කෝට්ටේ සංඝ සභාවේ අනුශාසනාව – අනුර සූරියබණ්ඩාර

කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමශ‍්‍රී ධර්ම මහා සංඝ සභාව ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට 2017 ජුනි 28 දින බාර දුන් යෝජනාවලියේ,
‘‘සමාජයේ දැනට කතා බහට ලක් වී ඇති සිංහල බෞද්ධ පසුබෑම, බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණ දියාරු කිරීම, බෞද්ධ පුරාවස්තු අල්ලා ගැනීම සහ එම පුරාවස්තු විනාශ කිරීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග, බෞද්ධ කාන්තාවන් වන්ද්‍යා භාවයට ලක්කිරීම, බෞද්ධයාගේ සමගිය නැති කිරීමට ගනු බලන උත්සාහය, බෞද්ධයාගේ සංකේතවලට හානි කිරීම, බෙද්ධ ගම්මානවල කිසිම පදනමක් නැතිව මුස්ලිම් අය පදිංචි කිරීම, ශ‍්‍රී ලංකේය ඉතිහාසය විකෘති කිරීම, පෙර නොවූ විරූ පරිදෙන් සිංහල බෞද්ධ ජනතාව මත්ද්‍රව්‍යවලට පුරුදු කිරීම, මුස්ලිම් අය මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම, මුස්ලිම් ආයතන ශ‍්‍රී ලංකාවේ පිහිටුවීම, බෞද්ධයන් ඔවුන්ගේ ආගමට නතුකර ගැනීම, ශ‍්‍රී ලංකාවේ පවතින නීතියට අනුගත නොවී අන්‍යාගමික නීති ස්ථාපිත කිරීමට ගනු ලබන ප‍්‍රයත්නය, මුස්ලිම් ජනගහනය වර්ධනය, බෞද්ධයන්ගේ ව්‍යාපාර කූට ක‍්‍රම මගින් අත්පත්කර ගැනීම, උතුරු නැගෙනහිර ජීවත්වන ඇතැම් පිරිස් බෞද්ධ සිද්ධස්ථාන සහ බුදු පිළිම විනාශ කිරීම, මුස්ලිම් ජනතාව විසින් සිදු කරන වන විනාශය… ආදි වශයෙන් වන සඳහනක් තිබේ.
උන්වහන්සේලා එකී යෝජනාව ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකාවේ ජීවත්වෙන සියලූ ජාතිකයන් හා ආගමිකයන් අතර උද්ගතව ඇති ගැටලූවල යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා දේශපාලන මතිමතාන්තරවලින් හා ජාතික හා ආගමික අන්තවාදයෙන් තොර සියලූ ආගමිකයන් සහ ජාතින් නියෝජනය වන රට වැසියනට අවිවාදයෙන් පිළිගතහැකි ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාව සහිත විද්වත් ස්වාධීන කොමිසමක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කරමිනි.
එපමණක් නොව එහිදී උන්වහන්සේලා බෞද්ධයන්ගෙන් කිතුනුවන්ට සිදුවනවා යැයි කියන අනර්ථයන් මෙන්ම සිංහල බෞද්ධයන් විසින් මුස්ලිම් ජනතාවට සිදු කරතැයි කියනු ලබන හිංසා පීඩා සම්බන්ධයෙන් ද විශේෂයෙන් ඔවුන්ගේ ව්‍යාපාර සහ ආගමික ස්ථාන බෞද්ධයන් විසින් විනාශකරන්නේ යැයි කියන ගැටලූ පිළිබඳවද සොයා බැලිය යුතු බවද යෝජනා කරති.
සිංහල බෞද්ධ ජනතාව කෙරෙහි වැඩි බරක් තබා කළ යෝජනාවලියක් යැයි බැලූ බැල්මට පෙනුනද මෙකී යෝජනාවලිය මෑත ඉතිහාසයේ භික්‍ෂූන්වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු ඉතාම ප‍්‍රගතිශීලි, සාමලැදි, ජනතාවාදී යෝජනාවලියක් බව පිළිගත යුතුය. එසේම එය දේශපාලකයන් විසින් මෙතෙක් මගහැරෙමින් තිබුණු වගකීමක් පූජ්‍යපක්‍ෂය විසින් සිහිපත් කර දීමක් වශයෙන්ද අගය කළ යුතුය.
පසුගිය වකවානුව පිළිබඳ කල්පනා කරන විට ජාතිවාදි ගැටුමකට අවශ්‍ය වටපිටාවට සුදුසු පරිසරයක් මෙරට සැකසෙමින් තිබෙන බව පෙනෙන්ට තිබේ. ඒ තත්ත්වයට මුල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේත් වෙනත් මාධ්‍ය ඔස්සේත් පැතිරෙවිමින් පවතින කටකතා ආකාරයේ ප‍්‍රවෘත්ති සහ ආරංචි සමූහය බවද සැබෑවකි. යථාව පිළිබඳ සොයා බැලිය යුතු වන්නේ ද එහෙයිනි.
ඉහත යෝජනාවලියේ භික්‍ෂූන්වහන්සේ සිහිපත් කරන පරිදි ඒ කටකතා අතුරින් බොහොමය කියන්නේ මුස්ලිම් ජාතිකයන් විසින් සිංහල ජාතිය විනාශ කරන්නට ගන්නා උත්සාහයන් ගැනය. බුද්ධාගමට සංස්කෘතියට ඔවුන්ගෙන් එල්ව ඇතැයි කියන බලපෑම පිළිබඳවය.
ඇතැම් මුස්ලිම් වෙළඳසැල් වලින් ඇඳුම් නොගැන්නැයි සිංහලයාට අවවාද කරන්නේ ඒ වාහි විකුණන යට ඇඳුම් නිසා කතුන් ගේ දරුවන් වැදීමේ හැකියාව අහිමිවන බව කියමිනි. එවන් එක් වෙළඳ සැලකින් දෙන ටොෆි කෑ විටද දරුපල අහිමිවන බව කියැවේ. ටොෆි කෑමෙන් හෝ යට ඇඳුම් ඇඳීමෙන් නිසරු බව ඇතිවේ යැයි මෙතෙක් කවර හෝ  තැනක විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කර නැතත් ජනතාව නොදැනුවත්කමට එවැනි කටකතා විශ්වාස කරති.
ඇතැමුන් ගේ අදහස එකී වෙළඳ ආයතනයෙන් ටොෆිවලට උපත් පාලන බෙහෙත් කලවම් කර ඇති බවයි. උපත් පාළන බෙහෙත් එක් වරක් පමණක් දී උපත් පාලනය කරන්නට නොහැකි බව මුස්ලිම් භීතිකාවෙන් පෙලෙන ජනතාවට වැටහෙන්නේ නැත. විද්‍යාත්මකව පිළියෙල කළ උපත්පාලන පෙති පවා ඔසප් චක‍්‍රයේ නියමිති දිනයක නියමිත පෙත්තකින් අරඹා නොකඩවා ගත යුතුනම් එක් ටොෆියකින් සදහටම උපල් පාළනය කළ හැකිද?
1915 මුස්ලිම් විරෝධි ජාතිවාදි ප‍්‍රහාරයට පෙර කාලයේ ද මුස්ලිම්වරුන් දළදා මැදුරට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වන බවට ප‍්‍රචාරයක්  පැතුරණුබව පැවසේ. මෑත කාලයේ සමාජ ජාලා වෙබ් අඩවි හරහා සිරිපා අඩවියේ ඉදිකෙරෙන බවට ප‍්‍රචාරය වුණු මුස්ලිම් ජාතිකයෙකුගේ හෝටලය සම්බන්ධ පුවත ද එවැන්නකි. කරුණු සොයා බැලූ විට පැහැදිලි වූයේ එය අමූලික බොරුවක් බව පමණක් නොවේ, සිරිපා මලූවට ඊටත් ළ`ගින් කළ සිංහලයන්ගේ ඉදිකිරීම් ඇතත් ඒවාට කවරකුගෙන්වත් විරෝධයක් නොමැති බවයි.
1958 ජාතිවාදි කෝලාහලයට පෙර ද යාපනයේ දෙමළ ජනතාවගෙන් සිංහල ජනතාවට විශේෂයෙන් සිංහල තරුණියන්ට සිදුවන තාඩන පීඩන පිළිබද කටකතා පැතිර ගියේය. 1983 කෝලාහලයට පෙරද කොටි කොළඹට පැමිණ සිටින බවටත්, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලින් ගෙන ආ මාළු පෙට්ටිවල සිංහල ජනතාවගේ මළ මිනී එවා ඇති බවටත් කටකතා පැතිරිණ. ජාතිවාදියාගේ ආගම්වාදියා ගේ උපාය වන්නේ ජාතින් සහ ආගම් අතර විශ්වාසය බිඳ දැමීමයි. එවිට විවිධ ජාතින් අතර සැකය මතුවේ. සැකය වෙඩි බෙහෙත් මෙන් ඉතා ඉක්මනින් ගිනි ගන්නවා සේම පුපුරා යයි. එකිනෙකා කෙරෙහි අවිස්වාශයෙන් පෙළෙන ජනතාවක් එකෙක් අනෙකා කෙරෙහි අවුළුවාලීම පහසුය.
එසේ හෙයින් මේ මොහොතේ අගමික දේශපාලනික නායකයන්ගේ වගකීම වන්නේ ජාතින් සහ ආගම් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය තහවුරු කිරීමයි.
මෙරට ජාතවාදි ගැටුම් වල ඉතිහාසය පිරික්සන විට පෙනී යන කරුණු වන්නේ සෑම ජාතිවාදි ගැටුමක් පිටුපසම දේශපාලනය ගැවී තිබූ බවයි. 1981 දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණය මුල්කරගනිමින් සිදුවූ යාපනය පුස්තකාලය ගිනි තැබීම 1983 ජුලි කලබල කෙරෙහිත් ඉන්පසුව වසර 30ක් තිස්සේ දිග්ගැසුණු ඊලාම් සටන කෙරෙහිත් අනුබල දුන්නේය. එහි වගකීම එක්සත් ජාතික පක්‍ෂයේ ගිණුමට බැරවේ. 1958 කෝලාහලයේ වගකීම බැරවන්නේ ශ‍්‍රි.ලං.නි.ප. ගිණුමටය. බොදුබල සේනා රාවණා බලය ආදි සංවිධාන සමග මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ වැන්නන්ගේ නම් සඳහන්ව තිබේ. එල්.ටි.ටි.ඊ.ය පවා බිහිවූයේ දේශපාලන මූලයන්ගෙන් තොරව නොවේ.
ජාතික සමගිය වෙනුවෙන් යම් පමණකට වැඩසටහන් මේ වන විට රටේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බව සැබෑය. මහින්ද රාජපක්‍ෂ යුගයේ තත්ත්වයට සාපේක්‍ෂව එය සතුටුදායක වුවද රටේ අවශ්‍යතාවේ තරමට ඒ වැඩ සටහන් වේගවත් නැතිබව ආණ්ඩුව වටහා ගත යුතුය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ යුද්ධයක් මධ්‍යයේ වුවද සුදු නෙළුම, තවලම වැනි ආකර්ශනීය මෙන්ම බලගතු වැඩසටහන් ජාතික සමගිය වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ බව අපට මතකය. එකල පැවැති ඊලාම් සටන හේතුවෙන් සිංහල – දෙමළ ගැටුම මිස අදමෙන්, සිංහල – මුස්ලිම්, සිංහල -දෙමළ, බෞද්ධ – ක‍්‍රිස්තියානි, බෞද්ධ – හින්දු, බෞද්ධ – ඉස්ලාම් වැනි බෙදීම් මතුව තිබුණේද නැත. එවත් තත්ත්වයක ක‍්‍රියාත්මක වූ සුදු නෙළුම, තවලම වැනි වැඩ සටහන් වලට වඩා බොහෝ බලගතු බොහෝ ජවසම්පන්න සමගි සන්ධාන ව්‍යාපාරයක් රටට අවශ්‍ය නමුත් ආණ්ඩුව පාර්ශ්වයෙන් තවමත් ඒ සම්බන්ධයෙන් ඇත්තේ ඇල්මැරුණු ස්වාභාවයකි.
කෝට්ටේ ශ‍්‍රී කාල්‍යණි සාමශ‍්‍රී සංඝසභාවේ ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීම අතිශය වැදගත් වන්නේ එහෙයිනි. දැන් ආණ්ඩුවෙන් කළයුතු වන්නේ උන්වහන්සේලාගේ ඉල්ලීම අනුව යමින් ජාතීන් අතර අන්‍යා්න්‍ය විශ්වාසය තහවුරු කිරීම, සැකය දුරුකිරීම, ගැටලූ නිරාකරණය සඳහා වේගවත් ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ විමයි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *