උමා ඔය හූනියම කළේ කවුද? – භාතිය බරුකන්ද

 

උමා ඔය නිසා ඌවේ ජනතාව හිඟන්නන් වන බව අප කවුරුත් දනිමු. ඔවුන් මේ ගෙවමින් සිටින්නේ හම්බන්තොට සිහිනයක් වෙනුවෙන් වූ අවාසනාවන්ත වන්දියක් බවත් අප පැහැදිලිව දනිමු. මේ තත්ත්වය තුළ ඌවේ ජනතාවගේ දුක සදාකාලික කිරීමට ඉඩ නොතබා කඩිනමින් ඒවාට විසඳුම් සෙවීමට පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු

ඇ යි අපිව හිඟන්නෝ කළේ ? මේ අපරාධය කරපු උන්ට හොඳක් නම් වෙන්න එපා” මේ බණ්ඩාරවෙල ශ්‍රියානි යාපා මහත්මිය ශාප කරන්නේ උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළවුන්ගේ හත්මුතු පරම්පරාවටයි. බණ්ඩාරවෙල නිවාස 7037ක් පුරා තුන්තිස් පැයේ කෙරෙන මේ ශාප කිරීම්වලට අද දිය පොදක් නැතිව ඉබාගාතේ තැන තැන දුවන ලක්ෂ සංඛ්‍යාත වන සතුන්ගේ ද වේදනා එක්විය යුතුය. මන්ද ලංකාවේ ඉතිහාසයේ දැවැන්තම මානව හා පාරිසරික ඛේදවාචකය සටහන් වන්නේ ඊනියා උමා ඔය ව්‍යාපෘතිය මගිනි.

යහපාලනය ආ විගස කළ චෝදනා

මේ සටහන ලියා තැබීමට පෙර 2015 ජනවාරි 08 වැනිදායින් ආරම්භ වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවේ ආරම්භක කාලයට යා යුතුය. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගස කළ මුල්ම කාර්යයක් වුයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දසවසරක් පුරා ආරම්භ කළ, පවත්වාගෙන ගිය දැවැන්ත ව්‍යාපෘති පිළිබඳ කඩිනම් පසු විපරමකින් පසු එම අසාර්ථක ව්‍යාපෘති බොහොමයක් තාවකාලිකව නතර කර දැමීමට පියවර ගැනීමය.

මේ සමඟ මහින්ද රාජපක්ෂ ඇතුළු පරාජිත කල්ලිය හා ඊළඟ මහ මැතිවරණය තුළින් කෙසේ හෝ පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමට තැත් කළ කල්ලිය පුනපුනා ආණ්ඩුවට කළ චෝදනාව කුමක්ද ? ‘මෙන්න යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයා ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නතර කරලා’ යැයි උදේ සවස ආණ්ඩුවට දෙස් දෙවොල් තැබීමය. ‘මම ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති මේ ආණ්ඩුව නතර කරලා’ යැයි මහින්ද රාජපක්ෂ මහතා ද තැන තැන කියමින් යන විට ඒ කතාවට තටු දුන් ජනමාධ්‍ය සහ ඇතැම් සංවිධාන රටේ දැවැන්ත මතයක් නිර්මාණය කරමින් ‘මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සියල්ල නතර කර ඇතැයි’ දිගින් දිගටම අවධාරණය කරමින් ගියේය.

මහින්දගේ කෑම බිල ගෙවීම

මෛත්‍රී – රනිල් ආණ්ඩුව මේ දක්වා ගෙවමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බඩජාරියෙකු ලෙස ඉවක් බවක් නොමැතිව ගිල දැමූ කෑම වේල් ගණනාවක බිල බව අපට පැහැදිලිවම පෙනේ. කොටින්ම අද ආණ්ඩුවට ආණ්ඩු කිරීමටවත් ඉස්පාසුවක් හෝ හැකියාවක් නොමැති තත්ත්වයක් රටේ උද්ගත වෙමින් පවතින්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කෑම බිල ගෙවීම හැර වත්මන් ආණ්ඩුවට කළ හැකි වෙනත් යමක් නොමැති නිසාය.

මේ තත්ත්වය අද ආණ්ඩුවට එරෙහිව මේසයක් මේසයක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ ‘මේ ආණ්ඩුව කරන දෙයක් නැහැ’ යැයි කියමින් යළි සුබ අනාගතයක් ගැන සිහින දකින මිනිසුන්ට මතක් කරදිය යුතුය. එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මළගමට මුල්ම ඇණය ගැසූ බදුල්ලේ ජනතාව නොමඟ ගොස් හෝ මේ ඊනියා විරෝධය රාජපක්ෂ ආණ්ඩුවේ පවු ගෙවමින් සිටින යහපාලන ආණ්ඩුවේ කරපිටින්ම යාමය.

ජාතික සංහිඳියාව

රාජපක්ෂ ආණ්ඩුව පටු දේශපාලන වුවමනා එපාකම් සඳහා තම පාලන සමය තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජාතික හා ආගමික සංහිඳියාව බිල්ලට දුන් බව අපට අමතක කළ නොහැක. ඒ අතර ඉදිරියෙන්ම සිටියේ අලුතින් මවාගත් බිහිසුණුම බිල්ලකු ලෙස චිත්‍රණය කළ ‘මුස්ලිම් විරෝධය’යි. රාජපක්ෂවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හා අනුබලය යටතේ යුද්ධයෙන් පසු යළි රට අරාජිකත්වයට යොමු කළ සිංහල බෞද්ධ අන්තවාදය විසින් ජාතික සංහිඳියාවට කළ විනාශය අදද යහපාලන ආණ්ඩුවට පියවා ගත නොහැකි වී ඇත. අදද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු බෞද්ධ අන්තවාදයට අනුබලය හා සමාජ පිළිගැනීම ලබාදීමේ ප්‍රමුඛයන් වී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ යළි ආගමනයක් ගැන සිහින දකින යම් යම් කල්ලි සහ පුද්ගලයන්ය.

පසුගියදා අස්ගිරි පාර්ශ්වය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් ද විල්පත්තු වන විනාශය හා මුස්ලිම් ජනපදකරණය ගැන ආණ්ඩුවට චෝදනා කර තිබුණි. එහෙත් මොහොතක් මහින්ද රාජපක්ෂ යුගයට ඇස යොමු කළ හැකි වුවහොත් පෙනී යන්නේ විල්පත්තු වන විනාශය පමණක් නොව වන්නියේ සිදුවන හා සිදු වූ දැවැන්ත වන විනාශය හා මුස්ලිම් ජනපදකරණය තුළ රාජපක්ෂවරුන්ගේ බලවත් සෙවණැලි පතිත වී තිබෙන බවයි. මහින්ද රාජපක්ෂ යුගයේ දේශපාලන අනෙකකු වශයෙන් වෛරයට ලක්ව සිටි රවුෆ් හකීම්ගේ දේශපාලන භූමිකාව අතික්‍රමණය කිරීමට සහ වන්නිය ඇතුළු උතුරු පළාතේ ජන සංයුතිය වෙනස් කිරීමට උපායමාර්ගික සැලසුමක් වශයෙන් මන්නාරමේ සිට මුලතිව් මුහුදු සීමාව දක්වා දිවෙන ‘මුස්ලිම් තීරුවක්’ නිර්මාණය කිරීමේ සිහිනයක් රාජපක්ෂවරුන්ට තිබූ බවත් ඒ සඳහා එවකට ආණ්ඩුවේ ප්‍රධාන මුස්ලිම් සාධකය වූ රිෂාඩ් බදුර්දීන් මහතාට ලබාදී තිබූ බවත් අප අමතක නොකළ යුතුය. එදා විල්පත්තුව වනසමින් සිදු වූ මුස්ලිම් ජනපදකරණය අද යහපාලන ආණ්ඩුවට පෙරළා පහරදීමට රාජපක්ෂවරුන් සහ ඔවුන් යළි බලයට ගෙන ඒමට දිවා රෑ කැපව සිටින විවිධ පාර්ශ්ව උත්සාහ කිරීම දේශපාලන අවස්ථාවාදයේ උපරිම සීමාවන් ද ඉක්මවා ගිය එකකි.

හම්බන්තොටට කරන්න ගියේ

මේ ගැනත් ලියා තැබිය යුතුමය. උමා ඔයේ නාමයෙන් අද ඇසෙන්නේ රාජපක්ෂවරුන්ගේ ‘හම්බන්තොටටම කිරීමේ’ සිහිනයේ මරහඬයි. මන්ද උමා ඔය යනු අද එහි ඍජු ගොදුරු බවට පත්ව සිටින ඌවේ ජනතාව හෝ බදුල්ලේ ජනතාවට සුබ ආනාගතයක් ලබාදීමට කළ දෙයක් නොව රාජපක්ෂවරුන්ගේ නින්දගම වන හම්බන්තොට සෞභාග්‍යය සඳහා ජලය ලබාදීමට ගත් ප්‍රධාන පියවරක් පමණකි. හම්බන්තොටට කරන විට රාජපක්ෂවරු පරිසරය, ජන හඬ, යහපාලනය, පාරදෘශ්‍යභාවය වැනි ධනාත්මක කිසිවක් සැලකුවේ නැත. අවශ්‍ය වූයේ ‘සියල්ල හම්බන්තොටට’ ‘රටට පෙර හම්බන්තොට’ යන ව්‍යාජ සිහිනය සදාකල් කර ගැනීම පමණකි. අද ඌවේ ජනතාව ගෙවමින් සිටින්නේ රාජපක්ෂවරුන්ගේ ඊනියා මෙගා සුදු අලි සංවර්ධනයේ සාපය බව මුලින්ම ලියා තැබුවේ මේ නිසාය. ඒ නිසා යළි යළිත් අවධාරණය කළ යුත්තේ අද යහපාලන ආණ්ඩුව හම්බන්තොටට ජලය දීම වෙනුවෙන් රාජපක්ෂවරු ඌවට කළ හූනියම කැපීමට සිදුව ඇති බවකි. මේ හූනියම කැපීම සඳහා යහපාලන ආණ්ඩුව නර බිලි දීමට පමණක් සිදු නොවේවා යන්න පමණක් අප සියලු දෙනාම එක්ව දෙවියන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. මන්ද කෙහෙන් හෝ නර බිල්ලක් ඉල්ලමින් රටපුරා දුවමින් සිටින යක්ෂයන් හා පිසාචයන් කොතැනින් බිල්ලක් ගනිවිදැයි මේ මොහොත වන විට කිසිවකුට සිතා ගැනීමටවත් නොහැකි නිසාය.

උමා ඔය ගැන

උමා ඔය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. අද යහපාලන ආණ්ඩුවට පාරාවළල්ලක් වී ඇති උමා ඔය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව, විශේෂයෙන් බදුල්ලේ එජාප ප්‍රබලයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීට වඩා සංවේදී වූවානම් හොඳය. මන්ද හරීන් ප්‍රනාන්දුට කිසිදා නොලැබෙන දැවැන්ත මාධ්‍ය අවකාශයක් නිතරගයෙන් අත්පත් කොට ගන්නා රාජපක්ෂවරු අද යහපාලන ආණ්ඩුව කනපිට හරවන තාලයේ ගජබින්න ඇඳ බාමින් ඌවේ ජනමතය ආණ්ඩුවට එරෙහිව පෙළගැස්සවීමට දතකන නිසාය.

මේ බව තහවුරු වන අපූරු කතාවක් නාමල් රාජපක්ෂ ද පසුගියදා දිනපතා පුවත්පතකට ඔහු විසින් රචනා කරන තීරු ලිපිය මගින් කියා තිබුණේය. නාමල්ට අනුව නම් රාජපක්ෂ ආණ්ඩුව විසින් තාවකාලිකව නතර කර තිබූ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කරන ලද්දේ වත්මන් ආණ්ඩුව විසිනි. මේ බව පසුගිය සතියේ උමා ඔය සම්බන්ධයෙන් පුවත්පත් කිහිපයක පළ වූ විවිධ ලිපිවලද අවධාරණය කර තිබුණි.

ඉතිං දැං කිසිදු ලෝභකමක් හෝ කැතක් නැතිව උමා ඔය බෝම්බයක් යහපාලන ආණ්ඩුවේ ඔඩොක්කුවට වැටී තිබේ. මේ නිසා අප අවධාරණය කරන්නේ උමා ඔය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම හා ඒ සඳහා උද්ගත වූ නිශ්චිත හා තාර්කික හේතු ආණ්ඩුව විසින් වහාම හෙළි කළ යුතු බවයි. එසේ නොවුණහොත් නාමල්ලා සමන්තලා කිසිදු බියකින් හෝ චකිතයකින් තොරව පාළු ගෙවල්වල වළං බිඳිනු ඇත.

කොමිස් ගිල්ලේ කවුද ?

උමා ඔය ව්‍යාපෘතිය සමඟ ද රාජපක්ෂ පාලන සමයේ ජනප්‍රියම කතාව වූ දැවැන්ත කොමිස් කුට්ටි ගැන කතාවේ අද දක්වා මේ කොමිස් කාක්කන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකි වුව ද උමා ඔය සමඟ ගසාගෙන ආ දැවැන්ත කොමිස් කුට්ටියේ එදා ගියේ කාගේ කාගේ සාක්කු පුරවන්නදැයි ආණ්ඩුව වහාම විමසා බැලිය යුතුය. මන්ද රාජපක්ෂවරුන්ගේ කෑම බිල ගෙවීම සඳහා ආණ්ඩුවට තවදුරටත් ජනතාවගේ සාක්කුව අතගෑමට හැකියාවක් ඇත්තේ නැත. ඒ සඳහා හොඳම විසඳුම වන්නේ පසුගිය කාලයේ හම්බන්තොට වරායේ සිට උමා ඔය දක්වා කවුරු කවුරුත් ගිල්ල කොමිස් කුට්ටි නිදන් කර ඇති ධන නිධාන බිඳ ගැනීමයි. එවැනි ප්‍රවේශයක් ආණ්ඩුව ගත හැකි නම් උමා ඔය ගැන අද නාමල්ලා හෙළන කිඹුල් කඳුළු පමණක් නොව උමා ඔයේ උමං හිල් වුණේ කෙසේදැයි අපූරුවට සොයා ගැනීමට හැකි වනු ඇත. මේ ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට උමා ඔය නිසා සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත හැකි සාධනීය පියවරවල සීමිතභාවය ගැන අපට තර්කයක් නැත. එහෙත් එම ජනතාව විසින් ඉදිරිපත් කර ඇති තාර්කික හා සාධනීය ඉල්ලීම් ගැන සංවේදී වීමට ආණ්ඩුවට නොහැකියාවක් නැත. ඒ නිසා ‘උමා ඔය ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාව සුරැකීමේ සංවිධානයේ’ සාධනීය ඉල්ලීම් ගැන ආණ්ඩුවට විධිමත් අවධානයක් යොමු කළ හැකිය. උදාහරණයක් වශයෙන්, උමා ඔය ජල කාන්දුවෙන් සිදුවන ජල කාන්දුව නතර කිරීම, විනාශයට පත්වූවන්ට සාධාරණ වන්දි මුදලක් ලබාදීම, විනාශයට පත් වූ මිනිසුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම, විනාශය ගැන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම හා සැබෑ විද්වතුන් විසින් ව්‍යාපෘතිය ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම යන යෝජනා ගත හැකිය.

මෙහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඍජු මැදිහත්වීම තුළින් විශේෂඥ වාර්තාවක් සම්පාදනය වන බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇත. එමෙන්ම හානිපූර්ණය හා වන්දි ගෙවීම සම්බන්ධයෙන් ද කටයුතු සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ සිදුවීම් ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදුවෙමින් තිබෙනවා විය හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ ජනතාව වෙත ඒවා විධිමත්ව හා වේගවත්ව සන්නිවේදනය නොවීමය. මේ තත්ත්වය තුළ අවිශ්වාසය සහ අවස්ථාවාදයට තටු නොව රොකට් එන්ජින් ලැබෙන බව ආණ්ඩුව වටහාගත යුතුය. පසුගිය සතිය හෝ සති කිහිපය තුළ උමා ඔය සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා සියුම්ව නිරීක්ෂණය කරන විට මේ තත්ත්වය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තහවුරු වේ. මේ ගැන ආණ්ඩුව සංවේදී වෙමින් කඩිනම් පියවර නොගතහොත් ආණ්ඩුව අපේක්ෂා කරනවාට වඩා බොහෝ දේ ආණ්ඩුවේ අවාසියට සිදුවිය හැකිය.

මෙහෙම ගියොත් සංවර්ධනය එපාම වෙයිද ?

මෙය ලංකාවේ විධිමත් සංවාදයට නොපැමිණි කතාවකි. මේ ලියුම්කරු සමඟ අදහස් දක්වමින් ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති හා ඒවා සම්බන්ධයෙන් ජනමතය සංවිධාන වන ආකාරය අධ්‍යනය කරන විද්වතුන් කිහිප දෙනකුම පවසා සිටියේ ‘ලංකාවේ ජනතාව සංවර්ධන විරෝධී මානසිකත්වයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවත් ඔවුන් සියලුම සංවර්ධන කාර්යයන්හි අවපැත්ත මිස සාධනීය ලක්ෂණ කිසිවක් නොදකින ඍණාත්මක මතවාදවල පහසු හා ප්‍රධාන ගොදුරු බවට පත් වෙමින් සිටින බවයි.

ඔවුන් මේ කියන්නේ කුමක්ද ? කතාව පැහැදිලිය. ගල්ඔය ව්‍යාපාරයේ සිට උමා ඔය දක්වා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක සාධනීය ලක්ෂණ මෙරට මිනිසුන් නොදුටු බවයි. මේ ලේඛකයා ද මේ මතයට දැඩි සේ එකඟය. අද මුළු බියගම ප්‍රදේශයම දැවැන්ත දියුණුවක් කරා කැඳවා ගෙන යාමට මුල් වූ බියගම නිදහස් වෙළෙඳ කලාපය ආරම්භ කළ අවස්ථාවේ බියගම මිනිසුන් කී හිස් හා බොළඳ කතා මේ ලේඛකයාට තවමත් මතක තිබේ. මෙය මහවැලිය සම්බන්ධයෙන් ද ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද නූතන හම්බන්තොට හා මත්තල සම්බන්ධයෙන් ද ඒ ආකාරයෙන්ම තිබේ.

මේ ලේඛකයාගේ අදහස අනුව මේ සෑම අවස්ථාවකදීම සිදු වූයේ දේශපාලන අවස්ථාවාදයේ පහසු ගොදුරු බවට මේ සියලු ව්‍යාපෘති පත්වීමයි. ඒ හරහා ආණ්ඩුවට එරෙහිව ජනමතය සංවිධාන කිරීමට ආණ්ඩු විරෝධී බලවේග පියවර ගැනීමයි. අද උමා ඔයටත් මේ දේශපාලන අවස්ථාවාදය අත දමමින් සිට ආකාරයක් පැහැදිලිව දැකිය හැකිය.

උමා ඔය නිසා ඌවේ ජනතාව හිඟන්නන් වන බව අප කවුරුත් දනිමු. ඔවුන් මේ ගෙවමින් සිටින්නේ හම්බන්තොට සිහිනයක් වෙනුවෙන් වූ අවාසනාවන්ත වන්දියක් බවත් අප පැහැදිලිව දනිමු. මේ තත්ත්වය තුළ ඌවේ ජනතාවගේ දුක සදාකාලික කිරීමට ඉඩ නොතබා කඩිනමින් ඒවාට විසඳුම් සෙවීමට පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. මහින්ද රාජපක්ෂ විසින් වැළලු මෙවැනි හූනියම් තවත් ගණනාවක් ඇති හෙයින් වහ වහා ඒවාත් කපා දැමීම සඳහා අවශ්‍ය අඩුවැඩිය සපයා ගන්නා මෙන්ද අවසාන වශයෙන් ආණ්ඩුවට මතක් කරමු.

භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *