රෝගීන් බිල්ලට ගෙන ආණ්ඩු පෙරැළීමේ සිහිනය – භාතිය බරුකන්ද

වර්තමානයේ සයිටම් ආයතනය දඩමීමා කරගෙන කරන්නේ ඉතා පැහැදිලිවම පටු දේශපාලනයක්. ඔවුන් සයිටම් එකට කිසිම සම්බන්ධයක් නැති කලා පීඨයේ සිසුන් එක්ක පාරට බැහැලා පොලිසිය කුපිත කරන්නේ ‘ගුටි කන්නම’ බලාගෙන. මොකද පොලිසියෙන් ගුටි නොකෑවොත් එතැන ප්‍රවෘත්තියක් නැහැ. මාධ්‍ය ආකර්ෂණයක් නැහැ. සමාජයෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේකත් ‘මාධ්‍ය සංදර්ශනයක් ’ විදිහට අර්ථ කථනය කරන්න පුළුවන්.

ආණ්ඩුව ‘සයිටම්’ ආයතනය සම්බන්ධයෙන් වන තම තෙවැදෑරුම් යෝජනා පසුගියදා ප්‍රකාශයට පත් කළා. මධ්‍යස්ථව සලකා බැලූවහොත් මේ යෝජනා සාධනීය ඒවා බවත් ආණ්ඩුවට කළ හැකි උපරිමය බවත් පැහැදිලියි. මේ තත්ත්වය තුළ සයිටම් අර්බුදය විසඳී මෙරට සෞඛ්‍ය සේවාව හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය යළි යථා තත්ත්වයට පත් වෙයි කියලා බහුතරයක් ජනතාව විශ්වාසය පළ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මෙන් දැවැන්ත මාධ්‍ය අවකාශයක් කිසිදා නොලබන මෙරට බහුතරයක් ජනතාවගේ අදහස වුණෙත් කඩිනමින් මේ අර්බුදය විසඳෙනවා දැකීම. මන්ද ඔවුන් ඇපයට තබාගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලය පුරා නැටූ නාඩගම ජනතාවට තිත්ත වෙලා තිබුණේ.

එහෙත් ආණ්ඩුවේ සහ ජනතාවගේ බලාපොරොත්තු කඩා දමමින් ඊට පසුදාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම දැඩි ෂයිලොක්වාදී ස්ථාවරය රටට හෙළි කළා පමණක් නොවෙයි සයිටම් ආයතනය ජනසතු කරන තෙක් තමන්ගේ අරගලය නොනවත්වන බවත් එසේ නොකළහොත් ආණ්ඩුවට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් සඳහන් කරමින් නැවත දැවැන්ත වැඩ වර්ජනයක තර්ජනය ආණ්ඩුවට එල්ල කළා. එයින් නොනැවතුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම අතකොළුවක් වන ඊනියා ‘සයිටම් විරෝධී දෙමාපිය සංගමය’ ලවා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ද ආරම්භ කළා. ඔවුන් කියන්නේ ‘සයිටම් ආයතනය අහෝසි කරන තෙක් තමන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය නොනවත්වන බවයි.

මස් රාත්තලම ඕනෑමයි

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කළ සාධනීය යෝජනා කිසිවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නොපිළිගන්නා බව පමණක් නොව ඔවුන් මස් රාත්තලම ඉල්ලා සිටින බවත් දැන් ඉතාම පැහැදිලියි. ඒ නිසයි ඔවුන් යළිත් වර්ජන තර්ජන කරමින් රෝගීන් බිල්ලට ගන්නා ගමන් කොළඹ වටලන්න තැත් කරන්නේ. රජය පැත්තෙන් ඉදිරිපත් වුණේ කළ හැකි උපරිමය බව පැහැදිලියි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කළ ආකාරයට සයිටම් විරෝධීන් බල කරන ආකාරයට සයිටම් ආයතනය ජනසතු කිරීමේ හැකියාවක් රජයට නැහැ. මේ සම්බන්ධයෙන් සමස්ත කැබිනට් මණ්ඩලයම එකම ස්ථාවරයක සිටින බවත් ඇමැති රාජිත එහි දී අවධාරණය කළා. දැන් සයිටම් අර්බුදයේ දිශානතිය ඉතා පැහැදිලියි. රජයේ උපරිමය රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සයිටම් විරෝධීන්ගේ අවමයත් සමඟ ගැලපෙන්නේ නැහැ. රජයට සිදුවෙලා තිබෙන්නේ මස් රාත්තලම ඉල්ලන අවස්ථාවාදී ෂයිලොක්ලා රෑනක් සමඟ ජනතාවගේ ජීවිත වෙනුවෙන් කේවල් කරන්න. ලක්ෂ සංඛ්‍යාත සරසවි සිසුන්ගේ අනාගතය වෙනුවෙන් කේවල් කරන්න. මේ තත්ත්වය තුළ නියත වශයෙන්ම සිදුවන්නේ ‘සයිටම් විරෝධීන්’ යනුවෙන් වෙස් බැඳ ගෙන සිටින සියලූම ආණ්ඩු විරෝධී පාර්ශ්ව එක් පෙරමුණකට ගොනුව ආණ්ඩුව වට්ටන්න මුළු වැර යොදා ජනතාව පීඩාවට පත් කිරීම.

මෙතැනින් කොතැනටද ?

සයිටම් විරෝධයේ කැපී පෙනෙන කොටස්කරුවකු නොවුණත් රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් රජයේ යෝජනා සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවර පැහැදිලි කර තිබුණා. එහි දී දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේ රජයේ යෝජනාවලිය තුළින් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව රටේ ස්ථාපිත කිරීම පසෙකලා සයිටම් ආයතනය මුහුණ දී සිටින අර්බුදයෙන් එම ආයතනය ගලවා ගැනීම සඳහා ආණ්ඩුව පෙරට පැමිණ සිටින බවයි. මේ ව්‍යාජ ස්ථාවරය තවත් බොහෝ සයිටම් විරෝධීන් විසින් දරනවා. එය සමාජගත කිරීමට තැත් කරනවා. මේ තත්ත්වය තුළ සිදුවන්නේ සත්‍ය තත්ත්වය වෙනුවට බොරුව සහ අවස්ථාවාදය ජනමතය බවට පත්වීම. සයිටම් ආයතනය හේතු කොටගෙන ඇති වී තිබෙන වත්මන් අර්බුදය අවසන් කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර තිබෙන තෙවැදෑරුම් වැඩපිළිවෙළ ගැන තවත් අදහස් හා විවේචන ඉදිරිපත් වීමට පුළුවන්. මොකද සයිටම් අර්බුදය කියන්නේ හුදු වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය සිසුන්ගේ සීමාව ඉක්මවා ගිය දෙයක් නිසා. එය අපි පිළිගත්තත් නැතත් ලංකාවේ දේශපාලන බල අරගලය හා ශක්තිය උරගා බැලීම මත ඍජුව සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් මෙය දකින්නේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම තීරණය කරන ‘ලිට්මස් පරීක්ෂාවක් ’ වශයෙන්. ඒ නිසා සයිටම් අර්බුදය ගමන් කරන දිශාව වත්මන් දේශපාලන ප්‍රකාශයේ හැරවුම් ලක්ෂයක් වේවි. ආණ්ඩුව වඩාත් ප්‍රවේශම් විය යුත්තේ මේ නිසයි.

එදා හොඳ සයිටම් මෙදා නරක් වුණේ ඇයි ?

අපි ඉතා පැහැදිලිව දන්නවා. සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය පෙරට ආවේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුවයි කියලා. මහින්ද රාජපක්ෂ යුගයේ මේ කිසිවකුට සයිටම් ආයතනය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබෙන බිය නිසාම පමණක් කියලා කිසිසේත් ලඝු නොකළ යුතුයි. සයිටම් ආයතනය කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන ක්‍රියාවලියේ කසකරුවෙක්. මහින්ද රාජපක්ෂගේ ‘පංචවිධ බලකේන්ද්‍ර’ ව්‍යාපෘතිය තුළ අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය, විශේෂයෙන් විදෙස් ආයෝජන සහ විදේශීය සිසුන් ගෙන්වා ගැනීම ප්‍රමුඛ ඉලක්කයක් වෙලා තිබුණා. ඒ යුගයේ ආණ්ඩුව කළ ගණන් බැලීම් අනුව එය සංචාරක ව්‍යාපාරය තරම් විදේශ විනිමය ප්‍රමාණයක් රටට ගෙන එයි කියලයි කිව්වේ. මේ තත්ත්වය තුළයි ආරම්භක හා වර්ණවත් ආයෝජනය හා ව්‍යාපෘතියක් විදිහට සයිටම් ආයතනය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින්ම අභිෂේක කළේ. එහෙම නැතිනම් සයිටම් ආයතනය ස්ථාපිත කිරීම හා සම්බන්ධ පනත මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සභානායක වූ දිනේෂ් ගුණවර්ධන විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා අතින්ම සයිටම් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් සිදුවන්නේ නැහැ. සරලව කියනවා නම් යහපාලන ආණ්ඩුව බලයට පත්වෙනතුරු මේ කිසිවකුට සයිටම් එක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ ඔවුන්ට සයිටම් එකට විරුද්ධ වෙන්න තරම් සර්ව සාධාරණ සහ යුක්ති සහගත හේතු නොතිබුණ නිසයි.

මේ සමඟ යමෙකුට ප්‍රශ්න කළ හැකියි ‘ඇයි වෛද්‍ය පීඨ සිසුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ජනතා විමුක්ති පෙරමුණ වාගේ පාර්ශ්වයනුත් සයිටම් විරෝධී අරගලයේ ඉන්නවානේ ? කියලා. මේ ප්‍රශ්නය බැලූ බැල්මට නිවැරදියි. ඒත් අපට ඉතා පැහැදිලිව පේනවා පසුගිය කාලය තුළ කිසිදු සිසු අරගලයකට සහායක් නොදුන් පිරිසක් වූ රජයේ වෛද්‍ය පීඨ සිසුන් මේ අරගලයේ ඉන්නේ මොකද කියලා. ඔවුන්ට තවත් තරගකරුවෙක් ඇවිත් තිබෙනවා. අනාගතයේ දී මේ දෙපිරිසටම බෙදා ගන්න තියෙන්නේ එකම කුට්ටියක් (රෝගීන්) ඉතින් කවුද කැමැති වෙන්නේ තමන්ගේ ගොඩ අඩු වෙනවට. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ජවිපෙ ඉන්නේ හැමදාම සරසවිවල අර්බුද නිර්මාණය කරමින්. ඒ ඔවුන්ගේ දේශපාලන පැවැත්මට. අද ඔවුන්ට සයිටම් එක හොඳ ඉල්ලමක් වෙලා තියෙනවා. ඒ නිසා සයිටම් අර්බුදයට විසඳුම් වශයෙන් හෙට සයිටම් ආයතනය රජයට පවරා ගත්තත් මේ ඊනියා ශිෂ්‍ය සංගම්වලටයි අන්තවාදී දේශපාලන පක්ෂවලටයි තවත් සටන් පාඨ තිබෙනවා.

පාරට බහින්නෙම ගුටි කන්න

ඒ නිසා අප ඉතාම පැහැදිලිව කියන්නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි තවත් කණ්ඩායම් කිහිපයකුයි වර්තමානයේ සයිටම් ආයතනය දඩමීමා කරගෙන කරන්නේ ඉතා පැහැදිලිවම පටු දේශපාලනයක්. ඔවුන් සයිටම් එකට කිසිම සම්බන්ධයක් නැති කලා පීඨයේ සිසුන් එක්ක පාරට බැහැලා පොලිසිය කුපිත කරන්නේ ‘ගුටි කන්නම’ බලාගෙන. මොකද පොලිසියෙන් ගුටි නොකෑවොත් එතැන ප්‍රවෘත්තියක් නැහැ. මාධ්‍ය ආකර්ශනයක් නැහැ. සමාජයෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේකත් ‘මාධ්‍ය සංදර්ශනයක් ’ විදිහට අර්ථ කථනය කරන්න පුළුවන්.

මේ සමඟ තවත් ප්‍රබල මතයක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ තමයි සයිටම් විරෝධීන් පසුගිය කාලය පුරාම ‘මිනිස් බිල්ලක්’ ඉල්ලමින් ඉව කළා. නමුත් පසුගිය කාලය තුළ ඔවුන්ට ඒ ආශාව මුදුන් පමුණුවා ගැනීමට නොහැකි වුණා. ඒත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පසුගිය දා දිනපතා ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අවධාරණය කර තිබුණේ, මෙහෙම ගියොත් 88-89 යුගයක් යළි උදාවන බවයි’ මේ කතාව වත්මන් ආණ්ඩුව බලයට පත්කළ ලක්ෂ 62ක් වූ පොදු ජනතාව කිසිසේත් පහසුවෙන් බැහැර නොකළ යුතුයි. මොකද මේ එළියට එන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට ඇපකැප වූ ජනතාවගේ හඬ නොවෙයි. ජනවාරි 08 පොදුජන විප්ලවයට එරෙහිව මහින්ද රාජපක්ෂට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ශ්වයේ උපකල්පනයයි. අද ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව කුමනාකාරයෙන් හෝ ජනතාව කුපිත කරවමින් ඔවුන් පාරට කැඳවා ගැනීමයි. ඒ සඳහා ඔවුන් පුළුවන් ඕනෑම දෙයක් කරන බව පැහැදිලියි. මේ අවස්ථාවේ ඔවුන්ට ඉතා පහසුවෙන් ඇපයට ගන්න පුළුවන් රජයේ රෝහල්වලට එන සාමාන්‍ය පන්තියේ රෝගීන් පමණයි. ඒත් දැන් විශේෂඥ වෛද්‍යවරුනුත් පෞද්ගලික පරීක්ෂණ සේවා (චැනල්) වර්ජනය කර එක දවසක් හෝ පාරට බැස්සොත් මධ්‍යම පන්තියේ ඇඟිල්ලත් ආණ්ඩුවට යොමු වෙන්න පුළුවන්.

ආණ්ඩුව පරීක්ෂාවට ලක් වෙයිද ?

ආණ්ඩුව විසින් පසුගියදා සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසඳුම් යෝජනා සම්බන්ධ ඉදිරි සිදුවීම් බොහෝ විට පෙළ ගැසෙනු ඇත්තේ කුමනාකාරයෙන් හෝ ආණ්ඩුවට එරෙහිව අවුළුවලා තිබෙන වර්ජන තර්ජන නොනැවතී පවත්වා ගෙන යාමට බව නම් ඉතාම පැහැදිලියි. මොකද ඒකාබද්ධ විපක්ෂය මේ සිදුවීම හරහා පසුගිය කාලය පුරාම උපරිම ලකුණු දාගත්තා. ඔවුන් පසුගිය කාලය පුරාම එදාවේල හොයා ගත්තේ මේ සයිටම් විරෝධයෙන්. මේ තත්ත්වය තුළ ආණ්ඩුව අඩියක් පසුපසට ගෙන තමන්ගේ යහපාලන භාවිතය ප්‍රදර්ශනය කළොත් එය සමාජය කිසිසේත්ම ආණ්ඩුවේ යහපාලන භාවිතයක් ලෙස දකින එකක් නැහැ. එය ඔවුන් ඉතාම පැහැදිලිව අර්ථකථනය කරගනු ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවක්, විපක්ෂ බලවේගවල ශක්තියක් වශයෙනුයි. ඒ තත්ත්වය කිසිසේත්ම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර නැහැ. ඒකට හේතුව තමයි සයිටම් ආයතනයට වඩා ආණ්ඩුවේ පැවැත්ම හා හැකියාව තීරණය කරන තවත් බොහෝ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් පෙරමඟ එමින් තිබීම. ඊනියා වර්ජන තර්ජනවලින් ආණ්ඩුව බය කරන්න පුළුවන් කියා හෝ ආණ්ඩුව වට්ටන්න පුළුවන් කියා හෝ මේ හරහා ඉඟියක් ලැබුණොත් ආණ්ඩුවට ඉදිරි ප්‍රතිසංස්කරණය කිසිසේත්ම පහසුවන එකක් නැහැ. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළේ තීරණාත්මක ව්‍යාපෘතියක් වන ‘එට්කා’ ගිවිසුම සැලකිය හැකියි. මේ ගිවිසුමට පසුගිය කාලය පුරාම මාරාන්තික විරෝධයක් දක්වන සියලූ පාර්ශ්ව ‘සයිටම් විරෝධීන්’ සමඟ හවුල් බව ආණ්ඩුව අමතක නොකළ යුතුයි. විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කරන බව ආණ්ඩුව අමතක නොකළ යුතුයි.

අනාගතයට දෙන සංඥාව කුමක්ද ?

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් සවිඥානික ජනතාව කියන්නේ ඉතා පැහැදිලිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුවාවෙලා මේ ඉටුකර ගැනීමට තැත් කරන්නේ 2015 ජනවාරී 08 වැනිදා සහ අගෝස්තු 17 වැනිදා තීරණාත්මක ලෙස පරාජයට පත් කළ රාජපක්ෂවරුන්ගේ බල ව්‍යාපෘතිය බවයි. මන්ද ඔවුන් දන්නා කියන ආකාරයට නෙවිල් ප්‍රනාන්දු කියන්නේ මේ රටේ පිළිගත් කෘතහස්ත වෛද්‍යවරයෙක් මිස මුදලාලි කෙනෙක් නොවෙයි. ඔහු දීර්ඝ කාලයක් පුරා පෞද්ගලික රෝහලක් පවත්වා ගෙන ගොස් ඇති අත්දැකීම් බහුල අයෙක්. ඒ නිසා ආරම්භක අවස්ථාවේ පවතින අඩුපාඩු සපුරා ගැනීම මිස එය ‘කඩයක්’ ලෙස අවඥාවට ලක් කිරීම සිදු නොවිය යුතු දෙයක්. (මේ වෛද්‍යවරුන් සියලූ දෙනාම හන්දියක් හන්දියක් ගානේ ඩිස්පෙන්සරි කඩ දාගෙන සිටින මුදලාලිලා බවත් අපි අමතක නොකළ යුතුයි) අනෙක් කාරණය සයිටම් ආයතනයට බඳවා ගන්නා සිසුන්ගේ උසස් පෙළ ලකුණු මට්ටම. ඉතා පැහැදිලිව ලංකාවේ උසස් පෙළ විභාගයේ එස් තුනක් යනු විභාගය සමත් බවට දෙන සහතිකය. උසස් පෙළ සමත්වන සිසුන්ගෙන් අති බහුතරයකට සරසවි යන්න නොලැබෙන්නේ ඔවුන් දුර්වල නිසා නොවෙයි. රජයේ සරසවිවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසයි. අනෙක් අතට එස් තුනට කරන්න පුළුවන් බාහිර උපාධි ගැන මේ කිසිවෙක් කතා කරන්නේ නැති බවයි ජනතාවගේ අදහස.

ඒ වගේම තමයි දිස්ත්‍රික් කෝටා පදනම මත ඉතාම පැහැදිලිව අඩු ඉසෙඩ් අගයකින් දුෂ්කර යැයි නාමකරණය කළ දිස්ත්‍රික්වලින් විශාල පිරිසක් සරසවියට එනවා. ඒත් අපි ඉතාම පැහැදිලිව දන්නවා මේ අති බහුතරය කොළඹ, ගම්පහ, නුවර වාගේ නගරවලින් ටියුෂන් ගන්න, නමට පමණක් පාසල් යන ළමයින් බව. ඒත් ඔවුන්ට සරසවියේ දොරටු ඇරෙන්නේ අදාළ දිස්ත්‍රික්කයෙන්. මේ තත්ත්වය තුළ විශේෂයෙන් බස්නාහිර පළාතේ, ගාල්ල, මාතර, නුවර වාගේ දිස්ත්‍රික්කවල ඉහළම ලකුණු ගත්ත සිසුන් විශාල පිරිසකට සරසවි ප්‍රවේශය අහිමි වෙලා ඊට වඩා බොහොම අඩුවෙන් ලකුණු ගත්ත, ඒත් කොළඹ, නුගේගොඩ ටියුෂන් පන්තියේ එකම බංකුවේ හිටිය දුෂ්කර පළාත්වල ළමයින් සරසවියට ගිහින් තිබෙනවා. අද කොටුවේ මාරාන්තික උපවාස කරන සයිටම් විරෝධී මවුපිය සංගමය මේ ගැන තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලූවොත් හොඳයි. මොකද ඔවුන් මේ කුහකකම් කරමින් සිටින්නේ තමන්ගේ දරුවන් වගේම දරුවන් පිරිසකගේ අධ්‍යාපන අයිතීන්, අනාගතය උදුරා ගන්න.

කුමකින් කුමක් වෙයිද ?

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ඇති වූ සංවාදය තුළ අපි පැහැදිලිව දැක්ක දෙයක් තමයි ‘බොරුව’ පුනපුනා සමාජගත කිරීමට දක්වන අඛණ්ඩ උත්සාහය. ‘කලා කරලා එස් තුන ගත්ත අයත් සයිටම් එකේ ඉගෙන ගන්නවා’ කියන කතාව අද බොහොම ජනප්‍රිය කතාවක්. ඒ වගේම තමයි සයිටම් එකේ උපාධිය හදාරපු සිසු සිසුවියන්ගේ අනාගතය සම්බන්ධයෙන් තිබෙන අවිනිශ්චිතභාවය. ඔවුන් දෙස සමාජය බලන්නේ වැරදිකාරයෝ, වංචාකාරයෝ පිරිසක් විදිහට. ඔවුන් මේ වන විටත් මානසිකව විඳවමින් සිටින බව පැහැදිලි කරුණක්. ඒ නිසා ලක්ෂ ගණනක් වැය කරමින්, තමන්ගේ තරුණ ජීවිතයෙන් වසර ගානක් වෛද්‍ය උපාධිය වෙනුවෙන් කැප කළ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැනත් ආණ්ඩුවට සංවේ දී වෙන්න සිදුවෙයි. මොකද ඊනියා දේශපාලන ව්‍යාපෘතියක පහසු ගොදුරු වුණේ මේ දරුවන් නිසයි.

අවසාන වශයෙන් කීමට ඇත්තේ රජයේ තෙවැදෑරුම් වැඩපිළිවෙළ සමඟ දැන් උදාවී තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සයිටම් විරෝධීන්ගේ අරගලයේ සැබෑ වුවමනාව හඳුනා ගැනීමේ ස්වර්ණමය අවස්ථාවයි. කොටින්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යටි අරමුණු හා රජයේ විසඳුම් කොතරම් පෑහෙන්නේද ? යන්න හඳුනා ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා.

භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *