍රම

අතුරුදන් කිරීම ලෙස හැඳින්වුවද බොහෝ දෙනා දන්නා කාරණයක් නම් මෙහි සිදුව ඇත්තේ මිනී මැරුමක් බවයි. සිදුකොට තිබෙන්නේ මිනිය අතුරුදන් කිරීමයි. නැතහොත් සොයාගත නොහැකි ලෙස විකෘති කිරීමයි. 88 -89 කාලයේ කළේ මිනී තැන තැන පුලුස්සා දැමීමයි. ගංගාවල පාකර හැරීමයි. එමගින් රටේ භීතිය පැතිරවීමයි.

පැහැරගෙන ගොස් ඝාතනය කොට මිනී අතුරුදන් කිරීමේ තව ක්‍රමයක් නම් මුහුදට දැමීමයි. උතුරේ කණ්ඩායම් තම සංවිධානයේම ප්‍රතිවිරුද්ධ මත දැරූවන් ඝාතනයේදී මෙම ක්‍රමය යොදාගත් බව කියති. එහිදී කළ බව කියන්නේ බඩ පළා සිරුර මුහුදට දැමීමයි. ඇතැම් විට බර එල්ලන බවද කියති. එවිට සිරුර දිය මත පාවෙන්නේ නැත. මිනිය අතුරුදන් කරන්නේ එහෙමය.

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ සිරුර මොරටුවේ කළපුවකදී හමුවූයේ එය මුහුදට දමා අතුරුදන් කිරීමේ උත්සාහය වැරදීමෙන් බව කියති. යම් හේතුවක් නිසා උපක්‍රමය වැරදී එය කළපුව වෙත පාවී තිබිණි. එසේ නොවුණා නම් රිචඩ් ද සොයිසාගේ නමද එක්වන්නේ අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවටය.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගියේ කවුද යන්න තවදුරටත් රහසක් නොවේ. රඳවාගෙන සිටි අයුරුද හෙළිදරව් වී ඇත. ඉන්පසුව ඔහු අතුරුදන්ය. සිදුවී ඇත්තේ කුමක්දැයි කාටත් පැහැදිලිය. එහෙත් අපරාධකරුවන් නිදැල්ලේය. එයට හේතුව නම් අතුරුදන් කිරීම වරදක් ලෙස මෙරට නීතියට ඇතුළත්ව නොතිබීමයි. එය බරපතළ අඩුවක් බව මානව හිමිකම් ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ ඒ නිසාය.

ඇත්ත වශයෙන්ම යම් පුද්ගලයකු අතුරුදන් කිරීම සැලකිය යුතු වන්නේ දරුණුම අපරාධයක් වශයෙනි. මිනිස් ඝාතනයකදී ඔහුගේ ඉරණම කුමක්දැයි ඥාති මිත්‍රාදීන්ට පැහැදිලිව දැනගත හැකිවෙයි. එවිට විඳවීම ඉක්මන්ය. කලක් යනවිට හිත හදා ගැනීමේ හැකියාව ඇති වෙයි. අතුරුදන් කිරීමකදී එම තැනැත්තාගේ ඉරණම ගැන කිසිවක් සිතාගත නොහැකි වෙයි. ආදරණීයයන් හිතන්නේ තම ඥාතියා කොහේ හෝ සිටින බවයි. මිය ගිය බව සිතන්නට සිත හදාගත නොහැකි වෙයි. පීඩාව දිගුකාලීනය. උතුරේ ඇතැම් මව්පියන්, බිරින්දෑවරුන්, සැමියන්, දරුවන් සිතන්නේ තම දරුවා, සැමියා , බිරිඳ, මව හෝ පියා කොහේ හෝ රහසිගත කඳවුරක රඳවාගෙන සිටින බවයි. එබඳු කඳවුරු නැතැයි ජනාධිපතිතුමා හා මැති ඇමැතිවරුන් කීවද ඔවුන් හිතන්නේ වගකිවයුත්තන්ට හොරෙන් එබඳු කඳවුරු පවත්වාගෙන යන බවයි. තම ආදරණීය ඥාතියා ජීවතුන් අතර නැතැයි සිතන්නට ඔවුන්ට හැකියාවක් නැත. පීඩාව දිග්ගැසෙන්නේ එලෙසය.

මෙම පීඩාවට නිතරම ගොදුරුවන්නේ එක පිරිසක්ම නොවෙති. දකුණේදී එක් පිරිසක් එයට ගොදුරු වූහ. උතුරේ යුද සමයේදී තවත් පිරිසකි. ඒ අතර එම තත්ත්වය උපයෝගීකොටගෙන මාධ්‍යවේදීන් ඇතුළු තවත් උදවිය පීඩාවට ලක්කිරීමද සිදුව ඇත. පසුගිය කාලයේ සුදු වෑන් සංස්කෘතිය ක්‍රියාත්මක වූයේ මුළු සමාජයම බියගන්වා තබා ගැනීමටය. භීෂණකාරී පාලනයක් පවත්වාගෙන යාමටය.

සාමාන්‍යයෙන් සිදුවන්නේ රාජ්‍ය බලය හසුරුවන පිරිස මෙබදු භීෂණකාරී ප්‍රතිපත්ති පවත්වාගෙන යාමට උත්සාහ දරද්දී විපක්ෂය එයට එරෙහිව හඬ නැගීමයි. විපක්ෂයේ සිටියදී මහජනයාගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමයි. ආණ්ඩු බලය ගත්විට ඇතැම් දේශපාලන බලවේගවල වෙස් පෙරළීමක් සිදුවීම මහජන නිදහසට හරස් වී කටයුතු කළ අයුරු අපි දැක ඇත්තෙමු.

ජන පීඩාවට ඉඩ ඉල්ලීම

කෙසේ වෙතත් දැන් සිදුවන්නේ හරියටම එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවයි. මහජන නිදහස රැකෙන, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන නීති හඳුන්වාදීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටියදී ඒකාබද්ධ විපක්ෂය කියාගත් පිරිසක් එයට එරෙහිව හඬ නැඟීමයි. ජනතාව පීඩාවට පත්කිරීමට ආණ්ඩුවලට ඉඩ තිබිය යුතු යැයි කීමයි. පුදුම විය යුතු නැත්තේ මේ පිරිස නම් මේ මෑත අතීතයේ ජනතාව පීඩාවට පත්කළ දේශපාලනඥයන් පිරිසම වන නිසාය. විපක්ෂයට ගියද මොවුන්ගේ චින්තනය තවමත් වෙනස් වී නැති බව පෙනෙන්නට ඇත. මොවුන් තවමත් හිතන්නේ ඒකාධිපති පාලකයන් පිරිසක් වශයෙනි.

මොවුන් බිල්ලකු මවන්න හදන්නේ මේ කරන්නට යන්නේ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව ඉටුකිරීමක් කීමෙනි. එමෙන්ම මෙයින් රටේ ස්වෛරීභාවය අහිමිවන බවත්, රටේ ප්‍රශ්නවලට අත දැමීමට ජිනීවා හි එක්සත් ජාතින්ගේ ආයතනවලට හැකියාව ලැබෙන බව කියමිනි. මේවාද මෙම කණ්ඩායම බලයේ සිටි සමයේ කියූ කතා බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.

දෙමළ ඩයස්පෝරාව කියා විශාල බලයක් හෝ තනි කණ්ඩායමක් හෝ අද ක්‍රියාත්මක නැත. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිස් වල බලය අන්තයටම පිරිහී ගොසිනි. එවැන්නක් ගැන කතා කරන්නේ ඒකාබද්ධ විපක්ෂය කියාගත් කුඩා පිරිස පමණි. ඒ තමන්ගේ පැවැත්ම සඳහා අර පිරිසේ බලය විශාල කොට පෙන්වීම සඳහා පමණකි. එල්ටීටීඊ ය මෙන්ම එල් ටී ටී ඊ හිතවාදී පිරිසද දියවී ගොස් තිබීම මහ පොළොවේ යථාර්ථයයි. අනෙක් අතට ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් තැබීම හා ඒවා අනුව බැඳීම්වලට යටත්වීම ස්වෛරීභාවයට හානියක් වන්නේ නැත. අන්තර්ජාතික යාන්ත්‍රණද සියලු රටවල් එක්ව ගොඩනගාගෙන ඇත්තේ කාගේත් යහපත සඳහාය. එම බැඳීම් ස්වෛරීභාවයට හානියක් යැයි කීම විකාර කතාවකි.

ශ්‍රී ලංකාව යුනෙස්කෝවට සම්බන්ධය. අපේ රටේ පු‍රා විද්‍යාත්මකව හා පාරිසරිකව වැදගත් ස්ථාන යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම්කොට ඇත. එම ස්ථානවල අපට අවශ්‍ය ලෙස කිසිවක් කළ නොහැකිය. සීගිරිය, ගාලු කොටුව, ශ්‍රී මහා බෝධිය මෙන්ම සිංහරාජය වැනි තව බොහෝ ස්ථානවල ආරක්ෂාව ගැන අපරට යුනෙස්කෝවට වගකීමට බැඳී සිටියි. එය ස්වෛරීභාවයට හානියක් නොවන්නේ එම බැඳීම අප විසින්ම ඇතිකර ගත්තේ අපගේම අවශ්‍යතාවය අනුව වන නිසාය. අතුරුදන් කිරීම් සම්බන්ධ පනත අතීතයට බලපාන ලෙස ගෙනඒමට රජය කටයුතුකොට නැති නිසා තමන්ගේ පාලන කාලයේ සිදුවීම් ගැන මෙමගින් පරීක්ෂා කරනු ඇතැයි බියවීමට හේතුවක්ද ඒකාබද්ධ විපක්ෂයට නැත. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව කළ යුතුව තිබුණේ මෙය අතීතයට ද බලපාන ලෙස ඉදිරිපත් කිරීමයි. පසුගිය කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන්ද යුක්තිය ඉෂ්ඨ විය යුතුය. කෙසේ වෙතත් ආණ්ඩුව එය සිදුකොට නැත. එසේ වුවද අනාගතයට බලපාන ලෙස හෝ මෙම පනත ගෙන ඒමෙන් ඉදිරියේදී මෙබඳු ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබෙයි. එයද මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා නිදහස තහවුරු කිරීමට ගන්නා විශාල ඉදිරි පියවරකි. ඒකාබද්ධ විපක්ෂය බිල්ලකු මවන්නට හදන්නේ එවැනි පියවරකට එරෙහිවය.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන ඇරඹෙන්නේම මහජනයා පීඩාවට පත්කිරීමට රජවරුන්ට හා ඒකාධිපති පාලකයන්ට තිබෙන අත්තනෝමතික බලය සීමා කිරීමක් වශයෙනි. එහි මුල්ම අවස්ථාවක් ලෙස හඳුන්වන්නේ එංගලන්තයේ ‘මැග්නා – කාර්ටා’ සම්මුතියයි. මහජනයාට හිරිහැර කිරීමට අත්අඩංගුව ගැනීමට හා අතුරුදන් කිරීමට රජුට තිබූ අත්තනෝමතික අයිතියට එරෙහිව ඉඩම් හිමි වංශාධිපතියන් ගැසූ කැරැල්ලක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ එම සම්මුතියෙන් සිදුවූයේ රජු ගේ බලය සීමා කිරීමයි. ඉන්පසු කාලයේ ‘හබයාස් කෝපුස්’ හෙවත් සිරුර කැඳවීමේ නීතිය වැනි බොහෝ පියවර මගින් දිගටම කළේ රාජ්‍යයේ බලයට සීමා පැමිණවීමයි. මහජන නිදහස තහවුරු වන්නේ එවිටය.

පදනමක් නැති විසුළු තර්කද අතුරුදන් කිරීම් ගැන පනතට එරෙහිව මතුකරන බව පෙනෙන්නට තිබේ. දැන් රටේ සාමය ඇති වී තිබියදී යුද්ධයක් ද නැති තත්ත්වයක් යටතේ මෙන්ම එවැන්නක් යළි ඇති නොවන බව කියද්දී මෙබඳු නීති ගෙන එන්නේ කුමටද යන්න එබඳු තර්කයකි.

ඒකාබද්ධයේ අපරාධ කැමැත්ත

මෙම තර්කයේ දුර්වලතාවය නම් එයම අනෙක් අතට වඩා ප්‍රබලව මතුකළ හැකි වීමයි. එනම් මෙබඳු සාමකාමි තත්ත්වයකදී වුවත් පුරවැසියන් අතුරුදන් කිරීමට රජයට හෝ වෙනයම් කණ්ඩායමකට හෝ ඉඩ තබා තිබිය යුතු ද? යන්නයි. යම් හෙයකින් එබඳු සිදුවීමක් වුවහොත් දඬුවම් කිරීමට නීති නොතිබිය යුතුද? යන්නයි. නීතිය ක්‍රියාවට නැගෙන්නේ එබඳු දෑ සිදු වුවහොත් පමණක් නිසා එයින් හානියක් සිදුවන්නේම නැත.

අතුරුදන් කිරීම් අපරාධයක් ලෙස සැලකීමට හා ඒ සඳහා නීති පැනවීමට මෙරට ලොකු කුඩා බොහෝ පක්ෂ එකඟ වී සිටියදී එයට එරෙහි වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නඩය පමණකි. ඒ වනාහී මේ රටේ භීෂණ පාලනයක් ගෙනගිය කණ්ඩායමයි. මෙයින් පෙනෙන්නේ බලයෙන් පහවී පස්ස බිම ඇණුන ද මොවුන් වෙනස් වී නැති බවයි. මොවුන්ගේ බලාපොරොත්තුව කෙසේ හෝ යළි බලයට පැමිණෙන්නටය. ඉන් පසුව පෙර මෙන්ම භීෂණකාරී පාලනයක් ගෙන යන්නටය. අතුරුදන් කිරීමේ නිදහස වෙනුවෙන් මොවුන් දැන් පෙනී සිටින්නේ එහෙයිනි. මෙය නම් මොවුන්ගේ ම්‍‍ලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමක් මිස වෙන යමක් නොවේ.

රට දැන් ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වී ඇති නිසා මේ ඒකාධිපති නඩයට යළි බලයට ඒමට නොහැකි වීම රටේ වාසනාවකි.

සී.ජේ.අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *