‘දොස්තර උත්තමවාදය’ – සී.ජේ. අමරතුංග

 බටහිර බලවතුන් විසින් කලක් මුළු ලෝකයේම තම අණසක පතුරුවාගෙන, ලෝකය තමන් අතර බෙදාගෙන සිටි කාලයේ ලොව පුරා ඔවුන්ගේ ආගම් ව්‍යාප්ත කිරීමේ උත්සාහය නිසා ලොව වැඩිම දෙනෙක් කියවා ඇති හා වැඩිම භාෂා ගණනකින් මුද්‍රණය වී ඇති ග්‍රන්ථය බයිබලයයි. ඉන් පසුව ලෝකයේ වැඩිම ජනයා කියවූ හා විවිධ භාෂාවලින් නැවත නැවත පළකරනු ලැබූ ග්‍රන්ථය වන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයයි. ධනපති ක්‍රමය නිර්දය ලෙස විවේචනය කරමින් හා අනාගතය සම්බන්ධයෙන් තම දැක්ම ප්‍රකාශ කරමින් කාල් මාක්ස් හා ෆෙඩිරික් එංගල්ස් විසින් ලියන ලද කොමියුනිස්ට් ප්‍රකාශනයේ මෙසේ සඳහන්ව තිබිණි.

මෙතෙක් ගෞරවයට ලක් වූ ගෞරව පූර්වක විශ්මයකින් යුතුව සැලකූ හැම වෘත්තියකම තිබූ ප්‍රභා මණ්ඩලය ධනපති පන්තිය විසින් ඉවත් කැරිණි. එය වෛද්‍යවරයා, නීතිවේදියා, පූජකයා, කවියා, විද්‍යා කටයුතුවල නිරතවන්නා ආදී හැම කෙනෙක්ම වැටුප් ලබන ශ්‍රමිකයන් බවට පත් කළේය. (කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනය 1848)

මාක්ස් හා එංගල්ස් මේ කියන්නේ දැන් සිටින වෛද්‍යවරුන් හා වෙනත් වෘත්තිකයන් අතීතයේදී මෙන් ගරු සේවයක යෙදෙන ගෞරවණීය පිරිසක් නොවන බවයි. වැටුප් ලබන ශ්‍රමිකයන් පිරිසක් බවයි. එසේ වුවද මෙම සමාජය තුළ වුවද අතීත සම්ප්‍රදාය අනුව මෙම වෘත්තිකයන්ට ගෞරවයක් තිබූ බව පෙනෙන්නට තිබිණි. දැන් සිදුවෙමින් තිබෙන්නේ එම වෘත්තිකයන් විසින්ම ඔවුන්ට ඉතිරි වී තිබූ ගෞරවයද අහිමිකර ගැනීමයි.

කලකට පෙර සිටි වෙද මහත්වරුන් ගැන දැන් ඇත්තේ අතීත මතකයක් පමණකි. මුදල් හෝ වෙනයම් භෞතික වස්තූන් ගැන නොතකා වෛද්‍ය වෘත්තීය ගෞරවණීය සේවයක් ලෙස කළ එම යුගය අතීතයට එක් වී හමාරය.

එදා වෙදකම

මෙම ලියුම්කරුගේ අත්තා(මවගේ පියා) ද ගමේ වෙද මහත්මයෙකි. ඔහු තම සේවය කළේ මුදලට නොවේ. සමහරු බෙහෙත් ගන්නට ආවේ කිසිවක් අතේ නැතිවය. තවත් අයෙක් වී සේරුවක් දෙකක් රැගෙන පැමිණියේ ය. කිසිවිටෙක බෙහෙත් සඳහා මිලක් නියම වූයේ නැත. කළේ දෙන දෙයක් භාරගැනීමයි. ඒ එකල ගරු වෘත්තියක් ලෙස වෙදකම ක්‍රියාත්මක වූ ආකාරයයි. ගම්වල පවුල් අතර නොහොඳ නෝක්කාඩු ඇතිවීම අරුමයක් නොවේ. එසේ අමනාපව සිටි උදවිය පවා අසනීප වූ විට නොපැකිල වෙද මහතා සොයා ආවේ ‘අත්තප්පේ’ ‘බාප්පේ’ හෝ ‘මාමණ්ඩී’ වශයෙන් නෑකමද කියාගෙනය. සියලු අමනාපකම් එතැනින් අහවරය. ඊළඟට අත්තා බලන්නේ ලෙඩා සුවකරන ආකාරය පමණකි.

එම ‘අත්තා’ ට වෙදකම ජීවන වෘත්තිය වූයේ ද නැත. තම පවුල ජීවත් කරවීමට ඔහුට කුඹුරු කරන්නටත් හේන් කොටන්නටත් සිදුව තිබිණි. එයට ගමේ හැමෝගේම සහය ලැබිණි.

දැන් වෙදකම එවැන්නක් නොවේ. එය සුපිරි රැකියාවකි. එක තැනකින් වැටුපක් ලබා ලෙඩුන් බලා ඊළඟට දුවන්නේ මුදලට වෙදකම් කරන්නටය. ඒ සඳහා මිලක් නියම කොට ඇත. එහිදී වෙදකම කෙරෙන්නේ මුදල් ගනුදෙනුවක් වශයෙනි. වෛද්‍යවරයා කරන්නේ තමන්ව විකුණා ගැනීමකි. තම ශ්‍රමය මුදලට විකිණීමකි. කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් ශතක එක හමාරකට වැඩි කලකට පෙර කීවේ මේ වෙනස ගැනයි.

කෙසේ වෙතත් වෙදකම තවමත් සුපිරි වෘත්තියකි. එයට ඉහළ ඉල්ලුමක් ඇත. වරප්‍රසාද ද ඇත. කෙසේ වෙතත් වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් සේවයට එනවිට ඉල්ලුම අඩුවීමේ අනතුරක් ද ඇත. එය තම සුපිරි තත්ත්වයට අභියෝගයක් ලෙස වෛද්‍යවරුන් සලකනවාද විය හැකිය. තම වෘත්තියට වෙනත් මාර්ගවලින් ඇතුළු වීමට හදන සියලු දෙනා වළකන්නට වෛද්‍යවරුන්ට වුවමනා වී තිබෙන්නේ ඒ නිසා විය හැකිය. එසේ වුවද රටට කියන්නට හදන්නේ වෙනත් කතාවකි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙරට රජ‍යේ වෛද්‍ය සංගමය හඬ නැගීය. එහි ඉගෙනුම ලබන සිසුන්ට ලැබෙන වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියකට නැති බවත්, සායනික පුහුණුව ප්‍රමාණවත් නැති බවත් ඔවුහු කීහ. ඒ නිසා ඔවුන් කියන්නේ එම ආයතන වසා දමා එහි ඉගෙනගත් සිසුන්ද මහ මඟට ඇද දමන්නටය. තියන ප්‍රමිති ප්‍රශ්න විසඳන ක්‍රම යොදා එය ක්‍රියාත්මක කරන්නට එන යෝජනාවට වෛද්‍යවරු කැමැති නොවෙති.

වෛද්‍යවරුන් කියන්නේ තමන් සටන් කරන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය සඳහා බවය. ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් අතින් ලෙඩුන් මිය යාම වළක්වන්නට බවය. ලෙඩුන්ගේ අයිතීන් රැකගන්නට බවය. එසේ කියා කරන්නේ ලෙඩුන් ප්‍රාණ ඇපයට ගෙන වැඩ වර්ජන කිරීමය.

සයිටම්හි ප්‍රමිතියේ ප්‍රශ්න තිබිය හැකිය. එසේ වුවද එහි තිබෙන ප්‍රමිතියවත් නැති තවත් ආයතනවලින් වෛද්‍යවරු බිහිවෙති. රජරට වෛද්‍ය පීඨයේ ප්‍රමිතියකින් යුතුව අධ්‍යාපනය දෙන්නට පහසුකම් නැති බව වෛද්‍ය විශේෂඥයෝ කියති. එසේ වුවද එයින්ද වෛද්‍යවරු බිහිවෙති. ඒ ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කෙඳිරියක් හෝ නගන්නේ නැත. එලෙස ප්‍රමිතියකින් තොරව බිහිවන වෛද්‍යවරුන් අතින් ලෙඩුන් මියයන ඉඩක් නැද්ද? ඒ ගැන කතා කරන්නට මොවුහු සූදානම් නොවෙති. සයිටම් ගැන කියන විදිහටම රජරට වෛද්‍ය විද්‍යාලය ගැනත් නොකියන කුහකකම ඇත්තේ කොතැනද?

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඔළුවිල් හි වෛද්‍ය පීඨයේ සිසුන්ට අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය මහාචාර්යවරු නැත. එහෙත් එයින්ද වෛද්‍ය උපාධිය ලබාදෙන අතර ඔවුන් පිළිගැනීමට වෛද්‍ය සංගමයේ මැළිකමක් නැත. එහි ප්‍රමිතිය ගැන කතාවක්ම නැත.

යාපනය වෛද්‍ය විද්‍යාලයේද අඩුපාඩුකම් බොහොමයක් මැද වෛද්‍ය උපාධිය ලබාදීම දිගටම සිදුවෙයි. වසර ගණනාවක් තිස්සේ එහි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැත. එසේ තිබියදී එයින්ද වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරු සේවයට එක්වෙති.

විදෙස් උපාධි

මෙලෙස වෛද්‍ය සේවයට එක්වන උදවියගේ ප්‍රමිතිය නැංවීමට වෛද්‍ය සංගම් කළ දෙයක් නැත. රෝගීන් වෙනුවෙන් සටන් කරන්නට ඉදිරිපත්වීමක් ද නැත. වෛද්‍යවරුන්ගේ එකම සටන තිබෙන්නේ සයිටම් සමගය. මෙහි ඇත්තේ මොකක්දෝ කුහකකමක් බව පෙනෙන්නේ ඒ නිසාය.

පිටරට අධ්‍යාපනය ලබා වෛද්‍යවරු මෙරටට පැමිණෙති. ඒ රටවල තිබෙන සායනික පුහුණුව ආදිය ගැන කිසිවක් අපි නොදනිමු. ඒ ගැන හොයන්නට ක්‍රමයක් වෛද්‍ය සභාවටද නැත. එවිට කර තිබෙන්නේ විභාගයකට මුහුණ දී වෛද්‍ය සේවයට එක්වීමට ඉඩ දීමයි.

වෛද්‍ය සභා විභාගය

වෛද්‍ය සභාව ස්වාධීනව තිබිය යුතු ආයතනයකි. එසේ වුවද එයට වැඩි දෙනා පත්වන්නේ වෛද්‍යවරුන්ගේ ඡන්දයෙනි. ඒ නිසාම එහිද ආධිපත්‍ය තිබෙන්නේ රජයේ වෛද්‍යවරුන්ටය. ඔහුන් තැබූ විභාගයෙන් පිටරටින් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් අසමත් වූයේ පුදුමාකාර අන්දමටය. පසුව නොයෙකුත් උද්ඝෝෂණවලට පසුව එම විභාගය පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්වීමෙන් පසුව අර වෛද්‍යවරුන් සමත් වෙන්නට පටන් ගත්තේ පුදුමාකාර අයුරිනි. දැන් වසරකට තුන් සියයක් පමණ එම විභාගය සමත්ව වෛද්‍ය සේවයට එක්වෙති. එසේ වුවද එම විභාගයට මුහුණදී වෛද්‍ය සේවයට එක්වීමට සයිටම් සිසුන්ට ඉඩදීමට වෛද්‍ය සංගමය සූදානම් නැත. එම ස්ථාවරයේ ඇති සාධාරණත්වය කුමක්ද යන්න ප්‍රශ්නයකි.

රජයේ වෛද්‍යවරුන්ට වැළඳී ඇති රෝගය තේරෙන්නේ ඔවුන් පසුගිය කාලයේ කළ කී දෑ අනුවය. ඉන්දියානු වෛද්‍යවරුන් මෙරටට එනවාට ඔවුහු විරුද්ධ වූහ. කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය සේවය සඳහා ඉන්දීය වෛද්‍යවරුන් සුළු පිරිසකට මෙරට සේවයට ඉඩ ලැබී ඇත. මෙරට රජයේ වෛද්‍යවරුන් කීවේ ඉන්දීය වෛද්‍යවරුන්ගේ ප්‍රමිතියක් නැති බව හා ඔවුන්ගේ සේවය නිසා ලෙඩුන් මිය යා හැකි බවයි. එසේ වුවද දැන් මෙරට ප්‍රධාන පෞද්ගලික රෝහල්වල හදවත් සැත්කම් කිරීම ගැන නම් දරා සිටින්නේ ඉන්දීය වෛද්‍යවරුන් පිරිසකි. රෝගීන් විශ්වාසයෙන් යුතුව යන්නේ ඔවුන් වෙතය. මෙරට වෛද්‍යවරුන් අතර කිහිප දෙනකුට පමණක් ඔවුන් හා තරගයක් දෙන්නට හැකි වී ඇතත් වඩා ඉදිරියෙන් සිටින්නෝ ඉන්දියානුවෝ ය. මහ පොළොවේ යථාර්ථය එයයි.

ඉන්දියානු රජයෙන් ලැබුණු ගිලන් රථ සේවයටද රජයේ වෛද්‍යවරු විරුද්ධ වූහ. එය නවත්වන්නට කප්පරක් බේගල් ඇද බෑවෝය. මෙමගින් ඔත්තු සේවා ක්‍රියාත්මක විය හැකි බව පමණක් නොව මෙම ගිලන් රථ තුළ ලෙඩුන් විදුලි කාන්දු නිසා මිය යා හැකි බවද කීහ. එහෙත් දැන් බස්නාහිර හා දකුණු පළාත්වල එය හොඳින් ක්‍රියාත්මකය. පසුගිය කාලයේ හදිසි අවස්ථා ගණනාවක පිහිටට පැමිණියේ මේ ගිලන් රථ සේවයයි.

වෛද්‍යවරුන්ගේ ඇත්ත ලෙඩේ හොඳින්ම පෙනෙන්නේ තම සහෝදර වෘත්තිකයන්ගේ අධ්‍යාපන දියුණුවට බාධා කිරීමෙනි. ඔවුන්ගේ තත්ත්වය උසස් වනවාට කැමැති නොවීමෙනි.

හෙදියන්ට සූතිකාගාර පුහුණුව දෙනවාට මේ වෛද්‍යවරු විරුද්ධ වූහ. හදිසි අවස්ථාවක ඇතැම් විට වෛද්‍යවරයෙක් නොමැති අවස්ථාවක ලෙඩෙකුගේ ජීවිතය බේරාගන්නට ඉඩ ලැබෙන මේ දැනුම හෙදියන්ට ලැබෙනවාට වෛද්‍යවරුන් විරුද්ධ වන්නේ ලෙඩුන් වෙනුවෙන්දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

ෙහදියනට විරුද්ධව

හෙදියන්ට උපාධියක් ලබාදීමටද මොවුහු විරුද්ධ වූහ. කෙසේ වෙතත් හෙදියන් එය දිනාගත්විට ප්‍රශ්නය වූයේ එහි වසර ගණනයි. වසර හතරක උපාධියක් හෙදියන්ට අකැපය. එය තුනකට සීමාවිය යුතුය. ඒ කියන්නේ හෙදියන්ගේ ගුණාත්මක බව ඉහළ යෑමට‍ වෛද්‍යවරුන් විරුද්ධ වන බවයි. ලෙඩ්ඩුන්ගේ අයිතින් ගැන වෛද්‍යවරුන්ගේ බොරුව හෙළිවන්නේ මෙබඳු කරුණු වලිනි.

සම සෞඛ්‍ය සේවාවන් සඳහා උපාධියක් ආරම්භ කිරීමට පේරාදෙණිය සරසවිය කටයුතු කළ විට වෛද්‍යවරු එයට මහා විරෝධයක් පළ කළේය. දැන් ඔවුන්ට සායනික පුහුණුව දෙනවාට විරුද්ධය. සම සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ දැමීමට රජයේ වෛද්‍ය නිලධාරීන් විරුද්ධ වී ඇත්තේ ඒ ආකාරයෙනි.

මේ මතවාදයේ පිටුපස තිබෙන්නේ තමා මහා කෙරුමන් ලෙස සිටිය යුතු බව හා අන් කිසිවකු තමන්ගේ අහලටවත් පැමිණිය යුතු නැති බවට වන ආකල්පයයි. කලකට ඉහත මේවාට කීවේ ‘බමුණු කුල’ කියාය. මෙහි තිබෙන්නේ තමන් පමණක් සුපිරි වන්නේය. සුපිරි විය යුත්තේය යන ආකල්පය මිස අන් යමක් නොවේ. රජයේ වෛද්‍යවරුන්ගේ මෙම මහන්තත්ත්වය හැඳින්විය හැක්කේ ‘ෙදාස්තර උත්තම වාදයක්’ වශයෙනි.

රජයේ වෛද්‍යවරුන්ගේ මෙම ‘ෙදාස්තර වාදය’ දැන් පැමිණ ඇත්තේ ඉතාම විනාශකාරී තැනකටය. තමන්ට අවශ්‍ය දේම සිදු නොවන්නේ නම් ලෙඩුන්ගේ ජීවිත බිලි දෙන්නට මොවුහු සූදානම්ය. මෙයට එකවරක් ඉඩ දුනහොත් ඔවුන් එය යළි යළිත් කරනු ඇත. හැමවිටම ලෙඩුන් ප්‍රාණ ඇපයට ගැනීමට පසුබට නොවනු ඇත.

මොවුන් දැන් වෙනත් වෘත්තීය සමිති සහාය ගැන කියති. එසේ වුවද තමන්ගේ අමාත්‍යාංශයේ සහෝදර වෘත්තීය සමිතිවත් ඔවුනට සහය නොදෙති. ඒ මෙම ‘ෙදාස්තර උත්තමවාදයෙන් ඔවුන් හොඳටම බැට කා ඇති නිසාය. . රටේ මහජන සහයක්ද මොවුනට නැත්තේ දිගටම මුරණ්ඩු වී හා බොරු කියා හෙළිදරව් වී ඇති නිසාය.

දැන් ඉතින් මෙයට නැවතීමේ ලකුණු තැබීමට අවස්ථාව උදාවී ඇත. එය කළ හැකිවන්නේ මහජනයා මෙම නරුම මතවාදයට එරෙහිව නැගී සිටීම මගිනි.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *