කුසෙත් නැති ළමයින්ට හඳහන් ලියන දේශපාලන අඳබාලයෝ – භාතිය බරුකන්ද

‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් බලන්න එපා’ යැයි ප‍්‍රකට ගැමි කියමනක් අප අතර තිබේ. මෙයින් අදහස් වෙන්නේ යම් කිසි වැඩක් අවසන් කිරීමට පෙර එහි ගුණදොස් දැක්වීම නොකළ යුතු දෙයක් යැයි අපට තේරුම්ගත හැකිය.
ගමේ ගොඬේ භාෂාවෙන් කිවහොත් ‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් බලන්නේ එක්කෝ අඳබාලයෙකි/ මෝඩයෙකි. නැතහොත් කට්ට කපටි කෛරාටිකයෙකි. කිසිම සමාජයක් මේ පුද්ගලයින් දෙදෙනාම වැදගත් හා බුද්ධිමත් මිනිසුන් ලෙස සලකන්නේ නැත. ඔවුන් අවඥාවෙන් බැහැර කිරීම හෝ ඔවුන් කියන කරන දේ ‘ඒ කනෙන් අසා මේ කනෙන් බැහැර කිරීම’ පමණක් සිදුවන්නේය.
මිනිස්සු එසේ කරන්නේ ‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් බලලා කියන කතාවලට කිසිඳු පදනමක් නැති නිසාය. එවැනි කතා කියන්නෝ උත්හාස කරන්නේ තමන්ගේ යම් කිසි පටු පරමාර්ථයක් ඉටුකර ගැනීමට උත්්සාහ ගැනීම පමණක් බව ජනතාව දන්නා නිසාය.
අනු නාහිමියෝ ගෝඨාට කී කතාව
පසුගිය සිකුරාදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගෙන සුපුරුදු පරිදි අස්ගිරි මහා විහාරයන්ට ද ගියේය. ලංකාවේ දේශපාලනඥයින් හෝ ඉහළ නිලධාරීන් මල්වතු – අස්ගිරි මහා විහාරයන් වෙත ගොස් නා හිමිවරුන් බැහැ දැක කරන කියන දෑ උණුසුම් පුවත් මවන බව අප පසුගිය කාලය පුරාම දැක ඇති සුලභ දෙයකි. ඒ සමග ම අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මේ දේශපාලනඥයින් හා ඉහළ නිලධාරීන් මහ නාහිමිවරුන් බැහැ දැක උන් වහන්සේලා කියන දෑ ද එක්කොට බොහෝ විට මහා ගිනි අවුළුවන බවකි.
පසුගිය සිකුරාදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා ද අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට යන්න ඇත්තේ මේ වන විට අවිලෙමින් තිබෙන ගින්නට නා හිමිවරුන් ලබා තව ටිකක් පිදුරු ටිකක් දා ගැනීමට විය හැකිය. මන්ද පසුගිය සතිය තුළ ජනමාධ්‍යවල හා දේශපාලන කරළියේ ප‍්‍රමුඛ අවධානය දිනාගෙන සිටියේ ‘අලූත් ව්‍යවස්ථාවක් එපා’ යැයි කියමින් මහ නාහිමිවරුන් විසින් නිකුත් කළ ඒකාද්ධ මාධ්‍ය නිවේදනය මේ වන විටත් නොනිමී පවතින නිසාය.
ලත් තැනම ලොප් වූ උපාය
අවිලෙන ගින්නට පිඳුරු දමා ගැනීමට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උත්හාසය ‘ලත්තැනම ලොප්’ වූ බවක් ඊට පසුදා මාධ්‍ය වාර්තා අනුව දැකගත හැකි විය. අප ගෝඨාගේ උත්සාහය ‘ලත්තැනම ලොප් වු බව’ කියන්නේ ගෝඨා බලාපොරොත්තු වූ පිඳුරු දැමීමක් වෙනුවට මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්ම නාහිමියන් වෙතින් ගෝඨා ඇතුළු ඊනියා ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආලවකයාට ඇන්දවීමට තැත් කරන සියලූ පාර්ශ්වයන්ට අතුල්පහරක් ඉක්මවා ගිය හෙණ පහරක් වූ නිසාය.
‘අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ වන තෙක් කෙටුම්පත් කරලත් නැහැ. ඒ නිසා ඒකට එරෙහිව කරන ප‍්‍රකාශවලට කිසිඳු ආකාරයකට පදනමක් නැහැ. මේක හරියට කුසේ සිටින දරුවකුට හඳහන් හදනවා වාගේ වැඩක් ’ අනු නාහිමියෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණය කළ ප‍්‍රකාශයේ සරල අදහස ඒ ආකාරයෙන් ගොනු කළ හැකිය.
‘අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවට’ මහ නාහිමිවරුන් විසින් නිකුත් කළ බව කියන මාධ්‍ය නිවේදනයට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා මාධ්‍ය ආවරණයක් දෙමින් මහා ඝෝෂාවක් කළ සති අන්ත පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය අතරේ විමලධර්ම අනු නාහිමියන් ගෝඨාභය රාජපක්ෂට කළ මෙම අවධාරණාත්මක ප‍්‍රකාශයට නිසි වැදගත්කමක් නොලැබූ බවක් ඉතා පැහැදිලිව දැකිය හැකි විය.
අනු නාහිමියන්ගේ ප‍්‍රකාශය වැදගත් ඇයි ?
මාධ්‍ය අවකාශය තුළ හිට් නොවුණාට විමලධර්ම අනු නාහිමියන් කළ උක්ත ප‍්‍රකාශය අප කිසිවකුට පහසුවෙන් බැහැර කිරීමට නම් නොහැකිය. මන්ද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳ දමා ආණ්ඩුව අර්බුදයකට තල්ලූ කර යළි රාජ්‍ය බලය ඩැහැ ගැනීමට සිහින දකිමින් සිටින සියලූ පාර්ශ්ව පසුගිය කාලය පුරාම ඉතා පැහැදිලිව ම කරමින් සිටියේ තවමත් නිසි දින ගණන නොව කළලය පවා නිසි සේ වැඞී නැති අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නම් දරුවා වෙනුවෙන් හඳහන පමණක් නොව ඔහු වෙනුවෙන් පොරොන්දම් ද බැලීම පමණක් වන හෙයිනි.
අලූත්් ව්‍යවස්ථාව ගැන පුහු තර්ක
අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය බිඳ දැමීමට එකසිතින් ක‍්‍රියාකරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය පසුගිය කාලය පුරාම අවධාරණය කරමින් සිටින කරුණ වන්නේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා යහපාලන ආණ්ඩුවට ජනතා අනුමැතියක් ලැබී නොමැති බවයි. පසුගිය දා මහ නාහිමිවරුන් විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය මගින් ද මේ සම්බන්ධයෙන් ඉඟි පළ කොට තිබිණි.
එහෙත් හිටපු ජනපතිවරයා ඇතුළු කල්ලිය මෙන්ම හිටපු ජනපතිවරයා යළි කිරුළු පළඳිනු කැමැත්තෙන් සිටින පිරිස් හිතාමතාම සඟවන ඇත්ත වන්නේ 2015 ජනපතිවරණය යනු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, නීතියේ ආධිපත්‍ය යළි පිහිටුවීම, යහපාලනය ඇති කිරීම හා ජාතික සංහිඳියාව බිහි කිරීම යන ප‍්‍රධාන අරමුණු මත කේන්ද්‍රිය එකක් වූ බවයි. හොරු ඇල්ලීම වැනි කරුණු 2015 ජනපතිවරණයේ චිත්තාකර්ෂණීය පොරොන්දුවක් වුවත් සිවිල් සමාජය ප‍්‍රමුඛ යහපාලන බලවේග වල පූර්ණ හා දැඩි අවධානය යොමු වූයේ ඉහත සඳහන් සිවුවැදෑරුම් අරමුණු රට තුළ ස්ථාපිත කර ගැනීම වෙනුවෙනි.
එනිසා මහින්ද රාජපක්ෂ ඇතුළු නව ව්‍යවස්ථා විරෝධීන්ට ඉතා පැහැදිලිව අවධාරණය කළ යුතු වන්නේ 2015 ජනවාරී මැතිවරණයට පෙර සිට මාදුළුවාවේ සෝහිත හිමියන් ප‍්‍රමුඛ සිවිල් සමාජ බලවේග විසින් ජීවය දුන් යහපාලන බලවේග වල සමස්ත අරමුණ සාධන කර ගැනීමේ තාර්කික අවස්ථාව පවතින්නේ නව ව්‍යවස්ථා සම්පාදනය මගින් පමණක් හෙයින් 2015 ජනවාරී 08 දේදුනු විප්ලවය යනු ඉතා පැහැදිලිව ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජන අනුමැතිය හිමි වූ මැතිවරණයක් වශයෙන් සැලකිය හැකි බවයි.
හිතාමතා අතීතය අමතක කිරීම
ලංකාවේ දේශපාලනඥයින් හා ජනමත ප‍්‍රධානීන්ගෙන් අති බහුතරයක් සැලකිය හැක්කේ අවස්ථාවාදීන් වශයෙනි. ගමේ ගොඬේ භාෂාවෙන් ප‍්‍රකාශ කළහොත් ඔවුන්ගෙන් අති බහුතරයක් ‘කන්න වුවමනා වූ විට කබරයා තලගොයා කළ හැකි ජාතියේ මිනිසුන්ය. ගොරකා දඩමස් කළ හැකි කට්ට කෛරයාටිකයින්ය. අද මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කල්ලිය 2015 ජනවරම තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කර ගැනීමට දැඩි සේ වෙහෙසෙන්නේ මේ නිසාය. අද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ක‍්‍රමක්ක‍්‍රමයෙන් වත්මන් ආණ්ඩුව අර්බුදයකට තල්ලූකර කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත් කිරීමය. ඒ සඳහා දිනපතා අඩුවැඩි සපයන ඥානසාරලාට, පාදේණියලාට වඩා නව ව්‍යවස්ථාව අල්ලා ගැනීම වඩාත් වැදගත්ය. ඒ හරහා ආණ්ඩුවට කළ හැකි හානිය ද ඉතා බලවත්ය.
අද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් එපා යැයි මොරදෙන පිරිස්වලට රිදෙන පිළිතුරක් පසුගිය දා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන්නේය. එහිදී අගමැතිවරයා අවධාරණාත්මකව පවසා සිටියේ වසර 40 ක් පැරණි වත්මන් ව්‍යවස්ථාව යටතේ ජීවත් වීමට තරුණ පරම්පරාව සූදානම් නොමැති බවයි.
අගමැතිවරයා කියන මේ කතාව පැහැදිලිව ම නිවැරදි එකකි. මෙම ලේඛකයාද ඇතුළත් වන පරම්පරාව වත්මන් ඒකාධිපති ව්‍යවස්ථාවට කිසිසේත් අනුකූලත්වයක් දක්වන් නැත. එය ඔවුන්ට විහිළුවක්, බහුභූතයක් බවට පත්ව බොහෝ කල්ය. මෙම ලේඛකයාට ද අනුව 1994 සිට වත්මන් ව්‍යවස්ථාව සැලකෙන්නේ ‘බහුභූත ව්‍යවස්ථාවක්’ වශයෙනි. 1994 දී වත්මන් විපක්ෂයේ මෙන්ම යහපාලන ආණ්ඩුවේ ද ප‍්‍රබලයින් බහුතරයක් නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සියයට 62 ක් වැනි අති බහුතර ජන බලයක් මගින් එදා බලයට පැමිණීමට කේන්ද්‍රීය හේතුවක් ලෙස අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ද වූ බව අද එදා එතුමි සමග හවුලේ ආණ්ඩු කළ බොහෝ දෙනකු අමතක කිරීම හාස්‍යයට නොව බිම පෙරළි පෙරළී අඬා වැටීමට හේතුවකි.
1994 දී පමණක් නොව එදා සිට 2015 දක්වා පැවැති සියලූම මැතිවරණවල කේන්ද්‍රීය මැතිවරණ පොරොන්දුවක් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් ලබාදීම, යහපාලනය හා නීතියේ ආධිපත්‍ය ඇති කිරීම වැනි ප‍්‍රබල ප‍්‍රජාතන්ත‍්‍රවාදී පොරොන්දු තිබූ බව අමතක කළ හැක්කේ දේශපාලන අවස්ථාවාදය ද ඉක්මවා ගිය දේශපාලන වසලයෙකුට පමණකි. උදාහරණයක් වශයෙන් 2005 මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළ ජනපතිවරණය ප‍්‍රධාන වශයෙන් ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ මැතිවරණයකි.
ශ‍්‍රීලනිප හදවතට ගැරහීම
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එය සම්මත කළ දා සිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශිකයින්ගේ විශ්වාසයටත්, ගෞරවයටත් හේතු නොවූ බව අද ශ‍්‍රීලනිපයේ අති බහුතරයක් පමණක් නොව වාමාංශික දේශපාලනඥයින්ගෙන් අති බහුතරයක් විසින් ද අමතක කර තිබීම පුදුම සහගතය. 1978 සිට 1994 දක්වා පුරා 17 වසරක් ‘විධායක වියරුව’ යනුවෙන් ඔවුන් විසින්ම අවමන් කළ ව්‍යවස්ථාවෙන් බැට කා 1994, 1999, 2005, 2010 ජනපතිවරණ හා මහ මැතිවරණවලදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඡුන්ද වෙන්දේසියේ දමමින් ජනමතය ලබාගත් පිරිසක් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට එරෙහි වීම සැලකිය හැක්කේ ශ‍්‍රීලනිපයේ හදවත වන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට එරෙහි වීමක්, නිඟරු කිරීමක් වශයෙනි.
අනෙක් අතින් ඇන්. ඇම්. කොල්වින් වැනි කෘතහස්ත වාමාංශික නායකයින් ඉතා පැහැදිලිව, තීරණාත්මකව ප‍්‍රතික්ෂේප කළ විධායක ජනාධිපති ක‍්‍රමය ද ඇතුළත් වත්මන් ව්‍යවස්ථාව තව දුරටත් රැුක ගැනීම වෙනුවෙන් වත්මන් ඊනියා වාමංශික දේශපාලනඥයින් හා බුද්ධිමතුන් යැයි කියා ගන්නා ඇතැමුන් පේවී සිටීම තුළින් ජනතාවට පැහැදිලි වන්නේ ඔවුන්ගේ දේශපාලන මජරභාවයේ තරම මිස වෙන යමක් නොවේ.
නව ව්‍යවස්ථාවකට බය ඇයි ?
මහ නාහිමිවරුන්, මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කල්ලිය සහ ඊනියා බුද්ධිමතුන් විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට යහපාලන ආණ්ඩුව ගන්නා උත්සාහය කඩාකප්පල් කිරීමට මේ තරම් දත කන්නේ ඇයි දැයි අප සියුම්ව විමසා බැලිය යුතුය.
නව ව්‍යවස්ථා සම්පාදනයේ මුඛ්‍ය අරමුණ වන්නේ පසුගිය දශක හතර පුරා ජනතාවගේ, විශේෂයෙන් දේශපාලනඥයින්ගේ නිගරුවට ලක්ව තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමය පදනම් කරගත් ව්‍යවස්ථාව වෙනුවට වත්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ ගෞරවයට හා විශ්වාසයට හේතු වන, පුරවැසියන්ගේ සහභාගිීත්වයෙන් හා රටේ සියලූ පාර්ශ්වයන්ගේ පුළුල් නියෝජනයක් සහිත පොදු පිළිගැනීමක් හා සුජාතභාවයක් ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමය.
මෙම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසි අයිතිවාසිකම් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් ද සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බව නව ව්‍යවස්ථා සම්පාදකයෝ මේ වන විටත් ප‍්‍රකාශ කර ඇත.
මෙහිදී අපට ප‍්‍රථමයෙන්ම අවධාරණය කර ගැනීමට සිදුවන්නේ පසුගිය 40 වසර පුරාම ජනතාවගේ දැඩි විවේචනයට හා නිගරුවට ලක්ව සිටින විධායක ජනාධිපති ක‍්‍රමය නව ව්‍යවස්ථාවකින් මිස වත්මන් ව්‍යවස්ථාවට එක්කරන පැලැස්තර් සංශෝධන මගින් ඉටුකර ගත නොහැකි බවයි. විධායක බලතල කප්පාදු කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්්ඨාධිකරණයට ගිය විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මගින් ඒ බව මනාව තහවුරු වෙයි. එනිසා විධායක බලතලවල තීරණාත්මක අගය බාල කිරීමක් පවා සිදු කරගත හැකි වන්නේ නව ව්‍යවස්ථාවක් මගින් පමණක් බව පැහැදිලිය.
අද මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කල්ලිය නව ව්‍යවස්ථාවකට මාරාන්තිකව එරෙහි වන්නේ මේ නිසාය. මන්ද මහින්ද රාජපක්ෂ වේවා, ගෝඨාභය රාජපක්ෂ වේවා යළි සිහින දකිමින් සිටින්නේ කැබිනට් මණ්ඩලයක් සමග, පාර්ලිමේන්තුව සමග හවුලේ භුක්ති විඳින ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලාධිකාරියක් නොව සියලූ බලතල එකමිටට ගත් ඒකාධිපති බලාධිකාරියක් සඳහාම වන බැවිණි.
අද මහින්ද රාජපක්ෂගේ, ගෝඨාභය රාජපක්ෂයේ මෙම සිහිනය වෙනුවෙන් නිර්ලිජ්ජිත ලෙස කඬේ යන සියලූ පාර්ශ්වයන්ගේ ආසන්න අතීතය විමසා බැලූවහොත් ඔවුන් අධිපතිවාදයට, බලකේන්ද්‍රනයට කොතරම් ලොබ කරන්නේද, දණ නමන්නේද කියා වටහා ගත හැකිය. උදාහරණයක් වශයෙන් 78 ව්‍යවස්ථා වේ තිබූ අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් පවා, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් පවා මහ දවාලේ කොල්ලකෑ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ද නිරුවත් ලෙස පෙනී සිටියේ මෙම පාර්ශ්වයන් බව අපට හඳුනා ගත හැකිය. මෙනිසා වත්මන් ව්‍යවස්ථා විරෝධී බලවේග අද නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් මාරාන්තික විරෝධය පාන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි හා යහපාලන භාවිතයන්ට එරෙහිව ඔවුන් තුළ පවතින ආවේණික හා ආරෝපිත භීතිය නිසා බව අප වටහා ගත යුතුය.
සරලව පවසන්නේ නම් 18 වැනි ව්‍යවස්ථාව සම්පාදනය කළ, ඊට පක්ෂව කඬේ ගිය කිසිවෙක් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි සිහි බුද්ධියක් ඇති ජනතාවකට නම් විශ්වාස කළ නොහැකිය.
ඒ දේශපාලනඥයින්ය.
මහා නාහිමිවරුන් ද අද නව ව්‍යවස්ථාවට එරෙහිව ප‍්‍රදර්ශනකාමී මෙන්ම තීරණාත්මක විරෝධයක් පළ කරමින් සිටිති. මේ තත්ත්වය ‘මේ හඬ මහින්ද වෙනුවෙන් ’ යැයි පහසුවෙන් ලඝු කළ හැකිය. එහෙත් ඊට යටින් දිවෙන සියුම් හුය වන්නේ නව ව්‍යවස්ථා සම්පාදන කාර්යය සමග සිදුවීමට නියමිත ජාතික ගැටලූවට විසඳුම් සොයන බලය බෙදා හැරීමට එරෙහිව ලංකාවේ භික්ෂු සංස්ථාව සහ වාමාංශික බුද්ධිමතුන් දක්වන දැඩි විරෝධයයි. මේ තත්ත්වය 1956 සිට ද අඛණ්ඩව පවතින තත්ත්වයක් හෙයින් අද මෙකී භික්ෂු විරෝධය පුදුමයට කරුණක් වශයෙන් නොසැලකිය යුතුය. 1956 දී ‘බණ්ඩාරනායක- වෙල්වනාගයම්’ ගිවිසුමට එරෙහි වී ලංකාව ලේ විලක් කිරීමට මංගල පස් පිඩැල්ල කැපූ මෙකී ජාතිවාදී හා අවස්ථාවාදී බලවේග තීරණාත්මකව පරාජය කිරීම හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ සමාජය හමුවේ නැත.
අනෙක් අතින් මෙම සියලූ පාර්ශ්වයන් ලංකාව තුළ යහපාලනයක් හා නීතියේ ආධිපත්‍යයක් ද ඇති වනවාට කැමැත්තක් දක්වන්නේ නැත. මහින්ද රාජපක්ෂගේ දශක පාලනය පුරා එහි සියලූ අකටයුතුකම්, මර්ධනයන් කිසිඳු ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගත්, ඒවා වෙනුවෙන් මතවාදීව පෙනී සිටි මෙම පාර්ශ්වයන් නව ව්‍යවස්ථාවක් තුළින් රට තුළ යළි නීතියේ ආධිපත්‍ය හා යහපාලනය ඇතිවීම රුස්සන්නේ ම නැත. ඔවුන්ට අවශ්‍ය කරන්නේ මහ දවාලේ රාජ්‍ය සම්පත් කොල්ල කන කැලෑ උසාවි ක‍්‍රියාත්මක වන පොල්පොට් පන්නයේ පාලනයක් මිස දේශපාලන, ආගමික හා ජාතික සංහිඳියාව තුළ පදනම් වූ යහපාලන ආණ්ඩුවක් නොවේ. 18 ගෙනා, එයට කඬේ ගිය සියලූ බලවේල අද එක පෙරමුණකට ගොනුව, පැරණි ශ‍්‍රීලංකාකාරයින් අපහාසයෙන් හැඳින් වූ ‘ජේ.ආර්ගේ බහුභූත ව්‍යවස්ථාව’ මහා වංශයක් කර ගැනීමට තැත් කරන්නේ එහෙයිනි.
නව ව්‍යවස්ථාව කොකටත් තෛලයක් නොවේ
ලංකාවේ පවතින සමස්ත අර්බුදයන්ට හේතුව ව්‍යවස්ථාවේ අවුලක්ද ? යැයි ප‍්‍රශ්න කරන සැලකිය යුතු පිරිසක් ද අප අතර සිටිති. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් රටක් හා සමාජයක් මුහුණ දෙන සියලූ අර්බුදයන්ට විසඳුම් සෙවිය නොහැකි බව පැහැදිලිය. මන්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නැති බි‍්‍රතාන්‍ය වැනි බලවත් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් සේම ලෝකයේ හොඳම හා නූතනවාදී යැයි කියන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හිමි වුවත් අති ¥ෂිත දකුණු අප‍්‍රිකාව වැනි රටවල් ද ලෝකයේ තිබෙන හෙයිනි.
එනිසා අද හෝ හෙට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර පනවා ගත්ත ද ලංකාවේ සකල විධ රෝග ව්‍යාධීන් සුවපත් වනු ඇතැයි විශ්වාස කළ හැක්කේ දේශපාලන අමනයෙකුටම පමණකි.
එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, නීතියේ ආධිපත්‍යයේ, යහපාලනයේ සහ ජාතික සංහිඳියාවේ කුළුණු යළි ඔසවා තැබීම සඳහා නම් නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යම වන බව අවධාරණය කළ යුතුමය.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *