|

නිවාස අමාත්‍යාංශයේ රහස් ඔත්තු සේවයක්

කැළි කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීමත් ඩෙංගු වසංගතය අවසන් කිරීමත් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල තමන්ගේ විශේෂ අවධානය ලබාදී තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්දට කුණු දැමීම මේ වනවිට සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. කුණු සැලසුමකින් ‍තොරව පරිසරයට මුදා හැරිම වෙනුවට කුණු තැන්පත් කිරීමේ ස්ථාන ඉදිකිරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. සෑම පළාතෙම තෝරාගත් ස්ථානවල ඒවා ඉදිකිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. එහි වගකීම මහ ඇමැතිවරුන්ට පවරා තිබෙනවා.

මේ අතර කැළි කසළ මඟින් විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති තුනකටද රජය පසුගියදා ගිවිසුම් අත්සන් කළා. එම කටයුතු ඉදිරි කාලයේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් හා සියලු අංශවල නිලධාරීන් පසුගිය ‍සෙනසුරාදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයට කැඳවා තිබුණේ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුවයි. එහි ප්‍රධාන අරමුණ වූයේ කුණු ගොඩගැසීමේ ප්‍රශ්නයට හා ඩෙංගු වසංගතයට මුහුණදීමේ දී ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ඉදිරි සැලසුම්ගැන දැනුවත් කිරීමයි. ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ කුණු ප්‍රශ්නය හා ඩෙංගු වසංගතය ප්‍රශ්න දෙකක් ‍නොව එකම ප්‍රශ්නයක් බවයි. පරිසරය පිරිසිදුව තබාගැනීම ඩෙංගු ව සංගතයටද පිළිතුර බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කසළ කළමනාකරණය හා ඩෙංගු මර්දනය සඳහාත් ජනතාව දැනුවත් කිරීම සඳහා නිලධාරීන් ගතයුතු පියවර ගැන උපදෙස් ලබාදීම එහිදී සිදු වුණා.

රැස්වීම නිම කිරීමෙන් පසුව ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කැටුව හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඒ අයිඩීඑච් හි බෝවන රෝග රෝහල වෙතයි. ‍ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇත්තේ එම රෝහල කේන්ද්‍ර කර ගනිමින්. ජනාධිපතිතුමා එහි ගියේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවයි.

ජනාධිපතිතුමා එහි යනවිටත් රෝහල් අධ්‍යක්ෂවරයා එහි පැමිණ සිටියේ නැහැ. ජනාධිපතිතුමාගේ ඔහු සිටියේ රෝහල වෙත පැමිණෙන අතර මඟයි. කෙසේ වෙතත් රෝහලේ අනෙක් කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමා පිළිගෙන රෝහලේ ප්‍රතිකාර කටයුතු නිරීක්ෂණයට එතුමාට අවස්ථාව ලබා දුන්නා. සෞඛ්‍ය ඇමැතිවරයාද කැටුව වාට්ටු කරා යමින් ජනාධිපතිවරයා රෝගීන්ගේ සුවදුක් විමසුවා. අධික රෝගී තදබදය නිසා එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රඳවා තිබුණා. අසල ඇති වෙනත් රෝහල් ද ඩෙංගු රෝගීන් සඳහා ලබාගෙන ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා මතක්කර දුන්නා. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී කාර්ය මණ්ඩලයේ කැපවීම ද ජනාධිපතිතුමාගේ පැසසුමට ලක්වුණා.

ඩෙංගු වසං ගතයට මුහුණදීමේ වැඩසැලසුම ගැන ජනාධිපතිවරයාගේ කැපවීම තවත් තහවුරු වුණේ බදාදා හදිසියේම මීගමුව රෝහලේ සංචාරයක යෙදීමෙන්. රාජිත සේනාරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්ම මහත්මීන් සමඟ එහි ගිය ජනාධිපතිතුමා එහි කෙරෙන ඩෙංගු ප්‍රතිකාර කටයුතුද නිරීක්ෂණය කළා. මීගමුව ප්‍රදේශයේ ඩෙංගු වසංගත තත්ත්වය උත්සන්න වීමත් සමඟ මීගමුව රෝහලද ඩෙංගු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොට තිබෙනවා. ප්‍රදේශයේ වෙනත් රෝහල් ද එයට සම්බන්ධ කරමින් ඩෙංගු රෝග ප්‍රතිකාර කළමනාකරණය මෙහිදි සිදුකරමින් තිබෙනවා. ජනාධිපතිතුමා හදිසියේ පැමිණ කළ පරීක්ෂාව එම ප්‍රතිකාර කටයුතුවල යෙදී සිටින කාර්ය මණ්ඩලයට විශාල ධෛර්යයක් වුණා.

කසළ කළමනාකරණය පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ තවත් රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වු‍ණේ ජනාධිපති කාර්යාලයේදී එහිදී බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල කසළ එකතුකිරීමේ කටයුතු සම්බන්ධීකරණය පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට පැවරීම සිදුවුණා.

මේ අතර පසුගියදා ඇතිවූ ගංවතුර හා නායයාමෙන් විපතට පත් ජනයාට ස්ථිර විකල්ප වාසස්ථාන ලබාදීම ගැනද ජනාධිපතිතුමා සිය අවධානය යොමු කළා. ඒ සඳහා වැවිලි සමාගම් සතු ඉඩම් ලබාගැනීම සඳහා එම සමාගම්වල නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ද අඟහරුවාදා පැවැත්වුණා.

එක් එක් දිස්ත්‍රික්කවල ඉඩම් අවශ්‍යතා දිස්ත්‍රික් ලේකම්වරුන් මෙම සාකච්ඡාවට ඉදිරිපත් කළා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ මේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකිතාක් දුරට රජයේ ඉඩම් ලබාගන්නා ලෙසයි. එසේ කළ නොහැකි අවස්ථාවල වැවිලි සමාගම් වල ඉඩම් හා පෞද්ගලික ඉඩම් ලබාගන්නා ලෙසද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නා.

පසුගිය සෙනසුරාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදි පැවැත්වුණු ඉෆ්තාර් උත්සවයට සහභාගි වුණා. මෙවර අගමැති ධූරයට පත් වීමෙන් පසුව 2015 වසරේ සිට සෑම වසරකම රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදි ඉෆ්තාර් උත්සවය සැමරුවා. මේම උත්සවයට රජයේ මුස්ලිම් මැති ඇමතිවරුන් , මුස්ලිම් රටවලවල විදේශිය තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා. පැමිණ සිටි ඉස්ලාම් භක්තිකයින් අමතමින් අගමැතිවරයා පැවසුවේ කුමන ආගමකින් වුවද සිදු කරන්නේ පුද්ගලයින්ගේ මනස සුවපත් කිරීම බවයි. මනස විකෘති කරන්නන්ට ,වෛරය පතුරුවන්නන්ට බුද්ධ ධර්මය තුළ පැවැත්මක් නැති බවද මනසේ වෛරය පවතිනවානම් එම මනස සුවපත් නොවන බවද අගමැතිවරයා පෙන්වා දුන්නා. ආගම් අතර සහජීවනය ඇති කිරීම නිතියේ කොටසක් බවද ගිහි පැවදි හෝ මොනයම් හෝ අයෙකුට නීතියට ඉහළින් යා නොහැකි බවද අගමැතිවරයා පැවසුවා.රටේ සැබෑ සාමයක් ඇති වෙන්නේ නිතිය නිසි අයුරින් ක්‍රියාත්මක වු විට බවද අගමැතිවරයා පෙන්වා දුන්නා. මනස සුවපත් කිරීම සඳහා සියලු දෙනාම කැප වෙමු යැයිද අගමැතිවරයා මෙහිදි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයේදී සමහර ඉස්ලාම් භක්තිකයින් ඉෆ්තාර් උත්සව නොපවත්වා ඒ සඳහා එක් කළ මුදල් ගංවතුර ආධාර සඳහා ලබා දීම ගැන අගමැතිතුමා සිය ස්තුතිය පුද කළා.

ජුනි මස 25 වන දින කළුතර බෝධි පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවයට අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. එහිදි සභාව අමතමින් අගමැති වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ වගේ කථාවක්.

“පසුගිය දිනක මා නිව්යෝර්ක් නගරයේ සිටින විට මගේ මිත්‍රයෙකු මා හමුවීමට පැමිණියා. අබලන් වී ගිය පැරණි පල්ලියක ගොඩනැගිල්ලක් ඔහු මිලදී ගත් බවත් එය දැන් බෞද්ධ කටයුතු, ධර්ම දේශනා ආදිය සදහා යොදවන බවත් එහිදී ඔහු පැවසුවා. එවිට අවශ්‍ය කරන මුදල් සොයා ගත්තේ කෙසේදැයි මා විමසුවා. මා දන්නා තරමින් එම ප්‍රදේශයේ එතුමාත් ඇතුළුව තව එක් ශ්‍රී ලාංකිකයෙක් පමණයි ජීවත්ව සිටියේ. නමුත් එම ප්‍රදේශයේ සියල්ලන් එකට එක්වී අවශ්‍ය මුදල සොයා දුන් බව ඔහු පැවසුවා. නගරයේ ජීවත් වන බෞද්ධ නොවන සුදු මිනිසුන්ගේ එකතුවෙන් එම මුදල් සොයා දුන් බව පැවසුවා. එවිට එම නගරයේ බොහෝ පුද්ගලයන්ට බුද්ධ ධර්මය පිළිබද අවබෝධයක් ඇති බවත් අනෙක් පුද්ගලයන් බුද්ධ ධර්මය පිළිබදව දැනගැනීමට කැමැත්තක් දක්වන බවත් ධර්ම දේශනාවලට සංඝයා වහන්සේ වැඩම කරන අවස්ථාවලදී ඔවුන්ද ඊට සහභාගි වන බවත් ඔහු මා සමග පැවසුවා.

එමෙන්ම මෙම පැරණි පල්ලියේ ශාලාව බෞද්ධ ධර්ම දේශනා සදහාත් අනෙකුත් වැඩ කටයුතු සදහාත් ගැලපෙනම ස්ථානය බව ඔවුන් සියල්ලන්ගේම එකතුවෙන් තීරණය කර තිබෙනවා. එය එම ප්‍රදේශයේ සමස්ත ප්‍රජාව විසින් එකමුතුව ගත් තීරණයක්. අද ලෝකයේ බුදු දහම පිළිබදව අලුත් උනන්දුවක් ඇති වී තිබෙනවා. වෙනත් භක්තිකයන් වුවත් මේ ධර්මය කුමක්ද, බුදුන් වහන්සේ යනු කවුද ආදිය පිළිබදව දැන ගැනීමට කැමැත්තක් දක්වනවා“.යැයිද වික්‍රමසිංහ මහතා සඳහන් කළේ බුද්ධාගමට අමෙරිකාවේ ඇති පිළිගැනිම ගැන පහදා දෙමින්.

එංගලන්තයේත් මේ වන විට බෞද්ධාගමිකයන් විශාල වශයෙන් සිටින බවද එහි විහාරස්ථාන පාලනය වන්නේත් ඉංග්‍රිසි බෞද්ධයන්ගේ සහයෝගයෙන් බවද අගමැතිවරයා පැවසුවා. බුද්ධ ධර්මයට වැඩි වශයෙන් නැඹුරු වන්නේ ජර්මන් ජාතිකයන් බවද සඳහන් කළා.

27 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දින උත්සවයට අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වුනා. එහිදි අගමැතිවරයා වැදගත් කරුණක් කෙරෙහි සැමගේම අවධානය යොමු කරමින් මෙසේ සඳහන් කළා.

“මාධ්‍ය ඇතුළු සියලූ දෙනාගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබෙන්නේ සයිටම්, මුස්ලිම් ආගමික ස්ථානවලට පහර දීම්, ස්වභාවික ආපදා ආදී එදිනෙදා ගැටලූවලට පමණයි. නමුත් තවත් සිදුවීමක් තිබෙනවා. එනම්, ශ්‍රී ලංකාව මේ වන විට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබීමයි. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය මේ වන විට ඇතැම් ග්‍රාමීය ප්‍රදේශ දක්වාත් පැතිරී ගොස් අවසන්. මෙය විශාල උවදුරක්….මෙම මත්ද්‍රව්‍ය උවදුරේ බැරෑරුම්කම මාධ්‍යයෙන් සහ ජනතා මනසින් ඉවත් වී තිබෙනවා. එම නිසා රජයක් ලෙස අපට විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම හා දැනුවත් කිරීම් වැඩි දියුණු කළ යුතු වෙනවා. ගත යුතු ප්‍රධානතම පියවර එයයි යැයිද අගමැතිවරයා මෙහිදි සඳහන් කළා.

29 දා අගමැතිවරයා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල මෙහෙයුමු කමිටුවේ මහලේකම් කාර්යාලය සංවිධානය කළ නව ආණ්ඩුක්‍රම සම්පාදනය සම්බන්ධයෙන් පැවැත්වුණු සම්මන්ත්‍රණයකට සහභාගි වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ අගමැති වික්‍රමසිංහ මහතායි. එහිදි අගමැතිවරයා පැවසුවේ රටට නව ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීමේ අවසන් තීරණය මහජනතාව අතේ පවතින බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු නිල මෙහෙවර ජනපති ජනතා සේවය වජිරඅබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යළිත් ඇරඹුණේ ඉකුත් සතියේදීයි. ඒ අනුව නාරම්මල කොට්ඨාසයේ නිල මෙහෙවර ප්‍රාදේශිය ජනතා සේවය පැවැත්වූයේ ඉකුත් 24වන සෙනසුරාදා නාරම්මල මයුරපාද විද්‍යාලයේදී.එහි විශේෂ ආරාධිතයකු වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි,ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හා දඹදෙණිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක ශාන්තබණ්ඩාර, වයඹ විපක්ෂ නායක ශමල් සෙනරත් සමඟ ඇමති වජිර මයුරපාද විද්‍යාලයට ගියේ එදින උදෑසනින්මයි.උදෑසන වන විට නාරම්මල ප්‍රදේශයට අධික වැසි පතිත වෙමින් තිබුණා. මැතිඇමතිවරුන් පැමිණ නිල මෙහෙවර ඇරඹෙනවාත් සමඟම වැස්ස තුරල් වී යහපත්කාලගුණ තත්ත්වයක් උදා වුණා. ඇමති වජිර පිරිසට කීවේ හොඳ වැඩක් කරන නිසාස්වභාව ධර්මයාත් ආශිර්වාද කරන බවයි.ඔව් ඔව්.. ඇමතිතුමාගේ හොඳ වැඩවල ප්‍රතිඵල නිසා තමයි.. ඒ මැතිඇමතිවරු කීවා.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ජන්ම දිනය වන ජූනි 23 වැනිදා රජය විසින් ‘ජාතික නිවාස දිනය’ ලෙස ප්‍රකාශයට පත් කළේ මීට වසර දෙකකට පෙරදී. මෙවර ජාතික නිවාස දින සැමරුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, මානජ්ජාවේදී පැවැත්වීමට නියමිතව තිබුණේ 30 වැනි උදා ගම්මානය වන “සඳ පහනගම” ජනතා අයිතියට පත් කිරීමද සමඟින්. එහෙත් එදින හිමිදිරි පාන්දරම සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. “සජිත්, මට හදිසි වැඩකටයුතු වගයක් නිසා උත්සවයට එන්න වෙන්නෙ නෑ. ඔයා වැඩේ හොඳට කරගෙන යන්න “ ජනාධිපතිවරයා කියද්දී සජිත් කීවේ “සර්, විනාඩි කීපයකට හරි එන්න ලැබුණ නම් තමයි හොඳ. කමක් නෑ. හදිසි වැඩක් නම් නෑවිත් හිටියට කමක් නෑ” කියායි. උත්සවයේ කටයුතුවලට සහභාගී වෙමින් ජනහමු වේදිකාවේ අසුන් ගෙන සිටිය දී ලැබුණු ජංගම දුරකථන ඇමතුමකින් සජිත් විමතියට පත්වුණා. ඉන් කියැවුණේ ඔබ ඔබේ රටේ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් අරඹා ඇති උදා ගම්මාන වැඩපිළිවෙළ වෙනුවෙන් ලොකු ආධාරයක් කිරීමට විදේශ රටක් තීරණය කර තිබෙනවා කියායි.” සජිත් ඒ මොහොතේම සිය නිලධාරීන්ට කීවේ මේ වැඩපිළිවෙළින් උපරිම ඵල නෙළා ගැනීමට සූදානම් වන ලෙසයි. ඒ සමඟම සිය අසුනට යාබද අසුනේ හිඳගෙන සිටි ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිවරයාට සජිත් කීවේ “දවසම ප්‍රබෝධමත් වෙන සුබ ආරංචියක්නේ ලැබුණේ කියායි.

ඉකුත් සතියේ දිනක සජිත් සිය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවා නැඟුවේ බරපතළ චෝදනාවලියකි. “ඔය හැම ආයතනය කටම මම වෙස් වලාගත් කණ්ඩායම් යවල තියෙන්නේ. ඒ අය මට හැම දෙයක්ම වාර්තා කරනවා. වාහනේකට ලීටර් 120ක් තෙල් ගැහුවා කියලා බිලක් ගෙනාවට ගහන්නේ ලීටර් 85යි. ලීටර් 35ක සල්ලි සාක්කුවේ. පිරවුම් හල් වලින්මයි මට මේ ආරංචි එන්නේ. මේ වගේ අක්‍රමිකතා කරන අය සම්බන්ධව දැඩි පියවර ගන්න. ඒ අයට එ‍රෙහි විනයානුකූල පියවර ගන්න. මම මගේ නිල නිවස, වාහන, වැටුප්, දීමනා, වරප්‍රසාද නොගෙන සේවය කරද්දී මේ හොරු ආයතන කාබාසිනියා කරනවා. පසුගිය ආණ්ඩුව කාලේ කරපු හොරකම් මගේ කාලේ බෑ. ඒක හොඳින් මතක තියා ගන්න” සජිත් කතා කළේ කෝපයෙන්.

ගංවතුර සහ නාය යාමෙන් විපතට පත් දිවයිනේ දිස්ත්‍රික්ක අටක මැතිවරණ කොට්ඨාස යළි නඟා සිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පළාත්වලින් බැහැර වෙනත් පළාත්වල කැබිනට් ඇමැතිවරයෙකු බැගින් පත් කළා.

ඒ අනුව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැල්මඬුල්ලට පැමිණියේ පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලට ප්‍රමාණවත් පුහුණු ශ්‍රමිකයන් කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් සහ එම කටයුතුවලට සෑහෙන යන්ත්‍රො‍්පකරණ විශාල ප්‍රමාණයකුත් රැගෙනයි.

පැල්මඬුල්ල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා සමඟ එක්වූ ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසට ඉතා කෙටි කලක් ඇතුළත ආපදාවන්ට ලක්ව තිබූ මාර්ග පාලම් විදුලිය සහ පානීය ජලය වැනි අත්‍යවශ්‍ය සේවා රැසක් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. මහතා එම කාර්ය සඳහා ජාතික යන්ත්‍රෝපකරණ සංවිධානය (NEMO) ආයතනයේ සභාපති මහසෙන් පැල්පොල මහතා ඇතුළු එම රාජ්‍ය ආයතනයේ තරුණ නිලධාරීහු විශාල පිරිසක්ද එක්ව සිටියා.

දැන් බලන්න මේ පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ ආණ්ඩු පක්ෂ‍යේත් විපක්ෂ දේශපාලන බලවතුන් කී දෙනෙක් පදිංචිව ඉන්නවාද… ඔවුන් ඔවුන්ගේ ගුහාවලින් ඉවතට ඇවිත් මේ පොදු විපතේදී කටයුතු කරන්න ඕනි. ලිං මැඩියෝ වගේ ඉඳලා බැහැ. අලුත් ඇහැකින් බලලා අපි මේ රට ගොඩ නගමු. ජයවික්‍රම පෙරේරා මහතා නිලධාරීන්ට කීවා.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2008 අපේ‍්‍රල් මාසයේදී. ඒ ඉරාන රජයේ ආධාර ලබන ව්‍යාපෘතියක් වශයෙන්. ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟ එවකට ජවිපෙ බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි සමන්ත විද්‍යාරත්න මෙම ව්‍යාපෘතියෙන් විය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා. පසුව මෙයට එරෙහිව නඩු කටයුතු ආරම්භ කිරීමටද කටයුතු කළේය. වසර කිහිපයක් ගතවන විට එහි අහිතකර බලපෑම් පිළිබඳව ප්‍රදේශයේ ඇතැම් පිරිස්වල අවධානය යොමූ වූ අතර සමන්ත විද්‍යාරත්නගේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ නායක හාමුදුරුවන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ව 2010 වර්ෂයේ දී උමා ඔය සුරැුකීමේ සංවිධානය බිහි කරගත්තා. එම සංවිධානය මගින් මෙම ව්‍යාපෘතිය වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගත් නමුදු පසුගිය මහින්ද රාජපක්ෂ රජය මේ පිළිබඳව අවධානය යොමු කළේ නෑ. කෙසේ වෙතත් ජනතා විරෝධය එන්න එන්නම වැඩිවූ අතර 2015 දී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ගොඩනැගීමට කටයුතු සිදු වූවා.

මුල් කාලයේ දී ජවිපෙ, සිවිල් ක්‍රියාකාරීන්, පරිසරවේදීන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළද ප්‍රදේශයේ ජනතාව මෙය වැඩි අවධානයකට නොගත් අතර නිවාස, පුජනීය ස්ථාන, පාසල් ඉරිතැලීම්වලට ලක්වීමත් ළිං ඇතුළු ජල උල්පත් සිඳී යෑමට ආරම්භ වීමත් සමඟ ජනතාව අනතුර තේරුම්ගැනීමට පටන් ගත්තා. මේ විරෝධය උත්සන්නවීමත් සමඟ පසුගිය 28වෙනිදා හර්තාලයක් මට්ටමට ජනතාව සංවිධානය වුණා. ප්‍රදේශයේ ජනතාව විසිදහසකට අධික පිරිසක් බණ්ඩාරවෙල නගරය වසා උද්ඝෝෂණ කළා. මෙම උද්ඝෝෂණය හේතුවෙන් ආණ්ඩුව තුළ කලබලයක් ඇති වී ඇති අතර ඇතැම් නිලධාරීන් සෘජුවම කතා නොකර වෙනත් මාර්ගවලින් සමන්ත විද්‍යාරත්න සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන බව ද දැනගන්නට ලැබුණා.

ගොසිප්ලන්තය –  දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *