ඇ‍ඬෙන විහිළු – සී. ජේ. අමරතුංග

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වරින්වර කියන කතා විවිධාකාරය. පසුගියදා ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටි සිසු පිරිස් ඉන් ඉවත් කිරීමට පොලිසිය බලය යෙදවීමට විරුද්ධවය. ඔවුන් නොකියා කියන්නේ ‍සෞඛ්‍ය අමාත්‍යාංශය සිසුන්ට අල්ලාගන්නට දී පොලිසියත්, ආණ්ඩුවත් බලා සිටිය යුතු බවද යන්න පැහැදිලි නැත.

පසුව වෛද්‍යවරු වැඩ වර්ජනය අඛණ්ඩව කරන බව කීහ. ඒ සයිටම් ආයතනය අහෝසි කරන තෙක්ය. බළලා මල්ලෙන් එළියට පනින්නේ එහෙමය. දින දෙකකට පසුව වෛද්‍යවරු වැඩ වර්ජනය අත්හිටුවන බව නිවේදනය කළේය. ඒ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවකදී ඇතිකරගත් එකඟතා හතරක් අනුව බව ප්‍රකාශ කළහ. පසුව ජනාධිපති කාර්යාලය සයිටම් ප්‍රශ්නයට ජනාධිපතිතුමාගේ විසඳුම් ප්‍රකාශයට පත්කළ විට වෛද්‍ය සංගමය නැවතත් කීවේ තමන් එකඟ නැති බවයි. එසේ කී‍ෙව් එමඟින් සයිටම් අහෝසි නොවන නිසා බව ද කීහ. එසේ වුවද වැඩ වර්ජනය නවතන මොහොතේ ඔවුන් කළ ප්‍රකාශයේ සයිටම් අහෝසි කිරීමක් ගැන කිසිදු සඳහනක් තිබුණේ නැත. මෙය දැන් රටටම අපභ්‍රංශයක් වී ඇති බව පෙනෙන්නට තිබේ.

සිසුන්ට පහරදීම ගැන ද නොයෙක් ප්‍රශ්න මතුවිය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදිව විමසුවේ මේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය අල්ලා ගන්නා තෙක් පොලිසිය කළේ කුමක්ද යනුවෙනි. නීතියට ගරුකරන මේ රටේ ජනයාට තියන ප්‍රශ්නයද ඒකය. එහෙත් වෙනත් අය කියන්නට හැදුවේ අහිංසක සිසුන්ට පොලිසිය පහර දුන් බවකි. කෙසේ වෙතත් සිසුන්ගේ අහිංසකකම රූපවාහිනී දර්ශන මගින් රටටම දකින්නට ලැබී තිබිණි.

ටිල්වින්ෙග් කතාව

ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා සහෝදරයා කීවේ, වෙනත් කතාවකි. ඔහු කීවේ උද්ඝෝෂණ කියන්නේ ශීල ව්‍යාපාර ‍ෙනාවන බවයි. සුනිල් හඳුන්නෙත්ති කීවේ යකඩ පොල්ලක් ගෙන එහි සිටින්නට තමන්ට නොහැකිවීම ගැන දුක්වන බවකි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පොලු මුගුරු රැගෙන ඇතුළු වී සිටි පිරිස දුටු සෞඛ්‍ය ඇමැතිතුමාටත්, අමාත්‍යාංශයේ වෙනත් නිලධාරීන්ටත්, සේවකයන්ටත් මෙබඳුම දුකක් දැනෙන්නට ඇත. එමෙන්ම සාමාන්‍ය ජනයා අතර වැඩි දෙනකුටද එබඳුම අදහස් ඇති වූවා විය හැකිය.

උද්ඝෝෂණ කියන්නේ ශීල ව්‍යාපාර නොවන බව කියන ගමන් අනෙක් අතට කියන්නේ පහරදීම හෙළා දැකිය යුතු බවයි. ඒ කියන්නේ ශීල ව්‍යාපාර නොවන උද්ඝෝෂණ ඉදිරියේ පොලිසිය සිල් ගත යුතු බවයි. ඇ‍ඬෙන විහිළු කියා ජනතතාව කියන්නේ මේ වගේ කතන්දරවලටය.

මහින්ද රාජපක්ෂ මහතා කීවේ සිසුන්ට පහර දුන්නේ ඉතාම අමානුෂික ආකාරයට බවය. ඇතැම්විට එතුමා එසේ කියන්නට ඇත්තේ පහරදීම රටම දුටු නිසා විය හැකිය. එතුමාගේ කාලයේ මානුෂික ආකාරයට කරන්නේ සුදු වෑන් එකකින් විත් පැහැරගෙන යාමකි. ඉන්පසු සියලු කටයුතු කෙරෙන්නේ මානුෂික ආකාරයෙනි. සයිටම් හැදුවේ ඒ කාලයේය. එකල මෙහෙම උද්ඝෝෂණ නොතිබුණේ එම රජයේ මානුෂීය සැලකීම් ගැන බොහෝ දෙනා දැන සිටි නිසාය. දැන් බොහෝ දෙනා චණ්ඩින් වී සිටින්නේ මස් රාත්තලම ඉල්ලා සිටින්නේත් එකල තිබූ ‘මානුෂීය’ සැලකීම් නැති නිසා බව බොහෝ දෙනා කියන කතාවකි.

සිසුන්ට, කම්කරුවන්ට හෝ ඕනෑම ජන කණ්ඩායමකට ප්‍රචණ්ඩ ලෙස උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඇත. එය සාධාරණ වන්නේ තමන්ගේ ඉල්ලීම් සාධාරණ නම් හා පාලකයන් එයට ඇහුන්කන් නොදෙන්නේ නම් පමණකි. එමෙන්ම එම ඉල්ලීම් පොදු මහජන යහපතට හරස්ව යන ඒවා නොවිය යුතුය. මහජන සහය ද එහිදී වැදගත්ය.

රජය රටේම අවශ්‍යතා සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගෙන යම් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නඟන විට සුළු පිරිසක් ප්‍රචණ්ඩ ලෙස හෝ තමන්ට ඇති වෙනත් බලයක් යොදා හෝ එය නවත්වන්නට හදන්නේ නම් එය සලකන්නට වන්නේ මැර බලයක් වශයෙනි. එවැනි සුළුතරයන්ගේ මැර වැඩ නැවැත්වීමද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රජය ඉටුකළ යුතු කාර්යයකි.

දැන් ප්‍රශ්නය ඇත්තේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙනි. එම ප්‍රශ්නය ගැන වත්මන් වටයේ උද්ඝෝෂණ පටන් ගත්තේ ජනවාරි මාසයේ දුන් අධිකරණ තීන්දුවත් සමඟය. එයින් නියෝග කළේ සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය යුතු බවයි. එසේ නොකිරීම අසාධාරණ බව එම නඩු තීන්දුවෙන් කියැවිණි. එම ආයතනයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්නය හා කොතලාවල ආරක්ෂක සරසවියේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ආදී බොහෝ කරුණු සලකා බලා අධිකරණය තීන්දු කළේ, මෙම සිසුන්ට අසාධාරණයක් සිදු වී ඇති බවයි. එම තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව අභියාචනයක් ඉදිරිපත් කොට ඇති අතර එය තව දින කිහිපයකින් විභාගයට ගැනීමට නියමිතය. නීතිගරුක පුරවැසියන් නම් කළ යුතු වන්නේ මෙම අධිකරණ තීන්දුව එනතෙක් බලා සිටීමය. කරුණු ඇත්නම් ඉදිරිපත් කළ යුතු වන්නේ අධිකරණයටය. වෛද්‍ය සභාව තුළින් ද එය සිදු කළ හැකිසේම සිදුකොටද ඇත. එසේ වුවද වෛද්‍ය සංගමය හා සිසුන් අධිකරණ තීන්දුවට පෙර මෙලෙස කුලප්පු වී සිටින්නේ ඇයිද යන්න කවුරුත් සිතා බැලිය යුතු කාරණයකි.

තදියම කුමක්ද?

රටේ ඩෙංගු වසංගතයක් තිබියදී ඒ ගැන තම මුළු ශක්තිය යොදවා ක්‍රියා කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කඩාකප්පල් කිරීමට මෙම සිසුන් ක්‍රියා කරන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. ඒ වසංගතය අස්සේ වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීමද එම ප්‍රශ්නයම මතු කරන්නකි. මේ කරන්නේ යම්කිසි තදියමක් නිසාය. බොහෝවිට තමන්ගේ අරමුණු ඉටු නොවන බව දන්නා නිසාය. මේ පිටුපස තිබෙන්නේ සැඟවුණු කුමන්ත්‍රණයකි. මෙම සිදුවීම්වලින් ඒ බව පැහැදිලිය.

සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන රජයේ වෛද්‍යවරුන් හා ශිෂ්‍යයන් කීවේ එහි වෛද්‍ය උපාධිය ප්‍රමිතියෙන් තොර බවයි. එම සිසුන්ට සායනික පුහුණුව ප්‍රමාණවත් නැති බවයි. එසේ කීවේ වෛද්‍ය උපාධියක් සඳහා අවශ්‍ය ප්‍රමිති වෛද්‍ය සභාවෙන් සකසා නොතිබියදීය. එමෙන්ම රජරට වෛද්‍ය විද්‍යාලය, නැගෙනහිර වෛද්‍ය විද්‍යාලය ආදී තැන්වල සයිටම්හි ඇති ඇතැම් පහසුකම් ද නැති තත්ත්වයක් තුළය. එසේ තිබියදී කාලයක් තිස්සේ එම පීඨවලින් වෛද්‍යවරුන් බිහිකර සේවයට එක්කොට තිබියදීය. සයිටමට විතරක් විරෝධය මතුවීම ප්‍රශ්නයක් වන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් රජය මේ කියන සියලු ප්‍රශ්නවලට විසඳුම් ප්‍රකාශයට පත්කොට ඇත. සායනික පුහුණුව මදිනම් රජයේ රෝහල්වලින් වැඩිදුරට සායනික පුහුණුව දීම, සයිටම් රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීම ආදී ක්‍රියාමාර්ග රජය ප්‍රකාශයට පත්කොට ඇත. එසේ වන්නේ නම් සායනික පුහුණුව ප්‍රමාණවත් නැත යන ප්‍රශ්නය තවදුරටත් මතුවන්නේ නැත.

එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සකස් කිරීමටත් සයිටම් ආයතනය එම ප්‍රමිති තත්ත්වයට පත් කරන තෙක් අලුතින් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමටත් රජය තීරණය ‍කොට ඇත. එවිට ප්‍රමිතියේ ප්‍රශ්නය ද අවසන් වනු ඇත.

සයිටම් ආයතනයේ අයිතිය පුළුල් කොට රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් බවට පත්කිරීමට ද, කොටස් වෙළෙඳපොළට සමාගම යොමුකිරීමට ද ආයතනය සඳහා පාලක මණ්ඩලයක් පත්කිරීමට ද රජය තීරණය කොට ඇත. එවිට මෙහි අයිතිය පිළිබඳවද වෙනස්කමක් සිදුවීම අනිවාර්යය.

මෙලෙස රජය පැත්තෙන් ඉතාම නම්‍යශීලීව කටයුතු කොට ඇතත් රජයේ වෛද්‍ය සංගමයට හා සිසුන්ට අවශ්‍යව තිබෙන්නේ සයිටම් අහෝසි කරන්නටය. ජනසතු කරන්නටය. එනම් තවදුරටත් සයිටමයක් නැති කරන්නටය. එම සිසුන් පරසක්වල ගසන්නටය. මේ ප්‍රචණ්ඩ සටන ඒකටය. වෛද්‍යවරුන් රටේ ඩෙංගු වසංගතයක් තිබියදී ලෙඩුන් ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ ඒකටය. තමන් සතු බලය යොදාගෙන මස් රාත්තලම ඉල්ලන්නේ එහෙමය.

සයිටම් සටන මෙතැනට තල්ලු කරන්නේ ඒ පිටුපස සිටින ඇතැම් දේශපාලන බලවේග විසින් බව පෙනෙන්නට තිබේ. ඔවුනට අවශ්‍ය වන්නේ ප්‍රශ්නය විසඳන්නට නොවේ. අවුල් කරන්නටය. එය පවත්වාගෙන යමින් දිගටම දේශපාලන වාසි ලබාගන්නටය. නැතහොත් කෙසේ හෝ රජයේ වැඩපිළිවෙළ අමාරුවේ දැමීමටය. ඒ සඳහා ඔවුන් කරන්නේ කරන්න බැරි දේ ඉල්ලීමයි. එමඟින් ආණ්ඩුව කෙරෙහි කලකිරීම වර්ධනය කිරීමයි.

සයිටම් ආයතනය ඇතිකරන විට එය වර්ධනය වන විට විරෝධයක් නොදක්වා දැන් සයිටම් අහෝසි කරන්නට කතා කරන්නේ එක් අතෙකින් එමඟින් අවුලක් නිර්මාණය කරන්නටය. සයිටම් සිසුන් හා එම දෙමාපියන් මෙන්ම අධ්‍යාපන නිදහස අගයන බහුතර ජනතාව අතරද කලකිරීමක් හා අවුලක් ඇතිකරන්නටය. අනෙක් අතට මෙහි අරමුණ ලෙස පෙනී යන්නේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ පරාජය කිරීමයි. ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ගයේ එක ප්‍රධාන අංශයක් වන්නේ අධ්‍යාපනය අතින් රට ඉහළ තලයකට ගෙන යාමයි. අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි. ඒ සඳහා රජයේ ආයෝජන ප්‍රමාණවත් නැති බව අමුතුවෙන් කිව යුතු නැත. හැකි තරම් පෞද්ගලික ආයෝජන අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාගත යුතුය. උසස් අධ්‍යාපනයට මෙය විශේෂයෙන්ම අවශ්‍යය. ආණ්ඩුව ඉන්නේ තව තවත් ආයෝජකයන් ගෙන්වා ගැනීමට උත්සාහ දරමිනි. මේ මොහොතේ සයිටම් ආයතනය ජනසතු කළහොත් කිසිදු ආයෝජකයකු අපේ රට පැත්ත පළාත බලන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. මේ කරන්නට හදන්නේ ඒ තත්ත්වයට ආණ්ඩුව තල්ලු කිරීමටය. සයිටම් යනු හුදෙක් තනි ආයතනයක ප්‍රශ්නයක් නොවන්නේත් රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් වන්නේත් ඒ නිසාය. ඒ නිසාම මෙය රජයට තම පැවැත්ම හා විනාශය පිළිබඳ සටනකි.

දොස්තර සටන හුදකලා වීම

වෛද්‍ය සංගමයේ දරදඬු පිළිවෙතට මහජන සහයක් ලැබී නොතිබීම රටේ වාසනාවකි. වෘත්තීය සමිති එකසිය ගණනක් තමන්ට සහාය දෙනවා කියා වෛද්‍ය සංගමය වැඩ වර්ජනයක් කැඳවුවද එයට සහභාගි වූයේ දුම්රිය සේවයේ සුළු පිරිසක් පමණකි. එය ද ඔවුන්ගේ ප්‍රශ්නයක් නිසා මිස සයිටම් සඳහා නොවේ. පෙනී ගියේ වෛද්‍ය සංගමයට සහය දෙනවාය කියූ වෘත්තීය සමිති බෝඩ් ලෑලි සංවිධාන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් අහෝසි කරන්නට කියා දින තුනක් වර්ජනය කරගෙන ගියද ඔවුන්ගේ සහයට බෝඩ් ලෑල්ලක්වත් උස්සන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. ඇතැම් පළාත්වල වෛද්‍යවරු වර්ජනයට සහභාගි නොවූහ. මහජන විරෝධය නැඟ ආවේ වර්ජනය කරන වෛද්‍යවරුන්ගේ නිවෙස් වටලන තත්ත්වයටය. ඒ රජයේ නම්‍යශීලී ප්‍රතිපත්තියත්, වෛද්‍යවරුන්ගේ මුරණ්ඩු බවත් රටටම පෙනී ගොස් තිබූ නිසාය.

කෙසේ වෙතත් වෛද්‍ය සංගමය තවමත් බලන්නේ කොහෙන් හෝ කොක්කක් පටලවාගෙන හැකි නම් ආපසු ප්‍රශ්නයක් ඇතිකිරීමටය. රටේ අවශ්‍යතාව, සංවර්ධනය, මහජන මතය, රෝගීන්ට ඇතිවන පීඩාව ආදී මේ කිසිවක් වෛද්‍යවරුන්ට අදාළ නැත. මෙම තත්ත්වය තවත් දුරදිග යාමට ඉඩදිය යුතු නැත. මේ විනාශය දැන් ඉතින් ඇති කියන්නට මහජනයාත්, මහජන සංවිධානත් පෙරට ආ යුතුය.

සී. ජේ. අමරතුංග
ඡායාරූප-සුදම් ගුණසිංහ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *