‍දොස්තර අරග‍ලයේ සැඟවුණු අරමුණු – අධිනීතීඥ ලාල් විජේනායක

 

වසර දහයක මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිමාවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති ධූරයට පත්වූයේ 2105 ජනවාරි මස 08 දින පැවැති මැතිවරණයේදී ය. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජන කණ්ඩායම් එක පොකුරක් ලෙස මෛත්‍රී දිනවීම සඳහා මහින්ද පාලනයට එරෙහිව අත්වැල් බැඳ ගනිත්දී මහින්ද පසුපස සිටි ඇතැම් පිරිස් ක්‍රමයෙන් නිහඬ වූයේ නැගී ආ ජන පවුරට එරෙහි වීම සියතින් ගෙළ සිඳ ගැනීමක් බව අවබෝධ කරගත් නිසාය. දැන් මෛත්‍රී බලයට පැමිණ යහ පාලන රජය බිහිකර වසර දෙකහමාරක පමණ කාලයක් ගතව තිබේ.

පෙර කිසිදු රජයට නොතිබූ ආකාරයේ බලපෑම් යහ පාලන රජයේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. එදා මහින්දගේ පරාජයත් සමඟ යටපත්ව ගිය බලවේග නොයෙක් වේශයන්ගෙන් මතුව සාමාන්‍ය ජන සමාජය අවුල් කරමින් නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් ගෙනයන වැඩපිළිවෙළ ඉක්මනින් පරාජය නොකළහොත් රජයට ඉදිරියේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු නියත ය.

මහින්දගේ ඒකාධිපති පාලනය තුළ අඟුටුමිට්ටන් බවට පත්ව සිටි ඇතැම් වෘත්තීය සමිතිද දැන් පණ ගසා නැගිට සිටින්නේ යහ පාලනයට පින්සිදු වන්නට ය. අනෙක් පසින් මහින්දගේ පාලනය තුළ විවිධ වරප්‍රසාද ලබා ගනිමින් ක්‍රියාකළ පිරිස් පසුව ඒවා අහිමිව යෑම නිසා දුකට පත්ව යහ පාලන ආණ්ඩුවට එරෙහිව යන පිරිසක්ද දක්නට ලැබේ.

ඔවුන්ද කෙසේ හෝ මාන බලන්නේ මෙම පාලන ක්‍රමය කනපිට හරවා හෝ මහින්ද බලයට ගෙනවිත් යළි රිසි සේ බඩ පිණුම් ගසන්නට ය. සයිටම් ඉදිරියට දමා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගෙන යමින් තිබෙන විරෝධතාව අමානුෂික එකක් වන්නේ එහි ඇති අරමුණු ඉතා පහත් ඒවා වීම නිසාය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සයිටම් ‍අහෝසි කළ යුතු බව පවසන්නේ ආණ්ඩුව පෙරළා දමා තමන් කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමේ වුවමණාව මතද නොඑසේනම් තම වෘත්තිය උපයෝගී කරගනිමින් ජනතාවගේ ගෙළ මිරිකා මුදල් උපයන වෛද්‍යවරුන්ට පෞද්ගිලික වෛද්‍ය විද්‍යාල තුළින් බිහිවන සිසුන් හරහා වැ‍ට බැඳේය යන අවිශ්වාසය නිසාද නැතිනම් මෙම කරුණු දෙකම නිසාද යන්න පිළිබඳව දැන් සමාජය තුළ සැක මතුව තිබේ. සයිටම් ආරම්භ කළේ මහින්දගේ පාලන කාලය තුළය.

එදා නොදුටු අවදානමක් අද සයිටම් තුළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දැකීම පුදුමයකි. මේ තුළ දේශපාලන කාරණා ඇති බවට සැකකළ පහළ වන්නේ එබැවිනි. අනෙක් පසින් රටේ බරපතළ වෛද්‍ය හිඟයක් තිබේ. එය පියවීමට සයිටම් මඟින් කිසියම් හෝ අනුබලයක් ලැබීමට තිබියදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කළ යුත්තේ සයිටම් තුළ අඩුපාඩු ඇත්නම් ඒවා මඟ හරවා ගෙන ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබාදීම පිණිස පසුබිම සැලසීම ය.

වෛද්‍ය හිඟය

මහින්ද ආරම්භ කළ සයිටම් ආයතනයට අද මහින්ද විරුද්ධ ය. ඒ තුළ ඇත්තේ පටු දේශපාලන පරමාර්ථ මිස අන් කිසිවක් බව ඒත්තු ගැන්වීමට තර්ක අවශ්‍යය නොවන්නේ ය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට අවශ්‍ය වන්නේ මහින්ද කෙසේ හෝ බලයට ගෙන ඒමට නම් ඔවුන් කළ යුත්තේ මැතිවරණයක් පැමිණි පසු එළිපිට මහින්දට නොඑසේ නම් ඒකාබද්ධ විපක්ෂයට සහය දීම විනා අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන සමාජය තලා පෙලා දැමීම නොවේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාව රටේ පවතින බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිව ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුඵල් කිරීම සයිටම් හෙවත් තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ අග්නිදිග ආසියානු ආයතනය ආදර්ශයට ගනිමින් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ අනුකමිටුව වාර්තාවක් මඟින්ද මෙය පෙන්වාදී තිබේ.

මෙරට සියලු පුරවැසියන්ට රජය විසින් නොමිලේ සෞඛ්‍යය සේවාව සපයයි. ඒ සඳහා මෙරට සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බව නොවන බව උසස් අධ්‍යාපන අනුකමිටුව මඟින් පෙන්වා දී තිබේ. රට තුළ වෛද්‍යවරු 25000 කගේ පමණ හිඟයක් පවතින දැන ගන්නට තිබේ. හෘද සැත්කම් වැනි විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන සේවා ලබා ගැනීම පිණිස වසර ගණන් පොරොත්තු ලේඛනවල ගත කරන්නට රොගීන්ට සිදුවෙයි. නාගරික හා ග්‍රාමීය වශයෙන් සෞඛ්‍ය සේවා සැපයීමේදී විශාල විෂමතාවක් දක්නට ලැබෙයි. වසර 2012 දත්තවලට අනුව රටේ සුදුසුකම් ලත් වෛද්‍යවරු සංඛ්‍යාව 17129 කි.

මෙය පුද්ගලයින් 1187 කට එක් වෛද්‍යවරයකු ලෙස ගණනය කළ හැකි අතර මෙරට වඩා යහපත් සෞඛ්‍ය සේවාවක් ඇති කරනු පිණිස මෙම අගය එක් වෛද්‍යවරයකුට පුද්ගලයින් 670 ක් දක්වා පහත බැසිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව රටතුළ වෛද්‍යවරුන් 40000 ක් සිටිය යුතු වුවත් පවතින දත්ත අනුව වෛද්‍යවරුන් 25000 කගේ පමණ හිඟයක් පවතින බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

සේවයේ වෙනස

වෛද්‍ය හිඟය රෝගීන්ට පීඩාවක් වුවද මුදල පසුපසම හඹා යන වෛද්‍යවරුන්ට එය ඉ ල්ලමකි. වෛද්‍යවරුන් අතර දෙවිවරු වන් මිනිසුන් සිටින බව අපි පිළිගන්නෙමු.අවාසනාවකට එය සමස්ත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව හා සැසඳීමේදී සුළුතරයක් වීම කනගාටුවට කරුණකි. මේ වසරේදී නීතීඥ වෘත්තියේ අලුතින් 800 දෙනකු දිව්රුම් දුන් අතර ඒ සමඟ නීතිඥයින් අය කරන ගාස්තුවලට පහත වැ‍ටීමක් සිදුවිය. ඉල්ලුමට සරිලන සැපයුමක් පවතින විට භාණ්ඩයක මිල පහත වැටීම හෝ මිල ඉහළ නොගොස් ස්ථාවරව පැවතීම ආර්ථික විද්‍යා න්‍යායකි.

වෘත්තීන් සම්බන්ධයෙන්ද මෙය අනුගතය. යම් වෘත්තියක සේවාව ලබා ගැනීමට සීමා සහිත පිරිසක් සිටින විට සේවාව වෙනුවෙන් ඔවුන් හිතූ ගණන් අය කිරීම සාමාන්‍ය තත්ත්වයකි. චැනල් සේවය තුළ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරීත්වය විමසීමේදී මෙය කදිමට පැහැදිලි වෙයි. පෞද්ගලික චැනල් සේවා ආයතනවලදී වෛද්‍යවරුන්ගේ මුදල් අය කිරීම් සම්බන්ධ කිසියම් ප්‍රමිතියක් ඇති කිරීමට රජයට තවමත් නොහැකිවී තිබීම අඩුපාඩුවකි. මෙම අඩුපාඩුව තුළින් ඇතැම් වෛද්‍යවරු රෝගීන් ගසාකන බව සාමාජය දන්නා කරුණකි.

රජයේ වැටුප් ලබන ඇතැම් විශේෂඥ වෛද්‍යවරු රජයේ රෝහලේ තම වාට්ටුවේ රෝගියාට වඩා පෞද්ගිලක රෝහලේ ප්‍රතිකාර ලබන තම රෝගියා සම්බන්ධයෙන් දක්වන්නේ පුදුමාකාර උනන්දුවකි. රජය වැටුප් ලෙස මුදල් ගෙවන්නේ රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීයා වෙනුවෙන් බව අමතක කරන වෛද්‍යවරයා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ සුව විමසීමට දවසකට දෙවරක් හෝ යෑමට අමතක නොකරයි. මේ ඒ යන සෑම වාරයකදීම සාක්කුවට මුදල් වැටීම හැර වෙන අන් කිසිවක් නිසා නොවේය.

මෑතක සිට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ ප්‍රතිකාර සඳහා රජයේ රෝහලට ඇතුළත් වීමට අවශ්‍ය නම් ඊට පෙර අදාළ වාට්ටුව භාර වෛද්‍යාවරයා චැනල් කිරීම ය. වාට්ටුව භාර වෛද්‍යවරයා චැනල් කිරීමෙන් පසු වාට්ටුවට ඇතුළත් වීමට ලබාදෙන ලියවිල්ල ප්‍රබල ය. එවිට වාට්ටුවෙන් ලැබෙන සැලකිල්ලද තරමක් වැඩිය.

මේ ආකාර සිදුවීම් නිසා අද වෛද්‍ය සේවාව කෙරෙහි ජනතාව තුළ ඇත්තේ කලකිරීමකි. වැඩි පිරිසක් වෛද්‍ය සේවාවේ ගුණ ධර්ම කප්පාදු කරමින් වෘත්තියේ නිරතවෙත්දී යහපත්වූ සේවාවක් සිදුකරන පිරිසට සමාජ පිළිගැනීමක් නොමැති තත්ත්වයක් මතුව තිබේ. මිනිසකුට කළ හැකි ලොකුම උපකාරය ඔහුගේ හෝ ඇයගේ ජීවිතය බේරා දීමය.

යම් රෝගයකට ගොදුරු වූවකු ප්‍රතිකාර ලබා ගන්නේ මරණයෙන් ගැලවීමට ය. ඒ සඳහා රෝගියාට උපකාර කළ හැක්කේ වෛද්‍යවරයකුට පමණි. මහජන මුදලින් අධ්‍යාපනය ලැබ තමන්ට පැවරී ඇති රෝගීන් සුවපත් කිරී‍මේ වගකීමෙන් වෛද්‍යවරයකු අත් මිදෙන්නේ නම් එය සමාන කළ හැක්කේ කුරිරු ක්‍රියාවකට ය. සයිටම් අහෝසි කිරී‍ම සඳහා වන සටනේදී වෛද්‍යවරුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස පාවිච්චි කරන්නේ අහිංසක රෝගීන්ව ය.

සයිටම් මඟින් බිහිවිය හැකි අදක්ෂ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර තුළින් අනාගතයේ රෝගී ජීවිත අනතුරට පත්විය හැකි බැවින් ඔවුන් ඉන් මුදා ගැනීම සඳහා සයිටම් අහෝසි කිරීමේ සටන දියත් කරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. මෙය අරුම පුදුම කතාවකි. මෙම සටන දියත් වන්නේ අනාගත රෝගීන්ගේ අවදානම පහ කිරීම සඳහා වර්තමාන රෝගීන් බිල්ලට දෙමිනි. අනාගතයේ රෝගී වන පිරිස්වල ආරක්ෂාව වෙනුවෙන් වර්තමාන රෝගීන් බිලිඳීම සාදාචාර සම්පන්න සමාජයක් විසින් කිසිසේත් අනුමත නොකරන්නේ ය.

මවා පෑම

ජාතික පාසල්වලට වෛද්‍යවරුන්ගේ දරුවන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බොරු සටනක් ගෙන ගොස් රෝගීන් අපහසුතාවට පත් කළේය. පසුව ඉන්දියානු ගිලන් රථ සේවය මෙරට ක්‍රියාත්මක කිරීමට එරෙහිව සටනක් දියත් කරමින් නොයෙක් ව්‍යාජ මත සමාජගත කරන්නට වෙහෙසුණේ ය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මවා පෙන්වූ බිල්ලන් අද දක්නට නොමැත. වර්ජනය තුළින් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන සහ ප්‍රතිකාර ලබන්නට පැමිණෙන රෝගීන් අපහසුතාවට පත් කළත් ඇතැම් වෛද්‍යවරු වර්ජනය අතරතුර පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුව සොයා බලන්නට අමතක නොකරති. එළිපිට යෑමට නොහැකි නම් දුරකතනයෙන් හෝ ඖෂධ නියම කිරීමට තරම් මේ වෛද්‍යවරු කාරුණිකය.

රජයට එරෙහි වෛද්‍යවරු රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ටද අකාරුණික වීම අති උතුම් වෛද්‍ය වෘත්තියටද කරන්නාවූ නිගාවකි. ඇස් කාච රජයෙන් නොමිලේ ලබා දෙන විට ඇතැම් වෛද්‍යවරු කාචවල ප්‍රමිතීන් පිළිබඳ කෑමොර දෙන්නේ රෝගියා යහපත වෙනුවෙන් නොව කාච පෞද්ගිලක ස්ථානවලින් වැඩි මිලට ගැනීම නතර වීම නිසා කමිෂන් එක අහිමිවීමේ දුකට ය.

හෘද සැත්කම් සඳහා අවශ්‍ය ස්ටෙන්ස් සම්බන්ධයෙන්ද වෛද්‍ය මාෆියාවක් ක්‍රියාත්මක වන බවට එල්ලවන චෝදනා පහසුවෙන් බැහැර කළ නොහැකිය. එක් ස්ටෙන්ත් එකක් අවශ්‍ය අවස්ථාවක දෙක තුනක් දමා රෝගීන් ගෙන් මුදල් ගසා කන වෛද්‍යවරු නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැවැසිය හැකිද යන්න ප්‍රශ්නයකි. ඇතැම් වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන තුළදී පස්වරුවේ පැය දෙකක් තුළ රෝගීන් 100 කුට පමණ ප්‍රතිකාර ලබාදෙයි.

ඒ වෙනුවෙන් එක් රෝගියකුගෙන් අය කරන මුදල රුපියල් 1500.00 සිට ඉහළ මිල ගණන් දක්වා විහිදී යයි. විනාඩි දෙකකටත් අඩු කාලයක් එක් රෝගියකු වෙනුවෙන් වෙන් කිරීම හොඳ සේවාවක් ලබා දීමට ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය ඇසිය යුත්තේ අදාළ වෛද්‍යවරුන් ගෙන්ම ය.

වෛද්‍ය පීඨ ක්‍රියාත්මක රුහුණ හා නැගෙනහිර විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳව කිසිවක් කතා නොකරන වෛද්‍ය සංගමය සයිටම්හි ප්‍රමිතිය පිළිබඳව මෙතරම් උනන්දු වන්නේ ඇයිද යන්න තවත් ප්‍රශ්නයකි.

එම වෛද්‍ය පීඨවල ඇතැම් වෛද්‍ය විෂයන් සඳහා ගුරුවරුන් පවා නොමැති තත්ත්වයක් තුළ ඒවායින් බිහිවන වෛද්‍යවරුන්ගේ තත්ත්වය සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබාදෙන සහතිකය කුමක්ද යන්න ප්‍රශ්නයකි. සයිටම් සම්බන්ධයෙන් රජය දැඩි මතයක නොපිහිටා යම් යම් නම්‍යශීලී පියවර අනුගමනය කරත්දී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි මතයක පිහිටා ක්‍රියා කිරීම තුළින් පෙනෙන්නේ ඔවුන්ට ප්‍රශ්නයට විසඳුම් සෙවීමට වඩා වුවමණාව ඇත්තේ ප්‍රශ්නය ඇද ගෙන යෑමට බවය.

මේ තුළ දේශපාලන ගනුදෙනුවක් ක්‍රියාත්මක බව පැහැදිලි වන්නේ ඒ තුළිනි. දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පසුගිය රජයේ ප්‍රබලයින් බොහෝ දෙනකුට එරෙහි විමර්ශන අවසන්ව අධිකරණයේ නඩු පැවරීමට නියමිතව තිබෙන මෙම අවස්ථාවේ එම ක්‍රියාවලිය වෙනතකට යොමු කිරීම සඳහා ඇති එකම මාර්ගය ආණ්ඩුව පෙරළා දැමීම ය. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම මෙම වර්ජනවල අරමුණ වී තිබේද යන බරපතළ සැකය මතුව තිබේ.

වසරක් තුළ මෙරට වෛද්‍ය විද්‍යාලවලින් පිටව යන වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 1100 කට පමණ වෙයි. පවතින වෛද්‍ය හිඟය හා සැසඳීමේදී මෙම හිඟය පියවීමට තවත් දශක දෙකක් පමණ ගතවනු ඇත. අනෙක් පසින් මෙරට රජයේ වෛද්‍ය විද්‍යාලවල පවතින සීමිත ඉඩකඩ නිසා උසස් පෙළ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබ ඉහළින් විභාගය සමත් වුවත් විශ්වවිද්‍යාල වරම් අහිමිවන අති විශාල සිසු පිරිසක් සිටිති.

ප්‍රමිතියක අවශ්‍යතාව

අධ්‍යාපන දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛන අනුව උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් 82 % කට පමණම උසස් අධ්‍යාපන වරම් අහිමි වන්නේ ය. මේ නිසාම දහස් ගණනක පිරිසක් වාර්ෂිකව වෛද්‍ය සිහිනය සැබෑ කරගනු පිණිස විදේශ ගතවෙයි. පවතින පසුබිම තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාව මෙරට තුළ තදින්ම පවතී.

කළ යුත්තේ එවැන්නක් ඇති කර එහි ප්‍රමිතිය උසස් මට්ටමකට ගෙන ඒම මිස එය අහෝසි කිරීම නොවන්නේය. ප්‍රවාහන අංශයට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාදී තිබේ. එමෙන්ම ද්විතික අධ්‍යාපනයේදී පුද්ගලික හා ජාත්‍යන්තර පාසල් රටතුළ ක්‍රියාත්මක වෙයි. මෙලෙස එම අංශවලදී රජය පුද්ගලික අංශයට ලබාදී තිබෙන අවස්ථාව විශ්වවිද්‍යාල පිහිටුවීමේදී ද පුද්ගලික අංශයට ලබාදීම කාලෝචිත අවශ්‍යතාවකි.

 

සටහන
අසේල කුරුළුවංශ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *